Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

ලෝගුව හැරදා සත්‍යය වැලඳගත් සොහොයුරියන්

ලෝගුව හැරදා සත්‍යය වැලඳගත් සොහොයුරියන්

“ඔය හොඳටම ඇති! ඔය ආගම ගැන මාත් එක්ක තව එක වචනයක්වත් කතා කරන්න එපා. ඒක මට පිළිකුල්. මට ඔයාවත් පෙන්නන්න බෑ.” මට දැන් වයස 91ක් වුණත් කාලෙකට කලින් මගේ නංගි ආරාසෙලි කියපු ඒ වචන කොච්චර වේදනාවක් ගෙනාවද කියලා මට අද වගේ මතකයි. ඒත් “පටන්ගැන්මට වඩා අවසානය හොඳයි” කියලා දේශනාකාරයා 7:8 කියන දේ අපේ ජීවිතවලත් අපි අද්දැක්කා.—ෆෙලීසා.

ෆෙලීසා: අපේ පවුලේ අය ආගමට හුඟක් ළැදියි. නෑදෑයන්ගෙන් 13දෙනෙක්ම කතෝලික පල්ලියේ එක එක තනතුරු දැරුවා. සමහරු පූජකයන්. එයාලගෙන් එක් කෙනෙක්ව දෙවන ජුවාම් පාවුලු පාප්වරයා භාග්‍යවන්තයෙක් හැටියටත් නම් කළා. මගේ තාත්තා කම්මල්කරුවෙක්. අම්මා ගොවිපොළක වැඩ කළා. ඒ නිසා අපිට එච්චර සල්ලි තිබුණේ නැහැ. පවුලේ ළමයි 8දෙනාගෙන් මමයි වැඩිමලා.

ස්පාඤ්ඤයේ සිවිල් යුද්දේ පටන්ගද්දී මට වයස 12යි. යුද්දෙන් පස්සේ ආණ්ඩුවට විරුද්ධව කතා කළා කියන චෝදනාව මත තාත්තාව හිරේ දැම්මා. තාත්තා නැතුව අපිව බලාගන්න අම්මාට ලේසි වුණේ නැහැ. ඒ නිසා මගේ නංගිලා 3දෙනාව ඒ කියන්නේ ආරාසෙලි, ලෝරී, රමෝනිව බිල්බාවෝවල තියෙන කන්‍යාරාමෙකට යවන්න කියලා අම්මාගේ යාළුවෙක් එයාට කිව්වා. අඩු ගානේ එයාලට කෑම ටිකවත් හම්බ වෙයි කියලා හිතලයි එයා එහෙම කිව්වේ.

ආරාසෙලි: පවුලේ අයගෙන් වෙන් වෙලා යන එක අපිට ලේසි වුණේ නැහැ. එතකොට මට වයස 14යි, ලෝරීට 12යි, රමෝනිට 10යි. එහෙදී මුලින්ම අපි කළේ සුද්ද පවිත්‍ර කරන වැඩ. අවුරුදු 2කට පස්සේ අපිව සරාගෝසාවල තියෙන කන්‍යාරාමෙකට යැව්වා. ඒක මහලු අයව බලාගන්න තැනක්. අපිට එහෙ කරන්න තිබුණේ කුස්සිය සුද්ද කරන වැඩ. පොඩි වයසේ හිටපු අපිට ඒක ලේසි වුණේ නැහැ.

ෆෙලීසා: නංගිලා 3දෙනා කන්‍යාරාමෙට ගියාට පස්සේ අම්මායි, අපේ පල්ලියේ පූජකයා වුණු අපේ මාමායි මාවත් එහෙට යවන්න තීරණය කළා. එයාලට ඕන වුණේ අපේ පැත්තේ පිරිමි ළමයෙක් මාත් එක්ක යාළු වෙන්න ආපු නිසා ඒක නවත්තන්නයි. මං ආගම දහමට බර කෙනෙක් නිසා කන්‍යාරාමෙට යන්න කැමති වුණා. මං හැමදාම පූජාවට ගියා. මට ඕන වුණේ අප්‍රිකාවට ගිහින් ආගම ප්‍රචාරය කරපු මගේ ඥාති සහෝදරයා වගේ වෙන රටවලට ගිහින් ආගම ප්‍රචාරය කරන්නයි.

වමේ: සරාගෝසාවල කන්‍යාරාමය; දකුණේ: “නාකාර් කෝලුන්ගා” පරිවර්තනය

කන්‍යාරාමේ හිටපු කාගෙන්වත් ඒකට මට වචනෙකින්වත් සහයක් ලැබුණේ නැහැ. ඒ ජීවිතේ මට තිත්ත වුණා. මට දැනුණේ කොටු වෙලා වගෙයි. ඒ නිසා අවුරුද්දකට පස්සේ ගෙදර යන්න මං තීරණය කළා. ඊටපස්සේ මං කලින් කියපු මගේ මාමාව බලාගත්තා. ගෙදරදොරේ වැඩ කරලා දීලා හැමදාම හවසට එයාත් එක්ක කොන්තේ කිව්වා. පල්ලියේ මල් සැරසිලි කරන්න, සුරුවම් ලස්සනට සරසන්න ඒ කාලේ මං හරි ආසයි.

ආරාසෙලි: ඔය අතරේ අපේ ජීවිතත් හුඟක් වෙනස් වුණා. මගේ පළවෙනි පොරොන්දු දුන්නට පස්සේ අපි තුන්දෙනාව වෙන් කරන්න සොහොයුරියන් තීරණය කළා. ලෝරීව වැලෙන්සියාවලටත් මාව මැඩ්‍රිඩ්වලටත් යැව්වා. ඒත් රමෝනිව එහෙම තියාගත්තා. මැඩ්‍රිඩ්වලදී මං මගේ දෙවෙනි පොරොන්දු දුන්නා. එහෙ ශිෂ්‍යයන්ට, මහලු අයට වගේම ආගන්තුකයන්ට නවාතැන් දුන්න නිසා කරන්න හුඟක් වැඩ තිබුණා. මං වැඩ කළේ අබලදුබල අය සඳහා තිබුණු කොටසේ.

කන්‍යා සොහොයුරියකගේ ජීවිතේ ආශීර්වාද පිරුණු එකක් කියලයි මං හිතුවේ. මං ආසාවෙන් හිටියේ බයිබලේ කියවලා ඒක හොඳට තේරුම්ගන්නයි. ඒත් බයිබලේ කියවනවා තියා දෙවි, යේසුස් ගැන කවුරුත් කතා කළේවත් නැහැ. මරියාට වන්දනා කරපු එකයි, ලතින් භාෂාවයි සාන්තුවරුන් ගැනයි ඉගෙනගත්ත එක හැරුණම මං කළේ මහන්සි වෙලා වැඩ කරපු එක විතරයි.

මං කලකිරුණා. ඒ ගැන මං ලොකු සිස්ටර්ට කතා කළා. පවුලේ අය අමාරුවෙන් ජීවත් වෙද්දී අනිත් අයගේ සාක්කු පුරවන්න මං මහන්සි වෙන්නේ මොකටද කියලා මං එයාගෙන් ඇහුවා. එතකොට එයා මාව කාමරේක දාලා හිර කළා. එයා හිතුවේ එහෙම කළොත් ගෙදර යන්න මට තිබුණු අදහස නැති වෙයි කියලා.

එයාලා මාව තුන්පාරක්ම නිදහස් කරලා බැලුවා මගේ අදහස වෙනස් වෙලාද කියලා. අදහස වෙනස් වෙලා නැහැ කියලා තේරුණාම “මට ඕනෙ දෙවිට නෙමෙයි සාතන්ට සේවය කරන්නයි” කියලා ලියුමක ලියලා භාර දෙන්න කියලා එයාලා කිව්වා. කන්‍යාරාමය අත්හැරලා යන්න මට ලොකු වුවමනාවක් තිබුණත් ඒක ලියන්න තියා හිතන්නවත් මට පුළුවන් වුණේ නැහැ. මගේ පාපෝච්චාරණය අහන්න ආපු පූජකයාට අන්තිමට මං ඒ හැම දේම කිව්වා. එයා මාව ආයෙත් සරාගෝසාවලට යවන්න සැලසුම් කළා. එහෙ මාස කීපයක් හිටියට පස්සේ ගෙදර යන්න මට අවසර ලැබුණා. ඒ කාලෙදීම වගේ නංගිලා දෙන්නත් ලෝගු අත්හැරලා ගෙදර ආවා.

අපිව වෙන් කළ තහනම් පොත

ෆෙලීසා

ෆෙලීසා: මං විවාහ වෙලා කැන්ටබ්‍රියාවලට ගියා. එහෙදීත් වරද්දන්නේ නැතුව මං පූජාවට ගියා. දවසක් පූජාව වෙලේ පූජකයා තරහෙන් මෙහෙම කිව්වා. “මේ පොත දිහා බලන්න. කවුරු හරි ඔයාලට මේ පොතක් දීලා තියෙනවා නම් ඒක මට දෙන්න. නැත්නම් විසි කරන්න.” එයාගේ අතේ තිබුණේ ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය’ කියන පොතයි.

ඒ පොතක් මං ළඟ තිබුණේ නැතත් ඒක කොහොමහරි කියවන්න මට ඕන වුණා. දවස් කීපයකට පස්සේ සාක්ෂිකරුවන් දෙන්නෙක් අපේ ගෙදරට ඇවිත් පොතක් දුන්නා. මටම පුදුමයි, ඒ පූජකයා තහනම් කරපු පොතමයි! එදා රෑම මං ඒක කියෙව්වා. සහෝදරියන් දෙන්නා ආයේ ආවම මං කැමති වුණා පාඩමක් කරන්න.

තහනම් පොත

සත්‍යය මගේ හදවත වෙළාගත්තා. යෙහෝවා දෙවි ගැන මට ඇති වුණේ ලොකු ආදරයක්. සේවයටත් ලොකු ආසාවක් ඇති වුණා. මං බව්තීස්ම වුණේ 1973. පවුලේ අයට සත්‍යය ගැන කියන්න මට වැඩිය අවස්ථා ලැබුණේ නැතත් පුළුවන් හැම වෙලාවකදීම මං ඒ ගැන කතා කළා. ඒත් එයාලා, විශේෂයෙන් ආරාසෙලි ඒක කොහොමටවත් පිළිගත්තේ නැහැ.

ආරාසෙලි: කන්‍යාරාමේදී අද්දැක්ක කටුක දේවල් නිසා මං හිටියේ තරහෙන්. ඒත් මං දිගටම ඉරිදා පූජාවට ගියා. හැමදාම කොන්තේ කිව්වා. බයිබලේ තේරුම්ගන්න මට තිබුණු ආසාව වෙනස් වුණේ නැහැ. ඒ ගැන මං යාච්ඤා කළා. ඔය කාලෙදී තමයි සාක්ෂිකරුවන්ගෙන් ඉගෙනගන්න දේවල් ෆෙලීසා මා එක්ක කතා කළේ. එයා ඒවා කිව්වේ ලොකු හැඟීමකින්. මට හිතුණේ එයා අන්තවාදියෙක් වෙලා කියලයි. එයා කියපු කිසිම දෙයක් මං පිළිගත්තේ නැහැ.

ආරාසෙලි

අවුරුදු කීපයකට පස්සේ රස්සාවක් කරන්න මං මැඩ්‍රිඩ්වලට ආවා. එහෙදී මං බැන්දා. කාලයක් යද්දී මං හැම දෙයක් දිහාම බැලුවේ සැකෙන්. හුඟක් අය පූජාවට ගියාත් ඉගෙනගන්න දේවල් පිළිපදින්නේ නැහැ කියලා දැක්කම පල්ලි යන එක මං නැවැත්තුවා. සාන්තුවරුන් ගැන තිබුණු විශ්වාසය, පාපෝච්චාරණය, නිරාගින්න වගේ ඉගැන්වීම් මං අත්හැරියා. සුරුවම්, රූප මං අයින් කළා. මං කරපු දේ හරිද නැද්ද කියලා මං දැනං හිටියේ නැහැ. ඒත් මං හිටියේ දුකෙන්. ඒ වෙලාවේ මං දෙවිට කිව්වා “ඔයා ගැන දැනගන්න මං ආසයි. අනේ මට උදව් කරන්න” කියලා. සාක්ෂිකරුවන් කීප සැරයක්ම අපේ ගෙදරට ආවත් මං එයාලා එක්ක කතා කරන්න කැමති වුණේ නැහැ. මොකද මට ආගම් එපා වෙලයි තිබුණේ.

ලෝරීයි, රමෝනියි 1980 ගණන්වල සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. එයාලත් ෆෙලීසා වගේ රැවටිලා කියලයි මං හිතුවේ. අපේ ගෙවල් ළඟ හිටපු ඇන්ජලීන්ස්ට මං කිට්ටු වුණේ ඔය කාලෙදීමයි. එයාත් සාක්ෂිකරුවෙක්. එයායි එයාගේ මහත්තයායි නිතරම වගේ බයිබලේ පාඩම් කරන්න මාව උනන්දු කළා. ආගම් එපා වෙලා හිටියත් බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න මං ඉන්නේ ලොකු පිපාසයකින් කියලා එයාලට තේරුණා. පස්සේ මම කැමති වුණා එයාලා එක්ක බයිබලේ පාඩම් කරන්න. ඒත් මං එයාලට කිව්වා “මං පාඩම් කරන්නේ මගේම බයිබලේ පාවිච්චි කරන්න දුන්නොත් විතරයි” කියලා. මං ළඟ තිබුණේ “නාකාර් කෝලුන්ගා” කියන බයිබල් පරිවර්තනයයි.

සත්‍යය අපිව එක් කළා

ෆෙලීසා: 1973 මං බව්තීස්ම වෙද්දී ස්පාඤ්ඤයේ සන්ටාන්ඩර්වල හිටියේ සාක්ෂිකරුවන් 70දෙනෙක් විතරයි. අපිට දේශනා කරන්න ලොකු ප්‍රදේශයක් තිබුණා. මුල් කාලේ බස් එකෙන්, ඊටපස්සේ කාර් එකෙන් ගිහින් ඒ ප්‍රදේශය පුරාම දේශනා කළා. ඒ පළාතේ තිබුණු ගම්මාන සිය ගාණකට විතර ගියා.

ඒ කාලේ මං බයිබල් පාඩම් කීපයක්ම කළා. එයාලගෙන් 11දෙනෙක් බව්තීස්ම වුණා. වැඩිදෙනෙක් කලින් කතෝලික. මමත් කලින් කතෝලික විශ්වාසයන්ට තදින් ඇලිලා හිටපු නිසා එයාලව තේරුම් අරන්, ඉවසීමෙන් පාඩම කරන්න ඕනෙ කියලා මට තේරුණා. හිතේ කෙටිලා තියෙන විශ්වාසයන් අයින් කරගන්න කාලයක් යනවා කියලා මං දැනං හිටියා. සත්‍යය තේරුම්ගන්න නම් බයිබලේ ඉගැන්වීම් එයාලගේ හදවතටම යන්න ඕනෙ කියලත් දෙවිගේ බලයේ උදව් නැතුව ඒක කරන්න බැහැ කියලත් මං තේරුම්ගත්තා. (හෙබ්‍රෙ. 4:12) 1979දී මගේ මහත්තයාත් බව්තීස්ම වුණා. මැරෙන්න ටික කාලෙකට කලින් අම්මාත් බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා.

ආරාසෙලි: පාඩම කරන්න පටන්ගත්ත කාලේ සාක්ෂිකරුවන් ගැන මට තිබුණේ සැකයක්. ඒත් සති කීපයක් යද්දී ඒක ටිකෙන් ටික නැතුව ගියා. සාක්ෂිකරුවන් එයාලා උගන්වන දේ පිළිපැද්දා. ඒක මගේ හිතට වැදුණා. කලින් නොදැනුණු ප්‍රබෝධයක් මට දැනුණා. මගේ වෙනස දැක්ක කීපදෙනෙක්ම මට මෙහෙම කිව්වා. “ආරාසෙලි ඔයා කරන දේ දිගටම කරන්න.”

මං මෙහෙම යාච්ඤා කළා මට මතකයි. “මං ගැන බලාපොරොත්තු අත්හැරියේ නැති එකට ස්තුතියි යෙහෝවා. බයිබලේ තේරුම්ගන්න මට තිබුණු ආසාව දැකලා ඒකට අවස්ථාව දුන්නටත් ස්තුතියි.” මට ෆෙලීසාව හම්බ වුණු වෙලාවේ එයාගේ හිත රිදෙන විදිහට කතා කරපු එක ගැන මං එයාගෙන් සමාව ඉල්ලුවා. අපි දැන් වාද කරනවා වෙනුවට බයිබලේ තියෙන රසවත් දේවල් ගැන කතා කරනවා. මං 1989දී බව්තීස්ම වුණා. ඒ වෙද්දී මට වයස 61යි.

ෆෙලීසා: මට දැන් 91යි. මගේ මහත්තයාත් මැරිලා. ඉස්සර තරම් දේවල් කරන්න දැන් මට හයියක් නැහැ. ඒත් මම හැමදාම වරද්දන්නේ නැතුව බයිබලේ කියවනවා. අසනීපයක් නැති හැම දවසකම රැස්වීම් යනවා. පුළුවන් උපරිමයෙන් සේවයෙත් හවුල් වෙනවා.

ආරාසෙලි: මං පූජකයන්ටත් කන්‍යා සොහොයුරියන්ටත් දේශනා කරන්න හරිම කැමතියි. ඒ මමත් කලින් කන්‍යා සොහොයුරියක් නිසා වෙන්න ඇති. මං ඒ අයට අපේ පොත් පත් දීලා තියෙනවා. බයිබලේ ගැන සාකච්ඡා කරලත් තියෙනවා. මං කීප වතාවක්ම හම්බ වෙන්න ගිය වයසක පූජකයෙක් මට මෙහෙම කිව්වා. “ඔයා කියන දේ ඇත්ත. ඒත් මේ වයසට මං වෙන මොනවා කරන්නද? මගේ මීසමේ අය, පවුලේ අය මං ගැන මොනවා හිතයිද?” මං එයාගෙන් ඇහුවා “එතකොට දෙවි ඔයා ගැන මොනවා හිතයිද” කියලා. ඒ වෙලාවේ එයාගේ මූණේ ලොකු දුකක් තිබුණා. ඒත් සත්‍යය දිගටම හොයන්න හයියක් එයාට තිබුණේ නැහැ.

මගේ මහත්තයා රැස්වීම්වලට එන්න ඕනෙ කියලා කියපු මුල්ම දවසේ මට දැනුණු සතුට අද වගේ මතකයි. ඒ වෙද්දී එයාට වයස 80කට වැඩි වුණත් එදායින් පස්සේ වරද්දන්නේ නැතුව හැම රැස්වීමකටම ආවා. එයා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකුත් වුණා. අපි එකට සේවයේ ගිය කාලේ ලබපු මිහිරි මතකයන් හුඟක් මං ළඟ තියෙනවා. ඒත් බව්තීස්ම වෙන්න මාස 2කට කලින් එයා අපෙන් වෙන් වුණා.

ෆෙලීසා: කලින් මගේ විශ්වාසයන්ට විරුද්ධ වුණත් පස්සේ කාලෙකදී මගේ නංගිලත් සත්‍ය නමස්කාරය පිළිගත්ත එක ගැන මට කියාගන්න බැරි තරම් සතුටක් දැනෙනවා. අපි එකට කාලේ ගත කරද්දී යෙහෝවා දෙවි ගැනත් බයිබලේ ගැනත් කතා කරලා ලබන්නේ කොයි තරම් සතුටක්ද! යෙහෝවා දෙවි අපිව ආයෙමත් එක් කළා. *

^ 29 ඡේ. වයස 87, 91 සහ 83 ඉන්න ආරාසෙලි, ෆෙලීසා, රමෝනි මේ වෙන කල්ම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා. දෙවිට විශ්වාසවන්තව සේවය කරපු ලෝරී 1990දී මිය ගියා.