Skip to content

පටුනට යන්න

දෙවිට හිතැති අය කෙන්යාවෙන්

දෙවිට හිතැති අය කෙන්යාවෙන්

දෙවිට හිතැති අය කෙන්යාවෙන්

සොබා සෞන්දර්යය දෝත දරාගත් කෙන්යාව සුන්දරත්වයේ සංකේතයක් කියා පැවසිය හැක. එහි වනාන්තරවල ඇත්තේ අපූර්ව චමත්කාරයකි. නිම් තෙරක් නොපෙනෙන තැනිතලාවන්, ගිනියම් වූ කාන්තාර සහ සුදෝ සුදු පෙණ කැටි මෙන් දිස් වෙන හිමෙන් නැහැවුණු කඳු මෙහි සුන්දරත්වය තවත් වැඩි කරයි. විල්ඩබීස්ට් නම් දකුණු අප්‍රිකානු ගොන් වස්සන් මිලියන ගණනකට සහ වඳ වී යන රයිනෝසරයන්ට කෙන්යාව රජ දහනකි. තණ නිල්ල හරහා පියමනින ජිරාෆ් රංචුද නෙතට සොඳුරු දසුනක් මවයි.

සැණෙකින් අහස් තලයට පියාසර කරන රාජාලින්ගේ මෙන්ම ගී ගයන වර්ණවත් කුරුල්ලන් විශාල සංඛ්‍යාවකගේ සුමිහිරි නාදය ගුවනට මුසු වෙද්දී දැනෙන මිහිරියාව කියා නිම කළ නොහැකියි. ඇයි දැවැන්තයා සහ කැලේ රජා! ඇත්තෙන්ම කෙන්යාවේ නෙතට සොඳුරු දසුන් සහ සවනට මිහිරි නාදයන් කිසිදා මතකයෙන් ගිලිහී නොයයි.

මෙම සුන්දර දේශය පුරා තවත් හඬක් රැව්පිළිරැව් දේ. එය බලාපොරොත්තුවේ පණිවිඩය පතුරුවන දහස් ගණනකගේ හඬයි. (යෙසායා 52:7) මෙම හඬ ගෝත්‍ර සහ භාෂා 40කගේ දෙසවනට යයි. ඒ අතින් බලද්දී කෙන්යාව ආත්මික සුන්දරත්වයෙන්ද පිරිපුන් දේශයකි.

කෙන්යාවේ වැසියන් බොහෝදෙනෙකු ආගමික දේට ලැදි මෙන්ම ආත්මික දේවල් පිළිබඳව සාකච්ඡා කිරීමටත් මනාප අයයි. නමුත් කතා කිරීමට පුද්ගලයන්ව සොයාගැනීම වෙනත් රටවල්වල මෙන්ම කෙන්යාවෙත් අභියෝගයකි.

දුෂ්කර ආර්ථික තත්වයන් නිසා බොහෝදෙනෙකුට තම සුපුරුදු ජීවන රටාව වෙනස් කිරීමට සිදුව තිබේ. සාමාන්‍යයෙන් නිවසේ වැඩ බලාකියා ගනිමින් එහි රැඳී සිටි කාන්තාව, අද කාර්යාලයක හෝ මඟ දෙපස පලතුරු, එළවළු, මාළු සහ වියන ලද කූඩ විකුණමින් සිටිනු දක්නට ලැබේ. පුරුෂයන් තම පවුලේ ඕනෑ එපාකම් සැපයීම සඳහා වැඩි කාලයක් රැකියාවේ නිරතව සිටියි. දරුවෝ පවා තම කුඩා දෑත්වල රඳවාගත් බැදපු රටකජු සහ තම්බන ලද බිත්තර විකුණමින් වීදියේ ඇවිදිති. මේ හේතුව නිසා දහවල් කාලයේ පුද්ගලයන්ව නිවසේදී සොයාගැනීම දුෂ්කර වී තිබෙන අතර, රාජ්‍යයේ ශුභාරංචිය බෙදාහරින්නන්ට තත්වයන්ට අනුව සකස් වීමේ අවශ්‍යතාවක් මතු වී තිබේ.

නිවසෙන් බැහැරව සිටින අයට, එදිනෙදා කටයුතුවලට පිටත්ව යන අයට, නෑ හිතවතුන්ට, ව්‍යාපාරවල නිරත වන අයට සහ කාර්යාලයේ මිතුරන්ට සාක්ෂි දැරීමේ ප්‍රස්තාව විවෘත කරගන්න කියා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවලට උපදෙස් දී තිබේ. මෙහි සිටින සහෝදරයන් මෙයට ප්‍රතිචාරය දක්වමින් තමන්ට හමු වන සෑම කෙනෙකුටම කතා කිරීමට සූදානමින් සිටී. (මතෙව් 10:11) මෙම වෑයම්වලදී සාර්ථක ප්‍රතිඵල ගෙන දුන් අද්දැකීම් කිහිපයක් සලකා බලන්න.

අපගේ කිට්ටුම අසල්වැසියන් වන ඥාතීන්

කෙන්යාවේ නයිරෝබී නුවර මිලියන තුනක පමණ ජනකායක් වාසය කරයි. එම නගරයේ නැඟෙනහිර මායිමට කිට්ටුව විශ්‍රාමික හමුදාපතිවරයෙකු ජීවත් විය. ඔහුට කාලාන්තරයක් පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන එතරම් පැහැදීමක් තිබුණේ නැත. නමුත් ඔහුගේ පුතා යෙහෝවාගේ සාක්ෂිකරුවෙකි. පෙබරවාරි මාසයේදී කිලෝමීටර 160ක් එහායින් පිහිටි නාකුරු නගරයේ සුවිභේද නිම්නයේ පිහිටි තම පුතාගේ නිවසට ගිය අවස්ථාවේදී සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම a යන ප්‍රකාශනය පුතා ඔහුට තෑගි කළේය. ඔහු එය පිළිගෙන නැවත ඔහුගේ නිවස බලා ගමන්ගත්තේය.

නිවසට පැමිණි පසු තම පුතා දුන් පොත ඔහු භාර්යාවට පෙන්වූ අතර, ඈ එය කියවීමට පටන්ගත්තාය. නමුත් එම ප්‍රකාශනය යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් මුද්‍රණය කරනු ලැබූවක් බව ඇය දැන නොසිටියේය. ක්‍රම ක්‍රමයෙන් එහි තිබූ බයිබල් සත්‍යය ඇගේ හෘදයට කාවැදුණ අතර එම තොරතුරු ඇගේ ස්වාමිපුරුෂයා සමඟද ඈ බෙදාගත්තාය. එයින් ඔහු තුළ ඇති වුණ කුතුහලය නිසා ඔහුත් පොත කියවීමට පටන්ගත්තේය. අවසානයේදී මෙම පොතේ ප්‍රකාශකයන් කවුද කියා දැනගත් විට තමන්ට යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළිබඳව දී ඇත්තේ අසත්‍ය තොරතුරු බව ඔවුන්ට වැටහුණි. පසුව ඔවුන් එම පළාතේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් හමු වී බයිබල් පාඩමක් ආරම්භ කළේය. කියවා තමන් වටහාගත් දේට අනුව සිගරට් භාවිත කිරීම හෝ විකිණීම ක්‍රිස්තියානීන්ට සුදුසු නැති බව ඔවුන්ම තේරුම්ගත්තේය. (මතෙව් 22:39; 2 කොරින්ති 7:1) සිත සිතා ඉන්නවා වෙනුවට ඔවුන් තම වෙළඳ සැලේ තිබුණ සිගරට් තොගයම විනාශ කළේය. මාස කිහිපයක් ගත වූ පසු ඔවුන් බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් වූ අතර වැඩි කාලයක් ගතවීමට පෙර දිස්ත්‍රික් සමුළුවකදී බව්තීස්ම විය.

නිධානයක් සොයා දුන් කසළ ගොඩ

ප්‍රධාන දිස්ත්‍රික්කයේ සමහරක් පැතිවල මිනිසුන් දහස් ගණනකින් පිරී තිබෙන ගම්මාන දැකගැනීමට පුළුවන. මෙහි මැටි, ලී සහ තහඩුවලින් තැනූ නිවාස පේළි රැසක් දක්නට තිබේ. කර්මාන්ත ශාලා සහ වැඩපොළවල්වල රැකියා සොයාගැනීම දුෂ්කර වන විට ජනයා මුදල් සොයාගැනීමට වෙනත් ක්‍රම යොදාගනී. ජුහා කාලී (ස්වහීලී භාෂාවෙන් “ගිනි කාෂ්ටේ”) සේවකයන් ගිනි අව්වේ පරණ කාර්වල ටයර්වලින් සෙරෙප්පු හෝ ඉවත දමන ටින්වලින් භූමිතෙල් ලාම්පු සාදයි. තවත් පිරිසකගේ රැකියාව වී තිබෙන්නේ, කුණු ගොඩවල් සහ කසළ බාල්දි අවුස්සමින් පත්තර, ටින් සහ නැවත භාවිත කළ හැකි බෝතල් ආදිය එකතු කිරීමයි.

කසළ ගොඩක නිධානයක් තිබේවි කියා සිතිය හැකිද? ඒ බව ඔප්පු කරන සැබෑ අද්දැකීම් තිබේ. එක් සහෝදරයෙක් ඒ පිළිබඳව මෙසේ පවසන්නේය. “එක දවසක් කිලුටු ඇඳුම් ඇඳගත්තු හරිම නපුරු පෙනුමක් ඇති මනුස්සයෙක්, පරණ පත්තර සහ සඟරා දමාගත් ප්ලාස්ටික් උරයකුත් කරේ තියාගෙන අපේ සමුළු ශාලාවට ආවා. එයාගේ නම මට කිව්වාට පස්සේ, එයා මගෙන් ඇහුවා ‘ඔයා ළඟ අලුත් මුරටැඹ සඟරා තියෙනවාද?’ කියලා. ඔහු මොනවටද දන්නේ නැහැ ඇවිල්ලා තියෙන්නේ කියලා කල්පනා කරන ගමන් මම ඔහුට විවිධ සඟරා පහක් පෙන්නුවා. ඔහු එකින් එක බලලා, ‘මම මේ ඔක්කොම ටික ගන්නද’ කියලා ඇහුවා. මට පුදුම හිතුණා. ඒත් එක්කම වගේ මම දුවලා ගිහින් පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක b කියන පොත ගෙනල්ලා පාරාදීසය තියෙන පින්තූරය ඔහුට පෙන්නුවා. ඊට පස්සේ මං අපි නොමිලේ පවත්වන බයිබල් පාඩම ගැන පැහැදිලි කරලා මෙහෙම ඇහුවා. ‘විලියම්, අපි හෙට බයිබල් පාඩමක් පටන්ගමුද?’ ඔහු කැමති වුණා!

“එක ඉරිදා දවසකදී එයා පළවෙනි වතාවට රැස්වීමට ආවා. එදා මම තමයි ප්‍රසිද්ධ කථාව දුන්නේ. විලියම් ශාලාව ඇතුලට ඇවිල්ලා සභාවේ ඉන්න අය දිහා හොඳට බැලුවා. ඊට පස්සේ වේදිකාවේ හිටිය මං දිහාත් බලලා, එකපාරටම එළියට දුවලා ගියා. මම පස්සේ ඇහුවා ඇයි එහෙම කළේ කියලා. ඔහු ලජ්ජාවෙන් කිව්වා ‘එතන හිටිය අය පිරිසිදුවට හිටිය නිසා මට මොකක්ද වගේ හිතුණා’ කියලා.

“විලියම් බයිබල් පාඩම හොඳින් කරගෙන යනකොට ටිකෙන් ටික එයාගේ ජීවිතය වෙනස් වෙන්න පටන්ගත්තා. එයාගේ අපිළිවෙළකට තිබුණ කොණ්ඩේ කපලා, පිරිසිදුව සහ පිළිවෙළකට ඇඳුම් අඳින්නත් පටන්ගත්තා. ඊට පස්සේ වරද්දන්නේ නැතුව රැස්වීම්වලට එන්න පටන්ගත්තා. සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොත නිකුත් වුණාට පස්සේ, අපි ඒ පොත පාඩම් කළා. මේ අතරතුර විලියම් දිව්‍යාණ්ඩු සේවා පාසැලේ ශිෂ්‍ය කතා දෙකක් දුන්නා. ඊට පස්සේ බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වුණා. විශේෂ එක්රැස්වීමකදී ඔහු බව්තීස්ම වෙලා අපේ සහෝදරයෙක් හැටියට පිළිගන්න කොට මට ඇති වුණේ පුදුම සන්තෝෂයක්.”

විලියම්ට මුරටැඹ සඟරාවක් මුලින්ම ලැබුණේ කොහොමද? “කුණු ගොඩේ පරණ පත්තරත් එක්ක සඟරා කිහිපයකුත් මට හම්බ වුණා” කියා ඔහු උත්තර දුන්නේය. ඔහුට නිධානයක් උරුම වූයේ කවුරුවත්ම නොසිතන ආකාරයකටය.

රැකියා ස්ථානයේ සාක්ෂි දැරීම

අප වැඩ කරන ස්ථානයේ අවිධිමත්ව සාක්ෂි දැරීමට ලැබෙන ප්‍රස්තාවන් ගැන අප කල්පනාකාරිව සිටිනවාද? නයිරෝබී සභාවේ වැඩිමහල්ලෙකු වන ජේම්ස්ට බයිබල් සත්‍යය ගැන දැනගැනීමට ලැබුණේ අවිධිමත් සාක්ෂි දැරීමක් තුළිනි. මේ හේතුව නිසා අන් අයට සත්‍යය දේශනා කිරීමේදී මෙම ක්‍රමය යොදාගැනීමට ඔහු හරිම දක්ෂයෙකි. මේ සම්බන්ධයෙන් අද්දැකීමක් බලමු. එක් දිනක් ජේම්ස් සේවය කරන කාර්යාලයේ සෙසු සේවකයෙක් “ජේසුස් මිදුම්කරුය” යන වැකිය සඳහන් බැජ් එකක් පැළඳගෙන සිටියේය. ජේම්ස් එවැන්ජලිස්ත පිලිප්ගේ දේශනා ක්‍රමය අනුකරණය කරමින්, “ඔය වචනවල නියම තේරුම දන්නවාද?” කියා එම සේවකයාගෙන් ප්‍රශ්න කළේය. (ක්‍රියා 8:30) එම ප්‍රශ්නය ඵලදායක සාකච්ඡාවකට මඟ පැදීය. ඉන්පසු බයිබල් පාඩමක් පටන්ගත් අතර කාලයක් ගියායින් පසු ඔහු බව්තීස්ම ලත් සහෝදරයෙකු බවට පත් විය. ඒ ආකාරයට වෙනත් පුද්ගලයන් සමඟත් ජේම්ස් පැවැත්වූ සාකච්ඡාවන් පිළිබඳව ඔහුගෙන්ම අසා බලමු.

“ටොමුයි මමයි වැඩ කළේ එකම සමාගමේ. අපේ ස්ටාෆ් බස් එකේ අපි උදේ හවා ගමන් කළේ එකට. එක උදේ වරුවක අපි දෙන්නට එක ළඟ අසුන්ගන්න අවස්ථාවක් ලැබුණා. ඒ වෙලාවේ මම අපේ සංවිධානයේ පොතක් ටොම්ට හොඳට පෙනෙන විදිහට තියාගෙන කියෙව්වා. මම හිතුව විදිහටම ඔහුට ඒ පොත ගැන ආශාවක් ඇති වුණා. ඊට පස්සේ මම මගේ පොත ඔහුට දුන්නා. ඔහුට ඒ පොත කියවද්දී ඒ ගැන පැහැදීමක් ඇති වුණා. ඒ විතරක් නොමෙයි බයිබල් පාඩමකටත් එකඟ වුණා. දැන් ඔහුත් ඔහුගේ භාර්යාවත් යෙහෝවාගේ බව්තීස්ම ලත් සේවකයන්.”

ජේම්ස් තවදුරටත් පැවසුවේ මෙසේයි. “කෑම වේලාවේ හොඳ සාකච්ඡාවන් නිතර ඇති වෙනවා. ඒ වගේ අවස්ථාවන් දෙකකදී තමයි මට ඊෆ්‍රේම් සහ වොල්ටර්ව මුණ ගැසුණේ. ඒ දෙන්නම දන්නවා මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියලා. ඊෆ්‍රේම්ට දැනගන්න අවශ්‍ය වුණා ඇයි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට මේ තරම් විරුද්ධවාදිකම් තියෙන්නේ කියලා. වොල්ටර්ට දැනගන්න ඕන වුණා සාක්ෂිකරුවන් සහ වෙනත් ආගම් අතර තියෙන වෙනස මොකක්ද කියලා. මම බයිබලයෙන් දුන්න උත්තරවලින් දෙන්නම සෑහීමට පත් වුණා විතරක් නොවෙයි, බයිබලය පාඩම් කරන්නත් කැමති වුණා. ඊෆ්‍රේම් ඉක්මනින්ම දැනුමෙන් වර්ධනය වුණ අතර කාලයක් ගියාට පස්සේ ඔහුත් ඔහුගේ භාර්යාවත් ඔවුන්ගේ ජීවිත යෙහෝවාට කැප කෙරුවා. ඔහු දැන් වැඩිමහල්ලෙක් ලෙස සේවය කරන අතර භාර්යාව ස්ථාවර පුරෝගාමියක ලෙස සේවය කරනවා. වොල්ටර්ට ගොඩක් විරුද්ධවාදිකම් ආව නිසා ඔහු බයිබල් පාඩම නැවැත්තුවා. ඔහු ඔහුගේ පාඩම් පොත් පවා අයින් කෙරුවා. ඒත් මගේ දැඩි උත්සාහය නිසා නැවතත් පාඩම පටන්ගත්තා. ඔහුත් දැන් වැඩිමහල්ලෙක් ලෙස සේවය කිරීමේ වරප්‍රසාදය භුක්ති විඳිනවා.” ජේම්ස් ඔහුගේ සේවා ස්ථානයේ අවිධිමත්ව සාක්ෂි දැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයන් 11දෙනෙකු සැබෑ ක්‍රිස්තියානීන් වී තිබීම ඇත්තෙන්ම දිරිගන්වනසුලුයි.

පුදුම දනවන අද්දැකීමක්

කුඩා ගම්මානයක නෑ හිතවතුන් පිරිසක් ලේක් වික්ටෝරියා ඉවුර අසල රැස් වුණේ අවමඟුල් උත්සවයක් සඳහාය. එම අවමඟුලට රැස් වී සිටි පුද්ගලයන් අතර වයස්ගත සාක්ෂිකරුවෙකුද සිටියේය. ඔහු අවමඟුලට පැමිණ සිටි ඩොලි නමැති ගුරුවරිය වෙත ගොස් මළවුන්ගේ තත්වයත් මරණය සදාකාලයටම නැති කිරීම පිළිබඳ යෙහෝවාගේ අරමුණත් ඇයට පැහැදිලි කළේය. ඇයගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණ නිසා ඔහු ඇයට මෙසේ පොරොන්දු විය. “ඔයාගේ ගමට ගියාම අපේ මිෂනාරිවරුන් ඔයාව බැහැදකින්න ඇවිල්ලා, බයිබලය ගැන ඔයාට උගන්වයි.”

කෙන්යාවේ තිබෙන විශාලතම නගර අතරින් තුන්වන ස්ථානයේ තිබෙන්නේ ඩොලි ජීවත් වන ගමයි. ඒ වන විට එහි සේවයේ යෙදෙමින් සිටියේ සාක්ෂිකාර මිෂනාරිවරුන් හතරදෙනෙකු පමණයි. මෙම වයස්ගත සහෝදරයා එම මිෂනාරිවරුන්ට ඩොලිගේ නිවසට යන මෙන් දැනුම් දීමක් කළේ නැත. නමුත් කවුරු හරි ඇගේ නිවසට යයි කියා ඔහු තුළ නිසැකකමක් තිබුණ අතර දේවල් ඒ ආකාරයෙන්ම සිදු විය. ටික කාලයක් ඇතුළත මිෂනාරි සහෝදරියකට ඩොලිව මුණගැසුණු අතර ඇය බයිබලය පාඩම් කිරීමට සතුටු විය. ඩොලි දැන් බව්තීස්ම වී සිටී. ඇගේ දියණිය දිව්‍යාණ්ඩු සේවා පාසලේ ශිෂ්‍යාවක් වන අතර ඇගේ පුතුන් දෙදෙනාද බව්තීස්ම වී ඇත. ඒ වගේම ඇයට පුරෝගාමි සේවා පාසැලට සහභාගි වීමටද වරම් ලැබුණි.

වර්ධනය සඳහා දායක වීම

අවිධිමත්ව සාක්ෂි දැරීමට ගත් වෑයමේ ප්‍රතිඵලයක් වශයෙන් කෙන්යාවේ දහසකට අධික සංඛ්‍යාවකට ශුභාරංචිය ඇසීමේ ප්‍රස්තාව උදා වී තිබේ. ප්‍රචාරකයන් 15,000කට වඩා වැඩි සංඛ්‍යාවක් මෙම වැදගත් වැඩයේ වෙහෙස මහන්සි වී හවුල් වන අතර, පසුගිය වසරේ ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයට 41,000කට වඩා සංඛ්‍යාවක් සහභාගි විය. කෙන්යාව පුරාම රාජ්‍ය ශාලාවලට රැස්වීම් සඳහා එකතු වන සංඛ්‍යාව රාජ්‍ය ප්‍රචාරකයන්ගේ ගණන මෙන් දෙගුණයකි. මේ හේතුව නිසා රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ අවශ්‍යතාවක් තිබේ.

ප්‍රධාන නගරවල මෙන්ම ගම්බද ප්‍රදේශයන්හි පවා රාජ්‍ය ශාලා ගොඩනඟා තිබේ. මෙයින් එක් රාජ්‍ය ශාලාවක්, නයිරෝබී නුවරින් කිලෝමීටර 320ක් ඊසාන දෙසට වන්නට පිහිටා ඇති හුදෙකලා ප්‍රදේශයක් වන සම්බුරු දිස්ත්‍රික්කයේ ගොඩනැඟීය. මෙම ප්‍රදේශය 1934දී “මාරාලාල්” ලෙස නම් කළේය. සම්බුරු භාෂාවෙන් එහි අර්ථය “බැබලෙනවා” යන්නයි. එයට හේතුව වූයේ එම ප්‍රදේශයේ තහඩුවලින් සෙවිලි කළ මුල්ම ගොඩනැඟිල්ලේ වහලය හිරු රැස්වලට බැබලෙමින් තිබීමයි. අවුරුදු 62කට පසු තවත් තහඩු සෙවිලි කළ ගොඩනැඟිල්ලක් මාරාලාල්හි ඉදි විය. එය එම ප්‍රදේශයේ සැබෑ නමස්කාරකයන් රැස් වෙන ස්ථානය වන නිසා කාන්තියෙන් “බැබළෙනවා” යයි කිව හැක.

කෙන්යාවේ දුෂ්කර ගම්මානයක් වූ එම ප්‍රදේශයේ පළමු රාජ්‍ය ශාලාව ගොඩනැඟීමට එහි සිටි ප්‍රචාරකයන් 15දෙනා කදිම වෑයමක් දැරීය. ඔවුන්ට වැඩ කිරීමට සිදු වූයේ සීමිත අරමුදල් ප්‍රමාණයක් ඇතුවයි. එමනිසා ප්‍රදේශයේ තිබෙන අමුද්‍රව්‍යයන් ප්‍රයෝජනයට ගැනීමට සිදු විය. කෙළින් සිටුවා ඇති කණු එකිනෙකට සවි කිරීම සඳහා ඔවුන් රතු පස් තෙත් කොට සාදාගත් මැටි යොදාගනී. පසුව එම බිත්ති පිරිමැද ගොම සහ අළු එකතු කර තනාගත් මිශ්‍රණයකින් කපරාදු කළේය. මෙම කපරාදුව මගින් අවුරුදු ගණනාවකට ඔරොත්තු දීමේ හැකියාවක් එම බිත්තිවලට ලැබුණි.

ගොඩනැඟීමේ කටයුතුවලට අවශ්‍ය කණු ලබාගැනීම සඳහා ගස් කැපීමට අවසර පතක් සහෝදරයන් ලබාගත්තේය. නමුත් ළඟම තිබුණු වනාන්තරයට යෑමට පවා කිලෝමීටර 10ක් ඇවිදීමට සිදු විය. සහෝදර සහෝදරියන් වනාන්තරයට ගොස් ගස් කඳන් කපා, ඉරා, එම කණු කර මත තබාගෙන ඉදි කිරීම් ස්ථානයට ගෙන එයි. එක් දිනක් මෙසේ වනාන්තරයට ගොස් එන විට පොලිසිය සහෝදරයන්ව නවත්වා, ඔවුන්ගේ අවසර පත වලංගු නැති බව පවසා එහි සිටි විශේෂ පුරෝගාමී සහෝදරයාව අත්අඩංගුවට ගැනීමට තැත් කළේය. එම ප්‍රදේශයේ අයව සහ පොලිසියේ අයව හොඳින් හඳුනන එම ප්‍රදේශයේම සහෝදරියක්, “ඔයගොල්ලන් අපේ සහෝදරයාව අත්අඩංගුවට ගන්නවා නම් අපිවත් අත්අඩංගුවට ගන්න. මොකද අපි හැමෝම ගස් කැපුවා!” කියා පැවසුවාය. එවිට එම නිලධාරියා ඔවුන් සියලුදෙනාටම යන්න ඉඩ දුන්නේය.

වනාන්තරයක වන සතුන්ගෙන් එල්ල වන තර්ජන ගැන අලුතෙන් කීමට අවශ්‍ය නැත. එක් දිනක් සහෝදරියක් ගසක් කපා බිමට හෙළද්දීම සතෙකු පැන දුවනවා ඇය දුටුවාය. ඈතින් දුටු දුඹුරු වර්ණය නිසා මුවෙකු කියා ඇය සිතුවත් පසුව සොයා බැලූ විට දැනගත්තේ එය සිංහයෙකුගේ අඩි සලකුණු බවයි. එවන් බාධක මැද වුවත් සහෝදරයන් ශාලාව තනා නිම කළ අතර එය යෙහෝවාට ප්‍රශංසා කිරීම සඳහා කාන්තියෙන් “බැබළෙන” ස්ථානයක් බවට පත් වුණි.

වර්ෂ 1963 පෙබරවාරි 1වනදා කෙන්යාව දිව්‍යාණ්ඩු ඉතිහාසයේ වැදගත් කඩ ඉමක් පසු කළේය. එම දිනයේදී ප්‍රථම ශාඛා කාර්යාලය විවෘත කරන ලදි. එය වර්ග අඩි 80ක් පමණ වූ කාමරයකි. වර්ෂ 1997 ඔක්තෝබර් 25වනදා කෙන්යාව දිව්‍යාණ්ඩු ඉතිහාසයේ තවත් කඩ ඉමක් පසු කරමින් වර්ග අඩි 84,000ක් පමණ වන බෙතෙල් සංකීර්ණය කැප කළේය! එම බෙතෙල් සංකීර්ණය අවුරුදු 3ක් පුරා දැරූ වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයකි. ජාතීන් 25කට පමණ අයත් ස්වේච්ඡා සේවකයන් අක්කර 7.8ක වල් බිහි වුණු මඩ වගුරක් ඉතාමත් අලංකාර උයනක් බවට පරිවර්තනය කළේය. එම අලංකාර වටපිටාව තුළ ගොඩනඟා ඇති බෙතෙල් සංකීර්ණය, නවතම ශාඛා පහසුකම් සහ බෙතෙල් පවුලේ සාමාජිකයන් 80දෙනෙකුට නවාතැන් පහසුකම්ද සපයයි.

යෙහෝවා ඔහුගේ සෙනඟ වෙනුවෙන් කර ඇති දේවල් සඳහා අපට ප්‍රීතිවීමට ඕනෑතරම් හේතූ තිබේ. කෙන්යාව ආත්මික සුන්දරත්වයෙන් පිරිපුන් දේශයක් කරවමින් දෙවිට හිතැති අය සෙවීමට දෙවි ඔහුගේ සේවකයන්ගේ හෘදයන් පෙලඹවීම ගැන අප ඔහුට ස්තුතිවන්ත විය යුතුයි කියා ඔබට සිතෙන්නේ නැද්ද?

[පාදසටහන්වල]

a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.

b Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.