Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | ජීවිතය නැති කරගැනීමද විසඳුම?

තත්වයන් වෙනස් වෙනවා

තත්වයන් වෙනස් වෙනවා

“අපව සෑම ආකාරයකින්ම තළාපෙළා දැමුවත් අපගේ ගමන ඉන් නතර වන්නේ නැත. අප කොතරම් ව්‍යාකූල වී සිටියත් අපට ගැලවීමට මඟක් තිබෙන නිසා අපගේ බලාපොරොත්තු සුන් වන්නේ නැත.”2 කොරින්ති 4:8.

දිවි නසාගැනීම කියන්නේ “තාවකාලික ප්‍රශ්නයකට සදාකාලික විසඳුමක්” කියලයි බොහෝ අය හිතන්නේ. ඒත් විසඳුමක් ඇත්තෙම නැහැයි කියා හිතන ප්‍රශ්නයක් පවා අපි නොහිතන විදිහට වෙනස් වෙන්න පුළුවන්. “ඔවුන්ගේ තත්වයන් වෙනස් වුණා” යන කොටුව බලන්න.

තත්වය වෙනස් වුණේ නැතත් අද දවසේ ඒ ප්‍රශ්නයට කරන්න පුළුවන් දේ ගැන හිතන්න. හෙට දවසේ වෙන දේ ගැන හිතලා කරදර වෙන්න එපා. යේසුත් කිව්වේ “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි” කියලයි.මතෙව් 6:34.

ඔබ මුහුණ දෙන තත්වය කොහොමටවත් වෙනස් කරන්න බැරි නම්, උදාහරණයකට ඔබට දරුණු රෝගයක් තියෙනවා නම් විවාහය දෙකඩ වෙලා නම් හෝ ආදරය කළ කෙනෙක් මිය ගිහින් නම් ඔබට මොනවාද කරන්න පුළුවන්?

ඒ වගේ දේවල් ඔබට වෙනස් කරන්න බැරි වුණත් ඒ ගැන ඔබ හිතන විදිහ වෙනස් කරගන්න පුළුවන්. මුලින්ම තත්වය ඔබට වෙනස් කරන්න බැහැයි කියලා පිළිගන්න. එවිට ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන් වෙනත් ක්‍රමයක් ගැන හිතන්න ඔබට හැකි වෙයි. (හිතෝපදේශ 15:15) එහෙම හිතුවොත් ජීවිතය නැති කරගන්න උත්සාහ කරනවා වෙනුවට ඒ දේවල් විඳදරාගෙන ජීවිතයට මුහුණ දෙන්න ශක්තිය ලැබෙයි.යෝබ් 2:10.

මතක තියාගන්න: විශාල කන්දක් අඩියෙන් දෙකෙන් නඟින්න බැහැ. පියවරෙන් පියවර තමයි නඟින්න ඕනේ. ඒ හා සමානව ඔබට කොයි තරම් ලොකු ප්‍රශ්නයක් තිබුණත් එය ටිකෙන් ටික විසඳගන්න උත්සාහ කරනවා නම් එයින් ජයගන්න පුළුවන්.

අදම කරන්න: හිතට වධ දෙන දෙයක් තියෙනවා නම් මිතුරෙකුට හෝ පවුලේ කෙනෙකුට කියන්න. ගැටලුව දිහා වෙනස්ම විදිහකට බලන්න ඔවුන් ඔබට උදව් කරයි.හිතෝපදේශ 11:14.