Skip to content

පටුනට යන්න

නුසුදුසු අය වෙතට මගේ සිත ඇදී යන්නේ ඇයි?

නුසුදුසු අය වෙතට මගේ සිත ඇදී යන්නේ ඇයි?

යෞවන අය අසති . . .

නුසුදුසු අය වෙතට මගේ සිත ඇදී යන්නේ ඇයි?

“මං මෙච්චර ඔහුට කිට්ටු වෙන්න හොඳ නැහැ කියලා දැනගෙන හිටියත් ඒකෙන් වැළකෙන්න උත්සාහ කළේ නැහැ. මට කවුරු හරි මේ විදිහට කැමති වෙයි කියලා මම හිතුවේ නැහැ.”—නැන්සි. *

“මං විනෝද වෙන්න කලින් ගියේ තනියම. ඒත් ඒ ස්ථානවලට එන අය එක්ක ආශ්‍රය කරලා, ඉක්මනටම ඒගොල්ලෝ එක්ක ‘යාළු’ වුණා. වැඩි කලක් ගත වෙන්න කලින් මාත් දුරාචාර ජීවන රටාවකට හුරු වුණා.”—ඩෑන්.

නැන්සි සහ ඩෑන් යන දෙදෙනාම මුලින් යහපත් ක්‍රිස්තියානි ජීවිතයක් ගත කළා. නැන්සි හැදී වැඩුණේ දෙවිට ලැදි පවුලකයි. ඇයට වයස අවුරුදු නවයක් වෙද්දී ඇගේ ආගමික විශ්වාසයන් ගැන අන්‍යයන් සමඟ කතා කරන්න ඈ පටන්ගත්තා. ඩෑන් පූර්ණ-කාලීන දේවසේවකයෙකු ලෙස සේවය ඇරඹුවේ ඔහුගේ නහඹර වියේදීමයි. ඒත් පසු කලෙක දෙදෙනාම දෙවිට සේවය කිරීම නතර කළා. ඊට හේතුව? ඔවුන් නුසුදුසු අය සමඟ ආශ්‍රය කිරීමයි.

ආශ්‍රයෙන් හානියක් වෙයි කියා දැන දැනම එවැනි අය කෙරෙහි ඔබේ සිත ඇදී ගොස් ඇද්ද? සමහරවිට ඒ තැනැත්තා ඔබ සමඟ එකම පංතියේ ඉගෙනගත් ඔබ දරන අදහස්ම දැරූ කෙනෙක් විය හැකියි. එසේ නැතහොත් ඔබ ඔහු හෝ ඇය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීමට කැමැත්තක් දක්වන්නත් ඇති.

සමහරවිට මෙම බයිබල් උපදෙස ඔබේ මතකයට නැඟෙයි: “නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය.” (1 කොරින්ති 15:33) ඒත් යෙහෝවාට නමස්කාර නොකරන හැමෝම ඇසුරු කිරීමට නුසුදුසු අයද? ඔවුන්ට හොඳ ගුණාංග තිබෙනවා නම් ඇසුරු කරන එක වැරදිද? ක්‍රිස්තියානියෙකු ලෙස ආදර්ශවත් හැසිරීමක් පිළිබිඹු නොකරන සෙසු ඇදහිලිවන්තයෙක් නම් කුමක් කිව හැකිද? මේ ප්‍රශ්නවලට උත්තර දීමට පෙර ඔවුන් වෙත සිත ඇදී යන්නේ කෙලෙසද සහ ඇයි කියා අපි බලමු.

ආකර්ෂණය වෙන්නේ ඇයි?

මිනිසුන්ව මවා තිබෙන්නේ දෙවිගේ ස්වරූපයෙන් නිසා යෙහෝවා ගැන නොදන්නා අය පවා හොඳ ගුණාංග පිළිබිඹු කරයි කියා සිතිය හැකියි. මෙය පුදුමයක් නොවෙයි. ඔවුන් බයිබල් සත්‍යයන් නොදන්නා නිසා සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ ඇසුරෙන් වැළකී සිටිය යුතුද? කොහෙත්ම නැහැ. ‘සියල්ලන්ටම, යහපත්කම් කරන්න’ කියා බයිබලයේ අපට දී තිබෙන උපදෙසට අනුව ඔබේ ක්‍රිස්තියානි විශ්වාසයන් අදහන්නේ නැති අය පවා ඊට ඇතුළත් වෙනවා. (ගලාති 6:10) එසේනම් ඇසුරු කිරීමට සුදුසු අයව තේරීමේදී කල්පනාකාරී වෙන්නයයි කීමෙන් අන් අයට වඩා ඔබ උතුම් කෙනෙක් ලෙස ක්‍රියා කළ යුතු බවක් අදහස් කරන්නේ නැහැ. (හිතෝපදේශ 8:13; ගලාති 6:3) එවැනි ආකල්පයක් තබාගැනීමෙන් ඇත්තටම ඔබ ක්‍රිස්තියානියෙක්ද කියා ඔවුන් සැක කරයි.

කෙසේවෙතත් සමහර ක්‍රිස්තියානි යෞවනයන් අන් අය සමඟ සුහදශීලී වෙනවාට වඩා වැඩි දුරකට ගොස් තිබෙනවා. ඔවුන් දෙවිගේ නමස්කාරයේ නොයෙදෙන පුද්ගලයන් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගෙන තිබෙනවා. කලින් සඳහන් කළ ඩෑන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොවන අයව නිතර නිතර ඇසුරු කරන්න පටන්ගත්තා. අන්තිමේදී ඩෑන් තම අලුත් ‘යාළුවෝ’ එක්ක දුරාචාර දේවලට හවුල් වුණා. මත් ද්‍රව්‍ය පවා අරගන්න පටන්ගත්තා. තමා ගත කරන්නේ ක්‍රිස්තියානියෙකුට සුදුසු නැති ජීවන රටාවක් බව වැටහුණු ඩෑන් ඔහුගේ දේවසේවය අත්හැරිය අතර ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමත් නතර කළා. යළි යහපත් ජීවින රටාවකට හුරු වෙන්නත්, අවශ්‍ය වෙනස්කම් කරන්නත් ඔහුට සෑහෙන කලක් ගත වුණා.

මෙලනි නමැති යෞවනිය සෙසු සාක්ෂිකාරියක සමඟ ඇසුරු කරන්න පටන්ගත්තා. ඇය දෙවිගේ නමස්කාරය තුළ ජ්වලිතව සේවය කළේ නැහැ. “ඇයට යම් දිරිගැන්වීමක් ඕනෙ කියලා මට කිව්ව නිසා මම ඇයව ඇසුරු කරන්න පටන්ගත්තා” කියා මෙලනි පැහැදිලි කළා. “දුර්වලයන්ට උපකාර” කරන්න කියා ක්‍රිස්තියානීන්ට බයිබලයේ උනන්දු කර තිබෙන බව ඇත්තයි. (1 තෙසලෝනික 5:14) ඒත් මෙලනි ඇගේ අලුත් මිතුරිය සමඟ මත්පැන් පානය කරන්නත්, පොදුවේ ඕනෑම කෙනෙක් ඇසුරු කරන්නත් හැකි ස්ථානවලට ගියා. එහිදී නරක ඇසුරට වැටිලා නරක හැසිරීමේ යෙදෙන්නත් පටන්ගත්තා.

පවුලේ වාතාවරණය

ඔබ මොන වගේ ආශ්‍රිතයන් තෝරාගනීද කියා තීරණය කිරීමට ඔබේ පවුල තුළ තිබෙන වාතාවරණයත් බලපාන්න පුළුවන්. තමාට සැලකිල්ලක් නොදක්වන පිරිමි ළමුන් වෙත පවා තමාගේ සිත ඇදී යන්නේ ඇයි කියා මිෂෙල් කල්පනා කළා. තමන්ට කිසි විටකත් ළං නොවූ, තමා වෙනුවෙන් කාලය ගත නොකළ පියාවයි ඔවුන් දකින විට ඇගේ මනසේ ඇඳුණේ. ඒ නිසා තමාට කිට්ටු විය නොහැකි පුද්ගලයෙකුගේ ප්‍රසාදය සහ අවධානය ලබාගන්න ඕන බව ඇයට හැඟුණා. ඉතින් ඇය එවැනි පුද්ගලයන් සමඟ සබඳකම් ඇති කරගන්න ඉබේටම වගේ පෙලඹුණා.

අනිත් අතට, ක්‍රිස්තියානි දෙමාපියන්ගේ රැකවරණයේ හැදී වැඩෙන යෞවනයෙකුගේ සිතේ ඊට වඩා වෙනස් අදහසක් ඇති විය හැකියි. තමාගේ දෙමාපියන් වුවමනාවට වඩා තමාව ආරක්ෂා කරන්න උත්සාහ දරනවා කියා හැඟෙන නිසා අන් අය ගත කරන්නේ මොන වගේ ජීවිතයක්ද කියා සොයා බැලීමට කුතුහලයක් ඇති වෙන්න පුළුවන්. එවැනි හැඟීමක් තිබුණත් නැතත් ‘ලෝකයේ මිතුරන්’ සමඟ ඇසුරු කිරීම දෙමාපියන්ගෙන් වැඩි නිදහසක් ලබාගැනීමට උපක්‍රමයක්ද? (යාකොබ් 4:4) බිල්ට සිදු වුණ දේ බලන්න.

කුඩා කාලයේ පටන් බිල්ගේ මව ඔහුට ශුද්ධ ලියවිලි උගන්වා තිබුණත්, තමන්ගේ නිදහස නැති වෙයි කියා හැඟුණ නිසා යෙහෝවාට තම ජීවිතය කැප කරන්න ඔහු අකමැති වුණා. සැබෑ ක්‍රිස්තියානියෙකු නොවී සිටීමෙන් මොන වගේ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයිද කියා දැනගැනීම සඳහා ඔහු කල්ලියකට බැඳුණා. ඔවුන් සමඟ ඇසුරු කරද්දී ඔහු මත් ද්‍රව්‍ය ගන්නත්, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නියැලෙමින් අපරාධ කරන්නත් පටන්ගත්තා. පොලිසියට අසු නොවීම සඳහා වේගයෙන් රථය පැදවීමට ගොස් අනතුරකට ලක් වී මාස ගණනාවක් සිහි නැතුව සිටියා. වෛද්‍යවරුන් සිතුවේ ඔහුව ජීවත් කරවන්න බැරි වෙයි කියලයි. කෙසේවෙතත් බිල් සුවය ලැබුවා. ඒත් ඔහුට සම්පූර්ණ සුවයක් ලැබුණේ නැහැ. ඔහු දැන් සිටින්නේ අන්ධ සහ අබ්බගාත තත්වයකයි. ඔහු පාඩමක් ඉගෙනගත්තේ අසීරු අද්දැකීමක් ලැබීමෙනුයි. දැන් ඔහු කැපවූ ක්‍රිස්තියානියෙක්. අසීරු අද්දැකීමක් ලැබීමෙන් පාඩමක් ඉගෙනගන්න පුළුවන් වුණත් එහි පල විපාක ජීවිත කාලයටම තිබිය හැකි බවත් බිල් තේරුම්ගෙන තිබනවා.

වෙනත් බලපෑම්

ඇතැම්විට විනෝදාස්වාදය ලබා දෙන මාධ්‍යයන් මගින් නියම මිත්‍රයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියන අදහස දෙන්න පුළුවන්. උදාහරණයකට පොත්, රූපවාහිනි වැඩසටහන්, චිත්‍රපට සහ පසුබිම් දර්ශන සහිත සංගීතය මගින් ඔබේ මනසේ එවැන්නෙකු ගැන චිත්‍රයක් අඳින්න සලස්වයි. මුලින් සැර පරුෂ වැදගැම්මකට නැති පුද්ගලයෙකු මෙන් පෙනී සිටියත් පසුව හිත උණු වන කරුණාවන්ත පුද්ගලයෙකු බවට පත් වන ආකාරය ඒවා මගින් දැක්වීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. මෙයින් පෙන්වන්න හදන්නේ හිතක් පපුවක් නැති ආත්මාර්ථකාමී අය ඇත්තෙන්ම කරුණාවන්ත, සැලකිල්ල දක්වන පුද්ගලයන් බවයි. තවදුරටත් මාධ්‍යවලින් පෙන්වන්නේ මෙවැනි අය මෙලෙස හොඳ අතට හැරෙන්න නම් හොඳ මිත්‍රයෙක් විශේෂයෙන්ම විරුද්ධ ලිංගයේ කෙනෙක් අවශ්‍යය බවයි. මෙවැනි අදහස් ඉදිරිපත් කරන්නේ ආදායමක් ලැබීමේ යටි අරමුණ ඇතුවයි. එහෙත් සිතේ මවන ප්‍රේම මනෝ ලෝකය සැබෑ ජීවිතයේ යථාර්ථයක් වේවි කියා ඔබ සිතනවාද? මනඃකල්පිතයන්ට රැවටී සමහර යෞවනයෝ ආත්මාර්ථකාමී, ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් සමඟ හාදකම් ඇති කරගෙන, සමහරුන්ව විවාහ කරගෙන පවා තිබෙනවා. ඉන්පසු ඔවුන් තම ජීවිත “වෙනස්” කරගන්නා තෙක් බලා සිටියත් පලක් වී නැහැ.

නුසුදුසු අය වෙත සමහරු ඇදී යෑමට තවත් හේතුවක් සලකා බලන්න. තමන් එතරම් ලස්සන කෙනෙක් නෙවෙයි කියා සිතන ඔවුන් තමන්ට කැමති ඕනෑම කෙනෙක් සමඟ ඇසුරට වැටෙනවා. කලින් සඳහන් කළ නැන්සි ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වෙන්න කියා බයිබලයේ පවසා තිබෙන බව දැනගෙන සිටියා. (1 කොරින්ති 7:39) ඒත් තමා අවලස්සන කෙනෙක් කියා නිතරම සිතූ ඇය ඇදහිලිවන්තයෙකු නොවූ සෙසු සේවකයෙකුට රැවටුණා. ඔහු ඇයව වර්ණනා කරමින් පෙම් සබඳතාවක් ඇති කරගන්න කැමති බව පෙන්නුවා. ඇය ඔහු සමඟ නොයෙක් තැන්වලට යන්න පටන්ගත්තා. ඇය ඔහුට කෙතරම් කිට්ටු වුණාද කිවහොත් කායික සබඳතාවක් ඇති කර නොගෙන බේරුණේ අනූ නවයෙන්.

සඳහන් කළ මෙවැනි අද්දැකීම්වලින් පෙනී යන්නේ හානිදායක තත්වයක් ඇති කරන අය වෙත යෞවන ක්‍රිස්තියානියෙකුගේ සිත ඇදී යෑමට හේතු ගණනාවක්ම තිබෙන බවයි. ඒ වගේම එවැනි මිත්‍රත්වයන් හොඳයි කියා පෙන්වන්න විවිධ හේතු දීමට ඉඩ තිබෙනවා. කෙසේවෙතත් එයාකාර මිත්‍රත්වයන් මගින් ලැබෙන්නේ මානසික පීඩනයක් ඇති කරන විනාශකාරී ප්‍රතිඵල බව නිසැකයි. එසේ වීමට හේතුව?

මිත්‍රත්වයේ බලය

ඔබ ඔබේ මිතුරන් මෙන් හැඩගැසීමට තිබෙන ඉඩ කඩ වැඩියි. අප සමඟ වැඩි කාලයක් ගත කරන අය අප කෙරෙහි විශාල බලපෑමක් කරනවා. හිතෝපදේශ 13:20 පෙන්වන්නේ මෙම බලපෑම අපට හොඳට හෝ නරකට හිටිය හැකි බවයි. “ඥානවන්තයන් සමඟ හැසිරෙන්න; එවිට ඔබත් ඥානවන්තයෙක් වන්නෙහිය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයා වේදනා විඳින්නේය.” එකම වාහනයක සිටින දෙදෙනෙකු මෙන් කිට්ටු මිත්‍රයන්ද යන්නේ එකම දිශාවකටයි, නවතින්නේ එකම ගමනාන්තයෙයි. එබැවින් ඔබ ඔබෙන්ම මෙසේ අසන්න. ‘මගේ මිත්‍රයා යන්නෙත් මම යන පාරෙමද? ඔහු යන පාරේ ගියොත් මගේ ක්‍රිස්තියානි විශ්වාසයන්ට අනුව තිබෙන ඉලක්ක අත්කරගන්න මට පුළුවන් වෙයිද?’

නිවැරදි විනිශ්චයක් කිරීම අසීරු බව ඇත්තයි. හැඟීම් බලවත් වී තිබෙන්න පුළුවන්. නමුත් මිත්‍රයන් තේරීමේදී හැඟීම්වලට වහල් වීම සුදුසු දෙයක්ද? “හිත කියන දේ කරන්න” කියා ජන වහරේ පවතින ප්‍රකාශය ඔබ අසා ඇති. එහෙත් හිතෝපදේශ 28:26හි පවසන්නේ මෙයයි. “තමාගේ සිත විශ්වාස කරන්නා අඥානයෙක් වේ.” ඇයි එසේ වන්නේ? “අන් කිසිවකට වඩා සිත කපටි ය, හැම අතින් ම එය දූෂණය වී ඇති” නිසයි. (යෙරෙමියා 17:9; ගණන් කථාව 15:39) සිත කපටි වීම යන්නෙන් අදහස් කරන්නේ අපක්ෂපාති වීමක් හෝ ද්‍රෝහී වීමක්. රැවටිලිකාරයෙකු හා ද්‍රෝහියෙකු කියා දන්න කෙනෙකුව ඔබ විශ්වාස කරනවාද? අපේ හිතට දැනෙන දේ නිවැරදි දේ නොවිය හැකියි. එබැවින් හරියි කියා සිතෙන පළියට සබඳතාවක් ඇති කරගැනීම සැමවිටම යහපත් එකක් වෙන්නේ නැහැ.

ඊට වඩා විශ්වාසදායක මඟ පෙන්වීමක් දේවවචනයේ තිබෙනවා. ඔබේ අසම්පූර්ණ සිත මෙන් නොව බයිබල් ප්‍රතිපත්ති ඔබට ද්‍රෝහි වන්නේවත් ඔබව අතරමං කරන්නේවත් නැහැ. කෙනෙකු මිත්‍රයෙකු කරගැනීමට සුදුසුද නැද්ද කියා තීරණය කිරීම සඳහා ඔබට උපකාර කිරීමට බයිබල් ප්‍රතිපත්තිවලට හැක්කේ කෙසේද? ජීවිත කාලයටම සිටිය යුතු මිත්‍රයෙකු වන විවාහ කලත්‍රයෙකු තෝරාගැනීමේදී හානිදායක තේරීමක් කිරීමෙන් වැළකෙන්න ඔබට හැකි වන්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්න ගැන මතු පළ වන ලිපියක සලකා බැලෙයි.

[පාදසටහන]

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

[22වන පිටුවේ පින්තූරය]

නියම මිත්‍රයෙක් පිළිබඳව අප දරන අදහසට බලපෑමක් කරන්න ජන මාධ්‍යයට හැකියි