Skip to content

පටුනට යන්න

විසඳුම පෙළපාළි යෑමද?

විසඳුම පෙළපාළි යෑමද?

 මුල් පිටුවෙන්

විසඳුම පෙළපාළි යෑමද?

මෙම සඟරාවේ ප්‍රකාශකයන් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කිසිම දේශපාලනයකට සම්බන්ධ නැහැ. (යොහන් 17:16; 18:36) අද ලොව පුරා පැතිරෙන නොසන්සුන් වාතාවරණය ගැන මේ ලිපියේ කතා කළත් අපි කිසිම රටකට හෝ දේශපාලනයකට පක්ෂව හෝ විපක්ෂව කතා කරන්නේ නැහැ.

මොහොමඩ් බුවාසිසි 26 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙක්. ඔහු ජීවිතේ ගැට ගසාගත්තේ පලතුරු විකිණීමෙන්. හරි හමං රස්සාවක් හොයාගන්න බැරි වීම ගැනත්, රජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් ගැනත් ඔහු සිටියේ කලකිරිලා. ඔහුගේ ඉවසීමේ රතු ඉර පැන්නේ 2010 දෙසැම්බර් 17වෙනිදා. එදා පොලිස් නිලධාරින් ඇවිත් ඔහුගේ පලතුරු කරත්තය අත්අඩංගුවට ගත්තා. ඇසින් දුටු අය පැවසුවේ තරාදිය ගන්න හැදූ අවස්ථාවේදී ඔහු ඊට විරෝධය පෑ නිසා පොලිස් කාන්තාවක් ඔහුගේ කම්මුලටද ගැසූ බවයි.

ඇති වූ කේන්තියයි ලැජ්ජාවයි නිසා පැමිණිලි කිරීමට ළඟම තිබූ රජයේ කාර්යාලයට ගියත් ඔහුගේ දුක් ගැනවිල්ලට කිසිවෙක් කන් දුන්නේ නැහැ. ඉන්පසු කාර්යාලය ඉදිරියට ගිය ඔහු “රස්සාවක් නැතුව අපි කන්නෙ කොහොමද” කියලා කෑගසා ඇසුවා. ඊළඟට ඔහු කළේ ඇඟට පෙට්‍රල් හලාගෙන ගිනි තියාගැනීමයි. දරුණු පිලිස්සීම් තුවාල නිසා සති තුනකට විතර පසු ඔහු මිය ගියා.

මේ ඛේදවාචකය ටියුනීසියාවට වගේම අවට රටවලටත් බලපෑවා. එරට ආණ්ඩුව පෙරළීමටත් අනිත් අරාබි රටවල පවා ආණ්ඩු විරෝධී පෙළපාළි යෑම ලැව් ගින්නක් වගේ පැතිර යන්නත් මෙය හේතු වුණු බව බොහෝදෙනාගේ අදහසයි. නිදහසේ තම අදහස් ප්‍රකාශ කළ අයට ලැබෙන සාකරොව් සම්මානය 2011දී බුවාසිසි හා තවත් හතරදෙනෙකුට යුරෝපා පාර්ලිමේන්තුව විසින් පිරිනමනු ලැබුවා. ඒ වගේම ලන්ඩනයේ ප්‍රසිද්ධ සඟරාවක් බුවාසිසිව 2011 වසරේ විශිෂ්ටතම මිනිසා ලෙසත් නම් කළා.—The Times.

 ඉල්ලීම් දිනා ගැනීමට විරෝධතා පෙළපාළි ප්‍රබල අවියක් වී තිබෙන බව ඉහත අද්දැකීමෙන් පෙනී යනවා. ඒත් පෙළපාළි යන්න මිනිසුන් වැඩියෙන් පෙලඹෙන්නේ ඇයි? වෙනත් විකල්පයක් නැද්ද?

කොහේ බැලුවත් පෙළපාළි. ඇයි මේ?

ඊට බලපා ඇති හේතු කිහිපයක්.

සෑහීමට පත් නොවීම. රටේ පාලනය සහ ආර්ථික සැලැස්ම ගැන සෑහීමට පත් නොවෙන විට ජනයා ඊට විරෝධය පානවා. තෝරාගත් සුළු පිරිසකට වැඩි වරප්‍රසාද ලැබීම, දූෂණය, වංචාව සහ අයුක්තිය වැනි දේවලුත් ඊට හේතු විය හැකියි. නමුත් මූලික අවශ්‍යතා ඉටු කරන ආණ්ඩුවක් සමඟ සහයෝගෙන් ප්‍රශ්න ගැටලු විසඳාගැනීමට ජනයා කැමතියි.

විරෝධතාවයට මඟ පාදන සිද්ධියක් ඇති වීම. කාට හරි අසාධාරණයක් වෙද්දි මිනිස්සු ඉස්සර වගේ ඇස් කන් පියං ඉන්නෑ. ඒ වෙනුවෙන් නැගී සිටිය යුතුයි යන හැඟීම ඔවුන් තුළ තියෙනවා. උදාහරණෙකට බුවාසිසිගේ සිද්ධියත් සමඟම ටියුනීසියාවේ විරෝධතා පෙළපාළි රැල්ලක් ඇති වුණා. ඉන්දියාවේ ආනා හසාරේ අල්ලස් දූෂණයට එරෙහිව උපවාස කරද්දී ඊට සහය දෙමින් ගම් හා නගර 450ක ජනයා මහ මඟට බැස්සා.

අපි ජීවත් වෙන්නේ ‘මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කරන’ කාලයක. (දේශනාකාරයා 8:9) අද දූෂණය, අයුක්තිය හැම තැනම! ආණ්ඩුවලටවත් ආර්ථික සැලසුම්වලටවත් මිනිසුන්ගේ අවශ්‍යතා සපුරන්න බැහැයි කියලා මිනිසුන්ට හොඳින්ම අවබෝධ වෙලා තියෙනවා. ස්මාට් ෆෝන්, ඉන්ටනෙට් සහ 24 පැයේ ප්‍රවෘත්ති විකාශය නිසා අප්‍රසිද්ධ තැනක සිදු වෙන දෙයක් වුණත් එසැණින් දැනගන්න ලැබෙනවා.

විරෝධය පෑමෙන් අත් කරගෙන තියෙන්නේ මොනවද?

ඊට සහය වන අය කියන්නේ මෙහෙමයි.

දුප්පතාට සහනයක්. එක්දහස් නවසිය තිස් ගණන්වල සිදු වූ ආර්ථික පරිහානියේදී ඇමරිකාවේ චිකාගෝ ප්‍රාන්තයේ ඉලිනොයිස්හි වැසියන් තම රැකියා නැවත දෙන ලෙස ඉල්ලමින් පාරට බැස්ස නිසා රැකියා කප්පාදුව නවතා බලධාරින් සමහරුන්ට නැවත රැකියා දුන්නා. නිව් යෝර්ක් නගරයේ කුලී නිවාසවලින් එළියට දැමූ අයගෙන් 77,000කට ආයෙත් තම නිවෙස් ලැබුණේ ඔවුන් ඊට පෑ විරෝධය නිසයි.

අයුක්තියට පිළියමක්. බස් රථ තුළ කලු හා සුදු ජාතිකයන් වෙන වෙනම ඉඳ ගත යුතුයි යන නීතිය අහෝසි වුණේ 1955/1956 කාලයේදී ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මොන්ට්ගොමරි නගරයේ බස් රථ රියදුරන් කළ වර්ජනය නිසයි.

ඉදි කිරීම්වලට තිතක්. වර්ෂ 2011 දෙසැම්බර් මාසයේදී හොං කොං නගරයට කිට්ටුව ගල් අඟුරු බලාගාරයක් ඉදි කිරීමට ගත් උත්සාහය නැවතුණේ දහස් ගණනක් ඊට විරෝධය පෑ නිසයි. පරිසරයට වෙන්න ගිය හානියත් එයින් වැළකුණා.

කොතරම් පෙළපාළි ගියත් තමන් බලාපොරොත්තු වෙන දේවල් අත් කරගන්න හැමවිටම විරෝධතාකරුවන්ට හැකි වෙන්නෑ. උදාහරණෙකට  බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් දැඩි ක්‍රියාමාර්ග ගන්න පවා ඉඩ තියෙනවා. මෑතකදී මැද පෙරදිග රටක නායකයෙක් කිව්වේ “හොඳින් නැත්නම් නරකින් මේ වර්ජකයන්ව මට්ටු කරන්න ඕනේ” කියලයි. ඒ රටේ සිදු වූ විරෝධතා රැලියකදී දහස් ගණනකට ජීවිත අහිමි වුණා.

පෙළපාළි ගිහින් තම අරමුණු ඉටු කරගත්තත් පෙළපාළිකරුවන්ට නොසිතූ වෙනත් ගැටලු පසුවට මතු වෙනවා. අප්‍රිකානු රටක නායකයෙක්ව බලයෙන් පහ කර අලුත් කෙනෙක්ව පත් කිරීමට සහය දුන් පුද්ගලයෙක් සඟරාවකට මෙවැනි දෙයක් කිව්වා. “අපි බලාපොරොත්තු වුණ කිසි දෙයක් අලුත් පාලකයා ඉටු කළේ නැහැ.” (Time) මේ විරෝධතාකරුවන් කරගත්තේ හරියට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ දෙයක්.

විකල්පයක් නැද්ද?

දූෂිත පාලනයකට විරුද්ධව නැගී සිටීම මිනිසෙකුගේ පරම යුතුකම කියලයි බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් හිතන්නේ. මානව හිමිකම් වෙනුවෙන් සටන් කර වසර ගණනාවක් සිරබත් කෑ චෙච් සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයෙක් වූ වට්ස්ලාෆ් හවෙල් 1985දී මෙවැනි දෙයක් ලිව්වා. “යම් කෙනෙක්ට තේරෙනවා නම් අයුක්තියක් අසාධාරණයක් වෙනවා කියලා එයා ඒ වෙනුවෙන් තම ජීවිතය දෙන්න වුණත් ලෑස්ති වෙන්න ඕනේ.”

තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ බුවාසිසි සහ අනිත් අය කර තියෙන්නේ හවෙල් විසින්  කිවූ දේට සමාන දෙයක්. එක් ආසියානු රටක ආගමික හා දේශපාලනික නිදහස වෙනුවෙන් සටන් කළ පිරිසක් ගිනි තබාගත් අවස්ථාවේදී එසේ කරන්න ඔවුන් පෙලඹෙන්නේ ඇයි කියා පුද්ගලයෙක් සඟරාවකට පැවසුවේ මෙසේයි. “අපිට ආයුධ නෑ. කාටවත් හිංසා කරන්න අපි කැමතිත් නෑ. අපිට වෙන විකල්පයකුත් නෑ.”—Newsweek.

අයුක්තිය, දූෂණය සහ හිංසනයට එකම විසඳුම මොකක්ද කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ, දෙවියන් ස්වර්ගයේ පිහිටුවා තිබෙන ආණ්ඩුවයි. ඒ ආණ්ඩුව මගින් මිනිසුන්ව තළා පෙළා දමන දූෂිත ආණ්ඩු ක්‍රම නැති කර දමනවා. දේව ආණ්ඩුවේ පාලකයා ගැනත් එහි මෙහෙම සඳහන් වෙනවා. “උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය. පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය.”—ගීතාවලිය 72:12, 14.

සාමකාමී ලොවක් ලැබෙන්නේ දෙවිගේ රාජ්‍යයෙන් පමණයි කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. (මතෙව් 6:9, 10) ඒ නිසා ඔවුන් විරෝධතා පෙළපාළිවලට සහභාගි වෙන්නේ නැහැ. දේව ආණ්ඩුව ගැන බයිබලයේ සඳහන් වන පොරොන්දුව විශ්වාස කරන්න ඔබට අමාරුද? සමහරවිට අමාරු ඇති. ඒත් හුඟදෙනෙක්ට ඒ පොරොන්දුව විශ්වාස කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබටත් පුළුවන් ඒ ගැන සොයා බලන්න.

[6වන පිටුවේ පින්තූරය]

[7වන පිටුවේ පින්තූරය]

විරෝධතා පෙළපාළිවලින් යම් දේවල් දිනා ගත්තත් නියම විසඳුම ලැබෙන්නේ දේවරාජ්‍යයෙන් පමණයි

[හිමිකම් විස්තර]

© Bettmann/CORBIS