Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලයෙන් ලියුමක්

පාලක මණ්ඩලයෙන් ලියුමක්

“ඔබ ගුරුවරුන් විය යුතුයි.” (හෙබ්‍රෙ. 5:12) විශ්වයේ ඉන්න හොඳම ගුරුවරයායි අපිට කියන්නේ ඔහු ගැන අනිත් අයට උගන්වන්න කියලා. පවුලේ අයට, සභාවේ අයට, සේවයේදී හම්බ වෙන අයට යෙහෝවා දෙවි ගැන සත්‍යය උගන්වන්න ලැබෙන හැම පැවරුමක්ම අපි වරප්‍රසාදයක් විදිහටත් බැරෑරුම් වගකීමක් විදිහටත් සලකන්න ඕනේ. ඒක සාර්ථකව කරන්න අපිට පුළුවන් කොහොමද?

ඒකට උත්තර පාවුල් තිමෝතිට කියපු මේ වචනවල තියෙනවා. ‘ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවීම ගැනද උපදෙස් මඟ පෙන්වීම් ලබා දීම ගැනද ඔබ උගන්වන ආකාරය ගැනද නිරතුරුවම සැලකිලිමත් වන්න. මන්ද එසේ කිරීමෙන් ඔබටත් ඔබට සවන් දෙන අයටත් ගැලවීම ලැබෙනු ඇත.’ (1 තිමෝ. 4:13, 16) ඔයාට අනිත් අය එක්ක බෙදාගන්න තියෙන්නේ ජීවිත ගලවන පණිවිඩයක්. ඒ නිසා ඔයාගේ කියවීමේ සහ ඉගැන්වීමේ හැකියාව තව දියුණු කරගන්න වෑයම් කරන එක අත්‍යවශ්‍යයි. මේ සඟරාව සකස් කරලා තියෙන්නේ ඒකට ඔයාට උදව් කරන්නයි. සඟරාවේ තියෙන අංග කීපයක් බලන්න.

පාඩමට අදාළ වන බයිබල් ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් ඒක අදාළ කරගත්ත අවස්ථාවක් සඳහන් වන බයිබල් පදයක් හෝ පද කීපයක් හැම පිටුවකම තියෙනවා

යෙහෝවා දෙවි අපේ “උදාර උපදේශකයාණන්.” (යෙසා. 30:20) ඔයාගේ කියවීමේ සහ ඉගැන්වීමේ හැකියාව තව දියුණු කරගන්න මේ සඟරාව ඔයාට උදව් වෙයි. ඒත් දේශනා කරන පණිවිඩය අපිට දීලා තියෙන්නෙත් දෙවි ගැන ඉගෙනගන්න මිනිසුන්ගේ හිතේ ආශාවක් ඇති කරන්නෙත් යෙහෝවා දෙවි කියලා අමතක කරන්න එපා. (යොහ. 6:44) ඒ නිසා නිතරම දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න. හැම තිස්සෙම දේවවචනය පාවිච්චි කරන්න. ඔයාට අවධානය ඇදගන්නවා වෙනුවට අවධානය දෙවි වෙතට යොමු කරන්න. ඔයාට සවන් දෙන අයගේ හිතේ දෙවි ගැන ආදරයක් ඇති කරගන්න එයාලට උදව් කරන්න.

ඔයාට උගන්වන්න භාර දීලා තියෙන්නේ එතෙක් මෙතෙක් මිනිසුන්ට භාර දුන්න වැදගත්ම පණිවිඩය. “දෙවි සපයා දෙන ශක්තිය මත රඳා සිටියොත්” ඒ කාර්යය සාර්ථකව කරන්න ඔයාට පුළුවන් කියලා අපිට විශ්වාසයි.—1 පේතෘ. 4:11.

උගන්වන්න ඔයාලත් එක්ක හවුල් වන,

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය