Skip to content

පටුනට යන්න

ස්වාභාවික විපත් තව තවත් වැඩි වෙයිද?

ස්වාභාවික විපත් තව තවත් වැඩි වෙයිද?

ස්වාභාවික විපත් තව තවත් වැඩි වෙයිද?

“දේශගුණික විපර්යාසයන් නිසා අනාගතයේදී ව්‍යසනකාරී සිදුවීම් ඇති වෙයි කියා බලාපොරොත්තු විය හැකියි. මින් අදහස් කරන්නේ කාලගුණික වෙනස්කම් නිසා පෙර නොවූ විරූ ව්‍යසනකාරී තත්වයන් මෙන්ම දේපළ හා ජීවිත හානිද සිදු විය හැකි බවයි. . . . නොසිතන මොහොතක සිදු වන විපර්යාසයන්ට මුහුණ දීම සඳහා අප කලින්ම සූදානම් වී සිටීම නුවණට හුරුයි.”—“Annual Review: Natural Catastrophes 2003” නම් විද්‍යුත් සඟරාව.

වර්ෂ 2003දී යුරෝපයේ ඇතැම් රටවල ගිම්හාන කාලයේ දැඩි උණුසුම් තත්වයක් පැවතුණා. ඒ හේතුවෙන් ඉතාලියේ, නෙදර්ලන්තයේ, ප්‍රංශයේ, පෘතුගාලයේ, බෙල්ජියමේ, බ්‍රිතාන්‍යයේ සහ ස්පාඤ්ඤයේ පුද්ගලයන් 30,000ක් පමණ මිය ගියා. ඉන්දියාව, පකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල මෝසම් වැසි සමයට පෙර අසාමාන්‍ය ලෙස පැවති අධික උෂ්ණත්වය නිසා මිය ගිය සංඛ්‍යාව 1,500යි. ඒ අතරතුර ඕස්ට්‍රේලියාවේ ඇති වූ නියඟය හා දැඩි උණුසුම නිසාද ලැව් ගින්නක් හටගෙන හෙක්ටෙයාර මිලියන 3කට වඩා විනාශ වී ගියා.

ලෝක කාලගුණ සංවිධානයට අනුව “2003දී අත්ලාන්තික් සාගරයේ ඇති වූ සුළි සුළං නිසා විශාල සැඩ කුණාටු 16ක් ඇති වුණා. වර්ෂ 1944-1996 දක්වා කාලයේදී කුණාටු ඇති වී තිබෙන්නේ වසරකට 9ත් 10ත් අතර ප්‍රමාණයක්. නමුත් එක්දාස් නවසිය අනූගණන්වල මැදභාගයේ සිට උෂ්ණ කලාපයට අයත් කාලගුණික තත්වයන් (නිවර්තන කාලගුණය) නිසා කුණාටු ඇතිවීම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී තිබෙනවා.” වර්ෂ 2004 ගැනත් පැවසිය හැක්කේ එයමයි. එම වර්ෂයේදී කැරිබියන් දූපත් හා මෙක්සිකෝ බොක්ක හරහා ප්‍රචණ්ඩ කුණාටු හමා ගියා. එවිට ජීවිත 2,000ක් පමණ මරුට බිලි වූ අතර විනාශකාරී අතුරු ප්‍රතිඵලද ඇති වුණා.

වර්ෂ 2003දී ශ්‍රී ලංකාවේ ඇති වූ සුළි සුළඟ නිසා දරුණු ගංවතුරක් ඇති වී අඩුම තරමින් 250දෙනෙක්වත් මිය යන්න ඇති. බටහිර පැසිෆික් සාගරයෙහි 2004දී සැඩ කුණාටු 23ක්වත් සිදු වූ බවට වාර්තා වී තිබෙනවා. ඉන් දහයක් බලපෑවේ ජපානයටයි. එයින් විශාල ව්‍යසනයක් සිදු වූ අතර 170ට වඩා වැඩිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ධාරාණිපාත මෝසම් වැසි නිසා ඇති වූ ගං වතුරෙන් දකුණු ආසියාවේ, විශේෂයෙන්ම බංග්ලාදේශයේ වැසියන් මිලියන 30ක් පමණ පීඩා වින්දා. මිලියන ගණනකගේ හිසට සෙවණක් නැතුව ගියා. මිලියන තුනකට පමණ උන් හිටි තැන් අත්හැර යන්න සිදු වුණා. එමෙන්ම 1,300කට වඩා වැඩි සංඛ්‍යාවක් මිය ගියා.

වර්ෂ 2003දී බිහිසුණු භූමිකම්පා කීපයක්ම ඇති වුණා. මැයි 21වනදා ඇල්ජීරියාවේ ඇල්ජියර්ස්හි ඇති වූ භූමිකම්පාවෙන් 10,000කට තුවාල සිදු වූ අතර 2,00,000කට උන් හිටි තැන් අහිමි වුණා. දෙසැම්බර් 26වනදා උදෑසන 5:26ට ඉරානයේ බාම් නගරයෙන් සැතපුම් පහක් දකුණට බලපෑ භූමිකම්පාවක් සිදු වුණා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.5ක් ලෙස සටහන් වුණා. නගරයෙන් සියයට 70ක් විනාශ වී ගිය අතර ජීවිත 40,000කට මරු කැඳෙව්වා. තවත් 1,00,000කට වඩා වැඩිදෙනෙකුට නිවාස අහිමි වුණා. ඒ වසරේදී සිදු වූ දරුණුතම ස්වාභාවික විපත්තිය එයයි. එමගින් මෙම නගරයේ තිබූ ආර්ගෙබාම් බලකොටුවට විශාල හානි සිදු වුණ අතර එහි ආර්ථිකයටත් එය බලපෑවා. වසර 2,000ක් පැරණි එය සංචාරකයන්ව ආකර්ෂණය කළ ස්ථානයක්.

ඊට වසරකට පසු ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාහි බටහිර වෙරළ තීරයට ආසන්නව ප්‍රබල කම්පනයක් ඇති වුණා. එය රික්ටර් මාපකයේ සටහන් වුණේ 9.0ක් ලෙසයි. වාර්තා වී ඇති දරුණුතම සුනාමි රැළි ඇති වුණේ මෙම කම්පනයෙන්. යෝධ රැළිවලින් ජීවිත 2,00,000කට වඩා වැඩි පිරිසක් බිලිගන්න ඇති. තවත් බොහෝදෙනෙකුට තුවාල සිදු වූ අතර නිවාසද අහිමි වුණා. එය කොතෙක් දුරට බලපෑවාද කිවහොත් සිදු වූ ස්ථානයේ සිට බටහිර දිශාවේ කිලෝමීටර් 4,500ක් හෝ ඊට වඩා දුරකින් පිහිටි නැඟෙනහිර අප්‍රිකාවේ මුහුදු තීරය දක්වා විහිදී ගියා.

තත්වය මීට වඩා දරුණු වෙයිද?

මෙවැනි සිද්ධීන් අනාගතය සඳහා පෙර ඡායාවක්ද? කාලගුණය නිසා ඇති වන විපත්ති දෙස බලද්දී බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මිනිසා වායු ගෝලයට කරන හානිය හේතුවෙන් ලෝකයේ දේශගුණය වෙනස් වී දරුණු කාලගුණික තත්වයක් ඇති වී තිබෙන බවයි. මෙය සත්‍යයක් නම් අනාගතයේදී මීටත් වඩා භයානක ප්‍රතිඵල ඇති වෙයි. තවත් කරුණක් වන්නේ බොහෝ මිනිසුන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මෙවැනි විපත් සිදු වන ප්‍රදේශවලම ජීවත් වීමයි.

සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ විපත්ති හේතුවෙන් සිදු වන මරණ සියල්ලෙන් සියයට 95ක්ම දියුණු වෙමින් පවතින රටවල සිදු වන බවයි. එවැනි ආපදාවලින් ධනවත් රටවල මිය යන්නේ අඩු සංඛ්‍යාවක් වුණත් එම රටවලට සියයට 75ක අලාභහානි අද්දකින්න සිදු වෙයි. මෙවැනි අලාභයන් වැඩි වැඩියෙන් සිදු වන විට ඒ සඳහා වන්දි ගෙවීමට හැකි වෙයිද කියා රක්ෂණ සමාගම් කල්පනා කරනවා.

ඊළඟ ලිපියේදී අපි සලකා බලන්නේ විපත්තිවලට මඟ පාදන ස්වාභාවික හේතූන් මොනවාද සහ විපත්ති තව තවත් දරුණු කිරීමට මිනිසා යම් ආකාරයකින් දායක වී තිබෙනවාද යන්න ගැනයි. අනාගත පරපුර සඳහා පොළොව ආරක්ෂිත නිවහනක් කිරීමට මිනිසාට බලය හා හැකියාවක් තිබෙනවාද යන්නත් අපි සලකා බලනවා.

[3වන පිටුවේ පින්තූරය]

ප්‍රංශය 2003: යුරෝපා රටවල පැවති අධික උණුසුම නිසා 30,000දෙනෙක් මියැදුණා. ස්පාඤ්ඤයේ උෂ්ණත්වය සෙ. අ. 63කට පමණ ඉහළ නැග්ගා

[හිමිකම් විස්තර]

Alfred/EPA/Sipa Press

[4, 5වන පිටුවේ පින්තූරය]

ඉරානය 2003: බාම්හි සිදු වූ භූමිකම්පාවෙන් 40,000ක් මිය ගියා. මළ සිරුරු ඉදිරියෙහි තම ඥාතීන් ගැන හඬා වැලපෙන කාන්තාවන්

[හිමිකම් විස්තර]

පසුතලය සහ කාන්තාවන්: © Tim Dirven/Panos Pictures