Skip to content

පටුනට යන්න

ඔබේ දෘෂ්ටිය දකින දේට පමණක් සීමා වී ඇද්ද?

ඔබේ දෘෂ්ටිය දකින දේට පමණක් සීමා වී ඇද්ද?

ඔබේ දෘෂ්ටිය දකින දේට පමණක් සීමා වී ඇද්ද?

රියැදුරෙකුට සාමාන්‍යයෙන් වංගුවකදී තමන් ඉදිරියට පැමිණෙන වාහන දැකගත නොහැක. එනමුත් වංගුවේ විශාල කැඩපතක් තැබුවහොත්, තමන් ඉදිරියට එන වාහන දැක අනතුරුවලින් වැළකීමට ඔහුට හැක. මෙම නිදසුන අදෘශ්‍යමාන මැවුම්කරු සම්බන්ධයෙන්ද දැක්විය හැක. එනම් මනුෂ්‍යයන්ට ඔහුව දැකිය නොහැක. එහෙත් ඔහු පවතින බව තේරුම්ගැනීමට මඟක් තිබේද?

නොදකින දේ තේරුම්ගැනීමට හැකි ආකාරය ගැන මුල් සියවසේ ලේඛකයෙක් මෙසේ පැහැදිලි කළේය. “ලෝකය මැවූ තැන් පටන් [දෙවිගේ] අදෘශ්‍යමාන දේ වන [ඔහුගේ] සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලිලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති.”—රෝම 1:20.

ඒ ගැන මදක් කල්පනා කර බලන්න. මිනිසාට කිසි සේත් සෑදිය නොහැකි අප අවට තිබෙන දේවලින් යම් කෙනෙකුගේ බුද්ධිය පිළිබිඹු වන ආකාරය ඔබත් දකිනවාද? මිනිසාට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙකු සිටින බව ‘ඔබේ සිත් නමැති ඇස්වලින්’ තේරුම්ගැනීමට එවන් දේවල් ඔබට උපකාරවත් වේද? මේ සඳහා නිදසුන් කිහිපයක් සලකා බලමු.—එපීස 1:19.

මැවිල්ලෙන් ඉගෙනගැනීම

අමාවක රාත්‍රියක දිදුලන තරුවලින් නැහැවුණු අහස් කුසක දර්ශනයෙන් ඔබ අමානන්දයට පත්ව ඇද්ද? එසේ නම් ඔබ නිගමනය කළේ මෙය ශ්‍රේෂ්ඨ නිර්මාතෘවරයෙකුගේ හස්ත කර්මාන්තයක් විය යුතුයි කියාද? අහස දෙස බැලූ පුරාණයේ විසූ කෙනෙක්ද එවැනිම නිගමනයකට එළඹීය. ඔහු පැවසුවේ මෙසේය. ‘අහස දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය ඔහුගේ හස්ත කර්මාන්තය දක්වයි.’ අනතුරුව, ඔහු මෙලෙස තවත් ගැඹුරට කල්පනා කළේය. “ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?”—ගීතාවලිය 8:3, 4; 19:1.

සාමාන්‍යයෙන් මිනිසාට ස්වභාවධර්මයේ යමක් අනුකරණය කොට නිපදවිය නොහැකි නම්, එය විශිෂ්ට දෙයක් ලෙස සලකා එදෙස විමතියෙන් බැලීම ඔහුගේ පුරුද්ද වී තිබේ. “ගසක් සෑදිය හැක්කේ දෙවිට පමණි” කියා එක් සුප්‍රසිද්ධ කවියක පැවසේ. එනමුත් බිළිඳෙකු බිහි වෙන ආකාරය ඊට වඩා මොනතරම් පුදුමාකාරද? පියෙකුගේ ශුක්‍ර ධාතුවක් මවකගේ ඩිම්බ සෛලය හා එක් වෙද්දී, අලුතෙන් බිහි වූ සෛලය තුළ DNA විගස ක්‍රියාත්මක වන අතර, සැලැස්මක් ඇඳ දරුවෙකු සෑදීමේ ක්‍රියාවලිය DNA මගින් ඇරඹේ. මෙම ක්‍රියාවලිය මෙහෙයවීමට දෙමාපියන් කිසිදු ආකාරයකින්වත් මැදිහත් නොවේ. DNAවල අඩංගු තොරතුරු “ලේඛනගත කළා නම්, ඒ සඳහා පිටු 600කින් යුත් පොත් දහසක් අවශ්‍ය වන” බව පැවසේ.

අප කතා කරමින් සිටින්නේ ජීවිතයක ආරම්භය ගැන පමණි. ඒ තනි සෛලය දිගටම බෙදී යයි. එක දෙක වේ. දෙක සතර වේ. සතර අට වේ. එසේ දිගටම බෙදී යයි. දින 270කට පමණ පසු, සෛල මිලියන දහස් ගණනකින් යුත් බිළිඳෙක් මෙලොව එළිය දකියි. දැන් මදකට නැවතී සිතා බලන්න. සෛල මිලියන දහසක් කියද්දී, අප කතා කරන්නේ එක වර්ගයක් ගැන නොවේ. සෛල වර්ග 200කට වැඩි සංඛ්‍යාවක් මිනිස් සිරුරක ඇත. අනික් සෛල වර්ග සියල්ලම සෑදීමටත්, ඒවා නියමිත වේලාවට නිපදවීමටත් අවශ්‍ය සියලු තොරතුරු මුල්ම සෛලයෙහි තිබිණ. මොනතරම් අරුමයක්ද! අපගේ මැවුම්කරුට ප්‍රශංසා කිරීමට මෙය ඔබ තුළ පෙලඹීමක් ඇති කරවන්නේ නැද්ද? ගීතිකාකරුගේ පැසසුම සලකා බලමු. ඔහු මෙසේ ලීවේය. ‘ඔබ මාගේ හදවත හිමි කරගත්තේය [වකුගඩු සෑදීය, NW]. මාගේ මවු කුසෙහි මා වැසීය. මම ඔබට ස්තුති කරන්නෙමි. මක්නිසාද මම භයානක [භය උපදවන, NW] ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි.’—ගීතාවලිය 139:13-16.

මෙවන් “ආශ්චර්යයන්” අධ්‍යයනය කරන අය තුළ ගෞරවාන්විත බියක් ඇති වන්නේ හොඳ හේතු ඇතුවය. චිකාගෝ සහ ඉලිනොයි යන ජනපදයන්හි වෛද්‍ය සංගම්වල හිටපු සභාපති වෛද්‍ය ජේම්ස් එච්. හටන් ජීව සෛල ගැන කතා කරමින්, “ඉදිරියේදී නිපදවිය යුත්තේ කවර සෛලයන්ද යන්න පිළිබඳව නවක සෛලවලට තොරතුරු ලබා දීමට [සෛලයක් සතු] මවිතකර හැකියාව” තමාගේ පුදුමයට හේතුවක් වූ බව පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ මෙසේය. “මේ පිළිබඳව පර්යේෂණ පවත්වා ඇති විද්‍යාඥයන් විසින් මෙවැනි දේවල් අනාවරණය කරනු ලැබීම ගැන අපට ඇත්තෙන්ම සතුටු විය හැකියි. එනමුත් මෙවැනි දේවල් සැලසුම් කිරීමට යම් බුද්ධිමත්, දිව්‍ය බලවේගයක මැදිහත් වීම අවශ්‍ය වන බව මගේ මතයයි.”

වෛද්‍ය හටන්ට අප තවදුරටත් සවන් දෙමු. “මගේ ක්ෂේත්‍රය අන්තරාසර්ග විද්‍යාවයි. අන්තරාසර්ග අවයවයන්වල ක්‍රියාකාරිත්වය සහ ඒවා තුළ ඇති වන ආබාධයන් අධ්‍යයනය කරන විට මට එයින් යමක් තහවුරු වේ. එනම්, ජීවිතය පවත්වාගෙන යෑමට අතිශයින් අවශ්‍ය වන මෙම ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය සහ ඇදහිය නොහැකි සංකීර්ණත්වය පිටුපස දිව්‍ය බලවේගයක් ඇති බවයි.” ඔහු තවදුරටත් මෙම අදහසද එකතු කළේය. “මෙවැනි අරුමයන් ගැන මෙනෙහි කරද්දී මට පෙනී යන දෙයක් වන්නේ, මෙම විශ්වය නිර්මාණය කොට, දැන් අධීක්ෂණය කරන සර්වබලධාරී, සර්ව ඥානය ඇති බලවේගයක් ඇති බව විශ්වාස කිරීමට හොඳ හේතු ඇති බවයි.”

එනමුත් මෙවන් අදහස් ඉදිරිපත් කිරීමෙන් පසු, වෛද්‍ය හටන් මෙම පැනය ඉස්මතු කළේය. “සෑම ගේ කුරුල්ලෙකුගේම වැටීම සැලකිල්ලට ගන්නා පෞද්ගලික හැඟීමකින් කටයුතු කරන දෙවි කෙනෙක් ලෙස මෙම බලවේගය හැඳින්විය හැකිද?” ඔහුගේ පිළිතුර කුමක්ද? “එය මට සැක සහිතය. මගේ දෛනික ජීවිතයේ සාමාන්‍යයෙන් එතරම් වැදගැම්මක් නැති දේවලට ඔහු තම පෞද්ගලික අවධානය දෙනවා කියා මා විශ්වාස කරන්නේ නැත.”

මැවිල්ල තුළ දක්නට ලැබෙන “ආශ්චර්යයන්” තුළින් යමෙකුගේ බුද්ධිය විද්‍යමාන වන බව පිළිගත්තද, පෞද්ගලික හැඟීමකින් කටයුතු කරන, මිනිස් සංහතිය ගැන සැලකිල්ලක් දක්වන දෙවි කෙනෙකු පවතින බව බොහෝදෙනෙකු සැක කරන්නේ මන්ද?

ඇත්තටම දෙවි අප ගැන සලකනවාද?

දෙවි කෙනෙකු සිටිනවා නම්, මනුෂ්‍යයන්ට මෙතරම් දුකක් අද්දකින්න ඔහු ඉඩ දෙන්නේ නැත කියා බොහෝදෙනෙක් තර්ක කරති. “අප අසරණ වූ විට දෙවියන් සිටියේ කොහේද” යන්න පොදුවේ අසන්න ලැබෙන ප්‍රශ්නයකි. දෙවන ලෝක සංග්‍රාමයේදී නාට්සිවරුන් සිදු කළ මිලියන ගණන් බිහිසුණු ඝාතනවලින් තම පණ බේරාගත් කෙනෙක් මෙසේ පැවසීය. “මගේ හෘදය ලෙව කෑවොත්, එය ඔබට විෂ වෙයි.” ඔහු එසේ පැවසුවේ, තමා දුටු දුක් ගාවිනාවලින් එතරම්ම කනස්සල්ලට පත් වූ නිසාය.

බොහෝදෙනෙක් තවමත් කල්පනා දෙකක් අතරේ හිර වී සිටිති. කලින් සඳහන් කළාක් මෙන්, දේවල් ආශ්චර්යවත් ලෙස නිර්මාණය කර ඇති ආකාරය සෝදිසි කරද්දී, මැවුම්කරුවෙකු සිටින බව මනාව පැහැදිලි වේ. එනමුත්, ඔහු අප ගැන සලකන දෙවි කෙනෙක් නම්, දැන් තිබෙන ඉතා බිහිසුණු දුක් ගාවිනා පවතින්න ඔහු ඉඩ දෙන්නේ කෙසේද? දෙවිව තේරුම්ගෙන, ඔහුට නිසියාකාරව නමස්කාරය පිරිනැමීමට නම්, එම වැදගත් පැනයට සෑහීම ගෙන දෙන පිළිතුරක් ලබාගැනීම අත්‍යවශ්‍යය. කොහෙන්ද?

ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද? යන මැයින් යුත් විවරණිකාව ලබාගෙන කියවන්න කියා අපි ඔබට ඇරයුම් කිරීමට කැමැත්තෙමු. මෙම පිබිදෙව්! සඟරාවේ 32වන පිටුවෙහි එම විවරණිකාව ලබාගත හැකි ආකාරය විස්තර කර ඇත. “දුක් වේදනාවන්ට දෙවි අවසර දීමට හේතුව” සහ “කැරලි ගැසීමේ ප්‍රතිඵලය කුමක් වී තිබේද?” යන කොටස් හොඳින් පරීක්ෂා කර බැලීමෙන් සෑහීම ගෙන දෙන පිළිතුරු ඔබට ලබාගත හැකි වේවි කියා අපි විශ්වාස කරන්නෙමු.

[10වන පිටුවේ පින්තූර]

මැවුම්කරුවෙකු සිටින බවට සාක්ෂි මෙම දේවල් තුළින් ඔබට පෙනේද?