Skip to content

ලෝකෙ පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කීදෙනෙක් ඉන්නවද?

ලෝකෙ පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කීදෙනෙක් ඉන්නවද?

2023 වාර්තාව

ලෝකෙ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ගණන

88,16,562

සභා ගණන

1,18,177

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශනා කරන රටවල් ගණන

239

2023 මුළු එකතුව

2023 රටවල සහ ප්‍රදේශවල වාර්තා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට ගණන් ගන්නේ කාවද?

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට ගණන් කරන්නේ හැම මාසෙකම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන අයව විතරයි. (මතෙව් 24:14) ඒ අයට බව්තීස්ම වුණු අය වගේම තාමත් බව්තීස්ම වෙලා නැතත් දේශනා සේවයේ හවුල් වෙන්න සුදුසුකම් ලබපු අයත් ඇතුළත්.

සාක්ෂිකරුවෙක් වෙන්න මුදල් අය කරනවාද?

 නැහැ. සාක්ෂිකරුවෙක් වෙන්නවත් යෙහෝවා දෙවිගේ සංවිධානයේ යම් වගකීම් භාර දෙන්නවත් කිසිම කෙනෙක්ගෙන් මුදල් අය කරන්නේ නැහැ. (ක්‍රියා 8:18-20) මුදල් සම්මාදම් කරන අය තමන් කොයි තරම් මුදලක් සම්මාදම් කරනවාද කියලා අනිත් අයට කියන්නේ නැහැ. හැම සාක්ෂිකරුවෙක්ම තම තමන්ගේ හැකියාව අනුව කාලය, ශක්තිය වගේම ඔවුන් සතු වටිනා දේවල් ලෝක ව්‍යාප්ත කාර්යය වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ හද පිරි සතුටින්.—2 කොරින්ති 9:7.

නොකඩවා දේශනා සේවයේ හවුල් වෙන අය කීදෙනෙක් ඉන්නවද කියලා දැනගන්නේ කොහොමද?

 සාක්ෂිකරුවන් හැම මාසෙකම එයාලා සේවය කරපු පැය ප්‍රමාණය සඳහන් වාර්තාවක් සභාවට දෙනවා.

 සභාවෙන් ඒවා එකතු කරලා තමන් අයිති ශාඛා කාර්යාලයට යවනවා. ශාඛා කාර්යාලය තමන් යටතේ තියෙන රටේ (රටවල් කිහිපයක් වෙන්නත් පුළුවන්) වාර්තා එකතු කරලා සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට යවනවා.

 හැම සේවා වසරක් a අවසානයේදීම හැම රටකම ඉන්න සාක්ෂිකරුවන්ගේ උපරිම සංඛ්‍යාව ගණන් බලනවා. ඊටපස්සේ ඒ සංඛ්‍යාව එකතු කරලා ලෝකෙ පුරාම ඉන්න සාක්ෂිකරුවන්ගේ මුළු ගණන හොයාගන්නවා. හැම රටකම සේවය ගැන වාර්තාවක් අපේ වෙබ් අඩවියේ “ලොව වටෙන්” කියන කොටසට ඇතුළත් කරනවා. මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන් ඔවුන්ගේ වර්ධනය ගැන සතුටු වුණා වගේ අපිත් සේවයට අදාළ වාර්තා අහද්දී ලොකු සතුටක්, දිරිගැන්වීමක් ලබනවා—ක්‍රියා 2:41; 4:4; 15:3.

ඔයාලාගේ රැස්වීම්වලට එන හැමෝවම සාක්ෂිකරුවන් විදිහට ගණන් කරනවාද?

 දේශනා සේවයේ හවුල් වෙන්නේ නැති අයව සාක්ෂිකරුවන් විදිහට ගණන් කරන්නේ නැහැ. හැබැයි අපි එයාලාව රැස්වීම්වලට ආදරයෙන් පිළිගන්නවා. ඒ අයගෙන් වැඩිදෙනෙක් හැම අවුරුද්දකම පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙනවා. ඒ නිසා යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන ගණනෙන් සාක්ෂිකරුවන්ගේ මුළු ගණන අඩු කළාම දළ වශයෙන් ඒ අයගේ ගණන දැනගන්න පුළුවන්. 2023දී මරණය සිහි කිරීමේ අවස්ථාවට 2,04,61,767දෙනෙක් සහභාගි වුණා.

 රැස්වීම්වලට එන්නේ නැති වුණත් අපිත් එක්ක බයිබලය පාඩම් කරන හුඟක් අය ඉන්නවා. 2023දී අපි සාමාන්‍යයක් විදිහට හැම මාසෙකම බයිබල් පාඩම් 72,81,212 පවත්වලා තියෙනවා. ඒ අතරට කිහිපදෙනෙක් එක්ක එකම වතාවේදී කරන බයිබල් පාඩම් සංඛ්‍යාවත් ඇතුළත් වෙනවා.

රජයේ සංඛ්‍යා ලේඛනවල සාක්ෂිකරුවන්ගේ ගණන වැඩියෙන් පෙන්වන්නේ ඇයි?

 රජයේ කාර්යාල තොරතුරු ලබාගද්දී තමන් අයිති මොන ආගමටද කියලා එක් එක් පුද්ගලයාගෙන් අහනවා. උදාහරණයකට එක්සත් ජනපදයේ ජන සංගණන මණ්ඩලය කියන දේ බලන්න. ‘අපි සංගණනයක් කරද්දී තමන් අයිති මොන ආගමටද කියලා එක් එක් පුද්ගලයාගෙන් අහනවා. එයාලා ඇත්තටම ඒ ආගමික කණ්ඩායමේ කෙනෙක්ද කියලා අපි හොයලා බලන්නේ නැහැ.’ ඒත් අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට ගණන් කරන්නේ අනිත් අයට බයිබලයේ තියෙන සත්‍ය උගන්වන ඒ වගේම තමන් කරන සේවය වාර්තා කරන අයව විතරයි.

a සේවා වසරක් හැටියට ගණන් ගන්නේ සැප්තැම්බර් 1වෙනිදා ඉඳන් ඊළඟ අවුරුද්දේ අගෝස්තු 31දක්වා කාලයයි. උදාහරණයකට 2015 සේවා වසර පටන්ගත්තේ 2014 සැප්තැම්බර් 1වෙනිදායින්. ඒක ඉවර වුණේ 2015 අගෝස්තු 31වෙනිදායින්.