Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

ලූක් 2:14 - “පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවා!”

ලූක් 2:14 - “පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවා!”

 “ස්වර්ගයේ සිටින දෙවිට සියලුම ප්‍රශංසා හා ගෞරවය ලැබේවා! මිහිපිට දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්ට සමාදානය වේවා!”—ලූක් 2:14, ‘නව ලොව පරිවර්තනය.’

 “ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවා!”—ලූක් 2:14, ‘පැරණි අනුවාදය.’

ලූක් 2:14 අදහස

 දෙවියන්ට ප්‍රශංසා කරන්න දේවදූතයන් ඒ වචන කිව්වේ යේසුස් ඉපදුණ අවස්ථාවේදී. ඒ වචනවලින් පෙන්නුවේ යේසුස් ගැන විශ්වාසය තියන කෙනෙක්ට දෙවියන්ගේ අනුමැතිය වගේම සමාදානය ලැබෙනවා කියලයි.

 “ස්වර්ගයේ සිටින දෙවිට සියලුම ප්‍රශංසා හා ගෞරවය ලැබේවා!” දේවදූතයන් ඒ වචනවලින් කාවැද්දුවේ දෙවියන් හැම ප්‍රශංසාවක්ම ලබන්න වටිනවා කියලා. ඒ වගේම යේසුස්ගේ උපත සහ ඔහු මේ පොළොවේදී කරපු සේවය යෙහෝවා a දෙවියන්ට ගෞරවය ලැබෙන ප්‍රධානම විදිහක් කියලත් ඒකෙන් පෙන්නුවා. උදාහරණෙකට යේසුස් උගන්නද්දී හැම වෙලේම දෙවියන්ට ගෞරවය දුන්නා. ඔහු එක අවස්ථාවකදී කිව්වා “මා උගන්වන්නේ මගේ අදහස් නොව මාව එවූ තැනැත්තාගේ අදහස්” කියලා. (යොහන් 7:16-18) යේසුස් ආශ්චර්යයන් කරන විදිහ බලන් හිටපු අය “දෙවිට ප්‍රශංසා කරන්න” පෙලඹුණෙත් ඒ නිසයි. (ලූක් 5:18, 24-26; යොහන් 5:19) ජීවත් වෙද්දී විතරක් නෙවෙයි යේසුස් මැරෙද්දීත් දෙවියන්ට ගෞරවය ලැබුණා. මොකද ධර්මිෂ්ඨ මිනිස්සුන්ගෙන් මේ පොළොව පුරවන්න දෙවියන්ට තියෙන අරමුණ ඉටු කරන්න මඟ විවෘත වුණේ යේසුස්ගේ මරණය නිසයි.—උත්පත්ති 1:28.

 ‘මිහිපිට සමාදානය වේවා!’ එතන කතා කරන්නේ යුද්ධ නැති වෙද්දී ලැබෙන සමාදානය ගැන නෙවෙයි. ඒ වෙනුවට එතන කියන්නේ අපේ ඇතුළාන්තයෙන්ම එන සමාදානයක් ගැනයි. කෙනෙක්ට ඒ වගේ සමාදානයක් ලැබෙන්නේ දෙවියන්ගේ අනුමැතිය ලැබෙද්දී විතරයි. යේසුස් නිසා අපි ඕනම කෙනෙක්ට පුළුවන් දෙවියන් එක්ක හොඳ බැඳීමක් ඇති කරගෙන ඒ වගේ සමාදානයක් අද්දකින්න. (යාකොබ් 4:8) ඒ වගේම දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස් මාර්ගයෙන් මේ පොළොවේ ඉන්න හැමෝටම සදහටම සමාදානය ලැබෙනවා.—ගීතාවලිය 37:11; ලූක් 1:32, 33.

 “දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්ට.” එතන කතා කරන්නේ දෙවියන් ගැන, යේසුස් ගැන ඇත්තටම විශ්වාසය තියන අයට දෙවියන් දෙන අනුමැතිය ගැනයි. හැබැයි සමහර පරිවර්තනවල ඒක පරිවර්තනය කරලා තියෙන්නේ “මිනිසුන් වෙනුවෙන් යහපත් දේවල් කරන අයට” කියලයි. ඒත් ඒ පරිවර්තනවල කියන විදිහට මිනිස්සුන්ගේ ආකල්ප, ක්‍රියා මොනවා වුණත් දෙවියන් පොදුවේ හැමෝටම අනුමැතිය දෙනවා කියලා නෙවෙයි ඒ පදේ කියන්නේ. ඒ වෙනුවට පැරණි, විශ්වාසවන්ත ග්‍රීක අත්පිටපත්වල පෙන්නන විදිහට ඒකේ අදහස “දෙවියන්ගේ අනුමැතිය ලැබුණ මිනිස්සු” කියන එක. ඒ නිවැරදි අදහස ‘නව ලොව පරිවර්තනය’ ඇතුළු හුඟක් නවීන පරිවර්තනවල දකින්න තියෙනවා.

ලූක් 2:14 අවට පද

 ලූක් 2වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන්නේ මිනිසෙක් විදිහට යේසුස් ගත කරපු ජීවිතේ මුල් කාලේ ගැනයි. යේසුස් ඉපදුණ වෙලාවේ “එළිමහනේ මාරුවෙන් මාරුවට තමන්ගේ බැටළු රැළවල් රැකබලා ගනිමින් හිටපු” එඬේරුන් ඉස්සරහට දේවදූතයෙක් ආවා. b (ලූක් 2:4-8) ඒ දේවදූතයා කිව්වා “සියලු ජාතීන්ට මහත් ප්‍රීතියක් ගෙන දෙන” ශුභාරංචියක් තියෙනවා කියලා. ඊටපස්සේ එයා එඬේරුන්ට මෙහෙම කිව්වා. “අද දාවිත්ගේ නුවරෙහි ඔබට ගැලවුම්කරුවෙක් ඉපදී සිටිනවා. ස්වාමීන් වන ක්‍රිස්තුස් කියන්නේ ඔහුටයි.” (ලූක් 2:9-11) ඒ විතරක් නෙවෙයි යේසුස් ඉපදුණේ කොහෙද කියලත් දේවදූතයා එඬේරුන්ට කිව්වා. ඊළඟට එඬේරු දැක්කා දේවදූත සමූහයක් දෙවියන්ට ප්‍රශංසා කරන විදිහ. පස්සේ එයාලා බෙත්ලෙහෙමට ගියාම එයාලට පුංචි යේසුස්වයි, යෝසෙප්වයි, මරියාවයි හම්බ වුණා. (ලූක් 2:12-16) මේ පුදුමාකාර දේවල් ඇස් දෙකෙන්ම දැක්කාට පස්සේ ඒ එඩේරු “දෙවිට ප්‍රශංසා හා ගෞරවය දෙමින් තමන් සිටි ස්ථානයට අයෙත් හැරිලා ගියා.”—ලූක් 2:17-20.

 ලූක් පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.

b ඒක ශීත කාලේ නෙවෙයි. ඒ නිසයි එඬේරු එළිමහනේ හිටියේ. ඒ ගැන තවත් විස්තර දැනගන්න “යේසුස් ඉපදුණේ කවදාද?” කියන ලිපිය බලන්න.