Skip to content

පටුනට යන්න

සියලුම හොඳ අය ස්වර්ගයට යනවාද?

සියලුම හොඳ අය ස්වර්ගයට යනවාද?

සියලුම හොඳ අය ස්වර්ගයට යනවාද?

යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ සිටි අවසන් රාත්‍රියේදී ඔවුන්ට ස්වර්ගික ජීවිතයක් දෙන බවට පොරොන්දු වුණා. ඒ ගැන ඔහු පැවසුවේ මෙසේයි. “මගේ පියාණන්ගේ ගෘහයෙහි වාසය සඳහා බොහෝ ස්ථාන තිබෙනවා. එසේ නැත්නම් මම ඔබ සමඟ ඒ ගැන කතා කරන්නේ නැහැ. මම ඔබ සඳහා ස්ථානයක් සූදානම් කරන්න යන්නේ එය සැබෑවක් වන නිසයි.” (යොහන් 14:2) යේසුස් තම ගෝලයන්ට ස්වර්ගයේ ස්ථානයක් දෙන්නේ ඇයි? ඔවුන් ස්වර්ගයට ගොස් කරන්නේ කුමක්ද?

තම ගෝලයන්ට ස්වර්ගයේ ස්ථානයක් සූදානම් කරන බව යේසුස් පැවසුවේ ඔවුන්ට විශේෂ පැවරුමක් දීම සඳහායි. ගෝලයන් සමඟ සිටි අවසන් මොහොතේදී ඔහු පැවසූ මේ දෙයින් එය පැහැදිලි වෙනවා. “විවිධ දුෂ්කරතාවලට මා මුහුණ දුන් විට මාව අත්හරින්නේ නැතුව මා සමඟම සිටියේ ඔබයි. ඒ නිසා මගේ පියාණන් මා සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කළා සේම මම ඔබ සමඟ ගිවිසුමක් ඇති කරනවා.” (ලූක් 22:28, 29) යෙහෝවා දෙවි යේසුස් සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කළා කීමෙන් අදහස් වෙන්නේ යේසුස්ට මේ පොළොවේ පාලනය භාර දෙන බවයි. ඉන්පසු ඔහු පොළොව පාලනය කරමින් දුක් පීඩා විඳින අයව ගලවාගෙන අසරණයන්ට පීඩා කරන දුෂ්ටයන්ව විනාශ කරනවා. ඔහු පොළොව පාලනය කරන්නේ ස්වර්ගයේ සිටයි.—ගීතාවලිය 72:4, 8; දානියෙල් 7:13, 14.

නමුත් යේසුස් පාලනය කරන්නේ තනිවම නොවෙයි. ඔහු සමඟ තවත් අය ඊට හවුල් වෙනවා. පොළොව කෙරෙහි රජකම් කිරීම සඳහා තෝරාගන්නා පළමු අය වන්නේ යේසුස්ගේ ගෝලයනුයි.—එළිදරව් 5:10.

ස්වර්ගයේ සිට පොළොව පාලනය කිරීමට පොළොවෙන් කීදෙනෙකුව තෝරාගනු ලබනවාද? සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක යටත්වැසියන්ට සාපේක්ෂව පාලකයන් සිටින්නේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණයි. යේසුස්ගේ ආණ්ඩුවේ තත්වයද එයයි. යේසුස් සමඟ පාලනයට හවුල් වන අයට ඔහු මෙසේ පැවසුවා. “කුඩා රැළ භය නොවන්න. මන්ද ඔබට රාජ්‍යය ලබා දෙන්න ඔබේ පියාණන් තම අනුමැතිය දී තිබෙනවා.” (ලූක් 12:32) මෙම ‘කුඩා රැළට’ 1,44,000ක් අයත් වන බව බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 14:1) පොළොවේ සදාකාලයටම ජීවත් වීමට නියමිත මිලියන ගණන් මිනිසුන් හා සසඳන විට 1,44,000ක් කියන්නේ කුඩා කණ්ඩායමක් බව පැහැදිලියි.—එළිදරව් 21:4.

ඒ අනුව සියලුම හොඳ අය ස්වර්ගයට නොයන බව පැහැදිලියි. අතීතයේ සිටි යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙකු වූ දාවිත් පවා “ස්වර්ගයට ගියේ නැහැ” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 2:34) මිනිසුන්ව බව්තීස්ම කළ යොහන්ද ඉතා යහපත් මිනිසෙක් වුණා. ඒත් ඔහුද යේසුස් සමඟ පාලනයට හවුල් වන්නේ නැහැ. යේසුස් මෙසේ පැවසුවේ ඒ නිසයි. ‘ස්ත්‍රීන්ගෙන් උපන් අය අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් ඉපදී නැහැ. නමුත් ස්වර්ග රාජ්‍යයේ සිටින සුළු තැනැත්තෙක් වුණත් ඔහුට වඩා උතුම්.’—මතෙව් 11:11.

ඔබටත් පාරාදීසයේ සිටීමට හැකි වෙයිද?

පොළොව මත සදහටම ජීවත් වීමට ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා කළ යුතු දේ යේසුස් මෙසේ පැවසුවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහන් 3:16) යෙහෝවා දෙවි මිනිසුන්ට බෙහෙවින් ප්‍රේම කරන නිසා සියලුදෙනාටම සදාකාල ජීවනය ලබා දීමට ඔහු පියවර ගෙන තිබෙන බව ඉහත බයිබල් පදයෙන් පැහැදිලි වෙනවා. නමුත් ඒ සඳහා ඔබත් යම් දෙයක් කළ යුතු බව එහි පෙන්නුම් කරනවා. එනම් ඔබ ‘යේසුස් කෙරෙහි විශ්වාසය තැබීම’ අවශ්‍යයි.

යේසුස් සහ දෙවි කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් ඇති කරගැනීමට නම් ඔබ ඔවුන් දෙදෙනාව නිවැරදිව දැන හඳුනා ගත යුතුයි. (යොහන් 17:3) එමෙන්ම දෙවිගේ අරමුණු පිළිබඳව ඉගෙනගෙන ඒ අනුව ජීවත් වීමටද උත්සාහ කරන්න. එසේ කිරීමෙන් මේ පොළොව පාරාදීසයක් වන දාට ඔබට එහි සදහටම ජීවත් වීමට හැකි වෙයි.

[7වන පිටුවේ කොටුව]

බයිබලයෙන් පිළිතුරු

ප්‍රශ්නය:

මිය ගිය අයගේ තත්වය කුමක්ද?

පිළිතුර:

“මිය ගිය අය කිසිවක් දන්නේ නැත.”දේශනාකාරයා 9:5.

ප්‍රශ්නය:

මිය ගිය අය සම්බන්ධයෙන් අපට තබාගත හැකි බලාපොරොත්තුව කුමක්ද?

පිළිතුර:

“සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ [යේසුස්ගේ] හඬ ඇසෙන කාලය පැමිණෙනවා. ඒ කාලයේදී යහපත් දේ කරන අය ජීවනය සඳහා නැවත නැඟිටීමක් ලබන අතර පිළිකුල් දේවල් කරන අය විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක් ලබනවා.”යොහන් 5:28, 29.

ප්‍රශ්නය:

යහපත් මිනිසුන් ජීවත් වෙන්නේ කොහේද?

පිළිතුර:

“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”ගීතාවලිය 37:29.