2 රාජාවලිය 4:1-44

4  දිනක් එලිෂාව හමු වීමට එක්තරා කාන්තාවක් පැමිණියාය. ඇය අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්ගෙන් කෙනෙකුගේ බිරිඳකි.+ ඇය එලිෂාට ඉතා දුකින් මෙසේ කීවාය. “ඔබේ සේවකයා වන මගේ ස්වාමිපුරුෂයා මිය ගියා. ඔහුට යෙහෝවා දෙවි කෙරෙහි මොන තරම් ගරුබියක් තිබුණද+ කියා ඔබ හොඳින් දන්නවා. නමුත් දැන් සිදු වී තිබෙන දේ බලන්න. ණය හිමියා+ මගේ දරුවන් දෙදෙනාවම වහල්කමට ගෙන යන්න හදනවා.”  එය ඇසූ එලිෂා, “මට ඔබ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා බලමු”+ යයි පවසමින් ඇගෙන් මෙසේ ඇසුවේය. “දැනට ඔබේ ගෙදර ඉතුරු වී තිබෙන්නේ මොනවද?” ඇය පිළිතුරු දෙමින්, “තෙල් බඳුනක් හැර වෙන කිසිම දෙයක් ඔබේ සේවිකාවගේ ගෙදර ඉතුරු වී නැහැ”+ කියා කීවාය.  එවිට ඔහු මෙසේ කීවේය. “දැන් ගිහින් ඔබේ සෑම අසල්වැසියෙකුගෙන්ම හිස් භාජන ඉල්ලගන්න. හිස් භාජන පුළුවන් තරම් ප්‍රමාණයක් අරගෙන එන්න.  ඉන්පසු ඔබත් ඔබේ පුත්‍රයනුත් ගෙට ගිහින් දොර වසාගෙන ඔබ ළඟ තිබෙන තෙල් ටික ඒ භාජනවලට වත් කරන්න. තෙල් පිරවූ භාජන ටික වෙනම තබන්න.”  ඉන්පසු ඇය එතැනින් පිටත්ව ගියාය. ඇයත් ඇගේ පුත්‍රයනුත් ගෙට ගොස් දොර වැසූ පසු ඇගේ පුත්‍රයෝ ඒ එක් එක් භාජන ඇයට ගෙනැවිත් දුන්නෝය. ඇය ඒවාට තෙල් පිරෙව්වාය.+  ඒ භාජන සියල්ලම පිරුණු පසු, “තව භාජනයක් මට ගෙනත් දෙන්න”+ යයි ඇය තම පුත්‍රයෙකුට කීවාය. නමුත් ඔහු, “තව භාජන ඉතුරු වී නැහැ” කියා ඇයට පැවසුවේය. ඒ මොහොතේදීම ඇගේ බඳුනේ තිබූ තෙල් සිඳී ගියේය.+  ඉන්පසු ඇය ගොස් සැබෑ දෙවිගේ අනාගතවක්තෘට මේ ගැන පැවසූ විට, “දැන් ගිහින් තෙල් ටික විකුණා ඔබේ ණය ගෙවා+ ඉතුරු මුදලින් ඔබත් ඔබේ පුත්‍රයනුත් ජීවත් වෙන්න”+ කියා ඔහු කීවේය.  දවසක් එලිෂා ෂුනෙම් නගරයට+ ගියේය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් තම නිවසට ඇවිත් කෑම කන්න කියා ඔහුට පෙරැත්ත කළාය.+ එබැවින් ඔහු ඒ නිවස පසු කර ගිය සෑම අවස්ථාවකදීම එහි නැවතී කෑම කෑවේය.  ටික කලකට පසුව ඈ තම ස්වාමිපුරුෂයාට මෙසේ කීවාය.+ “නිතරම මේ පැත්තෙන් යන එන ඔහු දෙවිට ඉතා කැපවීමෙන් සේවය කරන කෙනෙක් බව පැහැදිලියි.+ 10  අපට බැරිද උඩුමහලේ කුඩා කාමරයක්+ ඔහුට හදලා දෙන්න? ඇඳකුයි, මේසයකුයි, පුටුවකුයි, පහන් රුකකුයි+ අපි එහි තබමු. එවිට අපේ ගෙදරට ආවාම ඔහුට ඒ කාමරයේ විවේක ගන්න පුළුවන් වෙයි.”+ 11  දිනක් එලිෂා සුපුරුදු පරිදි ඒ ගෙදරට පැමිණ උඩුමහල් කාමරයට ගොස් ටිකක් නිදාගත්තේය. 12  පසුව ඔහු තම සේවකයා වූ ගෙහාසීට+ කතා කර, “ඇවිත් මාව හම්බ වෙන්න කියා අර ෂුනෙම් ජාතික ස්ත්‍රියට+ කියන්න” යයි කීවේය. ගෙහාසී ගොස් ඇයට ඒ බව කී විට ඇය එලිෂාව හමු වීමට පැමිණියාය. 13  එලිෂා ගෙහාසීට මෙසේ කීවේය. “ඇයට මෙහෙම කියන්න. ‘ඔබ අපිට ඔබේ නිවසේ කාමරයක් හදලා දුන්නා. ඔබ අපි වෙනුවෙන් මොන තරම් කරදර වෙනවාද!+ ඔබ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවාද?+ රජතුමාගෙන්+ හෝ හමුදාවේ ප්‍රධානියාගෙන්+ හෝ ඔබට අවශ්‍ය දෙයක් තියෙනවා නම් අපි ගිහින් ඔබ වෙනුවෙන් කතා කර එය ඉල්ලා දෙන්නම්.’” එවිට ඇය මෙසේ කීවාය. “මගේම සෙනඟත් එක්ක කිසි කරදරයක් නැතුව මම ජීවත් වෙන නිසා මට උපකාරයක් නම් අවශ්‍ය නැහැ.”+ 14  එවිට එලිෂා, “මොනවාද ඇය වෙනුවෙන් අපට කරලා දෙන්න පුළුවන්” කියා ගෙහාසීගෙන් ඇසුවේය. ගෙහාසී මෙසේ කීවේය. “ඇයට තාම පුතෙක් නැහැ.+ ඇගේ ස්වාමිපුරුෂයත් දැන් වයසට ගිහින්.” 15  එලිෂා එය ඇසූ විගස, “ඇයට මෙතැනට එන්න කියන්න” යයි කීවේය. ඔහු ඇයට එන්න කී විට ඇය ඇවිත් දොරකඩ ළඟ සිටගෙන සිටියාය. 16  එවිට ඔහු මෙසේ කීවේය. “ඊළඟ අවුරුද්දේ මේ කාලය වෙද්දී ඔබට පුතෙක් ලැබෙයි.”+ නමුත් ඇය මෙසේ ඇසුවාය. “මගේ ස්වාමීනි, ඒ වගේ දෙයක් වෙන්නේ කොහොමද? සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වන ඔබ, ඇයි ඔබේ සේවිකාවට බොරු කියන්නේ?” 17  නමුත් එලිෂා කී ලෙසම+ ඈ ගැබ්ගෙන ඊළඟ අවුරුද්දේ ඔහු පැවසූ කාලයේදීම පුත්‍රයෙකු බිහි කළාය.+ 18  දරුවා දිනෙන් දින වැඩුණේය. දිනක් දරුවා සුපුරුදු පරිදි තම පියා වෙතට ගියේය. ඒ අවස්ථාවේදී පියා කෙතේ අස්වැන්න නෙළමින් සිටි මනුෂ්‍යයන් සමඟ සිටියේය.+ 19  පසුව ඔහු තම පියාට, “අනේ තාත්තේ, මගේ ඔළුව රිදෙනවා” යයි කියමින් කෙඳිරිගාන්න පටන්ගත්තේය.+ අවසානයේදී පියා එතැන සිටි සේවකයාට කතා කර, “පුතාව අම්මා ළඟට රැගෙන යන්න”+ කියා කීවේය. 20  සේවකයා දරුවාව ඔසවාගෙන ඔහුගේ මව ළඟට ගෙන ගියේය. දරුවා දවල් වන තුරු මවගේ උකුළේ සිටියේය. අන්තිමේදී ඔහු මිය ගියේය.+ 21  එවිට ඇය සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයාගේ+ ඇඳ උඩ දරුවාව තබා+ දොර වසා නිවසින් පිටත්ව ගියාය. 22  ඇය ගොස් තම ස්වාමිපුරුෂයාට කතා කර, “මට සැබෑ දෙවිගේ අනාගතවක්තෘව හමු වෙන්න ඕනේ. මම ඉක්මනින් ගිහින් එන්නම්.+ මට ගිහින් එන්න සේවකයෙක්වයි බූරුදෙනක්වයි දෙන්න පුළුවන්ද” කියා කීවාය. 23  නමුත් ඔහු, “අද නව සඳ පායන දවසක්වත්+ සබත් දවසක්වත් නෙවෙයි. ඉතින් ඇයි ඔබ දැන් ඔහුව හමු වෙන්න යන්නේ” කියා ඇසුවේය. එහෙත් ඇය මෙසේ කීවාය. “ඒකට කමක් නැහැ. මම ගිහින් එන්නම්.” 24  පසුව ඇය බූරුදෙනව ගමනට සූදානම් කර+ සේවකයාට මෙසේ පැවසුවාය. “මා ගැන කරදර වෙන්නේ නැතුව බූරුදෙනව දක්කගෙන දිගටම යන්න. මම කියන තුරු නතර වෙන්න එපා.” 25  මෙසේ ඈ කර්මෙල් කන්දේ සිටි සැබෑ දෙවිගේ අනාගතවක්තෘ වෙතට පැමිණියාය. ඇය පැමිණෙනවා දුර සිටම දුටු සැබෑ දෙවිගේ අනාගතවක්තෘ තම සේවක ගෙහාසීට මෙසේ කීවේය.+ “අර බලන්න! ෂුනෙම් ජාතික ස්ත්‍රිය මේ පැත්තට එනවා. 26  ඉක්මනට ගිහින්, ‘ඔබේ සැප සනීප කොහොමද? ඔබේ ස්වාමිපුරුෂයාට කොහොමද? ඔබේ පුතා සනීපෙන් ඉන්නවාද’ කියා ඇගෙන් අහන්න.” ඔහු ගොස් ඇගෙන් එසේ ඇසූ විට ඇය මෙසේ කීවාය. “අපි හොඳින් ඉන්නවා.” 27  ඇය කන්දේ සිටි සැබෑ දෙවිගේ අනාගතවක්තෘ ළඟට ආ විගස ඔහුගේ දෙපා ළඟ වැටුණාය.+ එය දුටු ගෙහාසී ඇයව තල්ලු කර දැමීමට+ පැමිණි විට සැබෑ දෙවිගේ අනාගතවක්තෘ+ ඔහුට මෙසේ කීවේය. “ඇයට කිසිවක් කරන්න එපා.+ ඇය බොහෝ දුකින් ඉන්නේ.+ යෙහෝවා දෙවි ඒ කාරණය මට නොකියා මගෙන් සැඟෙව්වා.”+ 28  එවිට ඇය මෙසේ කීවාය. “මට පුතෙක් ලබා දෙන්න කියා මම මගේ ස්වාමීන්ගෙන් ඉල්ලුවේ නැහැ. ‘මට බොරු පොරොන්දු දෙන්න එපා’ කියාත් මම ඔබට කිව්වේ නැද්ද?”+ 29  එකෙණෙහිම ඔහු ගෙහාසීට මෙසේ කීවේය.+ “ඉක්මනට සූදානම් වෙලා*+ මගේ සැරයටියත්+ අරගෙන යන්න. ඔබට කවුරු මුණගැසුණත් ආචාර කරන්න එපා.+ ඔබට කවුරු හෝ ආචාර කළොත් ඔහුට උත්තර දෙන්නත් එපා. ඔබ ගිහින් මගේ සැරයටිය දරුවාගේ මුහුණ මත තබන්න.”+ 30  එවිට දරුවාගේ මව, “ජීවමාන යෙහෝවා දෙවිගේ නමිනුත්+ ඔබේ නමිනුත්+ දිවුරා කියන්නේ ඔබ මා සමඟ පැමිණියොත් මිස මම මෙතැනින් යන්නේ නැහැ”+ කියා එලිෂාට කීවාය. එබැවින් එලිෂාද නැඟිට ඇය සමඟ ගියේය. 31  ගෙහාසී ඔවුන්ට කලින් දරුවා වෙතට ගොස් ඔහුගේ මුහුණ මත සැරයටිය තැබුවේය. නමුත් කිසිවක් සිදු වූයේ නැත.+ එබැවින් ගෙහාසී නැවත එලිෂා වෙතට පැමිණ, “දරුවා නැඟිට්ටේ නැහැ”+ කියා කීවේය. 32  එලිෂා ගෙදරට පැමිණි විට දරුවාගේ මළ මිනිය තම ඇඳ මත තබා තිබෙනවා දුටුවේය.+ 33  ඔහු තනිවම කාමරයට ඇතුල් වී දොර වසා+ යෙහෝවා දෙවිට යාච්ඤා කළේය.+ 34  ඉන්පසු ඔහු ඇඳ ළඟට ගොස් නැමී දරුවාව වැලඳගෙන,+ ඔහුගේ අත් දරුවාගේ අත් මතද ඔහුගේ කට දරුවාගේ කට මතද ඔහුගේ ඇස් දරුවාගේ ඇස් මතද තබාගෙන සිටියේය. දරුවාගේ ශරීරය ටිකෙන් ටික උණුසුම් වෙන්න පටන්ගත්තේය. 35  එවිට එලිෂා නැවත වරක් නිවසේ එක් පැත්තක සිට අනික් පැත්තට ඇවිදගෙන ගියේය. ඉන්පසු ඔහු ආපස්සට ඇවිදගෙන ආවේය. පසුව ඔහු ඇඳ ළඟට ගොස් දණ නමා දරුවාව වැලඳගත්තේය. ඔහු එසේ කළ විට දරුවා හත් වතාවක් කිඹුහුම් හැර ඇස් ඇරියේය.+ 36  එවිට එලිෂා ගෙහාසීව කැඳවා, “ෂුනෙම් ජාතික ස්ත්‍රියට එන්න කියන්න”+ යයි කීවේය. ඔහු ඇයව කැඳවාගෙන ආ විට, “ඔබේ පුතාව වඩාගන්න”+ යයි එලිෂා ඇයට කීවේය. 37  ඒ මොහොතේ ඇය ඔහුගේ දෙපා ළඟ වැටී පොළොව දෙසට හිස පහත් කළාය.+ ඉන්පසු ඈ තම පුත්‍රයාව වඩාගෙන කාමරයෙන් පිටතට ගියාය.+ 38  එලිෂා ආපසු ගිල්ගාල් නුවරට ගියේය.+ ඒ කාලයේදී දේශයේ සාගතයක් ඇති වී තිබිණ.+ දිනක් එලිෂා, අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්+ සමඟ එකට වාඩි වී සිටියේය.+ ඔහු තම සේවකයාට කතා කර,+ “මේ අයට කන්න කෑම ටිකක් හදලා දෙන්න”+ යයි කීවේය. 39  එතැන සිටි එක් තැනැත්තෙක් පලා කඩන්න කෙතට ගියේය.+ එහිදී ඔහු වැලක ගෙඩි වර්ගයක් තිබෙනවා දැක තමාගේ වස්ත්‍රයට එකතු කරගත හැකි ප්‍රමාණයක් කඩාගත්තේය. ඉන්පසු ඔහු පැමිණ ඒවා කපා කෑම පිසින භාජනයට දැමුවේය. නමුත් ඒවා කුමන ගෙඩි වර්ගයක්දැයි කිසිවෙක් දැන සිටියේ නැත. 40  පසුව ඔවුහු පිසින ලද ආහාරය එතැන සිටි අයට කන්න බෙදා දුන්නෝය. ඔවුන් එම කෑම කටට ගත් විගස, “මේ කෑමේ විස තියෙනවා!+ සැබෑ දෙවිගේ අනාගතවක්තෘ,+ අපි මොනවාද කරන්නේ” කියා කෑගසා කීවෝය. ඔවුන්ට එය කන්න නොහැකි විය. 41  එවිට එලිෂා, “මට පිටි ටිකක් ගෙනත් දෙන්න” යයි කීවේය. ඔහු පිටි ටික එම භාජනයට දැමූ පසු, “දැන් කන්න දෙන්න” යයි කීවේය. එවිට එහි කිසිම විසක් නොතිබිණ.+ 42  දිනක් බාල්-ෂාලිෂා නම් ප්‍රදේශයේ+ සිට මිනිසෙක් තම ප්‍රථම අස්වැන්නෙන් සෑදූ+ බාර්ලි රොටි විස්සකුත්+ අලුත් ධාන්‍ය ටිකකුත් තම රොටි මල්ලේ දමාගෙන සැබෑ දෙවිගේ අනාගතවක්තෘට ගෙනැවිත් දුන්නේය.+ එවිට එලිෂා, “මෙතැන ඉන්න අයට මේවා කන්න දෙන්න”+ යයි කීවේය. 43  නමුත් කෑම බෙදමින් සිටි තැනැත්තා, “මම කොහොමද සියදෙනෙකුට මේ කෑම ටික කන්න දෙන්නේ” කියා ඇසුවේය.+ එවිට එලිෂා මෙසේ කීවේය. “‘ඔවුන් කෑවට පස්සේ තව කෑම ඉතුරු වෙයි’+ කියා යෙහෝවා දෙවි මට කිව්වා. ඒ නිසා දැන් කෑම ටික ඔවුන්ට කන්න දෙන්න.” 44  එබැවින් ඔහු කෑම ටික එතැන සිටි මිනිසුන්ට කන්න දුන්නේය. යෙහෝවා දෙවි කී ලෙස ඔවුන් කෑ පසුත් කෑම ඉතුරු විය.+

පාදසටහන්

මූ.අ., “ඉඟටි බැඳගෙන.”