Skip to content

පටුනට යන්න

දෙවි සෑම තැනම සිටිනවාද?

දෙවි සෑම තැනම සිටිනවාද?

බයිබලයෙන් පිළිතුරක්

දෙවි සෑම තැනම සිටිනවාද?

දෙවි සෑම තැනම සිටින බව බොහෝදෙනාගේ විශ්වාසයයි. නමුත් අතීතයේ සිටි සලමොන් රජ දෙවිට කළ යාච්ඤාවකදී මෙසේ පැවසුවා. “ඔබේ ස්ථිර වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔවුන්ට සවන් දෙන්න.” (1 රාජාවලිය 8:30, 39) බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට මිනිසුන්ට වාසය සඳහා නිවෙසක් තිබෙනවා හා සමානව දෙවිට වාසය කිරීමටද ස්ථිර ස්ථානයක් තිබෙනවා. බයිබලයේ එය හඳුන්වන්නේ ස්වර්ගය ලෙසයි. එසේනම් ස්වර්ගය තිබෙන්නේ කොතැනකද?

එය අප අවට තිබෙන අහස නොවෙයි. බයිබලයේ පවසන්නේ අහස හා පොළොව ඇතුළුව මුළු විශ්වයම යෙහෝවා දෙවි නිර්මාණය කළ බවයි. (උත්පත්ති 2:1, 4) ඒ අනුව සියල්ල නිර්මාණය කිරීමට පෙර සිටම දෙවිට ස්ථිර වාසස්ථානයක් තිබිය යුතු බව පැහැදිලියි. ස්වර්ගය නමැති එම වාසස්ථානය මෙම භෞතික විශ්වයේ කොටසක් නොවෙයි.

පුදුම දනවන දර්ශනයක්

යේසුස්ගේ නියෝජිතයෙක් වූ යොහන්ට, යෙහෝවා දෙවි පුදුම දනවන දර්ශනයක් දැකීමට සැලැස්සුවා. ඒ අවස්ථාවේදී ස්වර්ගයේ දොරක් විවෘත වෙනවා ඔහු දුටු අතර “මෙතැනට නැඟ එන්න” කියා පවසන ආරාධනයක්ද ඔහුට ලැබුණා.—එළිදරව් 4:1.

ඊළඟට දුටු දේ ඔහු මෙසේ වාර්තා කරනවා. ‘බලන්න! ස්වර්ගයෙහි පිහිටා තිබුණු සිංහාසනයක් දක්නට ලැබිණ. ඒ සිංහාසනය මත ඉඳගෙන සිටි තැනැත්තා, පෙනුමෙන් ජැස්පර් ගලක් මෙන්ද අනර්ඝ රතු පැහැති මැණිකක් මෙන්ද විය. සිංහාසනය වටා මරකත මැණිකක වර්ණයෙන් යුත් දේදුන්නක් තිබිණ. සිංහාසනයෙන් විදුලි කෙටීම්ද කටහඬවල්ද ගිගුරුම්ද නික්මුණේය. සිංහාසනය ඉදිරියෙහි වීදුරු මෙන් පැහැදිලි මුහුදක් දක්නට ලැබිණ. එය පෙනුමෙන් පළිඟු හා සමානය.’—එළිදරව් 4:2-6.

යොහන් විස්තර කරන්නේ දර්ශනයක් පමණයි. ඔහු දුටු දේවලින් යම් දේවල් සංකේතවත් කරනවා. දෙවිගේ සිංහාසනය වටා ඇති දේදුන්නෙන් නියෝජනය වන්නේ ශාන්ත බව හා සමාදානයයි. විදුලි කෙටීම්, කටහඬවල් හා ගිගුරුම් හඬින් නියෝජනය කළේ දෙවිගේ බලය වන අතර වීදුරු හා සමාන මුහුදෙන් නියෝජනය කළේ යෙහෝවා දෙවි ඉදිරියේ සිටින අයගේ පවිත්‍ර තත්වයයි.

යොහන් දුටු දර්ශනයෙන් තවත් දෙයක් පැහැදිලි වෙනවා. එය නම් ස්වර්ගයේ සෑම දෙයක්ම මනා පිළිවෙළකට සිදු වන බවයි.

එකවිට සෑම තැනම සිටිනවාද?

දෙවිට නිශ්චිත වාසස්ථානයක් තිබෙන බව බයිබලයේ සඳහන් වන නිසා දෙවි එකවිට සෑම තැනකම සිටිනවා කියා කියන්න බැහැ. එසේනම් සෑම තැනකම සිදු වන දේවල් දෙවි දන්නවාද? (2 ලේකම් 6:39) ඔව්. ඒ සඳහා යෙහෝවා දෙවි යොදාගන්නේ ඔහුගේ බලයයි. ඒ සම්බන්ධයෙන් එක් බයිබල් ලේඛකයෙක් මෙසේ පැවසුවා. “ඔබේ බලයට ළඟා විය නොහැකි, මට සැඟවී සිටිය හැකි තැනක් තිබේද? ඔබේ අවධානයට හසු නොවී මා කොතැනකට පලා යන්නද? මා ස්වර්ගයට නැඟ ගියත් ඔබ එහිය. මා මිනී වළෙහි සැතපී සිටියත් එතැනදීද ඔබට මාව පෙනෙයි.”—ගීතාවලිය 139:7-10.

යෙහෝවා දෙවිගේ බලය ක්‍රියා කරන ආකාරය අපි මෙසේ තේරුම්ගනිමු. උදාහරණයකට සූර්යා පිහිටා තිබෙන්නේ නිශ්චිත ස්ථානයකයි. නමුත් ඉන් නිපදවෙන බලය මුළු පොළොව පුරාම ව්‍යාප්ත වෙනවා. ඒ හා සමානව යෙහෝවා දෙවි සිටින්නේ ඔහුගේ නිශ්චිත වාසස්ථානය වන ස්වර්ගයේයි. නමුත් ඔහු තම බලය මාර්ගයෙන් සෑම තැනකම තිබෙන දේවල් දැනගන්නවා. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.”—2 ලේකම් 16:9.

ඊට අමතරව දෙවිට බිලියන ගණන් දේවදූතයන් සිටින බවද බයිබලයේ සඳහන් කරනවා. * (දානියෙල් 7:10) බොහෝ අවස්ථාවලදී මෙම දේවදූතයන් දෙවිගේ නියෝජිතයන් ලෙස මේ පොළොවටද පැමිණියා. උදාහරණයකට සොදොම සහ ගොමෝරාව යන නගර දෙක විනාශ කිරීමට පෙර ඒ නගර දෙක ගැන තොරතුරු සොයා බැලීම සඳහා දේවදූතයන්ව යොදාගැනීමට දෙවි තීරණය කළා.—උත්පත්ති 18:20, 21, 33; 19:1, 13.

දෙවිට යම් දෙයක් දකින්න හෝ කරන්න, ඔහු එම ස්ථානයේම සිටිය යුතු නැහැ. ඔහුගේ බලය හා දේවදූතයන් යොදාගනිමින් විශ්වයේ තිබෙන ඕනෑම දෙයක් දකින්න හෝ කරන්න ඔහුට හැකියි.

බයිබලය මාර්ගයෙන් අපිට අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිව හොඳින් හඳුනාගැනීමට හැකි වෙනවා. එහි සඳහන් වන ආකාරයට දෙවි සිටින්නේ ස්වර්ගයේයි. එය අපි දකින භෞතික අහස නොවෙයි. දෙවි සමඟ ස්වර්ගයේ තවත් දේවදූතයන් විශාල සංඛ්‍යාවක්ද සිටිනවා. ස්වර්ගය ඉතාමත් පවිත්‍ර, දෙවිටම සුදුසු ස්ථානයක්. ඒ වගේම දෙවිගේ බලයද අතිමහත්. ඉතාමත් ළඟදී දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මේ පොළොවේද ඉටු වන බව බයිබලයේ සඳහන් වී තිබෙනවා. එදාට සියලුදෙනාම සතුටින් හා සමාදානයෙන් මේ පොළොවේ ජීවත් වෙනවා නියතයි.—මතෙව් 6:10.

[පාදසටහන]

^ 13 ඡේ. බයිබලයේ පවසන්නේ දේවදූතයන් “දසදහස් වර දසදහසක්” සිටිනවා කියායි. ඒ නිසා ස්වර්ගයේ කොතරම් දේවදූතයන් සංඛ්‍යාවක් සිටිනවාද කියා නිශ්චිතවම කියන්න බැහැ. නමුත් ගණන් කළ නොහැකි බිලියන සංඛ්‍යාවක් සිටිනවා කියා සිතිය හැකියි.

මේ ගැන ඔබ සිතුවාද?

● දෙවි සෑම තැනම සිටිනවාද?—1 රාජාවලිය 8:30, 39.

● දෙවිට කොතරම් බලයක් තිබෙනවාද?—ගීතාවලිය 139:7-10.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සූර්යා පිහිටා තිබෙන්නේ නිශ්චිත ස්ථානයකයි. නමුත් ඉන් නිපදවෙන බලය මුළු පොළොව පුරාම විහිදෙනවා. ඒ හා සමානව දෙවි සිටින්නෙත් නිශ්චිත ස්ථානයකයි. නමුත් ඔහු තම බලය මාර්ගයෙන් සෑම තැනකම තිබෙන දේවල් දැනගන්නවා