Skip to content

පටුනට යන්න

තෘප්තිමත් ජීවිතයකට බයිබලයේ ප්‍රතිපත්ති අදාළ කරගනිමු

තෘප්තිමත් ජීවිතයකට බයිබලයේ ප්‍රතිපත්ති අදාළ කරගනිමු

තෘප්තිමත් ජීවිතයකට බයිබලයේ ප්‍රතිපත්ති අදාළ කරගනිමු

ඔබේ ගෙදර ඉන්න පූසා ගුලි ගැසී විවේක සුවයෙන් නිදාගෙන ඉන්න හැටි ඔබ ඕන තරම් දැක ඇති. ඒ පූසා ඉන්නේ මොන තරම් සැහැල්ලුවෙන්ද! ඒ වගේ මටත් ඉන්න ඇත්නම් කියලා ඔබට හිතිලා ඇති! කොහොමනමුත් බොහෝදෙනෙකුට ඒ වගේ තෘප්තියක් තමන්ගේ ජීවිතයෙන් ලැබෙන්නේ නැහැ. ලැබුණත් ඒ ටික දවසකට විතරයි. ඒ ඇයි?

එයට එක හේතුවක් නම් අප අතින් සිදු වන වැරදි සහ අනිත් අය අපට කරන වැරදි දරාගන්න අපට සිදු වන නිසයි. දෙවෙනි හේතුව ගැන බයිබලයේ කියන්නේ අපි ජීවත් වන්නේ “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල්” තිබෙන “අන්තිම දවස්වල” කියලයි. (2 තිමෝති 3:1-5) අපෙන් බොහෝදෙනෙක් අපේ ළමා කාලය සතුටින් ගත කළා වුණත් “කටයුතු කිරීමට අසීරු” මේ කාලයේ පීඩනය අපි හැමෝම වගේ අද්දකිනවා. ඒ නිසා අපි ජීවත් වන මේ දවස්වලදී තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන්ද?

බයිබලයේ කියන්නේ මේ අන්තරාදායක කාලයේ ජීවත් වීම අසීරු දෙයක් මිස කරන්න බැරි දෙයක් කියා නෙවෙයි. බයිබලයේ ඇති ප්‍රතිපත්ති අදාළ කරගත්තොත් අපිට ජීවිතයෙන් නියම තෘප්තියක් ලබන්න පුළුවන්. ඉන් අදහස් කරන්නේ අපිට හැමවිටම ගැටලු විසඳගන්න පුළුවන් වෙනවා කියන එක නෙවෙයි. නමුත් යම් ප්‍රමාණයකට තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එකයි. එවැනි ප්‍රතිපත්ති තුනක් ගැන දැන් අපි සලකා බලමු.

තමන් ගැනම හොඳ අවබෝධයකින් සිටීම

ජීවිතයෙන් තෘප්තියක් ලබන්න නම් අපි අපේ සහ අනිත් අයගේ සීමාවන් ගැන හොඳ අවබෝධයකින් ඉන්න අවශ්‍යයි. පාවුල් රෝමවරුන්ට ලිව්වේ “සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් ඈත්ව සිටිති” කියායි. (රෝම 3:23) යෙහෝවාගේ හැකියාවන්වල යම් පැති අපට තේරුම්ගත නොහැකි තරම්. ඊට එක නිදසුනක් දෙමින් උත්පත්ති 1:31හි සඳහන් වෙන්නේ “දෙවි තමන් සෑදූ සියල්ල දුටුවේය. බලව, එය ඉතා යහපත් විය” කියායි. යෙහෝවා දෙවි තමන් කළ දේවල් ගැන ආපසු හැරී බලන ඕනෑම අවස්ථාවකදී “එය ඉතා යහපත්” කියා අනිවාර්යයෙන්ම පවසන්න ඔහුට පුළුවන්. නමුත් කිසිම මිනිසෙකුට එහෙම කියන්න බැහැ. අපිට කරන්න පුළුවන් දේ සීමිතයි. එය වටහාගැනීම තෘප්තිමත් ජීවිතයක් සඳහා අපි තබන පළමු පියවරයි. ඉන්පසු යෙහෝවා දෙවි කාරණා දිහා බලන විදිහ තේරුම්ගෙන එය පිළිගැනීමත් අවශ්‍යයි.

“පාපය” සඳහා භාවිත කළ ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ “ඉලක්කය වැරදී යෑමයි.” (රෝම 3:9) තෑග්ග දිනාගැනීමේ අරමුණින් ඉලක්කයට විඳීමේ තරඟයකට ඉදිරිපත් වී සිටින තරඟකරුවෙක් ගැන සිතන්න. ඔහුට ඇත්තේ ඊතල තුනයි. ඔහු විද්ද පළමු ඊතලය වැදුණේ ඉලක්කයට අඩි තුනකට එහායින්. දෙවෙනි ඊතලය වඩා හොඳින් ඉලක්ක කර විද්දත් ඒක වැදුණේ අඩියකට මෙහායින්. දැන් ඊටත් වඩා හොඳින් ඉලක්ක කළ ඔහු අන්තිම ඊතලයත් විද්දා. නමුත් ඒක වැදුණේ ඉලක්කයට අඟලකට මෙහායින්. ඒක ඉලක්කයට ඉතාමත් ආසන්නයට වැදුණත් ඉලක්කයටම විද්ද ඊතලයක් ලෙස එය ගණන් ගැනෙන්නේ නැහැ.

අපි හැමෝමත් බලාපොරොත්තු සුන් වූ ඒ ඊතල විඳින්නා වගෙයි. සමහර අවස්ථාවලදී අපිට ‘ඉලක්කය හොඳටම වරදිනවා.’ තවත් අවස්ථාවලදී අපි ඉලක්කයට හුඟක් ආසන්නයට ආවත් වරදින්න පුළුවන්. අපි හුඟක් හොඳ උත්සාහයක් ගත්තත් ඉලක්කය වැරදුණ නිසා අපි කලකිරෙනවා.

අපි නැවතත් ඊතල විඳින්නා ගැන හිතමු. තෑග්ග අහිමි වීම ගැන දුකෙන් සිටි ඔහු එතැනින් ඉවත්ව යනවා. එකපාරටම එතැනට පැමිණි තරඟ සංවිධායකවරයා ඔහුට තෑග්ගක් දෙමින් මෙහෙම කිව්වා. “මම දැක්කා ඔයා ඉලක්කයට විදින්න කොච්චර උත්සාහ කළාද කියලා. මම ඒක අගය කරන නිසා මේ තෑග්ග මම ඔයාට දෙනවා.” ඒ තරඟකරුට කොතරම් ප්‍රීතියක් දැනෙන්න ඇද්ද!

දෙවිගෙන් සදාකාල ජීවනය නමැති “තෑග්ග” ලබන අයත් අද්දකින්න යන්නේ එවැනිම ප්‍රීතියක්. (රෝම 6:23) ඒ කාලයේදී ඔවුන් කරන සෑම දෙයක්ම සාර්ථක වේවි. ඔවුන්ගේ කිසි ඉලක්කයක් වරදින්නේ නැති නිසා ඔවුන් ජීවිතයේ නියම තෘප්තිය අද්දකීවි. මෙය නිතර මතක තබාගැනීමෙන් අප ගැනත් අප වටා සිටින අය ගැනත් හොඳ අවබෝධයකින් සිටින්න අපට හැකි වෙනවා.

හැම දෙයකටම කාලයක් ගත වන බව තේරුම්ගන්න

හැම දෙයකටම කාලයක් ගත වෙනවා. අපි ආස කරන දෙයක් ලබාගන්න, සිතුවාට වඩා කාලයක් ගත වෙද්දී හෝ ජීවිතයේ අමාරු කාලයක් තව තවත් දිග්ගැස්සෙන බවක් පෙනෙන්ට තිබෙද්දී තෘප්තිමත් ජීවිතයක් ගත කරන එක කොතරම් අමාරුද? ඒ වගේ අවස්ථාවන්වලදීත් ජීවිතයේ නියම තෘප්තිය අද්දැක්ක සමහරුන් සිටියා. යේසුස් එවැනි කෙනෙක්.

පොළොවට එන්න පෙර යේසුස් ස්වර්ගයේදී කීකරුකම සම්බන්ධයෙන් විශිෂ්ට ආදර්ශයක් තැබුවා. කොහොමවුණත් ඔහු ‘කීකරුකම ඉගෙනගත්තේ’ පොළොවේදීයි. ඒ කොහොමද? “තමන් වින්ද දේවල්වලින්” කියා බයිබලයේ සඳහන් වෙනවා. කලින් ඔහු මිනිසුන් දුක් විඳින හැටි දැක තිබුණා විතරයි. නමුත් පොළොවේදී ඔහුම එය අද්දැක්කා. යොර්දාන් ගඟේ බව්තීස්ම වීමේ සිට ගොල්ගොතා නම් ස්ථානයේදී මිය යන මොහොත දක්වාම ඔහු වින්ඳ වේදනාවල නිමක් නැහැ. කීකරුකම සම්බන්ධයෙන් යේසුස් “පරිපූර්ණ තත්වයකට” පත් වුණේ කොහොමද කියන කාරණය ගැන සියලුම විස්තර අපි දන්නේ නැති වුණත් එය ඉගෙනගැනීමට ඔහුට සෑහෙන කාලයක් ගිය බව නම් පැහැදිලියි.—හෙබ්‍රෙව් 5:8, 9.

යේසුස්ට සාර්ථක වෙන්න පුළුවන් වුණේ “ඔහු ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය” වන ඔහුගේ විශ්වාසවන්තකමට ලැබෙන තෑග්ග ගැන ඔහු මෙනෙහි කළ නිසයි. (හෙබ්‍රෙව් 12:2) ඒ වුණත් සමහර අවස්ථාවලදී ඔහු “බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්තව කන්නලව් සහ ඉල්ලීම් ඔප්පු” කළා. (හෙබ්‍රෙව් 5:7) අපිටත් ඒ වගේ යාච්ඤා කරන්න වෙන අවස්ථා නැතුවාම නෙවෙයි. මේ ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද? ඒ පදයේම කියන්නේ යෙහෝවා දෙවි යේසුස්ට “සවන්” දුන් බවයි. දෙවි අපිටත් ඒ වගේම සවන් දෙන බව නම් ස්ථිරයි. අපි එහෙම පවසන්නේ ඇයි?

අපිටත් වඩා අපේ සීමාවන් ගැන දන්න දෙවි අපිට උපකාර කරන නිසයි. අප්‍රිකාවේ බෙනින් නගරයේ වැසියන් අතර මෙහෙම කියමනක් තියෙනවා. “ගෙම්බන් වතුරේ ජීවත් වුණත් ඕනෑවට වඩා වතුර වැඩි වුණොත් එයින් උන් මැරෙනවා.” අපිටත් විඳදරාගන්න පුළුවන් යම් සීමාවන් තිබෙනවා. ඒ සීමාව ඉක්මවා යද්දී දෙවි ප්‍රේමණීයව “අපට උපකාරය අවශ්‍ය වේලාවේදී දයාව හා මහත් කරුණාව” දක්වනවා. (හෙබ්‍රෙව් 4:16) යේසුස්ට වගේම තවත් ගණන් කළ නොහැකි තරම් දෙනෙකුටත් දෙවි ඒ උපකාරය දී තිබෙනවා. එවන් උපකාරයක් අද්දැක්ක මොනිකාගේ අද්දැකීම ගැන දැන් අපි බලමු.

මොනිකා හැදී වැඩුණේ දුක කියන දේ අඳුරන්නෙවත් නැතිවයි. ඇය බොහොම සැහැල්ලුවෙන් සහ ප්‍රීතියෙන් ජීවත් වුණා. වර්ෂ 1968දී බරපතළ ස්නායු රෝගයක් තියෙනවා කියා දැනගද්දී එයාට අවුරුදු 25ක්වත් නැහැ. ඒ රෝගය නිසා ඇයගේ පැත්තක් පණ නැතිව ගියා. එතැන් පටන් එයාගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වුණා. පූර්ණ කාලීනව දේවසේවයේ යෙදී සිටි මොනිකාට එහි ලොකු වෙනසක් කරන්නත් සිදු වුණා. ඇය දැනගත්තා ඇගේ අසනීපය කෙටි කලකින් සුව වෙන එකක් නෙවෙයි කියලා. ඊට අවුරුදු 16කට පස්සේ ඇය මෙහෙම කියනවා. “මගේ අසනීපයට තාම බෙහෙත් හොයාගෙන නැහැ. සමහරවිට දෙවි ගෙනෙන පාරාදීස පොළොව එනකං මට මේ විදිහටම ඉන්න වේවි.” ඒ වගේ අසනීපයක් එක්ක ජීවත් වන එක ලෙහෙසි දෙයක් නෙවෙයි කියන එක ඇයගේ මේ වචනවලින් පැහැදිලි වෙනවා. “මගේ යාළුවෝ කියනවා මම කලින් වගේම සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් ඉන්නවා කියලා. . . . නමුත් සමහර අවස්ථාවලදී මගේ ඇස්වලින් දිගටම කඳුළු කඩා හැලෙනවා කියන එක දන්නේ මගේ ළඟම යාළුවෝ ටික විතරයි.”

නමුත් ඇය මෙහෙම කියනවා. “මම ඉවසන්න පුරුදු වුණා වගේම මගේ අසනීපය ටිකක් හරි හොඳ අතට හැරෙද්දී ඒකෙන් මම සෑහීමට පත් වෙන්නත් ඉගෙනගත්තා. අසනීප සුව කරන්න මිනිසා ගන්න උත්සාහයේදී ඔවුන් කොතරම් අසරණද කියන කාරණය තේරුම්ගත්ත නිසා යෙහෝවා දෙවි එක්ක තියෙන මගේ කිට්ටු මිත්‍රත්වය ශක්තිමත් කරගන්න මට පුළුවන් වුණා. සම්පූර්ණ සුවය ලබාදෙන්න පුළුවන් දෙවිට විතරයි කියන එක දැන් මම හොඳටම දන්නවා.” මොන දේ වුණත් යෙහෝවා දෙවිගේ උපකාරය නිසා මොනිකා තාමත් ඉන්නේ තෘප්තියෙන්. ඇය දැන් පූර්ණ කාලීන සේවයේ අවුරුදු 40කටත් වඩා ගත කරල තිබෙනවා.

මොනිකාට තිබුණා වගේ සුව කළ නොහැකි අසනීප එක්ක ජීවත් වෙන එක ලෙහෙසි දෙයක් නම් නොවෙයි. නමුත් සමහර දේවල් විසඳෙන්න ඔබ බලාපොරොත්තු වෙනවාට වඩා කාලයක් ගත වනවා කියන කාරණය ඔබ තේරුම්ගන්නවා නම් ඔබට වඩාත් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න හැකි වේවි. මොනිකාට වගේ “උපකාරය අවශ්‍ය වේලාවේදී” යෙහෝවා දෙවි උපකාර කරන බවට සහතික වෙන්නත් ඔබට පුළුවන්.

අන්‍යයන් සමඟ සැසඳීම් නොකර සාධාරණ ඉලක්ක තබාගන්න

“අතේ ඇඟිලි පහම එක වගේ නැහැ” කියා කියමනක් තිබෙනවා. හැමෝම ඔබ වගේ නැහැ. යෙහෝවා දෙවි අපිව වෙන කෙනෙක් හා සසඳනවාට අපි කැමති නැහැ. දෙවි එහෙම කරන්නෙත් නැහැ. ඒ වුණත් අද මිනිසුන් පෙලඹෙන්නේ කෙනෙක්ව අන් අය සමඟ සසඳන්නයි. මේ නිසා බොහෝදෙනෙකුට තමුන් කරන දේ ගැන තෘප්තිමත් වෙන්න බැරි වෙලා තිබෙනවා. යේසුස් මේ ගැන උපමාවකින් සඳහන් කළා. අපි මතෙව් 20:1-16 දක්වා කියවමු.

තමාගේ මිදි වත්තේ වැඩ කරන්න සේවකයන් අවශ්‍යව සිටි ‘ස්වාමියෙක්’ ගැන යේසුස් එහිදී කතා කළා. ඔහු දවසේ පඩියට කුලී වැඩකරුවන් කිහිපදෙනෙකුව සොයාගත්තා. ඒ කාලයේ දවසේ පඩිය වුණේ ඩිනාරියක්. ඒ සඳහා ඔවුන් පැය 12ක් වැඩ කළ යුතු වුණා. කුලීකරුවන් සතුටින් ඊට එකඟ වී මිදි වත්තේ වැඩට ගියා. ඔවුන් “උදේ පාන්දරින්ම” ඒ කියන්නේ උදේ 6 සිට වැඩ කරන්න පටන්ගත්තා. පසුව රැකියාවක් නොමැතිව සිටි තවත් අයව සොයාගත් ඔහු උදේ 9ට, මධ්‍යාහ්න 12ට, සවස 3ට සහ හවස 5ටත් කණ්ඩායම් වශයෙන් මිදිවත්තේ වැඩට යැව්වා. මේ හැමෝටම ස්වාමියා පොරොන්දු වුණේ ඔවුන්ට “ලැබිය යුතු දේ” දෙන්නම් කියායි. ඔවුන් ඊට එකඟ වුණා. නමුත් පසුව ගිය මේ කණ්ඩායම්වල අයට පැය 12ම වැඩ කරන්න වුණේ නැහැ.

දවස අවසානයේදී ඔවුන්ට පඩි ගෙවන්න කියා ඔහු වැඩ බලන තැනැත්තාට කියනවා. මුලින්ම පඩි ගෙවන්න කියන්නේ අන්තිමට පැමිණි කුලීකරුවන්ටයි. ඔවුන් වැඩ කර තිබුණේ පැයක් වුණත් ඔවුන්ට මුළු දවසේම පඩිය දුන්නා. එවිට මේ ගැන අනිත් කුලීකරුවන් අතර ඇති වූ කතා බහ ගැන අපිට හිතාගන්න පුළුවන්. පැය 12ම වැඩ කළ අය තමන්ට ඊට වඩා වැඩියෙන් ලැබෙයි කියා හිතන්න ඇති. නමුත් ඔවුන්ට ලැබුණෙත් ඒ පඩියමයි.

ඒ පඩිය අතට ගත් ඔවුන් ස්වාමියාට හෙවත් “ගෙහිමියාට විරුද්ධව මැසිවිලි නඟමින්, ‘අන්තිමට ආ මේ අය වැඩ කළේ පැයක් පමණි. නමුත් ඔබ, දවසේ බරත් අව් රස්නයත් දැරූ අපව ඔවුන්ට සමාන කළේය!’ යි කීවෝය.”

නමුත් කාරණා පැහැදිලි කරමින් ස්වාමියා ඔවුන්ට පැවසුවේ පොරොන්දු වූ පඩියම අඩුවක් නැතිව ලැබුණ නිසා ඔවුන්ට අසාධාරණයක් වුණේ නැති බවයි. දවසම වැඩ කළේ නැති අයටත් ඒ පඩියම දුන්නා. ඒක ඔවුන් බලාපොරොත්තු වුණාට වඩා වැඩි දෙයක් වුණා තමයි. නමුත් මේ කිසිම කෙනෙකුට ඔවුන් එකඟ වුණාට වඩා අඩුවෙන් නම් ලැබුණේ නැහැ. අන්තිමේදී ස්වාමියා ඔවුන්ගෙන් මෙහෙම ඇහුව්වා. “මා සතු දෙයින් මා කැමති දෙය කිරීමට මට අයිතියක් නැද්ද?”

උදෙන්ම වැඩට පැමිණි අයට මුලින්ම පඩි ගෙවා ඔවුන්ව පිටත් කළා කියා හිතන්න. එහෙම නම් ඔවුන් එයින් සෑහීමට පත් වේවි. නමුත් ඔවුන් සෑහීමට පත් නොවුණේ අඩුවෙන් වැඩ කළ අයටත් මුළු පඩියම ලැබුණ බව දැක්ක නිසයි. මේ නිසා ඔවුන් කෝප වුණා. කුලීකරුවන් වූ මොවුන්ට වැඩ ලබාදීම ගැන මුලින් ස්තුතිවන්ත වූ ඔවුන් දැන් මේ ස්වාමියාට මැසිවිලි නඟන්න පවා පෙලඹුණා.

අපිත් අන් අය සමඟ අපිවම සසඳාගන්න ගියොත් සිදු විය හැකි දේ මෙයින් මනාව ගෙනහැර දක්වනවා. ඔබට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ගැනත් ඔහු ඔබට ආශීර්වාද කර තිබෙන ආකාරය ගැනත් අගය කිරීමෙන් ඔබට තෘප්තිමත් වෙන්න පුළුවන්. අනිත් අයත් එක්ක ඔබගේ තත්වයන් සසඳා බලන්න එපා. යෙහෝවා දෙවි අනිත් අයට වැඩියෙන් දී තිබෙනවා බව ඔබ දකිනවා නම් ඔවුන් එක්ක ඒ ගැන සතුටු වන්න.

කොහොමනමුත් යෙහෝවා දෙවි ඔබෙන් යමක් බලාපොරොත්තු වෙනවා. ඒ මොකද්ද? ගලාති 6:4හි කියන්නේ “එකිනෙකා තම තමාගේ වැඩය කෙබඳුදැයි තමාටම ඔප්පු කරගන්න. එවිට, එකිනෙකා සමඟ සැසඳීම් නොකර තමා ගැනම බොහෝ සෙයින් සතුටු වීමට ඔහුට හේතු තිබෙනු ඇත” කියායි. සාධාරණ ඉලක්ක ඒ කියන්නේ ඔබට අත් කරගත හැකි දේවල් ගැන පමණක් ඉලක්ක තබාගෙන ඒවා ඉටු කරගන්න උත්සාහ කරන්න. ඉලක්කය සාධාරණ වූ විට එය ඔබට අත් කරගත හැකි වේවි. එමගින් “බොහෝ සෙයින් සතුටු වීමට” ඔබට හැකි වේවි. ඒ වගේම ජීවිතයේ තෘප්තියත් ඔබ අද්දකීවි.

ලැබෙන්න යන ආශීර්වාද

අපි මෙතෙක් සලකා බැලූ ප්‍රතිපත්ති තුනෙන් පැහැදිලි වෙන්නේ පාපය උරුම කරගෙන සිටින අප අන්තිම දවස්වල ජීවත් වුණත් බයිබලයේ ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් ජීවිතයේ නියම තෘප්තිය ලබන්න අපට පුළුවන් බවයි. මෙවැනි ප්‍රතිපත්ති රාශියක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. සමහර ඒවා කෙළින්ම සඳහන් කරලා තියෙනවා. තවත් ඒවා එහි සඳහන් උපමාවල ඇතුළත් කර තිබෙනවා. දිනපතා බයිබලය කියවීමෙන් ඒවා ගැන සොයා බැලීම හොද අදහසක් නෙමෙයිද?

ඔබ ලබන තෘප්තිය ටිකෙන් ටික අඩු වෙනවා කියා ඔබට හැඟෙනවා නම් ඊට හේතුව කුමක්ද කියා මුලින්ම හඳුනාගන්න. එය හදාගන්න උපකාරවත් වන බයිබලයේ ඇති ප්‍රතිපත්ති ගැන සොයා බලන්න. උදාහරණයකට “මුළු ශුද්ධ ලියවිල්ල විශ්වාසවන්තය ප්‍රයෝජනදායකය—2 ලේකම් - යෙසායා” නම් පොත් පිංචයේ 22-24 දක්වා පිටු බලන්න. * එහි හිතෝපදේශ පොත ගැන විස්තර කෙරෙන අතර ප්‍රතිපත්ති සහ උපදෙස් රාශියක් ඡේද 12ක් යටතේ ලැයිස්තු ගත කර තිබෙනවා ඔබට සොයාගන්න පුළුවන්. The Watch Tower Publications Index * සහ Watchtower Library on CD-ROM * එමෙන්ම හැම අවුරුද්දකම පළ වන අවසාන මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල සුචිය බැලීමෙන්ද තොරතුරු රාශියක් සොයාගත හැකියි. ඒවාට හොඳින් හුරුවීමෙන් තමන්ගේ තත්වයන්ට ගැලපෙන ප්‍රතිපත්ති සොයාගන්න පුළුවන් වෙනවා.

යෙහෝවා දෙවි තමන්ට ප්‍රසන්න අයට පාරාදීස පොළොවක සදාකාල ජීවනය ලබා දෙන්න ආශාවෙන් සිටිනවා. ඒ සඳහා දැන් කාලය ළඟා වෙමින් තිබෙනවා. ඒ කාලයේදී ඔවුන් තෘප්තියෙන් පිරී ඉතිරී ගිය ජීවිත ගත කරාවි.

[පාදසටහන]

^ 30 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයි.

^ 30 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයි.

^ 30 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයි.

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් ඈත්ව සිටිති.”—රෝම 3:23

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යේසුස් “වින්ද දේවල්වලින් ඔහු කීකරුකම ඉගෙනගත්තේය.”—හෙබ්‍රෙව් 5:8, 9

[15වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“එකිනෙකා සමඟ සැසඳීම් නොකර තමා ගැනම බොහෝ සෙයින් සතුටු වීමට ඔහුට හේතු තිබෙනු ඇත.”—ගලාති 6:4