Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යෙහෝවා ඔහුගේ මුල් සේවකයන් වන ඊශ්‍රායෙලිතයන් අතර පැවති බහුභාර්යා සේවනයට ඉඩහැරියද දැන් එයට ඉඩ නොදෙයි. මෙයින් ඇඟවෙන්නේ ඔහුගේ ප්‍රමිති වෙනස් වන බවද?

බහුභාර්යා සේවනය ගැන යෙහෝවා ඔහුගේ ප්‍රමිති වෙනස් කර නැත. (ගීතාවලිය 19:7; මලාකී 3:6) මෙය ඔහු මනුෂ්‍ය වර්ගයාගේ පටන්ගැන්මේ සිට අරමුණු කළ දෙයක් නොවන අතර එය අදටත් එසේම පවතී. ඔහු ආදම්ට භාර්යාවක් ලෙස ඒවව මැවූ අවස්ථාවේ යෙහෝවා එක් භාර්යාවකට එක් පුරුෂයෙක් යන දිව්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශ කළේය. “එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම් වන්නේය. ඔව්හු එක මාංසයක් වන්නෝය.”—උත්පත්ති 2:24.

යේසුස් මේ පොළොවේ ජීවත් වූ කාලයේදී දික්කසාදය හා නැවත විවාහ වීම ගැන ප්‍රශ්න කළ අයට ඔහු මෙම ප්‍රතිපත්තිය නැවත ප්‍රකාශ කළේය. “ඔවුන්ව මැවූ තැනැත්තා පටන්ගැන්මේ සිට පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව මැවූ බවත්, ‘ඒ නිසා, මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය කියාද, ඒ දෙදෙනා එක මාංසයක් වන්නෝය’ කියාද පැවසූ බවත් ඔබ කියවා නැද්ද? මෙසේ ඔවුහු එතැන් පටන් දෙදෙනෙකු නොව එක මාංසයක් වන්නෝය.” ඔහු ඔවුන්ට මෙසේද කීවේය. “මම ඔබට කියමි, වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්න කවරෙක් නමුත් පරදාර සේවනයේ යෙදෙන්නේය.” (මතෙව් 19:4-6, 9, NW) මෙයින් පැහැදිලි වන්නේ තම භාර්යාවට අමතරව වෙනත් භාර්යාවන් එක්කෙනෙක් හෝ ඊට වැඩියෙන් සිටීම ගණන් ගනු ලබන්නේ පරදාර සේවනය ලෙසයි.

එසේනම් පුරාණ කාලයේ බහුභාර්යා සේවනයට ඉඩහැර තිබුණේ මන්ද? මතක තබාගත යුතු කරුණක් නම්, මෙම පුරුද්ද යෙහෝවා විසින් ආරම්භ කරනු ලැබූ දෙයක් නොවන වගයි. එක් භාර්යාවකට වඩා වැඩියෙන් සිටි බවට බයිබලයේ මුලින්ම සඳහන් වන තැනැත්තා වන්නේ කායින්ගෙන් පැවත එන ලාමෙක්ය. (උත්පත්ති 4:19-24) යෙහෝවා නෝවාගේ කාලයේ ජලගැල්ම ගෙනා විට නෝවාගේ පුතුන් තිදෙනාට සිටියේ එක භාර්යාව බැගින් පමණි. බහුභාර්යා සේවනයේ යෙදුණු සියල්ලන්වම ජලගැල්මෙන් විනාශ කර දමන ලදි.

එහෙත් සියවස් ගණනාවකට පසුව යෙහෝවා තමා සන්තක සෙනඟ හැටියට ඊශ්‍රායෙලිතයන්ව තෝරාගත් විට ඔවුන් අතර බහුභාර්යා සේවනය පැවතිණි. කෙසේවෙතත් පොදුවේ ගත් කල, එක පුරුෂයෙකුට සිටියේ එක භාර්යාවක් පමණක් බව පෙනෙන්නට තිබේ. එක් භාර්යාවකට වඩා වැඩියෙන් සිටින පවුල්වල බෙදීමක් ඇති කිරීමට දෙවිට අවශ්‍ය වුණේ නැත. ඒ වෙනුවට ඔහු එම පුරුද්ද මැඩපැවැත්වීමට තදින් කටයුතු කළේය.—නික්මයාම 21:10, 11; ද්විතීය කථාව 21:15-17.

යෙහෝවා දෙවි බහුභාර්යා සේවනය කලකට පමණක් පැවතීමට ඉවසිලිවන්තව ඉඩහැර තිබුණ බව යේසුස් විවාහය සම්බන්ධව දෙවි මුලින්ම අරමුණු කළ දෙය ගැන කතා කරන විට පැවසු දෙයින් පමණක් නොව, ශුද්ධාත්ම ආනුභාවය යටතේ ප්‍රේරිත පාවුල්ද පවසා ඇති දෙයින් මනාව පැහැදිලි වේ. ඔහු පැවසුවේ “එක් එක් පුරුෂයාට භාර්යාවක්ද, එක් එක් ස්ත්‍රියට ස්වාමිපුරුෂයෙක්ද සිටීවා” යනුවෙනි. (1 කොරින්ති 7:2, NW) තවද සභාවේ පෙරමුණ ගෙන කටයුතු කිරීමට පත් කරන ලද සභා වැඩිමහල්ලන් සහ සභා සේවකයන් “එක් භාර්යාවක් ඇති ස්වාමිපුරුෂයෙකුව” සිටිය යුතු බව ලිවීමටත් පාවුල් ආනුභාවය ලැබීය.—1 තිමෝති 3:2, 12; තීතස් 1:6; NW.

අවුරුදු 2,000කට පෙර ක්‍රිස්තියානි සභාව පිහිටුවීමත් සමඟ බහුභාර්යා සේවනයට යෙහෝවා දෙවි ඉවසිලිවන්තව ඉඩහැර තිබූ කාලය නිමා විය. විවාහයේ මුල් ආරම්භයේදී, එනම් දෙවි පුරුෂයෙකු හා ස්ත්‍රියක මැවූ විට දුන් ප්‍රමිතිය වන එක් පුරුෂයෙකුට එක් ස්ත්‍රියක් යන්න නැවතත් ක්‍රියාත්මක වූයේ ඒ අවස්ථාවේදීය. අද මුළු ලෝකය පුරාම වෙසෙන දෙවිගේ සෙනඟ අනුගමනය කරන ප්‍රමිතියත් එයමයි.—මාර්ක් 10:11, 12; 1 කොරින්ති 6:9, 10.