Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

ස්විට්සර්ලන්තය

අවුරුදු 60කට වඩා වැඩි පුද්ගලයන් අවුරුද්දේ වෙනත් දවසක මිය යනවාට වඩා තම උපන් දින දවසේදී මිය යෑමට තියෙන ඉඩකඩ සියයට 14කින් වැඩියි කියලා අධ්‍යයනයකින් හෙළි වුණා. උපන් දින දවසේ මාරාන්තික හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාව සියයට 18ක් බවද කාන්තාවන්ට ආඝාතය (stroke) වැළඳීමේ ප්‍රවණතාව සියයට 21ක් බවද පුරුෂයන් සිය දිවි හානි කරගැනීමේ ප්‍රවණතාව සියයට 35ක් වන බවද සොයාගත්තා. මානසික පීඩනය සහ මත්පැන් මේකට හේතුව විය හැකියි කියලා පර්යේෂකයන් හිතනවා. තවත් පර්යේෂකයන් සිතන්නේ උපත සහ විපත එකම දිනයේ වීමට හේතුව සටහන් කිරීමේදී සිදු වූ වරදක් කියලයි.

ඊශ්‍රායලය

කඩවසම් පිරිමි තම රැකියා අයදුම් පතේ ෆොටෝ එකක් ඇමුණුවොත් ලස්සන කාන්තාවන්ට වඩා සම්මුඛ පරීක්ෂණවලට කැඳවීමට ඇති ඉඩකඩ වැඩියි. සම්මුඛ පරීක්ෂණවලට කැඳවන්නේ කාවද කියා වැඩිපුරම තීරණය කරන්නේ කාන්තාවන් වීම ඒකට හේතුව විය හැකියි කියලා පර්යේෂකයන් හිතනවා. සඟරාවක මෙසේ සඳහන් වුණා. “ගැහැණු කවදත් ගැහැණුන්ට ඊර්ෂ්‍යයයි. ඒකයි ලස්සන ගැහැණුන්ට රැකියා නොලැබෙන්නේ.”—The Economist.

එක්සත් ජනපදය

ටෙනසි ප්‍රාන්තයේ ඕක් රිජ්හි න්‍යෂ්ටික ආයුධ ටොන් සියගණනක් ඇති ගබඩා සංකීර්ණයට හොරෙන් ඇතුල් වූ අවුරුදු 82ක් වයසැති කන්‍යා සොයුරියක් සහ අවුරුදු 63ක් හා 57ක් වූ ඇගේ මිතුරන් එහි බිත්තිවල යුධ විරෝධී පාඨ ලිව්වා. ඒ ගැන බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා කිව්වේ “ලෝකයේ වැඩිම ආරක්ෂාවක් තියෙන්න ඕන තැනක්” වන මෙහි නිසි ආරක්ෂාව නැති එක ගැන “මම හුඟක් කනස්සලු වෙනවා” කියලයි.

ඕස්ට්‍රේලියාව

සිගරට් පැකට් විවිධ පාට සහ ලාංඡන සහිතව වෙළඳපොළට දැමීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුම්කොළ සමාගම්වලට නියෝගයක් පැනෙව්වා. ඒ අනුව සියලුම සිගරට් පැකට් තද දුඹුරු පැහැයෙන් මුද්‍රණය කළ යුතු අතර ඒ මත දුම්බීමෙන් ඇති වන ප්‍රතිඵල පෙන්වන රූප සටහන්ද තිබිය යුතුයි.