Skip to content

පටුනට යන්න

මම මිතුරන් කරගන්නේ කාවද?

මම මිතුරන් කරගන්නේ කාවද?

යෞවන අය අසති

මම මිතුරන් කරගන්නේ කාවද?

“මගේ වයස අවුරුදු 21යි. මට ආශ්‍රය කරන්න ඉන්නේ පාසැල් යන අය නැත්නම් බැඳපු අය විතරයි. පාසැල් යන අය නිතරම කතා කරන්නේ ඒගොල්ලන්ගේ විභාග ගැන. බැඳපු අය කතා කරන්නේ පවුල් ප්‍රශ්න ගැන. හැබැයි මට ගැළපෙන දේවල් කතා කරන්න කෙනෙක් නැහැ.”—කාමන්. *

මිතුරුකම් ඇති කරගන්න අපි කවුරුත් කැමතියි. නමුත් අන් අය අපිව ගණන්ගන්නේ නැහැ කියා සිතෙන විට අපිට දුකක් ඇති වෙනවා. පහළොස් හැවිරිදි මිකෙලා මෙසේ පවසනවා. “මම ඉන්නවාද නැද්ද කියලාවත් අනික් අයට ගාණක් නැහැ.”

ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නම් ඔබට යහළුවන් ඇති කරගැනීමට බොහෝදෙනෙක් සභාව තුළ සිටිනවා. (1 පේතෘස් 2:17) නමුත් ඔබට ගැළපෙන කෙනෙක් නැහැ කියා ඔබට සිතෙන්න පුළුවන්. වයස අවුරුදු 20ක් වන හෙලේනා මෙසේ පවසනවා. “ආශ්‍රය කරන්න සභාවේ අය ඉන්නවා. ඒත් මට ගැළපෙන යාළුවෙක් නැහැ. ඒ නිසා රැස්වීම් ඉවර වෙලා ගෙදර යනකොට මම හැමදාම අඬනවා.”

ඔබටත් හැඟෙන්නේ ඒ ආකාරයටද? එසේනම් පහත සඳහන් ප්‍රශ්න දෙක ගැන සලකා බලමු. (1) මට ආශ්‍රය කරන්න අමාරුයි කියා හැඟෙන්නේ මොන වගේ අය එක්කද? (2) ඒ වගේ අය අතර සිටින විට මම හැසිරෙන්නේ කොහොමද?

ඔබට ආශ්‍රය කරන්න අමාරුයි කියා හැඟෙන අය ඉදිරියෙන් ✔ ලකුණ දමන්න.

1. වයස් කාණ්ඩය

□ මට වඩා අඩු □ සම වයස □ මට වඩා වැඩි

2. කුසලතා

□ බුද්ධිමත් □ ක්‍රීඩාවට දක්ෂ □ විවිධ කුසලතා ඇති

3. පෞද්ගලිකත්වය

□ නිර්භීත □ ජනප්‍රියත්වයට □ කල්ලි කැමති ගැසෙන්න කැමති

ඒ අය අතර සිටින විට ඔබ හැසිරෙන ආකාරය ඉදිරියෙන් ✔ ලකුණ දමන්න.

□ ඔවුන් කැමති දේවලට මමත් කැමති බව පෙන්වනවා.

□ ඒ අයට ඉඩ නොදී මං ගැනම කතා කරනවා.

□ පාඩුවේ ඉඳලා හෙමිහිටි මාරු වෙනවා.

ඔබට ආශ්‍රය කරන්න අමාරු අය කවුද කියාත් එවැනි අය ඉදිරියේදී ඔබ හැසිරෙන්නේ කෙසේද කියාත් දැන් ඔබ හඳුනාගන්න ඇති. එසේනම් ඒ තත්වයෙන් ගොඩ එන්නේ කෙසේද කියාත් ඔබ නොකළ යුතු සමහර දේවල් ගැනත් සලකා බලමු.

නොකළ යුතු දෙයක්: ආශ්‍රයෙන් ඈත් වීම

ආශ්‍රයෙන් ඈත් වීමට හේතුව: ඔබට වඩා වෙනස් හැකියාවන් තිබෙන අය අතරට ගිය විට, ඔබ කොන් වෙයි කියා ඔබට සිතෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ ලැජ්ජාශීලී කෙනෙක් නම් ඒ සිතුවිල්ල තදින්ම ඇති වෙයි. දහඅට හැවිරිදි ඇනීටා මෙසේ පවසනවා. “මගේ කටින් මොකක් හරි වැරදි දෙයක් පිට වෙයි කියලා හිතෙන නිසා අනික් අයත් එක්ක කතා කරන්න මම හරිම භයයි.”

බයිබලයේ පවසන දේ: “නිතරම අන් අයගෙන් වෙන්ව සිටින තැනැත්තා තම ආත්මාර්ථකාමී ආශාවන් පසුපස ලුහුබැඳ යයි.” (හිතෝපදේශ 18:1) අන් අයගෙන් වෙන් වී සිටීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ තත්වය තවත් නරක අතට හැරීමයි. උදාහරණයකට කෙනෙක් එසේ කරන්නේ තමාට ගැළපෙන මිත්‍රයෙක් නැහැ කියා සිතන නිසා විය හැකියි. එවිට ඒ සිතුවිල්ල ඔහුව තව තවත් අන් අයගෙන් ඈත් කරනවා. දිගින් දිගටම එසේ වන විට ඔහුට කවදාවත් හොඳ මිතුරන් සොයාගන්න බැරි වෙයි.

“අනික් අය ඇවිත් අපිත් එක්ක කතා කරන්න ඕනේ කියලා හිතන්න එපා. අපේ හිතේ තියෙන්නේ මොනවාද කියලා ඒ අය දන්නේ නැහැ. ඒ නිසා යාළුවන් ඇති කරගන්න අපිත් යම් දේවල් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කවදාවත් යාළුවෝ ඇති කරගන්න බැරි වෙයි.”—මෙලින්ඩා, වයස 19යි.

නොකළ යුතු දෙයක්: කවුරු හරි කෙනෙකුව තෝරාගැනීම

කවුරු හරි කෙනෙකුව තෝරාගැනීමට හේතුව: සමහර අය සිතන්නේ යාළුවන් නැතුව සිටිනවාට වඩා කවුරු හරි කෙනෙකුව මිතුරෙක් කරගැනීම හොඳයි කියායි. ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් වුණත් කිරීමට ඔවුන් සූදානම්. පහළොස් හැවිරිදි රෙනේ මෙසේ පැවසුවා. “අපේ පාසැලේ සමහර ළමයි හරිම ජනප්‍රියයි. මට යාළුවෝ හිටියේ නැති නිසා මට ඕනේ වුණේ කොහොම හරි ඒ අයගේ අවධානය අරන් ඒගොල්ලන්ගේ යාළුවෙක් වෙන්නයි.”

බයිබලයේ පවසන දේ: “අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” (හිතෝපදේශ 13:20) මෙහි අඥානයන් කියා පවසන්නේ නූගත් අයට නොවෙයි. උදාහරණයකට ඉගෙනීමට දක්ෂ ළමයෙකු වුණත් ඔහු දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්නේ නැත්නම් ඔහු දෙවි ඉදිරියේ අඥාන කෙනෙක්. ඒ නිසා එවැනි අයව මිතුරන් කරගැනීමට ඔබ ඔබේ යහපත් ප්‍රතිපත්ති නොසලකාහරිනවා නම් ඔබත් ඔවුන් හා සමාන වෙනවා.—1 කොරින්ති 15:33.

“හැම කෙනෙක්ම හොඳ යාළුවෙක් වෙන්නේ නැහැ. සමහර යාළුවෝ එක්ක ආශ්‍රය කරනකොට අපිත් ඒගොල්ලන් වගේ දේවල් කරන්න ඕනේ කියලා ඒ අය අපෙන් බලාපොරොත්තු වෙනවා. යාළුවෙක් හැටියට තෝරාගන්න ඕනේ ඇත්තටම අපි ගැන හිතන, අපිට ආදරේ කරන කෙනෙකුවයි.”—පෝලා, වයස 21යි.

ඔබ කළ යුතු දේ

අනික් අය ඔබව මිතුරෙක් කරගන්න කල් බලාගෙන ඉන්න එපා. ඒ ගැන 21 හැවිරිදි ජීන් මෙසේ පවසනවා. “අනික් අය අපි ළඟට ඇවිත් කතා කරන කල් බලාගෙන ඉන්න එපා. ඒ අය ළඟට ගිහින් කතා කරන්න උත්සාහ කරන්න.” දැන් අපි මිතුරන් ඇති කරගැනීම සඳහා ඔබට ගත හැකි පියවර දෙකක් ගැන සලකා බලමු.

විවිධ වයස් කාණ්ඩ අතරින් මිතුරන් සොයන්න. දාවිත් සහ යොනාතාන් කල්‍යාන මිත්‍රයන්ව සිටි බව බයිබලයේ පවසනවා. නමුත් යොනාතාන් දාවිත්ට වඩා අවුරුදු 30කින් පමණ වයසින් වැඩියි. * (1 සාමුවෙල් 18:1) මෙයින් අපිට ඉගෙනගත හැකි වැදගත් පාඩම වන්නේ ඕනෑම වයස් කාණ්ඩයකින් හොඳ මිතුරන් සොයාගත හැකි බවයි. ඒ නිසා එක වයස් කාණ්ඩයකට කොටු වී, ඔබට මිතුරන්ව සොයාගන්න බැහැ කියා සිතනවා වෙනුවට විවිධ වයස් කාණ්ඩවලින් මිතුරන්ව සොයාගැනීමට උත්සාහ කරන්න.

“අපේ අම්මා මට හැමතිස්සේම කිව්වේ වයසින් වැඩි අය එක්කත් කතා කරන්න කියලයි. අම්මා කිව්වා හරි. මගේ අදහස්වලට ගැළපෙන වයසින් වැඩි හුඟක් අයව මගේ මිතුරන් කරගන්න මට පුළුවන් වුණා.”—හෙලෙනා, වයස 20යි.

සංවාදයක් ඇති කරගැනීමට උත්සාහ කරන්න. සංවාදයක් දිගටම ගෙන යෑම පහසු දෙයක් නොවෙයි. විශේෂයෙන්ම ඔබ ලැජ්ජාශීලී කෙනෙක් නම් එය ඊටත් වඩා අපහසුයි. නමුත් ඒ හැකියාව දියුණු කරගැනීමට ඇහුම්කන් දීම, ප්‍රශ්න ඇසීම සහ අන් අය ගැන සැලකිලිමත් වීම ඔබට උපකාරවත්වෙයි.

“මම උත්සාහ කරන්නේ කතා කරනවාට වඩා අනික් අයට ඇහුම්කන් දෙන්නයි. අනික් අතට මම කතා කරනකොට මං ගැන කියාගෙන කියාගෙන යන්නේ නැහැ. ඒ වගේම ඕපාදූප කතා නොකරන්නත් මම උත්සාහ කරනවා.”—සෙරීනා, වයස 18යි.

“මම දන්නේ නැති දෙයක් ගැන කවුරු හරි කතා කරනවා නම් ඒ ගැන තව ටිකක් විස්තර කරන්න කියලා මම එයාට කියනවා. එහෙම කරනකොට සංවාදය දිගටම ගෙනියන්නත් පුළුවන්.”—ජැරේඩ්, වයස 21යි.

සමහරවිට ඔබ ලැජ්ජාශීලී කෙනෙක් වෙන්න පුළුවන්. කොහොමවුණත් ඔබටම ගැළපෙන මිත්‍රයෙක් සොයාගැනීමට ඔබ ආශාවෙන් සිටිනවා ඇති. ඒ නිසා මේ ලිපියේ තිබෙන යෝජනා අත්හදා බලන්න. එවිට ලෙයාට මෙන් ඔබටත් මෙසේ හැඟෙයි. ඇය පවසන්නේ මෙසේයි. “කෙනෙක් එක්ක කතා කර කර ඉන්න එක මට හරි අමාරුයි. මොකද මම හරිම ලැජ්ජයි. ඒත් මිත්‍රයන් ඇති කරගන්න නම් අපි මිත්‍රශීලී වෙන්න ඕනේ. ඒ නිසා මම දැන් අනික් අය ළඟට ගිහින් කතා කරනවා.”

[පාදසටහන්වල]

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 29 ඡේ. යොනාතාන්ව මිතුරෙක් ලෙස තෝරාගන්නා විට දාවිත් යොවුන් වියේ සිටින්න ඇති.

[19වන පිටුවේ කොටුව/පින්තූර]

යෞවනයන් පවසන දේ

“රැස්වීම්වලදී නිතර කතා නොකරන කෙනෙක් එක්ක වචනයක් දෙකක් හරි කතා කරන්න මම උත්සාහ කරනවා. කෙනෙක් එක්ක යාළු වෙන්න සමහරවිට එක වචනයක් වුණත් ප්‍රමාණවත් වෙන්න පුළුවන්.”

“කවුරුත් මට කැමති වෙන එකක් නැහැ කියලා හිතාගෙන මම පැත්තකට වෙලා හිටියා. පස්සේ මමම ගිහින් අනික් අයත් එක්ක කතා කරන්න උත්සාහ කළා. ඒක ලෙහෙසි වුණේ නැහැ. ඒත් ඒකෙන් මගේ පෞද්ගලිකත්වය වෙනස් වුණා.”

“වැඩිහිටියන් එක්ක කතාබහ කරන්න මට ලෙහෙසි වුණේ නැහැ. නමුත් එහෙම කළ එකෙන් මට විශ්වාසවන්ත වැඩිහිටි මිත්‍රයන්ව හොයාගන්න පුළුවන් වුණා.”

[පින්තූර]

ලෝරන්

රෙයන්

කැරීසා

[20වන පිටුවේ කොටුව]

දෙමාපියන්ගෙන් අසන්න

අම්මා හරි තාත්තා හරි ඔයාගේ වයසේ ඉන්නකොට මේ වගේ තත්වයකට මුහුණ දුන්නාද කියා අසන්න. ඔවුන් ඒ තත්වයෙන් ජය ගෙන තිබෙන්නේ කෙසේද?

.....

[20වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

අන් අයගෙන් වෙන් වී සිටීමේ භයානකකම

තනිකමක් දැනෙනවා,

ඒ නිසා මට සිතෙන්නේ . . . ↓

. . . කවුරුත් මට කැමති

නැහැ කියලයි. ඒ නිසා

↑ මම . . .

. . . තනි වී සිටිනවා, ←

ඒකෙන් මට . . .