Skip to content

පටුනට යන්න

අග්‍රදේවදූත මිකායෙල් කියා හඳුන්වන්නේ යේසුස්වද?

අග්‍රදේවදූත මිකායෙල් කියා හඳුන්වන්නේ යේසුස්වද?

පාඨකයන් අසයි

අග්‍රදේවදූත මිකායෙල් කියා හඳුන්වන්නේ යේසුස්වද?

▪ සාමාන්‍යයෙන් පුද්ගලයෙකුව නම් කිහිපයකින් හඳුන්වනවා ඔබ අසා ඇති. බයිබලයේද එවැනි පුද්ගලයන් ගැන සඳහන් වෙනවා. අතීතයේ සිටි යාකොබ් ඉන් එක් කෙනෙක්. ඔහුව ඊශ්‍රායෙල් ලෙසත් හඳුන්වනවා. (උත්පත්ති 35:10) එමෙන්ම යේසුස්ගේ ගෝලයෙකු වූ පේතෘස්වද සිමියොන්, සීමොන්, සීෆස් සහ සීමොන් පේතෘස් කියාත් හඳුන්වා තිබෙනවා. (මතෙව් 10:2; 16:16; යොහන් 1:42; ක්‍රියා 15:7, 14) නමුත් මිකායෙල් කියන්නේ යේසුස්ව හඳුන්වන තවත් නමක්ද? ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද කියා දැන් අපි සලකා බලමු.

මිකායෙල් නම් බලවත් දේවදූතයා ගැන බයිබලයේ පස් වතාවක් සඳහන් වෙනවා. ඉන් අවස්ථා තුනක්ම සඳහන් වන්නේ දානියෙල් පොත තුළයි. එක් අවස්ථාවකදී දේවදූතයෙකුගේ උපකාරයට මිකායෙල් පැමිණි සිද්ධියක් ගැන එම පොතේ සඳහන් වෙනවා. (දානියෙල් 10:13, 21) එම ඡේදවල මිකායෙල්ව හඳුන්වා තිබෙන්නේ ‘අධිපතීන්ගේ ප්‍රධානියා’ සහ දෙවිගේ ‘සෙනඟව රැක බලා ගන්නා අධිපතියා’ ලෙසයි. එමෙන්ම අන්තිම කාලයේදී ‘ශ්‍රේෂ්ඨ අධිපතියා වන මිකායෙල්’ දෙවිගේ ‘සෙනඟ වෙනුවෙන් නැඟී සිටින’ බවත් එහි සඳහන් වෙනවා.—දානියෙල් 12:1.

මිකායෙල් ගැන බයිබලයේ ඊළඟට සඳහන්වෙන්නේ එළිදරව් පොතෙයි. එහි “මිකායෙල් සහ ඔහුගේ දූතයෝ” යක්ෂයාට සහ ඔහුගේ භූතයන්ට විරුද්ධව සටන් කර ඔවුන්ව පරාජය කළ බව සඳහන් වෙනවා.—එළිදරව් 12:7.

ඉහත සඳහන් බයිබල් පදවල මිකායෙල්ව විස්තර කර තිබෙන්නේ දෙවිගේ සෙනඟව ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් වදින යුධ සෙන්පතියෙකු ලෙසයි. එමෙන්ම යෙහෝවා දෙවිගේ ප්‍රධාන සතුරා වන සාතන්ට එරෙහිව සිටි කෙනෙක් ලෙසත් ඔහුව හඳුන්වා තිබෙනවා.

ඊට අමතරව යූද් නවවන ඡේදයේ මිකායෙල්ව විස්තර කර තිබෙන්නේ “අග්‍රදේවදූතයා” ලෙසයි. “අග්‍ර” යන වචනයෙන් අදහස් වන්නේ “ප්‍රධාන” යන්නයි. බයිබලයේ අග්‍රදේවදූතයා යන නාමය යොදාගෙන තිබෙන්නේ එක් දේවදූතයෙකුට පමණයි. එසේනම් ඒ දේවදූතයා කවුද? ඊට පිළිතුර මෙම බයිබල් පදයෙන් සොයාගත හැකියි. “ස්වාමීන් [යේසුස්] දෙවිගේ හොරණෑව අතැතිව ස්වර්ගයෙන් බැස එයි. ඒ අවස්ථාවේදී අග්‍රදේවදූතයා වන ඔහුගේ හඬද ඔහු නිකුත් කරන අණද ඇසෙයි.” (1 තෙසලෝනික 4:16) ඒ අනුව අග්‍රදේවදූත මිකායෙල් කියා හඳුන්වන්නේ යේසුස්ව බව පැහැදිලියි.

මිකායල් සහ යේසුස් යන නම් දෙකටම සුවිශේෂී අර්ථ දෙකක් තිබෙනවා. මිකායෙල් යන නමේ අර්ථය “දෙවිට සමාන කවුද” යන්නයි. එමෙන්ම යේසුස් යන නමේ අර්ථය “යෙහෝවා දෙවි දෙන ගැලවීම” යන්නයි. එම නම් දෙකෙන්ම පෙන්නුම් කරන්නේ යෙහෝවා දෙවිගේ පාලන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් යේසුස් මූලික කාර්යභාරයක් ඉටු කරන බවයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දෙවි ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය. එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක් දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය.”—ෆිලිප්පි 2:9.

යේසුස් පොළොවට පැමිණීමට බොහෝ කාලයකට පෙර සිටම ස්වර්ගයේ ජීවත් වුණා. ඔහුගේ උපතට පෙර ස්වර්ගයෙන් පැමිණි දේවදූතයෙක් මරියාට පැවසුවේ උපදින්න සිටින දරුවා දෙවිගේ බලය තුළින් ඇය පිළිසිඳගන්නා බවයි. එමෙන්ම ඒ දරුවාට යේසුස් යන නම දැමිය යුතු බවත් ඔහු පැවසුවා. (ලූක් 1:31) එමෙන්ම තමා පොළොවට පැමිණීමට පෙර ස්වර්ගයේ ජීවත් වූ බව යේසුස්ම අවස්ථා කිහිපයකදී පවසා සිටියා.—යොහන් 3:13; 8:23, 58.

යේසුස් පොළොවට පැමිණීමට පෙර සිටම අග්‍රදේවදූතයා ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු මිය ගොස් නැවත නැඟිට ස්වර්ගයට ගිය පසු ‘පියාණන් වන දෙවිව ප්‍රශංසාවට සහ ගෞරවයට පත් කරමින්’ යළිත් අග්‍රදේවදූතයා ලෙස ඔහුගේ කාර්යභාරය ඇරඹුවා.—ෆිලිප්පි 2:11.