පළවෙනි යොහන් 3:1-24

  • අපි දෙවියන්ගේ දරුවන් (1-3)

  • දෙවියන්ගේ දරුවන් සහ යක්ෂයාගේ දරුවන් (4-12)

    • යේසුස් යක්ෂයාගේ ක්‍රියා නැති කරලා දානවා (8)

  • එකිනෙකාට ආදරේ කරන්න (13-18)

  • දෙවියන් අපිට වඩා හොඳින් අපේ හිත් ගැන දන්නවා (19-24)

3  දෙවියන් අපිව හඳුන්වන්නේ ඔහුගේ දරුවන්* විදිහට.+ ඒකෙන් තේරෙනවා පියාණන් අපිට කොච්චර ආදරෙයිද කියලා.+ ඇත්තටම අපි ඔහුගේ දරුවන් තමයි. ඒත් මේ ලෝකයේ අය අපිව හඳුනන්නේ නැහැ.+ ඒ, එයාලා දෙවියන්ව හඳුනන්නේ නැති නිසයි.+ 2  ආදරණීය සහෝදරයෙනි, අපි දෙවියන්ගේ දරුවන්+ වුණත් ඉස්සරහට අපි මොන වගේ අය වෙයිද කියලා* අපි තාමත් දන්නේ නැහැ.+ ඒත් අපි දන්නවා ඉස්සරහට අපිට ඔහුව ඇත්තටම දකින්න ලැබෙනවා කියලා. ඔහුව දකින්න ලැබෙද්දී අපිත් ඔහු වගේ වෙනවා.* 3  ඒ බලාපොරොත්තුව තියෙන හැම කෙනෙක්ම තමන්ව පවිත්‍ර කරගන්නවා.+ මොකද ඔහු පවිත්‍ර කෙනෙක්. 4  දිගටම වැරදි ක්‍රියාවල යෙදෙන අය කරන්නේ දෙවියන්ගේ නීති කඩන එකයි. දෙවියන්ගේ නීති කඩන එකට තමයි පාපය කියන්නේ. 5  යේසුස් පොළොවට ආවේ අපේ පව් නැති කරන්න කියලා ඔයාලා දන්නවා.+ ඔහු තුළ කිසි පාපයක් නැහැ. 6  ඔහු එක්ක එකට බැඳිලා ඉන්න අය දිගටම පව්කාර ක්‍රියාවල යෙදෙන්නේ නැහැ.+ පව්කාර ක්‍රියාවල දිගටම යෙදෙන කිසිම කෙනෙක්ට ඔහුව දැකලා තියෙනවා කියලවත් ඔහුව හඳුනනවා කියලවත් කියන්න බැහැ. 7  මගේ දරුවෙනි, ඔයාලව නොමඟ යවන්න කාටවත් ඉඩ දෙන්න එපා. යේසුස් ධර්මිෂ්ඨව ඉන්නවා වගේ දිගටම හරි දේ කරන කෙනාත් ධර්මිෂ්ඨයි. 8  කෙනෙක් දිගටම පව්කාර ක්‍රියාවල යෙදෙනවා නම් එයා අනුකරණය කරන්නේ යක්ෂයාවයි. මොකද යක්ෂයා මුල ඉඳන්ම* පව් කරනවා.+ දෙවියන්ගේ පුතා ආවේ යක්ෂයාගේ ක්‍රියා නැත්තටම නැති කරලා දාන්නයි.+ 9  දෙවියන්ගේ* දරුවෝ දිගටම පව්කාර ක්‍රියාවල යෙදෙන්නේ නැහැ.+ මොකද ඒ වගේ කෙනෙක් තුළ දෙවියන්ගේ බලය* ක්‍රියාත්මක වෙනවා. එයා දෙවියන්ගේ දරුවෙක් නිසා+ දිගටම පව්කාර ක්‍රියාවල යෙදෙන්න එයාට බැහැ. 10  දෙවියන්ගේ දරුවන්ව සහ යක්ෂයාගේ දරුවන්ව හඳුනගන්නේ මෙහෙමයි. දිගටම හරි දේ* කරන්නේ නැති, තමන්ගේ සහෝදරයාට ආදරේ කරන්නේ නැති කිසිම කෙනෙක් දෙවියන්ගේ දරුවෙක් නෙමෙයි.+ 11  මොකද අපි එකිනෙකාට ආදරේ කරන්න ඕනෙ කියන ආඥාව මුල ඉඳන්ම අපි අහලා තියෙනවා.+ 12  අපි කවදාවත් දුෂ්ටයාගේ බලපෑමට අහු වෙලා තමන්ගේ සහෝදරයාව මරපු කායින් වගේ වෙන්න හොඳ නැහැ.+ කායින් එයාගේ මල්ලිව මැරුවේ ඇයි? ඒ, එයා දුෂ්ට විදිහට වැඩ කළත්+ එයාගේ මල්ලි හරි දේ කරපු+ නිසයි. 13  සහෝදරයෙනි, මේ ලෝකයේ අය ඔයාලට වෛර කරන එක+ ගැන පුදුම වෙන්න එපා. 14  අපි කලින් හිටියේ හරියට මැරුණ අය වගේ. ඒත් දැන් අපි ජීවත් වෙනවා.+ ඒ, අපි අපේ සහෝදරයන්ට ආදරේ කරන නිසයි.+ තමන්ගේ සහෝදරයාට ආදරේ කරන්නේ නැති කෙනෙක් තාමත් ඉන්නේ මැරුණ කෙනෙක් වගේ.+ 15  තමන්ගේ සහෝදරයාට වෛර කරන හැම කෙනෙක්ම මිනීමරුවෙක්.+ මිනී මරන කෙනෙක්ට සදාකාල ජීවනය ලැබෙන්නේ නැහැ කියලා ඔයාලා දන්නවා.+ 16  යේසුස් අපි වෙනුවෙන් ඔහුගේ ජීවිතය දුන්න නිසා ආදරය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම්ගත්තා.+ ඒ නිසා අපිත් අපේ සහෝදරයන් වෙනුවෙන් අපේ ජීවිතය වුණත් දෙන්න බැඳිලා ඉන්නවා.+ 17  ඒත් එදිනෙදා ජීවත් වෙන්න ඕනෙ කරන දේවල් තියෙන කෙනෙක් එයාගේ සහෝදරයාට අගහිඟකම් තියෙනවා කියලා දැකදැකත් එයාට අනුකම්පාවෙන්* සලකන්නේ නැහැ කියලා හිතන්න. ඒ කෙනාට දෙවියන් ගැන ආදරයක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද?+ 18  මගේ දරුවෙනි, අපේ ආදරේ වචනවලට විතරක් සීමා වෙන්න හොඳ නැහැ.+ ඒක අවංක ආදරයක් වෙන්න ඕනේ.+ ඒක අපි වැඩ කරන විදිහෙන්+ පේන්න ඕනේ. 19  එහෙම කරද්දී ඒකෙන් පැහැදිලි වෙනවා අපි සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවා කියලා. දෙවියන් අපිට ආදරෙයි කියන දේ ගැන කිසිම සැකයක් නැතුව ඉන්නත්* අපිට පුළුවන්. 20  ඒ නිසා මොකක් හරි හේතුවකට අපේ හිත් අපිට දොස් කිව්වත් දෙවියන් අපිට වඩා හොඳින් අපේ හිත් ගැන දන්නවා*+ කියලත් ඔහු හැම දේම දන්නවා කියලත් අපිට නිසැකයි. 21  ආදරණීය සහෝදරයෙනි, අපේ හිත් අපිට දොස් කියන්නේ නැත්නම් කිසිම බයක් නැතුව දෙවියන් එක්ක කතා කරන්න+ අපිට පුළුවන් වෙනවා. 22  ඒ වගේම අපි ඔහුගේ ආඥාවලට කීකරු වෙන නිසාත් ඔහු සතුටු වෙන විදිහට ජීවත් වෙන නිසාත් අපි ඉල්ලන ඕනෙම දෙයක් ඔහු අපිට දෙනවා.+ 23  ඔහුගේ පුතා වන යේසුස් ක්‍රිස්තුස්* ගැන විශ්වාස කරන්න+ කියලත් ඔහු* අපිට කියලා තියෙන විදිහට එකිනෙකාට ආදරේ කරන්න+ කියලත් දෙවියන් අපිට ආඥා කළා. 24  දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙන කෙනා ඔහු* එක්ක එකට බැඳිලා ඉන්නවා. දෙවියනුත් ඒ කෙනා එක්ක එකට බැඳිලා ඉන්නවා.+ ඔහු අපි එක්ක එකට බැඳිලා ඉන්නවා කියලා අපි දන්නේ ඔහු අපිට ලබා දුන්න බලය නිසයි.+

පාදසටහන්

^ මූ.අ., “දෙවියන්ගේ දරුවන්.”
^ ඒ කියන්නේ අපිට මොන වගේ පෙනුමක් ලැබෙයිද කියන එක.
^ ඒ කියන්නේ අපිටත් ඔහුට වගේ පෙනුමක් ලැබෙනවා.
^ හෝ, “යක්ෂයා තමන් යක්ෂයා වුණ දවසේ ඉඳන්.”
^ මූ.අ., “දෙවියන්ගෙන් ඉපදුණ.”
^ මූ.අ., “බීජය.” ඒ කියන්නේ පල දරන්න පුළුවන් බීජයක්.
^ මූ.අ., “ධර්මිෂ්ඨ දේ.”
^ මූ.අ., “දයානුකම්පාවෙන්.”
^ හෝ, “අපිටම ස්ථිර කරගන්නත්.”
^ මූ.අ., “දෙවියන් අපේ හිත්වලට වඩා උසස්.”
^ මූ.අ., “යේසුස් ක්‍රිස්තුස්ගේ නම.”
^ මෙතන කතා කරන්නේ යේසුස් ගැන වෙන්න ඇති.
^ දෙවියන්ව නැත්නම් යේසුස්ව අදහස් වෙන්න පුළුවන්.