Skip to content

පටුනට යන්න

ඇයි අපි ජීවත් වෙන්නේ?

ඇයි අපි ජීවත් වෙන්නේ?

ඇයි අපි ජීවත් වෙන්නේ?

ඉහත සඳහන් ප්‍රශ්නයට අමතරව තවත් මෙවැනි ප්‍රශ්නයක් ගැනද බොහෝදෙනෙක් කල්පනා කරනවා. එනම් අවුරුදු 70ක් 80ක් වැනි කෙටි කාලයක් ජීවත් වී මිය යනවාට වඩා වැඩි යමක් තිබෙනවාද?—ගීතාවලිය 90:9, 10.

අපිට ඒ ප්‍රශ්න ඇති වන්නේ අපේ ජීවිත කාලය කොපමණ කෙටිද කියා හිතෙන විටයි. ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයට පිළිතුරක් ලබාගන්න අපේ ජීවිතය අවදානම් තත්වයක තිබෙන්න අවශ්‍යම නැහැ. බලාපොරොත්තු සුන් වූ තත්වයකට මුහුණ දෙන විටත් අපිට එම ප්‍රශ්නය ඇති විය හැකියි. තවත් සමහර අය ඔවුන් ගත කරන ජීවිත රටාව ගැන සිතා එවැනි ප්‍රශ්නයකට පිළිතුරු සෙවිය හැකියි.

උදාහරණයකට ඩේව් ගැන සිතන්න. ඔහුට හොඳ රැකියාවක් සහ නිවසක් තිබුණා. ඒ වගේම යාළුවන් සමඟ ඔහු සතුටින් කාලය ගත කළා. නමුත් ඔහු මෙවැනි දෙයක් පවසනවා. “මම දවසක් විනෝද වෙලා ගෙදර යනකොට මට එකපාරටම මේ වගේ දෙයක් මතක් වුණා. ඇත්තටම ජීවිතය කියන්නේ කෙටි කාලයක් ජීවත් වෙලා මැරිලා යන එකටද නැත්නම් ඊට වඩා බලාපොරොත්තුවක් තියෙනවාද? මට එවැනි සිතුවිල්ලක් ඇති වුණේ මගේ ජීවිතයට ලොකු හිස්කමක් දැනුණු නිසයි.”

දැන් අපි දෙවන ලෝක මහ යුධ සමයේදී ගාල් කඳවුරේ සිටි අය ගැන වික්ටර් ඊ. ෆ්‍රැන්කල් නම් ලේඛකයා පැවසූ අදහසක් සලකා බලමු. ඔහු පැවසූ පරිදි ඔහු සමඟ සිටි අය නිදහස් වී ඔවුන්ගේ නිවෙස් කරා ගියත් නිවෙස්වල සිටි සියලුදෙනාම මිය ගොස් තිබුණා. ඔවුන්ටත් කලින් සඳහන් කළ ප්‍රශ්නයම ඇති වූ බව ඔහුගේ පොතේ සඳහන් වන දෙයින් පැහැදිලි වෙනවා. එහි පවසා ඇත්තේ මෙසේයි. “ඔවුන්ගේ සිහින සැබෑ වී ඔවුන්ට නිදහස ලැබුණත් ඉන්පසු ඔවුන් බලාපොරොත්තු වූ දේ ඔවුන්ට නොලැබීම මොන තරම් කනගාටුවට කරුණක්ද!”—Man’s Search for Meaning.

සෑම දෙනාටම ඇති ප්‍රශ්නය

ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නය සෑම කාල වකවානුවකම සිටි අයට පොදු වූ ප්‍රශ්නයක්. එම ප්‍රශ්නයම ඇති වූ සමහර අය ගැන බයිබලයේද වාර්තා වෙනවා. බයිබලයේ වාර්තා වන යෝබ් නම් තැනැත්තෙකුට තම ධන සම්පත් මෙන්ම දරුවන්ද අහිමි වුණා. ඉන් පසුව ඔහුට ඉතා වේදනාකාරී අසනීපයකටද මුහුණ දෙන්න සිදු වුණා. එවැනි දේවලට මුහුණ දුන් යෝබ් මෙසේ ප්‍රශ්න කළා. “මව්කුස තුළදීම මා නොමළේ මන්ද? කුසින් නික්ම ආ විගසම මාගේ දිවි කෙළවර නොවූයේ මන්ද?”—යෝබ් 3:11 නව ලොව පරිවර්තනය, NW.

බයිබලයේ සඳහන් එලියා නම් තැනැත්තාටත් හැඟුණේ ඒ හා සමානවයි. දෙවිට තනිවම සේවය කළ කාලයේදී ඔහු මෙසේ ආයාචනා කළා. “යෙහෝවා දෙවියනි, මාව මරා දමන්න. මා ජීවත් වුණා දැන් හොඳටම ඇති!” (1 රාජාවලිය 19:4NW) අපටත් සමහර අවස්ථාවලදී එලෙස හැඟී තිබෙනවාට සැකයක් නැහැ. “එලියා අප සමාන හැඟීම් ඇති මිනිසෙකු” බව බයිබලයේ පවසා ඇත්තේ ඒ නිසයි.—යාකොබ් 5:17.

සාර්ථක දිවි ගමනකට

අපගේ ජීවිතය දිගු ගමනකට සමාන කළ හැකියි. නමුත් අපි එහි ගමනාන්තය දන්නේ නැත්නම් ඒ ගමනේ කිසිම තේරුමක් නැහැ. ඒ හා සමානව ඇයි අපි ජීවත් වෙන්නේ කියා අපි දන්නේ නැත්නම් අපි ජීවත් වෙලා ඉන්න කාලය තුළ හුඟක් දේවල් කිරීමෙන් අපි අපේ ජීවිතය කාර්යබහුල කරගන්නවා. එක් ප්‍රසිද්ධ ලේඛකයෙක් පැවසූ ආකාරයට ‘ජීවිතය කාර්යබහුල වූ පමණින් ජීවිතයට අර්ථයක් ලැබෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී මිනිසුන් කොතරම් කාර්යබහුල වෙනවාද කියනවා නම් ජීවිතයට අත්‍යවශ්‍යම දේවල් පවා අතපසු වෙනවා.’

එම උදාහරණය ගැන නැවත සිතා බලන්න. අපි යන ගමනේ ගමනාන්තයක් දන්නේ නැත්නම් එහි කොපමණ වේගයෙන් ගමන් කළත් ඉන් ප්‍රයෝජනයක් නැහැ. ඒ හා සමානව අපි ජීවත් වෙන්නේ ඇයි කියා අපි දන්නේ නැත්නම් අපේ ජීවිතය කොතරම් ‘කාර්යබහුල’ වුණත් අපට ඉන් කවදාවත් සැබෑ තෘප්තියක් ලැබෙන්නේ නැහැ. අත් වන්නේ හිස් බවක් පමණයි.

ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයට පිළිතුරු සෑම රටකම හා වයස් මට්ටමකම සිටින අය සොයනවා. ඊට සෑහීම ගෙන දෙන පිළිතුරක් දැනගැනීමේ අවශ්‍යතාව අපට සහජයෙන්ම තිබෙනවා. අප සතු ධන සම්පත්වලින් හෝ වෙන දෙයකින් එම අවශ්‍යතාව ඉටු කරගත නොහැකියි. බොහෝදෙනෙක් එම සහජ අවශ්‍යතාව ඉටු කරගැනීම සඳහා කර ඇති දේවල් ගැන අපි දැන් බලමු.

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ජීවිතයට තෘප්තියක් සොයා අප ‘කාර්යබහුල’ වීමෙන් අපට අත් වන්නේ හිස්කම පමණයි

[3වන පිටුවේ පින්තූරය]

ඇයි මම ඉපදුණේ කියා යෝබ් වරක් ඇසුවා

[4වන පිටුවේ පින්තූරය]

“එලියා අප සමාන හැඟීම්” ඇති කෙනෙක්