Skip to content

පටුනට යන්න

අධ්‍යාත්මික සාරධර්මවලට සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද?

අධ්‍යාත්මික සාරධර්මවලට සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද?

අධ්‍යාත්මික සාරධර්මවලට සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද?

“විවාහයට පෙර උපදෙස් ලබාගැනීම සඳහා [කතෝලික] යුවළයන් පහළොවක් හවස් වරුවේ පැවැත්වූ වැඩසටහනකට සහභාගි වුණා. එහි පැමිණ සිටි 30දෙනාගෙන් ඇදහිල්ල තිබෙන බවට කියා සිටියේ තුන්දෙනෙක් පමණයි.”​—ලා ක්‍රෝවා නම් කතෝලික ප්‍රංශ පුවත්පතකින්.

ආගමික සාරධර්ම අර්බුදකාරී තත්වයක පවතිනවා. වර්ෂ 1999 ජූලි 12වෙනිදා ජාත්‍යන්තර නිව්ස්වීක් සඟරාවේ කවරයේ මාතෘකාව වූයේ “දෙවි මැරිලාද?” යන ප්‍රශ්නයයි. බටහිර යුරෝපයේ අය නම් දෙවි මැරිලාය යන අදහසට එකඟ වන බව එම සඟරාවේ විස්තර කර තිබුණා. එම වසරේ ඔක්තෝබර් මාසයේ රෝමයේ පැවැත්වූ කතෝලික පල්ලියේ කවුන්සලය ගැන ප්‍රංශ ප්‍රවෘත්ති පත්‍රයක් වන ල මොන්ඩ්හි වාර්තා කරන්නේ, “පල්ලිය විසින් දීමට උත්සහ කරන පණිවිඩය ‘තදින්ම පිළිකුල්’ කරන මෙවැනි සමාජයකට එය දැනුම් දීම වෙන කවරදාටත් වඩා දුෂ්කර වී තිබෙනවා. . . . ඉතාලියේ කතෝලිකයන් දරන අදහස් අතර දැන් එකඟතාවක් නැහැ. . . . ජර්මනියේ ගබ්සා කිරීම් සඳහා උපදෙස් ලබාගන්නා මධ්‍යස්ථාන පිළිබඳව පවතින මතභේදය නිසා පාප් හා දැඩි නියෝගවලට යටත් වීමට අකමැති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන අය අතර පවතින පරතරය එන්න එන්නම වැඩි වෙනවා. සදාචාරය හා සහන ඝාතන (දුක් විඳින්න ඉඩ නොදී මිය යෑමට සැලැස්වීම) පිළිබඳව [නෙදර්ලන්තය] දරන තැතිගන්වන මතවලට බලපෑම් කර තිබෙන්නේ ක්‍රිස්තියානි ධර්මයේ හදිසි අභාවය බව දැනටමත් ඇතැම් නිරීක්ෂකයන් පෙන්වා දෙනවා.”

වෙනත් රටවලද තත්වය ඒ හා සමානයි. වර්ෂ 1999දී කැන්ටබරියේ අගරදගුරු වන ජෝර්ජ් කේරී අනතුරු ඇඟවූයේ එංගලන්ත සභාව “තවත් පරම්පරාවකින් සම්පූර්ණයෙන්ම වඳ වී යාවී” කියායි. ල ෆෙගාරෝ නම් ප්‍රංශ ප්‍රවෘත්ති පත්‍රයක පළ වූ “යුරෝපයේ ක්‍රිස්තියානි ධර්මයේ නිමාව” යන ලිපියේ මෙසේ සඳහන් වී තිබුණා. “මෙම තත්වය සියලුම රටවල දැකිය හැකියි. . . . මනුෂ්‍යයන් ක්‍රමානුකූලව සදාචාර හා ආගමික සිද්ධාන්ත ගැන ප්‍රශ්න මතු කිරීමට පටන්ගෙන තිබෙනවා.”

ආගමික වතාවත්වලට සහභාගි වන්නේ අඩුවෙන්

යුරෝපයේ පල්ලි යන්නන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහත වැටෙනවා. ප්‍රංශයේ කතෝලිකයන්ගෙන් සෑම ඉරිදාවකම පූජාවට සහභාගි වන අයගේ සංඛ්‍යාව සියයට දහයකටත් වඩා අඩුයි. පැරිසියේ කතෝලිකයන්ගෙන් නිතිපතා පල්ලි යන අයගේ සංඛ්‍යාව සියයට 3ක් හෝ 4ක් පමණයි. එක්සත් රාජධානියේ, ජර්මනියේ හා ස්කැන්ඩිනේවියානු රටවලද දක්නට තිබෙන්නේ ඒ හා සමාන හෝ ඊටත් වඩා අඩු සහභාගිත්වයක්.

ආගමික අධිකාරීන්ගේ අවධානයට ලක් වී තිබෙන බරපතළ කාරණයක් නම් පූජකත්වයට ඉදිරිපත් වන සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු වී තිබීමයි. ප්‍රංශයේ ශතවර්ෂයකට වඩා අඩු කාලයකදී, පූජකයන්ගේ ගණන සෑම පුරවැසියන් 10,000කටම 14ක් වූ අතර අද එය 10,000කට 1ක් දක්වා ශීඝ්‍රයෙන් අඩු වී තිබෙනවා. මුළු යුරෝපයේම තරුණ පූජකයන්ගේ ගණන එන්න එන්නම අඩු වෙනවා. ඒ වගේම බෙල්ජියමේ හා අයර්ලන්තයේ පවා පූජකයන්ගේ අඩුවක් තියෙනවා. ඒත් එක්කම කතෝලික පල්ලියට යළි හිස එසවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සැක මතු කරමින් දහම් පාසැල්වලට ඇතුළත් වන දරුවන්ගේ සංඛ්‍යාවද ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා.

අද ඉන්න මනුෂ්‍යයන්ට කිසිම ආගමක් ගැන විශ්වාසයක් නැහැ. “සත්‍යය සොයාගත හැක්කේ එක ආගමක් තුළින් පමණක්” යැයි සිතන ප්‍රංශ ජාතිකයන් 1952දී සියයට පනහක්ද 1981දී සියයට පහළොවක්ද සිටි අතර දැන් සිටින්නේ සියයට හයක් පමණයි. ආගම පිළිබඳව තිබෙන උදාසීනකම සෑම තැනකම පැතිරෙමින් පවතිනවා. තමන් ආගමකට සම්බන්ධ නැහැයි කියා කියන සංඛ්‍යාව 1980දී සිටියේ සියයට විසිහයක් වුවද එම සංඛ්‍යාව 2000 වන විට සියයට හතලිස්දෙක දක්වා ඉහළ ගොස් තිබෙනවා.—වර්ෂ 1980 සිට 2000 දක්වා ප්‍රංශ සාරධර්මවල වර්ධනය යන ප්‍රංශ මූලාශ්‍රය ඇසුරෙන්.

සදාචාරය පිළිබඳ අදහස්වල පෙරළියක්

සදාචාරාත්මක පැත්තෙන්ද සාරධර්ම අර්බුදකාරී තත්වයක පවතින බව පැහැදිලියි. කලින් පැහැදිලි කළා හා සමානව බොහෝ පල්ලි යන්නන් සදාචාරය සම්බන්ධයෙන් පල්ලියෙන් පනවන නියෝග පිළිගැනීම ප්‍රතික්ෂේප කරනවා. අන් අයගේ හැසිරීම් රටාව සම්බන්ධයෙන් නීති පැනවීමට ආගමික නායකයන්ට අයිතියක් ඇති බව ඔවුන් පිළිගන්නේ නැහැ. මානව අයිතිවාසිකම් පිළිබඳව පාප් විසින් ගන්නා ලද ස්ථාවරය එක සිතින් පිළිගත් ජනයාම තමන්ගේ පෞද්ගලික ජීවිතවලට බලපාන යම් අදහස් ඉදිරිපත් කළ විට ඒවා අදාළ කරගැනීමට කොහෙත්ම කැමැත්තක් දක්වන්නේ නැහැ. උදාහරණයකට උපත් පාලනය පිළිබඳව පාප් විසින් ඉදිරිපත් කරන ලද අදහස් බොහෝ කතෝලික යුවළයන් ඇතුළු වැඩිදෙනෙක් ගණන් ගන්නේ නැහැ.

මෙම ආකල්පය ආගමක් අදහන හා ආගමක් නොඅදහන ඕනෑම තරාතිරමකට අයත් මිනිසුන්ට බලපායි. ශුද්ධ ලියවිල්ලේ පැහැදිලිවම හෙළා දැක තිබෙන ක්‍රියාපිළිවෙත් අද පැවතීමට ඉඩහැර තිබෙනවා. දැනට අවුරුදු විස්සකට පෙර ප්‍රංශ ජාතිකයන්ගෙන් සියයට හතලිස්පහක් සමලිංගික සේවනය හෙළා දැක්කා. නමුත් අද සියයට අසූවක් එය සාධාරණීකරණය කරනවා. විවාහ බන්ධනය තුළ විශ්වාසවන්තභාවය පවත්වාගැනීම බොහෝදෙනෙකු සිත්ගන්නා දෙයක් ලෙස පිළිගත්තද, මොනම තත්වයන් යටතේ වුවත් විවාහයෙන් පිට සම්බන්ධකම් නොපැවැත්විය යුතුයයි සලකන්නේ සියයට තිස්හයක් පමණයි.—රෝම 1:26, 27; 1 කොරින්ති 6:9, 10; හෙබ්‍රෙව් 13:4.

ආගම්වල සම්මිශ්‍රණයක්

බටහිර සමාජයේ තමන්ට රිසි දේ කිරීමේ නිදහස ලබා දෙන ආගමක් ප්‍රචලිත වෙමින් පවතිනවා. මෙහිදී තමන්ට කැමති විශ්වාසයන් තෝරා බේරාගෙන ආගම ඇදහිය හැකි බව ඔවුන් නිගමනය කරයි. ඔවුන් සමහර මූලධර්ම පිළිගන්නා අතර තවත් සමහර ඒවා පිළිගන්නේ නැහැ. සමහර අය තමන්ව ක්‍රිස්තියානීන් හැටියට හඳුන්වා දෙන නමුත් පුනරුත්පත්තියද විශ්වාස කරනවා. ඒ වගේම තවත් අය එක් එක් ආගම්වලට අයත් විශ්වාසයන් පිළිගැනීමටද පසුබට වන්නේ නැහැ. (දේශනාකාරයා 9:5, 10; ගීතාවලිය 146:3, 4; මතෙව් 7:21; එපීස 4:5, 6) එක් මූලාශ්‍රයක (Les valeurs des Français) පෙන්නුම් කරන්නේ පල්ලිය විසින් ස්ථාපිත කරන ලද ඉගැන්වීම්වලින් ජනයා නැවත හැරී නොඑන තරමට දුරස් වී තිබෙනවා කියායි.

තමන්ගේ පෞද්ගලික අදහස්වලට අනුව ආගමක් අදහාගෙන ඉන්නවා කියන මතයට නැඹුරු වීම තුළ අන්තරායක් තිබෙනවා. ආගමික ඉතිහාසඥ හා ඉන්ස්ටිට්‍යූ ඩී ෆ්‍රාන්ස්වල සාමාජිකයෙක් වන ජොන් ඩෙලියුමෝ පෙන්නුම් කරන්නේ කෙනෙකුට ස්ථිරසාර පදනමකින් තොරව තමන්ට කැමති ආගමක් නිදහසේ සැදීමට බැරි බවයි. “ස්ථිර මූලධර්මයක් මත පදනම් වී නැත්නම් ඇදහිල්ලක් පවතින්න බැහැ.” අධ්‍යාත්මික සාරධර්ම හා ආගමික වතාවත් අතර මනා එකඟතාවක් තිබිය යුතුයි. නොයෙක් ආකාර වෙනස් වීම්වලට භාජන වී තිබෙන සමාජයක එවැනි එකඟතාවක් සොයාගත හැක්කේ කොහෙන්ද?

මනුෂ්‍යයන්ට අනුගමනය කිරීමට හෝ නොකිරීමට නිදහස තිබුණද බයිබලය පුරාම මතක් කර දෙන්නේ අපේ හැසිරීම් රටාවේ හා සදාචාරයේ පිළිගත යුතු සම්මතය පිහිටුවීමේ අයිතිය ඇත්තේ දෙවිට කියායි. ලොව මුළුල්ලේ සිටින මිලියන ගණන් මනුෂ්‍යයන්, මෙම අගනා පොතෙහි අඩංගු අදහස්වල අදටත් ප්‍රයෝගික වටිනාකමක් තිබෙන බව හා එය ‘පාදයන්ට පහනක් හා මාවතට එළියක්’ බව පිළිගන්නවා. (ගීතාවලිය 119:105) ඔවුන් මෙම නිගමනයට එළඹුණේ කෙසේද? ඊළඟ ලිපියේ මේ සම්බන්ධව සාකච්ඡා කරයි.