Skip to content

පටුනට යන්න

3වන කොටස

ජීවිතය ආලෝකවත් කරන උපදෙස්

ජීවිතය ආලෝකවත් කරන උපදෙස්

අලුත් වෛද්‍යවරයෙක් ඔයා ඉන්න ප්‍රදේශයට ආවා කියලා හිතන්න. මුලදී එයා ළඟට යන්න ඔයා අදිමදි කරයි. හැබැයි ඒ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත්තු ඔයාගේ යාළුවන්ට හොඳ සුවයක් ලැබිලා කියලා දැනගන්න ලැබුණොත් ඔහු ළඟට යන්න ඔයා පෙලඹෙන්නේ නැද්ද?

බයිබලයත් ඒ වෛද්‍යවරයාට සමාන කරන්න පුළුවන්. සමහර අය මුලදී ඒකේ තියෙන උපදෙස් හොයන්න අදිමදි කරනවා. හැබැයි ඒ උපදෙස් ජීවිතයට අදාළ කරගත්තාම ඒවා කොච්චර සාර්ථකයිද කියලා ඒ අය තේරුම්ගන්නවා. අද්දැකීම් කිහිපයක් බලමු.

සාමයෙන් ඉන්න ඉගෙනගත්තා

සුමීඅතුන්: “අපි බැඳපු මුල් කාලේදී මට හිතුණා ඩුමස් මට ආදරේ නැහැ කියලා. මම හිටියේ ගොඩක් දුකින්. අපි දෙන්නා හැම තිස්සේම වගේ රණ්ඩු වෙනවා. ඒ වෙලාවට අතට අහුවෙන එකෙන් මම එයාට දමලා ගහනවා. හුඟාක් කේන්ති ගියාම මාව කලන්තේ දාලත් වැටෙනවා.

“ඩුමස් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න පටන්ගත්තාම මං එයාට විහිළු කළා. හැබැයි දවසක් එයා ඉගෙනගන්නේ මොනවාද කියලා මම හොරෙන් අහගෙන හිටියා. ‘භාර්යාවන් ස්වාමීන්ට යටත්ව සිටින්නා සේම තම ස්වාමිපුරුෂයන්ටත් යටත්ව සිටිය යුතුයි. භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි’ කියලා බයිබල් පදයක් කියවනවා මට ඇහුණා. (එෆීස 5:22, 33) ඒක මගේ හිතට තදින්ම කාවැදුණා. මම මෙච්චර කල් හැසුරුණු විදිහ ගැන මට සමාවෙන්න කියලත් හොඳ බිරිඳක් වෙන්න උදව් කරන්න කියලත් මම දෙවියන්ගෙන් ඉල්ලුවා. වැඩි කාලයක් යන්න කලින් මම ඩුමස් එක්ක බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න පටන්ගත්තා.”

ඩුමස් සහ බිරිඳ

‘ස්වාමිපුරුෂයන්ද තම ශරීර ගැන සැලකිලිමත් වෙනවා වගේ තම භාර්යාවන්ට ප්‍රේම කරන්න ඕනේ’ කියලා බයිබලයේ සඳහන් වෙනවා. (එෆීස 5:28) සුමීඅතුන් මෙහෙමත් කියනවා. “බයිබලයෙන් ඉගෙනගත්තු දේවල් අපි දෙන්නාට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඩුමස් වැඩට ගිහිල්ලා ගෙදර ආවාම මම එයාට රස තේ එකක් හදලා දීලා ආදරෙන් කතා කරනවා. එයා මට ආදරෙයි කියලා දැන් මම දන්නවා. ගෙදර වැඩවලටත් එයා මට උදව් කරනවා. ‘එකිනෙකාට කරුණාවන්ත වෙන්නත් දයානුකම්පාවෙන් සලකන්නත්’ අපි ඉගෙනගත්තා. (එෆීස 4:32) දැන් අපි එකිනෙකාට ආදරයෙනුත් ගෞරවයෙනුත් සලකන නිසා බැඳලා අවුරුදු 40ක් වුණත් අපි ඉන්නේ සතුටින්.”

ඉවසන්න පුරුදු වුණා

තෙයිප්: “මට හොස්ස ළඟින් මැස්සා යන්න බැහැ. ඒ නිසා හුඟක් සණ්ඩුසරුවල්වල පැටලුණා. තුවක්කුව පෙන්නලා මං මිනිස්සුන්ව භය කළා. මාව දැක්කාම මිනිස්සු භයේ වෙව්ලුවා. පොඩි පොඩි දේවලට මං නෝනටත් තඩිබෑවා.

තෙයිප්, බිරිඳ සමඟ යාච්ඤා කරමින්

“යේසුස් කියපු මේ දේ දවසක් මම කියෙව්වා. ‘මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.’ (යොහන් 13:34) ඒක කියවද්දී මගේ හිත මට වධ දුන්නා. මං ගෙවන මේ ජීවිතය වෙනස් කරගන්න ඕනේ කියලා මං හිතුවා. එදා ඉඳන් කේන්ති යන හැම වතාවකම සන්සුන් වෙන්න උදව් කරන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලුවාම කේන්තිය පාලනය කරගන්න මට පුළුවන් වුණා. මමයි මගේ නෝනයි බයිබලයේ තියෙන මේ උපදෙස අදාළ කරගත්තා. ‘ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න. යක්ෂයාට කිසි ඉඩක් නොදෙන්න.’ (එෆීස 4:26, 27) හැමදාම රෑට නිදාගන්න කලින් අපි දෙවියන්ට යාච්ඤා කළා. ඒ නිසා සන්සුන්ව ඉන්න පුළුවන් වුණා. ආදරයත් වැඩි වුණා.

“දැන් මිනිස්සු මාව දැක්කම භයේ වෙව්ලන්නේ නැහැ. මගේ නෝනත් දරුවනුත් මට ගරු කරනවා. මට දැන් යාළුවොත් ඉන්නවා. දෙවියන් එක්කත් මට කිට්ටු බැඳීමක් තියෙනවා. ඒ නිසා මං දැන් ඉන්නේ සතුටින්.”

මත්ද්‍රව්‍යවලින් මිදුණා

ගොයිං

ගොයිං: “මං කල්ලියක් එක්ක ආශ්‍රයට වැටුණු නිසා සිගරට්වලටත් මත්පැන්වලටත් ඇබ්බැහි වුණා. සමහර දවස්වලට මම නිදාගත්තේ මහා පාරේ. මත්කුඩුවලට ඇබ්බැහි වුණා විතරක් නෙවෙයි මත්කුඩු ජාවාරම්වලටත් හවුල් වුණා. මං ඒවා හංගගත්තේ වෙඩි නොවදින ජැකට් එකේ. මං චණ්ඩියෙක් වුණත් නිතරම හිටියේ මර භයෙන්.

“දවසක් එක්කෙනෙක් බයිබලයේ තිබුණු මේ දේ මට පෙන්නුවා. ‘මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න. එවිට ඔබ බොහෝ කල් සමාදානයෙන් ජීවත් වනු ඇත.’ (හිතෝපදේශ 3:1, 2) මමත් ආසාවෙන් හිටියේ සාමකාමී ජීවිතයක් ගෙවන්න. ‘අපට ඒ පොරොන්දු ලබා දී තිබෙන නිසා අපගේ මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු. එලෙසම දෙවි කෙරෙහි ගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු’ කියලත් තවත් කොටසක තිබුණා. (2 කොරින්ති 7:1) කාලයත් එක්කම මං මත්කුඩු ගන්න එක නතර කළා. කල්ලියෙන් අයින් වෙලා දෙවියන්ට සේවය කරන්න පටන්ගත්තා.

“මම ඒ හැම දෙයක්ම නතර කරලා දැන් අවුරුදු 17ක් වෙනවා. ඒ නිසා නිරෝගී ශරීර සෞඛ්‍යයක්, ප්‍රීතිමත් පවුල් ජීවිතයක්, ගුණ යහපත් මිතුරන් මේ හැම දෙයක්ම මම අද භුක්ති විඳිනවා. මගේ හිත දැන් මට වධ දෙන්නේ නැහැ. මහා පාරේ නිදියනවා වෙනුවට මම දැන් සුවපහසුවේ මගේ ඇඳේ නිදියනවා.”

ජාතිවාදී හැඟීම්වලින් මිදුණා

බෑම්බැං: “මං තරුණ කාලේදී ගත කළේ දරුණු ජීවිතයක්. සුළු ජාතියකට අයිති කට්ටියක් ගැන මට වෛරයක් තිබුණා. ඒ අය තමයි මගේ අතින් වැඩියෙන්ම මැරුම් කෑවේ.

“කාලයක් යන කොට මම දෙවියන් ගැන හොයන්න පටන්ගත්තා. බයිබලය ඉගෙනගන්න කට්ටියක්ව මට මුණගැහුණා. විවිධ ජාතීන්වලට අයිති අය එතන හිටියත් ඒ හැමෝම හිටියේ සමඟියෙන්. මට පුදුමත් හිතුණා. මම වෛර කරපු ජාතියේ අය මාව ආදරෙන් පිළිගත්තා. බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.’ (ක්‍රියා 10:34, 35) ඒක මොන තරම් ඇත්තක්ද කියලා මං තේරුම්ගත්තා.

“දැන් මම කිසිම කෙනෙක්ට වෛර කරන්නේ නැහැ. මං ඉස්සර වෛර කරපු ජාතියේ අයත් දැන් මගේ මිත්‍රයන්. බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න කොට අනික් අයට ආදරෙන් සලකන්න මම පුරුදු වුණා.”

බෑම්බැං විවිධ ජාතීන් සමඟ සතුටින්

මැර වැඩ නතර කළා

ගාරෝගා: “යෞවන කාලේදී තුන් වතාවක්ම මම හිරේ ගියා. දෙපාරක් හොරකම් කරපු නිසා, අනික් සැරේ මිනිහෙක්ට පිහියෙන් ඇන්න නිසා. ඊටපස්සේ මම ත්‍රස්තවාදී කල්ලියකට බැඳිලා හුඟාක් මිනිස්සුන්ව මැරුවා. පස්සෙ කාලෙක මං මැර කල්ලියක නායකයෙක් වුණා. මට ආරක්ෂකයොත් හිටියා. මං ප්‍රසිද්ධ වෙලා හිටියේ අපරාධකාරයෙක් විදිහට.

ගාරෝගා දෙවියන් ගැන අනික් අයට කියා දෙමින්

“බයිබලයේ මෙහෙම තියෙනවා මම දැක්කා. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. ඔහු තුළ ඊර්ෂ්‍යාවක් නැත. ඔහු තමා ගැන පුරසාරම් දොඩන්නේ නැත. අහංකාරයෙන් ක්‍රියා කරන්නේද නැත. ඔහු අවිනීතව හැසිරෙන්නේ නැත. තමාගේම වාසිය සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. ඔහු අමනාපයක් සිතේ තබාගන්නේ නැත.’ (1 කොරින්ති 13:4, 5) ඒ දේවල් ක්‍රියාවෙන් පෙන්වන්න ඕනේ කියලා මට හිතුණා. ඒ නිසා මං පදිංචිය මාරු කළා.

“මං ඉස්සර කරපු නරක දේවල් දැන් කරන්නේ නැහැ. මිනිස්සු දැන් මාව දකින්නේ දෙවියන් ගැන කියලා දෙන කෙනෙක් විදිහටයි.”

දෙවියන්ගේ වදන් බලවත්

“දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය” කියලා බයිබලයේ කියන දේ කොයි තරම් සත්‍යයක්ද කියලා ඉහත අද්දැකීම්වලින් පැහැදිලියි. (හෙබ්‍රෙව් 4:12) ඒකේ තියෙන උපදෙස් ප්‍රයෝජනවත්, සරලයි.

ඒ උපදෙස් ඔබටත් ප්‍රයෝජනවත් වෙයි. බයිබලයේ මෙහෙමත් කියනවා. “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්‍රයෝජනවත්ය. එමගින් දෙවිට විශ්වාසවන්තව සිටින මිනිසා සියලු දේ කිරීමට සමත් කෙනෙක් එනම්, සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින කෙනෙක් වනු ඇත.”—2 තිමෝති 3:16, 17.

අපි බයිබලයේ සඳහන් මූලික ඉගැන්වීම් කිහිපයක් බලමු.