Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

දෙවිට ළැදි සහෝදරයන් මට මොන තරම් ආශීර්වාදයක් වුණාද!

දෙවිට ළැදි සහෝදරයන් මට මොන තරම් ආශීර්වාදයක් වුණාද!

මගේ අම්මායි, තාත්තායි ස්කොට්ලන්තයේ ඉඳලා නිව් යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස්වලට ආවේ 1930 ගණන්වල. ඔය කාලෙදීම තමයි විලී ස්නේඩන් එයාලත් එක්ක හිතවත් වෙලා තියෙන්නේ. එයාත් ස්කොට්ලන්තයෙන් ආපු කෙනෙක්. එයාලා මුණගැහුණ මුල්ම දවසේ පවුලේ විස්තර කතා කරලා හොඳට හිතවත් වෙලා. මං ඒ කිව්වේ මං ඉපදෙන්න අවුරුදු කීපයකට කලින් වුණ දෙයක්.

දවසක් අම්මා විලීට කියලා තියෙනවා ලෝක යුද්දෙට ටික කාලෙකට කලින් අම්මාගේ තාත්තායි, අයියායි මාළු අල්ලන්න ගිය වෙලාවක බෝට්ටුවට බෝම්බයක් වැදිලා එයාලා ගිලිලා මැරුණා කියලා. එතකොට විලී කියලා “ඔයාගේ තාත්තා දැන් ඉන්නේ නිරයේ” කියලා. විලී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්.

විලී සහ ලිස් ස්නේඩන්

විලී කියපු දේ ගැන අම්මාට හුඟක් දුක හිතිලා. මොකද එයාගේ තාත්තා හොඳ කෙනෙක්. ඒත් එක්කම විලී අම්මාට මෙහෙමත් කියලා තියෙනවා. “යේසුත් නිරයට ගියා කියලා මං ඔයාට කිව්වොත් ඒක ඔයාට සහනයක් වෙයිද?” යේසුස් පාතාලයට නැත්නම් නිරයට බැහැලා ගිහින් තුන්වෙනිදා උත්ථාන වුණා කියලා පල්ලියේදී ඉගෙනගත්ත යාච්ඤාවක තියෙනවා කියලා එතකොට අම්මාට මතක් වෙලා. අම්මා කල්පනා කරලා තියෙනවා ‘නිරය කියන්නේ නරක අයට වධ දෙන තැනක් නම් යේසුස් මොකටද එතනට ගියේ’ කියලා. සත්‍ය ඉගැන්වීම් ගැන හොයන්න අම්මාගේ හිතේ ආසාවක් ඇති වුණේ එදායි. අම්මා 1940දී බව්තීස්ම වුණා.

අම්මාත් එක්ක සහ පස්සේ කාලෙක තාත්තාත් එක්ක

ඒ කාලේ දරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න කියලා දෙමාපියන්ට එච්චර උනන්දු කළේ නැහැ. සති අන්තවල අම්මා රැස්වීම්, සේවයේ ගිහින් එන කල් මාව බලාගත්තේ තාත්තා. අවුරුදු කීපයකට පස්සේ තාත්තායි, මායි රැස්වීම් යන්න පටන්ගත්තා. සේවය කරන්න අම්මාට තිබුණේ ලොකු උද්‍යෝගයක්. අම්මා හුඟක් බයිබල් පාඩමුත් කළා. කොච්චරද කියනවා නම් එක ළඟ ගෙවල් තිබුණ කීපදෙනෙක්ව එකතු කරලා එයාලට එකට පාඩම කරපු කාලයකුත් තිබුණා. නිවාඩු කාලෙට මාත් අම්මා එක්ක සේවයේ ගියා. බයිබලේ තියෙන දේවල් ගැන, ඒවා අනිත් අයට උගන්වන විදිහ ගැන මං ඉගෙනගත්තේ අම්මා එක්ක සේවයේ ගිහිල්ලයි.

පොඩි කාලේ මට සත්‍යය ගැන ලොකු ඇල්මක් තිබුණේ නැහැ. ඒත් අවුරුදු 12ක් විතර වෙද්දී මට ප්‍රචාරකයෙක් වෙන්න ඕනෙ වුණා. එදා ඉඳන් වරද්දන්නේ නැතුව මං සේවයේ ගියා. 1954 ජූලි 24වෙනිදා කැනඩාවේ ටොරොන්ටෝවල තිබුණ සමුළුවකදී මං බව්තීස්ම වුණා. එතකොට මට වයස 16යි.

බෙතෙල් සේවය

අපේ සභාවේ හිටපු සමහරු සේවය කළේ බෙතෙල් එකේ. තවත් අය කාලෙකට කලින් ඒ සේවය කරලා තිබුණා. එයාලගේ ආශ්‍රය මට ගොඩක් පැතිවලින් උදව් වුණා. ඒගොල්ලෝ දේශන දුන්න විදිහ, බයිබලේ තියෙන දේවල් පැහැදිලි කරපු විදිහ මගේ හිතට තදින්ම වැදුණා. ටීචර්ස්ලා නම් මට උනන්දු කළේ විශ්වවිද්‍යාලයට යන්න කියලා. ඒත් මට ඕනෙ වුණේ බෙතෙල් සේවය කරන්න. ඒ නිසා ටොරොන්ටෝවල තිබුණ සමුළුවේදී මං බෙතෙල් අයදුම්පතක් භාර දුන්නා. 1955දී නිව් යෝර්ක්වල යැංකි ක්‍රීඩාංගණයේ තිබුණ සමුළුවේදීත් මං ආයෙත් බෙතෙල් අයදුම්පතක් භාර දුන්නා. වැඩි කල් යන්න කලින් බෘක්ලින් බෙතෙල් එකේ සේවය කරන්න මට ආරාධනාවක් ලැබුණා. ඒ 1955 සැප්තැම්බර් 19වෙනිදා. එතකොට මට වයස 17යි. මං මුලින්ම වැඩ කළේ පොත් පත් බඳින අංශයේ.

අවුරුදු 17දී මං බෘක්ලින් බෙතෙල් එකේ සේවය පටන්ගත්තා

මම ටයිප් කරන්න දැනං හිටපු නිසා මාසෙකට විතර පස්සේ මාව සඟරා අංශයට දැම්මා. ඒ කාලේ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා ඇණවුම් කරපු අයගේ නම්, ලිපින හීනි තහඩුවක ටයිප් කළා. තවත් මාස කීපයකින් මාව පොත් පත් බෙදාහැරීමේ අංශයට දැම්මා. ඒ අංශය භාරව හිටපු සහෝදර ජෙන්සන් මගෙන් ඇහුවා සඟරා පෙට්ටි වරායට ගෙනියන ට්‍රක් එක එළවපු කෙනාගේ උදව්වට යන්න පුළුවන්ද කියලා. එතනින් තමයි හැම රටකටම වගේ සඟරා යැව්වේ. එක්සත් ජනපදය පුරා බෙදාහැරිය සඟරා අපි යැව්වේ තැපෑලෙන්. ඒ සඟරා මලුත් අපි තැපැල් කාර්යාලයට අරන් ගියා. ඒ කාලේ මං හරි කෙට්ටුයි. මගේ බර කිලෝ 57යි. ඒ හින්දා වෙන්න ඇති සහෝදර ජෙන්සන් කියන්න ඇත්තේ බර වැඩ කරන එක මගේ ඇඟට හොඳයි කියලා. එයා කියපු එක ඇත්ත. ඒ කාලේ කරපු බර වැඩවලින් මගේ ඇඟපත ශක්තිමත් වුණා.

සභාවලින් සඟරා ඇණවුම් කළාම ඒකට අදාළ ලියකියවිලි පිරෙව්වේ සඟරා අංශයෙන්. බෘක්ලින්වල අපේ මුද්‍රණාලයේ සඟරා මුද්‍රණය කරපු විවිධ භාෂා ගැන මං දැනුවත් වුණේ ඒ කාලේ. ඒ සඟරා ලෝකේ පුරාම බෙදාහැරියා. ඒ හුඟක් භාෂා ගැන මං අහලවත් තිබුණේ නැහැ. ඒත් දුර ඈත රටවලට සඟරා එච්චර විශාල ප්‍රමාණයක් යවපු එක ගැන මට දැනුණේ ලොකු සතුටක්. පස්සේ කාලෙක ඒ රටවල ඉන්න සහෝදරයන්ව දිරිගන්වන්න යන්න මට අවස්ථාව ලැබෙයි කියලා මං හිතුවේවත් නැහැ.

රොබට් වොලන්, චාල්ස් මොලහැන් සහ ඩොන් ඇඩම්ස් එක්ක

1961දී මට ගිණුම් අංශයේ පැවරුමක් ලැබුණා. ඒ අංශය භාරව හිටියේ සහෝදර ග්‍රාන්ට් සූටර්. ඊට අවුරුදු කීපයකට පස්සේ මට සහෝදර නේතන් නෝර් යටතේ වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේ එයා තමයි සංවිධානයේ පෙරමුණ අරන් වැඩ කළේ. සහෝදර නෝර් යටතේ වැඩ කරපු සහෝදරයෙක් පාසැලකට සහභාගි වෙන්න ගියා. ඒකෙන් පස්සේ එයා සේවා අංශයේ වැඩ කරන්න යනවා කියලා සහෝදර නෝර් මට කිව්වා. ඒ සහෝදරයා කරකර හිටපු පැවරුම තමයි මට ලැබුණේ. මට වැඩ කරන්න තිබුණේ සහෝදර ඩොන් ඇඩම්ස් එක්ක. එයා තමයි 1955දී මගේ බෙතෙල් අයදුම්පත භාරගත්තේ. එයාත් එක්කම වැඩ කරන්න ලැබුණ එක හරිම පුදුමයි! සහෝදර රොබට් වොලන් සහ චාල්ස් මොලහැන් වැඩ කළෙත් අපිත් එක්ක. අපි 4දෙනා අවුරුදු 50කටත් වැඩි කාලයක් තිස්සේ එකට වැඩ කළා. දෙවිට ළැදි ඒ සහෝදරයන් එක්ක වැඩ කරන්න ලැබුණ එක ආශීර්වාදයක්!—ගීතා. 133:1.

1970දී කලාපීය සේවක හැටියට මුලින්ම ගියේ වෙනිසියුලාවට

1970 ඉඳන් මගේ පැවරුමට තවත් දෙයක් එකතු වුණා. ඒ අවුරුද්දකට නැත්නම් 2කට සැරයක් විවිධ ශාඛා කාර්යාලවලට යන එක. ඒක අවුරුද්දේ සති කීපයකට විතරක් තිබුණ පැවරුමක්. ඒ දවස්වල එහෙම ගිය සහෝදරයාට කිව්වේ කලාපීය සේවක කියලා. විවිධ රටවල ඉන්න බෙතෙල් සේවකයන්ව, මිෂනාරිවරුන්ව හම්බ වෙලා එයාලව දිරිගන්වන එක, ශාඛා කාර්යාලවල වැඩකටයුතු සිද්ධ වෙන විදිහ ගැන බලන එක ඒ පැවරුමට ඇතුළත් වුණා. ගිලියද් පාසැලේ මුල් කාලේ තිබුණ පන්තිවලින් පුහුණුව ලබපු සමහර මිෂනාරිවරුන් එයාලගේ පැවරුම විශ්වාසවන්තව කරනවා දකින එක මට ලොකු සතුටක් වුණා. කලාපීය සේවක විදිහට රටවල් 90කට වඩා යන්න ලැබුණ එක කොයි තරම් ආශීර්වාදයක්ද!

සහෝදරයන්ව බලන්න රටවල් 90කට වඩා යන්න පුළුවන් වුණ එක සතුටක්

ජීවිතේ බෙදාගන්න විශ්වාසවන්ත කෙනෙක් ලැබුණා

බෘක්ලින් බෙතෙල් පවුලේ හැම කෙනෙක්වම නිව් යෝර්ක් නගරේ තිබුණ සභාවලට දාලා තිබුණා. මාව දැම්මේ බ්‍රොන්ක්ස්වල තිබුණ සභාවකට. ඒක තමයි ඒ පැත්තේ තිබුණ මුල්ම සභාව.

දකුණු බ්‍රොන්ක්ස්වල පදිංචි වෙලා හිටපු ලැට්වියානු ජාතික පවුලක් 1960 ගණන්වල මැද භාගයේදී අපේ සභාවට අයිති ප්‍රදේශයට පදිංචියට ආවා. ඒ පවුලේ ලොකු දුව, ලිව්යා ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන්ම ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. මාස කීපයකට පස්සේ එයා සේවය කරන්න මැසචුසෙට්වලට ගියා. මොකද ඒ පැත්තේ හිටියේ ප්‍රචාරකයන් ටිකදෙනයි. මං අපේ සභාවේ විස්තර ලියලා එයාට ලියුම් යැව්වා. බොස්ටන් අවට ප්‍රදේශයේ සේවය ගැන එයාත් මට විස්තර ලියලා එව්වා.

ලිව්යාත් එක්ක

අවුරුදු කීපයකට පස්සේ ලිව්යාට විශේෂ පුරෝගාමි සේවය කරන්න පැවරුමක් ලැබුණා. පුළුවන් උපරිමයෙන් දෙවිට සේවය කරන්න එයාට ලොකු ආසාවක් තිබුණ නිසා එයා බෙතෙල් එකටත් අයදුම් කළා. 1971දී එයා බෙතෙල් එකේ සේවය කරන්න ආවා. ඒක හරියට ‘මෙයා තමයි ඔයාට ගැළපෙන කෙනා’ කියලා යෙහෝවා දෙවි පුංචි ඉඟියක් දුන්නා වගේ. 1973 ඔක්තෝබර් 27වෙනිදා අපි දෙන්නා විවාහ වුණා. අපේ විවාහ දේශනය දුන්නේ සහෝදර නෝර්. හිතෝපදේශ 18:22 කියනවා “යමෙකුට හොඳ බිරිඳක් සොයාගත හැකි නම් ඇය ඔහුට වටිනා සම්පතකි. එය ඔහුට යෙහෝවා දෙවිගෙන් ලැබෙන ආශීර්වාදයකි” කියලා. ඇත්තටම ලිව්යා මට දෙවිගෙන් ලැබුණ ආශීර්වාදයක්. අපි යුවළක් විදිහට අවුරුදු 40කටත් වැඩි කාලයක් බෙතෙල් එකේ සේවය කරනවා. අපි අදටත් සේවය කරන්නේ බ්‍රොන්ක්ස් ප්‍රදේශයේ තියෙන සභාවක.

ක්‍රිස්තුස්ගේ සහෝදරයන් එක්ක උරෙන් උර ගැටී

මං සහෝදර නෝර් එක්ක වැඩ කළේ හරිම සතුටෙන්. එයා සැබෑ නමස්කාරය වෙනුවෙන් වෙහෙස නොබලා සේවය කරපු සහෝදරයෙක්. ලෝකේ පුරාම හිටපු මිෂනාරිවරුන් ගැන එයාට ලොකු අගයක් තිබුණා. සමහර රටවලට සත්‍ය පණිවිඩය මුලින්ම අරන් ගියේ එයාලයි. 1976 ඉඳන් සහෝදර නෝර් පිළිකාවකින් සෑහෙන දුක් වින්දා. එයා ගැන අපිත් හුඟක් දුක් වුණා. එයා හොඳටම දුර්වල වෙලා ඇඳටම කොටු වෙලා ඉද්දී මට කිව්වා මුද්‍රණය කරන්න ලෑස්ති කරලා තිබුණ ලිපි වගයක් එයාට ඇහෙන්න කියවන්න කියලා. ඒක අහගෙන ඉන්න සහෝදර ෆ්‍රෙඩ්රික් ෆ්‍රාන්ස්ටත් එන්න කියන්න කියලා එයා කිව්වා. සහෝදර ෆ්‍රාන්ස්ගේ ඇස් පෙනීම දුර්වල වෙලා තිබුණ නිසා එයාට ඇහෙන්න ලිපි කියවලා තියෙන්නේ සහෝදර නෝර්.

කලාපීය සේවක හැටියට ගිය අවස්ථාවක ඩැනියෙල් සහ මරීනා සිඩ්ලික් එක්ක 1977දී

1977දී සහෝදර නෝර් පොළොවේ ගත කරපු ජීවිතේ අවසන් කළා. එයාට කිට්ටු, එයාව දන්න හඳුනන අයට එයාගේ මරණය වේදනාවක් වුණත් මිය යන කල්ම සහෝදර නෝර් දෙවිට විශ්වාසවන්තව හිටපු එක ගැන හිතලා ඒ අය ලොකු සහනයක් ලැබුවා. (එළි. 2:10) එයාගෙන් පස්සේ සංවිධානයේ පෙරමුණ අරන් වැඩ කළේ සහෝදර ෆ්‍රාන්ස්.

ඒ වෙද්දී මං වැඩ කළේ සහෝදර මිල්ටන් හෙන්ෂල්ගේ ලේකම් විදිහට. එයා දශක ගාණක් සහෝදර නෝර් එක්ක වැඩ කරලා තියෙනවා. බෙතෙල් එකේ මගේ ප්‍රධාන වගකීම සහෝදර ෆ්‍රාන්ස්ට උදව් කරන එකයි කියලා සහෝදර හෙන්ෂල් මට කිව්වා. මුද්‍රණය කරන්න ලෑස්ති කරලා තිබුණ ලිපි මං නිතිපතා සහෝදර ෆ්‍රාන්ස්ට ඇහෙන්න කියෙව්වා. කියවපු දේවලට සම්පූර්ණ අවධානය දෙන්න එයාට තිබුණේ පුදුම හැකියාවක්. එයාට මාර මතකයක් තිබුණා. ඒ විදිහට එයාට සහය දෙන්න ලැබුණ එක මං සලකන්නේ ලොකු වරප්‍රසාදයක් විදිහට. 1992 දෙසැම්බර් මාසේ සහෝදර ෆ්‍රාන්ස් පොළොවේ ගත කරපු ජීවිතේ අවසන් කළා.

මං දශක ගාණක් වැඩ කළේ 124, කොලොම්බියා හයිට්ස්වල

මං බෙතෙල් එකට ඇවිත් දැන් අවුරුදු 61ක් වෙනවා. ඒත් මට දැනෙන්නේ මං අද ඊයේ ආවා වගේ. මගේ අම්මායි, තාත්තායි මැරෙන කල්ම දෙවිට විශ්වාසවන්තව සේවය කළා. පාරාදීසයේදී එයාලව ආදරෙන් පිළිගන්න මං ආසාවෙන් බලාගෙන ඉන්නවා. (යොහ. 5:28, 29) දෙවිට ළැදි සහෝදර සහෝදරියන් එක්ක එකතු වෙලා ලෝකේ පුරාම ඉන්න දෙවිගේ සෙනඟ වෙනුවෙන් සේවය කරලා ලබන සතුට මේ ලෝකේ තියෙන කිසිම දේකින් ලැබෙන්නේ නැහැ. ‘යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය බලකොටුවක් වගේ’ කියලා පූර්ණකාලීනව සේවය කරපු කාලේ පුරාම මායි, ලිව්යායි අද්දැක්කා.—නෙහෙ. 8:10.

අපෙන් ඕනම කෙනෙක් අද ඉන්නවා හෙට වෙද්දී නැති වෙන්න පුළුවන්. ඒත් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ලෝකේ පුරා දේශනා කරන එක නතර වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඕනම කෙනෙක්ව පාවිච්චි කරන්න යෙහෝවා දෙවිට පුළුවන්. ගෙවුණු අවුරුදු ගාණ පුරාම කැපවීමෙන්, දෙවිට ළැදිව සේවය කරන සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් එක්ක සේවය කරන්න ලැබුණ එක කොයි තරම් ආශීර්වාදයක්ද! අභිෂේක ලත් හුඟදෙනෙක් එක්ක වැඩ කරන්න අවස්ථාව මට ලැබුණා. එයාලගෙන් හුඟදෙනෙක් දැන් පොළොවේ නැහැ. එයාලා ළඟින්ම ඉඳලා එයාලට සහය වෙන්න ලැබුණ එක මොන තරම් වරප්‍රසාදයක්ද!