Skip to content

පටුනට යන්න

යේසුස්ගේ නැවත නැඟිටීම ජීවනයට මඟයි!

යේසුස්ගේ නැවත නැඟිටීම ජීවනයට මඟයි!

යේසුස්ගේ නැවත නැඟිටීම පුරාණයේ සිදු වූ තවත් එක සිද්ධියක් පමණක් නෙවෙයි. ඒ සිදුවීමේ වැදගත්කම පාවුල් පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “ක්‍රිස්තුස්ව දැන් මරණයෙන් නැඟිටුවා අවසන්ය. මිය ගිය අය අතරින් මුලින්ම නැඟිටුවනු ලැබුවේ ඔහුවය. මරණය පැමිණියේ එක් මිනිසෙකු මාර්ගයෙනි. එලෙසම එක් මිනිසෙකු මාර්ගයෙන් මිය ගිය අයගේ නැවත නැඟිටීමද සිදු වේ. ඇත්තෙන්ම ආදම් නිසා සියලුදෙනාම මිය යති. නමුත් ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබේ.”—1 කොරින්ති 15:20-22.

යේසුස්ව නැවත නැඟිටෙව්වේ ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් මාසයේ 16වෙනිදායි. සාමාන්‍යයෙන් යුදෙව්වන් අස්වැන්නේ ප්‍රථම ඵල පූජාවක් ලෙස දෙවිට ඔප්පු කළේ එදිනයි. පාවුල් යේසුස්ව හැඳින්වූයේ ‘මිය ගිය අය අතරින් පළමු පල’ ලෙසයි. ඊට හේතුව මිය ගිය අය අතරින් යේසුස්ව මුලින්ම නැවත නැඟිටුවීමයි. (1 කොරින්ති 15:20 පාදසටහන) ඔහුගෙන් පසුව තව අයව මරණයෙන් නැඟිටුවන්න නියමිත බවත් ඉන් අදහස් වෙනවා.

පාවුල් ඊළඟට පැවසුවේ මෙයයි. “මරණය පැමිණියේ එක් මිනිසෙකු මාර්ගයෙනි. එලෙසම එක් මිනිසෙකු මාර්ගයෙන් මිය ගිය අයගේ නැවත නැඟිටීමද සිදු වේ.” යේසුස්ගේ නැවත නැඟිටීම අපිට කොච්චර වැදගත්ද කියා ඉන් පැහැදිලියි. ආදම්ගේ වරදින් මුළු මිනිස් වර්ගයාටම පාපය හා මරණය උරුම වුණත් යේසුස්ගේ පරිපූර්ණ ජීවිතය පූජා කිරීම නිසා මිය ගිය අයට නැවත ජීවිතයත් පාපයෙන් හා මරණයෙන් නිදහසත් ලැබීමට මඟ විවෘත වුණා. පාවුල් එය මෙසේ විස්තර කළා. “අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි.”—රෝම 6:23.

තම මරණය හා නැවත නැඟිටීම අපේ ජීවිතවලට වැදගත් වන ආකාරය යේසුස්ම මෙසේ පැහැදිලි කළා. “මනුෂ්‍ය පුත්‍රයාවත් එල්ලා තබනු ලබනවා. එසේ වන්නේ ඔහුව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ලබා දීම සඳහායි. දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”—යොහන් 3:14-16.

යේසුස්ගේ නැවත නැඟිටීම නිසා දුක් කම්කටොලු නැතුව සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුවක් අපිට තියෙනවා. (එළිදරව් 21:3, 4) එක් විශාරදයෙක් ඒ ගැන මෙසේ පැවසුවා. “මිනි පිට්ටනි, ජීවිතේ කොච්චර කෙටියිද කියලා අපට සිහිගන්වනවා. හැබැයි නැවත නැඟිටීම, මරණය තාවකාලික දෙයක් බව සිහිගන්වනවා.” ඇත්තෙන්ම යේසුස්ගේ නැවත නැඟිටීම ජීවනයට මඟයි!