Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලයෙන් ලියුමක්

පාලක මණ්ඩලයෙන් ලියුමක්

දයාබර මිතුර:

“අප හා සමාන හැඟීම් තිබුණු,” අපි වගේම හිතපු හුඟක් අය ගැන බයිබලේ කතා කරනවා. (යාකොබ් 5:17) ඒ අයගෙන් සමහරු විවිධ ප්‍රශ්න නිසා, කනස්සල්ල නිසා මානසිකව වැටුණා. අනිත් අය කියපු කරපු දේවල් නිසා හිත රිදුණු අයත් හිටියා. තවත් අය තමන් අතින් වුණු වැරදි නිසා හිතින් දුක් වින්දා.

ඒ හේතු නිසා ඒ අය යෙහෝවා දෙවිගෙන් ටිකක් ඈත් වුණත් සදහටම දෙවිව අමතක කළේ නැහැ. ඔවුන් හිතුවේ ගීතිකාකරු වගේමයි. ඔහු කිව්වේ “අතරමං වූ බැටළුවෙකු මෙන් මම මංමුළා වුණෙමි. ඔබේ සේවකයාව සොයා, නැවත රැගෙන යන්න. මන්ද ඔබේ සේවකයා වන මට ඔබේ ආඥා අමතක වී නැත” කියලයි. (ගීතාවලිය 119:176) ඔයාටත් හිතෙන්නේ එහෙමද?

රැළෙන් ඈතට ගිහින් මංමුළා වුණු අයව යෙහෝවා දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔහු ඒ අයව හොයාගෙන යනවා. හුඟක් වෙලාවට ඔහු ඒක කරන්නේ තමන්ගේ සේවකයන් මාර්ගයෙන්. යෝබ්ගේ සිද්ධිය ඒකට හොඳ උදාහරණයක්. ඔහු හුඟක් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දුන්නා. අර්ථිකය බිංදුවටම වැටුණා. දරුවෝ මිය ගියා. දරුණු ලෙඩකින් දුක් වින්දා. සහනයක් වෙනවා වෙනුවට යාළුවෝ ඔහුගේ හිත රිද්දුවා. ඒ මොන දේ වුණත් ඔහු කවදාවත් යෙහෝවා දෙවිට ද්‍රෝහි වුණේ නැහැ. ඔහුගෙන් වුණු එකම අඩුව දෙවි ගැන වැරදියට හිතුව එකයි. (යෝබ් 1:22; 2:10) දෙවි යෝබ්ට උදව් කළේ කොහොමද?

යෝබ්ට උදව් කරන්න යෙහෝවා දෙවි එලිහුව යැව්වා. යෝබ් තමන්ගේ හිතේ දුක කියද්දී එලිහු අහගෙන හිටියා. ඊටපස්සේ ඔහු යෝබ්ට බැන්නද? හිත රිදෙන විදිහට, ලැජ්ජාවක් ඇති වෙන විදිහට කතා කළාද? යෝබ්ට වඩා තමන් ධර්මිෂ්ඨයි කියලා පෙන්නන්න හැදුවද? නැහැ. ඒ වෙනුවට ඔහු කිව්වේ “සැබෑ දෙවි ඉදිරියේ ඔබත් මාත් එක හා සමානය. ඔබව මෙන්ම මාවද සාදා තිබෙන්නේ මැටිවලිනි” කියලා. ඊටපස්සේ ඔහු යෝබ්ව සනසවමින් “මට බිය වන්න කිසිදු හේතුවක් නැත. මම ඔබේ සිත බිඳ දමන්න කිසිවක් පවසන්නේද නැත” කියලා කිව්වා. (යෝබ් 33:6, 7) වේදනාවෙන් හිටපු යෝබ්ගේ හිත තවත් පාරනවා වෙනුවට එලිහු යෝබ්ට ආදරෙන් දේවල් කියලා දුන්නා. එයාගේ හිතට හයියක් වුණා.

මේ සඟරාව සකස් කරද්දී අපිත් කළේ එදා යෝබ්ට උදව් කරන්න එලිහු කරපු දේමයි. මුලින්ම, දෙවිගෙන් ඈත් වෙලා ගිය හුඟක් අයගේ හැඟීම්වලට අපි සවන් දුන්නා. ඒ කියන්නේ ඒ අය කියපු දේවල්, ඒ අය අත්විඳින තත්වයන් අපි සැලකිල්ලට ගත්තා. (හිතෝපදේශ 18:13) ඊළඟට, අතීතයේදී ඒ වගේම තත්වයන්ට මුහුණ දුන්න විශ්වාසවන්ත අයට යෙහෝවා දෙවි උදව් කළේ කොහොමද කියලා බයිබලෙන් හොයලා බැලුවා. එහෙම කරද්දී උදව් ඉල්ලලා දෙවිට යාච්ඤා කළා. අන්තිමට අපි අධ්‍යයනය කරපු ඒ බයිබල් වාර්තා සහ මෑත කාලයේදී ඒ වගේම තත්වයන්ට මුහුණ දුන්න අයගේ අද්දැකීම් එකට එකතු කරලා මේ සඟරාව සකස් කළා. ඒ විදිහට ඔයා වෙනුවෙන්ම සකස් කරපු මේ සඟරාව නිවිහැනහිල්ලේ කියවලා හොඳට හිතලා බලන්න කියලා අපි ඔයාගෙන් ඉල්ලනවා. අපි ඔයාට හුඟක් ආදරෙයි කියලා අමතක කරන්න එපා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය