Skip to content

පටුනට යන්න

උපයන මුදලට සරිලන ලෙස ජීවත් විය හැක්කේ කෙසේද?

උපයන මුදලට සරිලන ලෙස ජීවත් විය හැක්කේ කෙසේද?

පුද්ගලයෙක් උපයන මුදලට වඩා වැඩියෙන් වියදම් කරනවා නම් එවැනි කෙනෙක් උපයන මුදලට සරිලන ලෙස ජීවත් වෙනවා කියා පවසන්න බැහැ. එවැනි අයට ආර්ථික ගැටලු රැසකට මුහුණ දීමට සිදු වෙනවා.

එවැනි ගැටලු මඟහරවා ගැනීම සඳහා කළ හැක්කේ කුමක්ද? ඒ සඳහා උපයන මුදලට වඩා වැඩියෙන් වියදම් කිරීමෙන් වැළකී සිටිය යුතුයි.

නමුත් එය එතරම් පහසු නැහැ. ඒ සඳහා යම් උත්සාහයක් දැරිය යුතුයි. ඒ සම්බන්ධයෙන් වටිනා මඟ පෙන්වීම් රැසක් බයිබලයේ සඳහන් වෙනවා. ඉන් කිහිපයක් අපි සලකා බලමු.

බයිබලයේ සඳහන් වටිනා මඟ පෙන්වීම්

මූල්‍යමය ගැටලු මඟහරවා ගැනීමට දායක වන වටිනා මඟ පෙන්වීම් බයිබලයේ ඇතුළත් වී තිබෙන බව සමහරවිට ඔබ දැන නොසිටින්න ඇති. එම මඟ පෙන්වීම් සලකා බැලීමෙන් ඒවා කොතරම් වටිනවාද කියා ඔබටම වැටහෙයි.

සැලැස්මක් ඇතුව වියදම් කරන්න.

මුදල් නිසි ලෙස භාවිත කිරීමට නම් කොතරම් මුදලක් උපයනවාද කියාත් එය වියදම් කළ යුත්තේ කුමක් සඳහාද කියාත් ඔබ දැන සිටිය යුතුයි. “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි. එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (හිතෝපදේශ 21:5) සැලැස්මක් ඇතුව මුදල් වියදම් කිරීම සඳහා ඇතැම් අය එක් එක් වියදම් සඳහා මුදල් වෙන් කර ඒවා වෙන වෙනම ලියුම් කවරවලට දමනවා. උදාහරණයකට “කෑම බීම,” “ගෙවල් කුලී,” “ඇඳුම් පැළඳුම්” ආදි වශයෙන් ඔවුන් ලියුම් කවර වෙන් කරගෙන අදාළ මුදල් ඒවායේ දමනවා. සැලැස්මක් ඇතුව වියදම් කිරීමට ඔබ කුමන ක්‍රමයක් යොදාගත්තත් වඩා වැදගත් වන්නේ ඔබ මුදල් වියදම් කරන්නේ මොනවාටද යන්න දැන සිටීමයි. අත්‍යවශ්‍ය දේවලට පමණක් මුදල් වියදම් කිරීමට වගබලා ගන්න.

අන් අය කරන දේවල් කිරීමට උත්සාහ කරන්න එපා.

සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන බොහෝ මිනිසුන් සංවර්ධිත රටවල ජීවත් වන මිනිසුන් සතු දේවල්ම ලබාගැනීමට ආශාවක් දක්වනවා. එමෙන්ම අසල්වැසියන් මිල දී ගන්නා දේවල්ම ලබාගැනීමට උත්සාහ කරන මිනිසුන් මේ සමාජයේ ඕනෑ තරම් සිටිනවා. නමුත් එය ඥානවන්ත දෙයක් නොවෙයි. එයට හේතුව සමහරවිට අසල්වැසියන් දේවල් මිල දී ගන්නේ ලොකු අවදානමක් ඇතුව විය හැකියි. එසේනම් ඒ අඥාන දේම කිරීමෙන් ඔබත් අනතුරේ වැටෙන්නේ ඇයි? බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඊර්ෂ්‍යා කරන තැනැත්තා වස්තුව ලබාගන්න වෙහෙසෙයි. එහෙත් පසුව ඔහුට අගහිඟකම් විඳින්න සිදු වන බව ඔහු නොදනියි.”—හිතෝපදේශ 28:22.

සරල ජීවිතයකට හුරු වන්න.

ඇස “සරලව” තබාගන්න කියා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පැවසුවා. (මතෙව් 6:22හි පාදසටහන.) ඔබේ ආර්ථිකය ඔබට ඉඩ දෙන්නේ සරල ආහාර ගැනීමට නම් රජ බොජුන් ලබාගැනීමට උත්සාහ කරන්න එපා. ආසියානු සංවර්ධන බැංකුවෙන් පළ කරන ලද වාර්තාවකට අනුව පිලිපීනයේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ සහ ඉන්දියාවේ ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි දෙනෙක් දිනකට උපයන්නේ රුපියල් 150ක් වැනි සුළු මුදලක් පමණයි. එතරම් අඩු ආදායමක් ලබන අය තම මූලික අවශ්‍යතා සඳහා පමණක් මුදල් වියදම් කිරීම ඉතා වැදගත්. ධනවත් රටවල සිටින අය පවා එලෙස කටයුතු කරනවා නම් මූල්‍යමය ගැටලු රැසක් මඟහරවා ගත හැකියි.

අත්‍යවශ්‍ය දේවල් තිබෙනවා නම් සෑහීමට පත් වෙන්න.

සරල ජීවිතයක් ගත කිරීමට නම් අත්‍යවශ්‍ය දේවලින් සෑහීමට පත් විය යුතුයි. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “අපට කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.” (1 තිමෝති 6:8) ලොව පුරා සිටින මිනිසුන් අතරින් සතුටින් ජීවත් වන්නේ ධන සම්පත් ඇති අය පමණක් නොවෙයි. එතරම් මිලමුදල් නැති අයත් සතුටින් ජීවත් වෙනවා. ඊට හේතුව තිබෙන දේවලින් ඔවුන් සෑහීමට පත් වන නිසයි. ඒ වගේම පවුලේ අයගේ සහ මිතුරන්ගේ ආදරය ලැබීමත් සතුටින් ජීවත් වීමට දායක වී තිබෙනවා.—හිතෝපදේශ 15:17.

අනවශ්‍ය ලෙස ණය වීමෙන් වළකින්න.

“ධනවතා දුප්පතුන්ව පාලනය කරයි. ණයගැතියා ණයහිමියාගේ සේවකයෙකි” කියා බයිබලයේ සඳහන් වදන් කොතරම් සත්‍යයක්ද! (හිතෝපදේශ 22:7) සමහර අවස්ථාවලදී අත්‍යවශ්‍ය කාරණා නිසා ණය වීමට සිදු විය හැකියි. නමුත් අනවශ්‍ය දේවල් ලබාගැනීමට ණය වීමෙන් මූල්‍යමය ගැටලු ඇති වෙනවා. ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන අය පහසුවෙන්ම ඒ උගුලට හසු විය හැකියි. ඒ ගැන ටයිම් සඟරාවේ මෙසේ සඳහන් වුණා. “ක්‍රෙඩිට් කාඩ්පතක් අතේ තියෙන කොට හිතන්නේ බලන්නේ නැතුව මිනිසුන් එක එක දේවල් මිල දී ගන්නවා.” පිලිපීනයේ වෙසෙන එරික් ඒ ගැන මෙසේ පවසනවා. “මම ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන කොට සල්ලි දීලා ගන්නවාට වඩා වැඩියෙන් දේවල් අරගන්නවා. හැබැයි බිල් ගෙවන්න ගියාම තමයි මම අමාරුවේ වැටෙන්නේ.” ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීමේදී කොතරම් කල්පනාකාරී විය යුතුද කියා පැහැදිලියි.—2 රාජාවලිය 4:1; මතෙව් 18:25.

මුදල් ඉතුරු කරගැනීමෙන් යම් දේවල් මිල දී ගන්න.

යමක් මිල දී ගැනීම සඳහා මුදල් ඉතුරු කරගැනීම අද බොහෝදෙනෙකුට හුරු නැති දෙයක් විය හැකියි. නමුත් එසේ කිරීමෙන් ණය වීම නිසා ගෙවීමට සිදු වන අධික පොලී මුදල් ගෙවීමට ඔබට සිදු වන්නේ නැහැ. ඉතුරු කිරීම සම්බන්ධයෙන් කුහුඹුවන්ගෙන් අපට වටිනා පාඩමක් ඉගෙනගත හැකියි. උන් අනාගතයේදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ‘අස්වැන්න නෙළන කාලයේදී ආහාර රැස් කරගන්නවා.’ ඒ නිසා කුහුඹුවන්ව බයිබලයේ විස්තර කර තිබෙන්නේ “සහජයෙන්ම ප්‍රඥාවන්ත” සතුන් ලෙසයි.—හිතෝපදේශ 6:6-8; 30:24, 25.

අන් අයගේ අද්දැකීම්වලින් ඉගෙනගන්න

අපි සලකා බැලූ මඟ පෙන්වීම් ඉතා වටිනා බව පැහැදිලියි. නමුත් තමන් උපයන මුදලට අනුව ජීවත් වීම සඳහා එම මඟ පෙන්වීම් මිනිසුන්ට උපකාරවත් වී තිබෙනවාද? එය දැනගැනීමට අපි අද්දැකීම් කිහිපයක් සලකා බලමු.

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ තම පවුලේ වියදම් දැරීම පහසු නැති බව දරුවන් හතරදෙනෙකුගේ පියෙක් වන ඩියොස්ඩාඩෝ පැවසුවා. කොහොමවුණත් තමන් උපයන ආදායම සහ එය වියදම් වූ ආකාරය සටහන් කිරීම ප්‍රයෝජනවත් බව වටහාගෙන තිබූ ඔහු ඒ ගැන මෙසේ පැවසුවා. “මම උපයන මුදල් වියදම් කරන්නේ මොනවාටද කියලා සැලසුම් කරනවා. ඒ වගේම හැම වියදමක්ම මම සටහන් කරගන්නවා.” එවැනිම ක්‍රමයක් අනුගමනය කරන ඩානිලෝගේ අද්දැකීමත් සලකා බලන්න. ඔහුත් ඔහුගේ බිරිඳත් කරමින් සිටි කුඩා ව්‍යාපාරය අසාර්ථක වුණා. නමුත් ඔවුන් අරපිරිමැස්මෙන් මුදල් වියදම් කළ නිසා තම අවශ්‍යතා වෙනුවෙන් මුදල් ඉතුරු කරගැනීමට හැකි වුණා. ඩානිලෝ ඒ ගැන මෙසේ පැවසුවා. “මාස්පතා අපිට කොච්චර මුදලක් උපයන්න පුළුවන්ද කියලා අපි දන්නවා. ඒ වගේම කරන්න තියෙන වියදම් මොනවාද කියලත් අපි දන්නවා. ඒ නිසා අමතර දේවලට කොච්චර මුදලක් වියදම් කරන්න පුළුවන්ද කියලා අපි දෙන්නා තීරණය කරනවා.”

ඇතැම් අය ඔවුන්ට ලැබෙන ආදායමට අනුව ජීවත් වීම සඳහා සමහර වියදම් කපාහැර තිබෙනවා. දරුවන් තිදෙනෙක් සිටින වැන්දඹුවක් වන මර්නා පැවසූ දේ සලකා බලන්න. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම්වලට අපි යන්නේ පයින්. ඒ නිසා ගමන් ගාස්තු ඉතුරු කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. බයිබලයේ 1 තිමෝති 6:8-10 දක්වා සඳහන් විදිහට, තියෙන දෙයින් සෑහීමට පත් වෙලා ඉන්න එකේ වටිනාකම මගේ ආදර්ශයෙන්ම දරුවන්ට උගන්වන්න මම උත්සාහ කළා.”

දෙදරු පියෙක් වන ජෙරල්ඩ් පැවසූ දේ සලකා බලන්න. “පවුලක් විදිහට අපි බයිබලයේ තියෙන දේවල් සාකච්ඡා කරන කොට දෙවිගේ නමස්කාරයට මුල් තැන දුන්න ක්‍රිස්තියානීන්ගේ අද්දැකීම් ගැනත් සලකා බලනවා. ඒක හුඟක් ප්‍රයෝජනවත්. දැන් අපේ දරුවන් අනවශ්‍ය දේවල් ඉල්ලලා කරදර කරන්නේ නැහැ.”

පිලිපීනයේ සිටිමින් දෙවිට පූර්ණකාලීනව සේවය කරන ජැනට්ගේ අද්දැකීම සලකා බලන්න. ඇය කරමින් සිටි රැකියාව ඇයට අහිමි වුණා. ඒ වුණත් ඇය තමන් ළඟ ඇති මුදලට සරිලන ලෙස ජීවත් වෙනවා. ඒ ගැන ඇය පැවසුවේ මෙයයි. “මං ළඟ තියෙන දේවල් පාවිච්චි කරන විදිහ ගැන මම හුඟක් සැලකිලිමත් වෙනවා. මම වියදම් කරන්නේ අත්‍යවශ්‍ය දේවලට විතරයි. ඒ වගේම ලොකු කඩසාප්පුවලට යනවාට වඩා ලාභෙට බඩු මිල දී ගන්න පුළුවන් තැන්වලට තමයි මම යන්නේ. ලාභෙට ගන්න පුළුවන් දේවලට වැඩිපුර සල්ලි ගෙවලා ගන්න මම කැමති නැහැ. ඕනෙම දෙයක් මිල දී ගන්න කලින් මම ඒ ගැන හොඳට හිතලා බලනවා.” හදිසි අවස්ථාවක් සඳහා මුදල් ඉතුරු කරන එක කොච්චර වැදගත්ද කියා ජැනට් තේරුම්ගෙන සිටිනවා. ඒ ගැනත් ඇය මෙසේ පැවසුවා. “අත්‍යවශ්‍ය දේවලට වියදම් කළාට පස්සේ මගේ අතේ පොඩි මුදලක් හරි ඉතුරු වුණොත් මම ඒක වියදම් කරන්නේ නැතුව හදිසි අවස්ථාවකදී ගන්න ඉතුරු කරගන්නවා.”

කලින් සඳහන් කළ එරික්, ක්‍රෙඩිට් කාඩ්පත් ගැන මෙසේ පැවසුවා. “මම ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්නේ අත්‍යවශ්‍ය වෙලාවකදී විතරයි.” ඩියොස්ඩාඩෝ පැවසූ දෙයත් සලකා බලන්න. “ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන එක අඩු කරන්න ඕනේ නිසා මම ඕනකමින්ම ඒක මගේ කාර්යාලයේ තියලා එනවා.”

ලැබෙන මුදලට සරිලන සේ ජීවත් වන්න ඔබටත් පුළුවන්

බයිබලයේ මූලිකවම සඳහන් වන්නේ යෙහෝවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට දායක වන තොරතුරු වුණත් එහි එදිනෙදා ජීවිතයට උපකාරවත් වන මඟ පෙන්වීම්ද තිබෙනවා. (හිතෝපදේශ 2:6; මතෙව් 6:25-34) අපි බයිබලයෙන් සලකා බැලූ මඟ පෙන්වීම් ඔබේ ජීවිතයට අදාළ කරගැනීමෙන් සහ ඒවා අදාළ කරගත් අයගේ අද්දැකීම්වලින් ඉගෙනගැනීමෙන් ඔබටත් ලැබෙන මුදලට අනුව ජීවත් වීමට හැකි වෙයි. එමගින් බොහෝ අය අද්දකින මූල්‍යමය ගැටලුවලින් ආරක්ෂා වී සිටීමට ඔබට හැකි වෙනවා.