Skip to content

පටුනට යන්න

මධ්‍යධරණී මුහුද පසු කළ නාවිකයෝ

මධ්‍යධරණී මුහුද පසු කළ නාවිකයෝ

මධ්‍යධරණී මුහුද පසු කළ නාවිකයෝ

ගුවන් සේවාවන් නිසා අද මහද්වීපයකින් තවත් මහද්වීපයකට සංචාරය කිරීම දුෂ්කර කාර්යයක් නෙවෙයි. නමුත් අතීතයේදී එවැනි පහසුකම් නොතිබුණත් මිනිසුන් දුර ඈත ප්‍රදේශවලට සංචාරය කර තිබෙනවා. ඒ කෙසේද කියා දැනගන්න ඔබ කැමතිද?

යේසුස් උපදින්න වසර 1,000කට පමණ පෙර ඊශ්‍රායෙලය පාලනය කළේ සලමොන් රජයි. ඒ කාලයේදී ඔහුට අයත් නැව් සමූහය තීර් දේශය පාලනය කළ හීරාම් රජුගේ නැව් සමූහය සමඟ එකට යාත්‍රා කරමින් තමන්ගේ රටවල නොසිටි සතුන්වද ඉතා දුර්ලභ ගණයේ භාණ්ඩද වෙනත් රටවලින් රැගෙන ආ බව බයිබලයේ සඳහන් වෙනවා. (1 රාජාවලිය 9:26-28; 10:22) ක්‍රිස්තු පූර්ව නවවන සියවසේදී අනාගතවක්තෘ යෝනා ඊශ්‍රායෙලයේ යොප්පාව නගරයේ පිහිටි වරායකින් නැවකට ගොඩ වී තර්ෂිෂ් දෙසට ගමන් කළා. * (යෝනා 1:3) එමෙන්ම ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේදී යේසුස්ගේ අනුගාමිකයෙකු වූ පාවුල්ද ඊශ්‍රායෙලයේ සිසේරිය නගරයෙන් නැවකට ගොඩ වී ඉතාලියේ පුටෙයෝලිය නගරය දක්වා ගමන් කළ බව බයිබලයේ සඳහන් වෙනවා.—ක්‍රියා 27:1; 28:13.

ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේදී වෙළෙඳුන් මධ්‍යධරණී මුහුද හරහා රතු මුහුදට පැමිණ එතැනින් ඉන්දියාව දක්වා ගමන් කළ බව ඉතිහාසඥයන් වාර්තා කරනවා. එමෙන්ම දෙවන සියවසේ මැදභාගය වන විට සමහර අය චීනයට පවා නැව්වලින් ගොස් තිබුණා. * මධ්‍යධරණී මුහුදේ සිට නැඟෙනහිර දෙසට කළ නැව් ගමන් ගැන බොහෝ වාර්තා තිබෙනවා. නමුත් බටහිර දෙසට නාවිකයෝ කොපමණ දුරක් ගමන් කර තිබෙනවාද?

ෆිනීෂියානුවන්ගේ මුහුදු සංචාර

පාවුල්ගේ කාලයට බොහෝ ඉහතදී මිනිසුන් වෙළෙඳ කටයුතු සඳහා නැව්වලින් ගොස් බටහිර රටවල ජනපද පවා පිහිටුවා තිබෙනවා. ලෙබනන්හි ජීවත් වූ ෆිනීෂියානු ජාතිකයන් එසේ කර තිබෙන බවට විශ්වාසයක් පවතිනවා. ඔවුන් ක්‍රිස්තු පූර්ව 1200 සහ 1100 අතර කාලයේදී ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධිය ඔස්සේ අත්ලාන්තික් සාගරයට ඇතුල් වී ස්පාඤ්ඤයේ ජනපදයක් පිහිටුවාගෙන තිබෙනවා. එම ස්ථානය අද හඳුන්වන්නේ කැඩිස් යන නමිනුයි. එම ප්‍රදේශය රිදී සහ ටින් (බෙලෙක්) වැනි ලෝහවලට ඉතා ප්‍රසිද්ධයි.

ක්‍රිස්තු පූර්ව හත්වන සියවසේදී ඊජිප්තුව පාලනය කළ පාරාවෝ නෙකෝ නැඟෙනහිර සිට බටහිර ආවරණය වන ආකාරයෙන් අප්‍රිකානු මහද්වීපය වටා නැව් සංචාරයක් දියත් කිරීමට සැලසුම් කළා. ඒ සඳහා ඔහු ෆිනීෂියානුවන්ට අයිති නැව් සමූහයක් රතු මුහුදේ සූදානම් කළ බව ග්‍රීක ඉතිහාසඥයෙක් වන හෙරඩෝටස් සඳහන් කරනවා.

පාරාවෝ නෙකෝගේ කාලයට සියවස් ගණනාවකට පෙර සිටම ෆිනීෂියානුවන් අප්‍රිකානු මුහුදු තීරයේ යාත්‍රා කර තිබුණා. නමුත් අප්‍රිකානු මහද්වීපයේ බටහිර දෙසින් දකුණු දෙසට යාත්‍රා කිරීම ඉතා අපහසු කාර්යයක්. ඊට හේතුව තද සුළං සහ දියවැල් එවැනි ගමනකට බාධා කිරීමයි. ඒ නිසා මේ අවස්ථාවේදී ෆිනීෂියානුවන් ඒ ගමන ආරම්භ කළේ නැඟෙනහිර දෙසිනුයි. ඔවුන් රතු මුහුදෙන් පැමිණ ඉන්දියානු සාගරයට ඇතුල් වී අප්‍රිකානු මහද්වීපයේ දකුණු දෙසට ගමන් කළා. ඉන්පසු අත්ලාන්තික් මුහුදු තීරය ඔස්සේ උතුරට ගමන් කර මධ්‍යධරණී මුහුදට ඇතුල් වී නැවතත් ඊජිප්තුවට පැමිණියා. මේ ගමන සඳහා ඔවුන්ට වසර තුනක කාලයක් ගත වුණා. ඒ කාලය අතරතුර සෑම වසරකදීම වසර මැද ඔවුන් ගොඩබිමට පැමිණ ඇති බවත් ඉන්පසු තමන්ට අවශ්‍ය ආහාර සඳහා වගා කටයුතුවල යෙදී එහි අස්වැන්න නෙළාගෙන නැවත ඔවුන්ගේ ගමන ඇරඹූ බවත් හෙරඩෝටස් වාර්තා කරනවා.

ඒ ගමන ගැන හෙරඩෝටස් වාර්තා කළද ෆිනීෂියානුවන් දුටු සමහර දේවල් ඔහු විශ්වාස කළේ නැහැ. උදාහරණයකට ෆිනීෂියානුවන් අප්‍රිකාවේ දකුණෙන්ම පිහිටි ශුභ ප්‍රාර්ථනා තුඩුව පසු කරමින් උතුරට යාත්‍රා කරන විට සූර්යයා දකුණු දෙසින් පිහිටා තිබෙන බව ඔවුන් දුටුවා. නමුත් හෙරඩෝටස්ට එය අදහාගත නොහැකි වුණා. ඊට හේතුව ඔහු ග්‍රීසියේ ජීවත් වූ නිසයි. සාමාන්‍යයෙන් ග්‍රීසිය වැනි සමකයට උතුරින් පිහිටි රටක ජීවත් වන කෙනෙක් බටහිර දෙසට ගමන් කරන විට සමකයට ඉහළින් පිහිටි සූර්යයාව දකින්නේ වමත දෙසිනුයි. නමුත් සමකයට දකුණින් පිහිටි රටක ජීවත් වන කෙනෙක් බටහිර දෙසට ගමන් කරන විට ඔහුට සූර්යයාව දිස් වන්නේ ඔහුගේ දකුණු දෙසිනුයි.

සියවස් ගණනාවක් තිස්සේ හෙරඩෝටස්ගේ එම වාර්තාව ගැන ඉතිහාසඥයන් වාද කර තිබෙනවා. අප්‍රිකානු මහද්වීපය වටා නැව්වලින් යාත්‍රා කිරීමට තරම් හැකියාවක් අතීතයේදී තිබුණාද යන්න ගැන ඔවුන්ට සැක මතු වුණා. ඒ වුණත් පාරාවෝ නෙකෝ එවැනි නැව් සංචාරයක් සැලසුම් කළ බවත් අතීතයේ සිටි ෆිනීෂියානුවන්ට එවැනි නැව් ගමන්වලට අවශ්‍ය දැනුම සහ දක්ෂතා තිබුණු බවත් විශාරදයන් පිළිගන්නවා. එක් ඉතිහාසඥයෙක් වන ලයනල් කැසන් පැවසුවේ “හෙරඩෝටස් විස්තර කළ ආකාරයට ෆිනීෂියානුවන්ට අවුරුදු තුනක් ඇතුළත අප්‍රිකානු මහද්වීපය වටා යන්න ඕනෑ තරම් හැකියාව තිබුණා” කියායි. ඒ සංචාරය ගැන හෙරඩෝටස් සඳහන් කරන සෑම තොරතුරක්ම කොයි තරම් දුරට සත්‍යයද කියා අප දන්නේ නැහැ. ඒ වුණත් අපට ඔහුගේ වාර්තාවෙන් එක් දෙයක් පැහැදිලියි. එය නම් අතීතයේ සිටි අයට නොදන්නා දුර ඈත ප්‍රදේශවලට යාත්‍රා කිරීමට දැඩි අවශ්‍යතාවක් තිබුණු බවයි.

උතුරු දෙසට ගිය පිතීයස්

මධ්‍යධරණී මුහුදෙන් බටහිර දෙසට නැව්වලින් ගමන් කළේ ෆිනීෂියානු වෙළෙඳුන් පමණක් නොවෙයි. ග්‍රීක ජාතිකයන්ද ඒ දිශාවට ගමන් කර විවිධ ජනපද පිහිටුවා තිබෙනවා. ඉන් එකක් වන්නේ දැනට ප්‍රංශයේ තිබෙන මාර්සේල්ස් නගරයයි. ගොඩබිමෙන් වගේම මුහුදෙන්ද පැමිණ මෙම ජනපදයේ ව්‍යාපාර කටයුතු කිරීමට හැකියාව තිබූ නිසා මෙය සමෘද්ධිමත් නගරයක් බවට පත් වුණා. මේ නගරයේ සිට වයින්, තෙල්, ලෝකඩ වැනි ද්‍රව්‍ය උතුරු රටවලට අපනයනය කර තිබෙන අතර එම රටවලින් ලෝහ වර්ග සහ ආභරණ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කර තිබෙනවා. මාර්සේල්ස් නගරයේ සිටි අයට මෙම භාණ්ඩ ආනයනය කරන රටවල් මොනවාද කියා සොයා බැලීමට අවශ්‍ය වුණා. එමනිසා ක්‍රිස්තු පූර්ව 320දී උතුරු දෙසට වෙන්න පිහිටි එම රටවල් ගැන සොයා බැලීමට මාර්සේල්ස් නගරයේ වැසියෙක් වූ පිතීයස් උතුරුකරයට යාත්‍රා කළා.

ගමන අවසන් කර පැමිණෙන විට පිතීයස් පොතක් රචනා කළා. මෙම පොතේ මුල් ග්‍රීක පිටපත අද දින දකින්න නැහැ. ඒ වුණත් අතීතයේ සිටි විවිධ ලේඛකයන් 18දෙනෙක් ඔහුගේ කෘතියෙන් උපුටා දැක්වීම් කර තිබෙනවා. එම උපුටා දැක්වීම් තුළින් පිතීයස් සංචාරය කළ ප්‍රදේශවල මුහුද ගැනත් ඒවායෙහි ඇති වන වඩදිය බාදිය තත්වයන් ගැනත් භූගෝලීය විෂමතා ගැනත් එහි සිටි ජන පිරිස් ගැනත් තොරතුරු හෙළි වෙනවා. පිතීයස් ඡායා දණ්ඩක් * භාවිත කරමින් සෑම දිනකම එකම වේලාවට සූර්යාලෝකය වැටෙන ඡායාවේ කෝණය මැන්නා. දිනෙන් දින වෙනස් වන ඡායාවේ කෝණය අනුව ඔහු උතුරු දිශාවට කොතරම් දුරක් ගමන් කර තිබෙනවාද කියා නිගමනය කිරීමට හැකි වුණා.

පිතීයස් මේ ගමනේ යෙදුණේ විද්‍යාත්මක තොරතුරු දැනගැනීම සඳහායි. නමුත් ඔහුව මේ ගමන සඳහා යොදාගැනීමේ මූලික අරමුණ වූයේ එය නොවෙයි. සමහර විශාරදයන් පවසන්නේ මෙම ගමනට අවශ්‍ය මුදල් හා වෙනත් දේවල් මාර්සේල්ස් නගරයේ සිටි ව්‍යාපාරිකයන් දුන් බවයි. ඒ අයට අවශ්‍ය වුණේ විවිධ ලෝහ සහ වෙනත් වටිනා භාණ්ඩ තිබෙන රටවලට යෑම සඳහා මුහුදු මාර්ගයක් සොයාගැනීමටයි. ඒ නිසා ඔවුන් ඒ සඳහා පිතීයස්ව යොදාගත්තා. ඒ අනුව පිතීයස් සංචාරය කළේ කුමන රටවලටද?

ඈතින් ඈතට

පිතීයස් අයිබීරියානු අර්ධද්වීපය පසු කරමින් ප්‍රංශ වෙරළ තීරය දිගේ ගමන් කර බ්‍රිටැනි නමැති ප්‍රදේශයට පැමිණ තිබෙනවා. එසේ කීමට හැකි වන්නේ ඔහු ඡායාදණ්ඩෙන් මැන තිබෙන කෝණයේ ඡායාව උතුරු බ්‍රිටැනි ප්‍රදේශයට හොඳින්ම ගැළපෙන නිසයි.

බ්‍රිටැනිවල ජීවත් වූ අය නැව් නිපදවීමට සහ මුහුදු ගමන්වල යෙදීමට විශේෂ දක්ෂතා දැක්වූවා. ඔවුන් බ්‍රිතාන්‍යය සමඟ වෙළෙඳ ගනු දෙනු පවා කර තිබෙනවා. පිතීයස්ට ඊළඟට යන්න අවශ්‍ය වුණේ බ්‍රිතාන්‍යයේ නිරිත දෙසට වෙන්න පිහිටා තිබෙන කොර්න්වෝල් ප්‍රදේශයටයි. එය ටින් සහ ලෝකඩවලට තෝතැන්නක් වුණා. ඔහු බ්‍රිතාන්‍යයේ ප්‍රමාණය හා හැඩය විස්තර කර තිබෙන නිසා ඔහු බ්‍රිතාන්‍යය වටා යාත්‍රා කරන්න ඇති කියා සිතිය හැකියි.

පිතීයස්ගේ ගමන් මාර්ගය කුමක් වූවාද කියා හරියටම කියන්න බැහැ. සමහරවිට ඔහු බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තය අතරින් ගොස් මෑන් දූපතට ගොඩ බැස්සා කියා සිතිය හැකියි. එසේ පැවසිය හැක්කේ ඡායාදණ්ඩෙන් දෙවෙනි වරට ඔහු ගෙන ඇති අක්ෂාංශ මිමි හොඳින්ම මෑන් දූපතට ගැළපෙන නිසයි. මෑන් දූපතේ සිට ඔහු ඊළඟට යන්න ඇත්තේ ස්කොට්ලන්තයේ බටහිර දෙසින් පිහිටා ඇති බාහිර හෙබ්‍රිඩීස් දූපතේ පිහිටි ලුවිස් නම් ස්ථානයට විය හැකියි. තුන්වන වරට ඔහු ඡායාදණ්ඩෙන් අක්ෂාංශ මිමි මනින්න ඇත්තේ එම ස්ථානයේ සිට විය හැකියි. එතැන් සිට තවත් උතුරට වෙන්න පිහිටි ඕර්ක්නි දූපත් වෙත ඔහු යාත්‍රා කරන්න ඇති. එසේ පවසන්නේ ඔහු යාත්‍රා කර තිබෙන ස්ථානයේ දූපත් 40ක් තිබුණු බව පිතීයස්ගේ ගමන ගැන අදහස් දැක්වූ ප්ලිනි නම් පැරණි ලේඛකයා පවසන නිසයි.

ඉන්පසු පිතීයස් උතුරු දෙසට වෙන්න තවත් දින හයක් ගමන් කර තිබෙනවා. එහිදී ඔහුට තූල් කියා ප්‍රදේශයක් දැකගන්න ලැබී තිබෙනවා. පැරණි ලේඛකයන් පවසන්නේ පිතීයස් සඳහන් කරන එම ප්‍රදේශය මැදියම් රැයේදීත් හිරු දැකගත හැකි ස්ථානයක් කියායි. එම ස්ථානයේ සිට දවසක පමණ දුරක් ගිය විට මුළු මුහුදම මිදී තිබුණ බව ඔහු සඳහන් කරනවා. ඒ නිසා ඔහු සඳහන් කරන ප්‍රදේශය කුමක්ද යන්න ගැන විවිධ මත තිබෙනවා. සමහර අය පවසන්නේ එය ෆැරෝ දූපත් කියායි. තවත් අය එය නෝර්වේ කියාද පවසනවා. එමෙන්ම එය අයිස්ලන්තය විය හැකියි කියා පවසන පිරිසක්ද සිටිනවා. ඔහු තූල් කියා හඳුන්වන ප්‍රදේශය කුමක් වුවත් අතීතයේ සිටි ලේඛකයන් විශ්වාස කළේ එම ප්‍රදේශය උතුරුකරයේ පිහිටි ඈතම ස්ථානයක් විය හැකි බවයි.

එම ප්‍රදේශයේ සිට ඔහු නැවතත් බ්‍රිතාන්‍යයට පැමිණියා. ඔහු මධ්‍යධරණී මුහුදට ඇතුල් වීමට පෙර උතුරු යුරෝපයේ මුහුදු තීරයේ ගමන් කරමින් යම් දේවල් සොයා බැලුවාද කියා අපි හරියටම දන්නේ නැහැ. ඒ වුණත් ආභරණ විසිතුරු කරගැනීමට භාවිත කළ ද්‍රව්‍ය තිබූ ප්‍රසිද්ධ ස්ථාන ගැන පිතීයස් දැනගෙන සිටියා කියා ප්ලිනි සඳහන් කරනවා. අතීතයේදී එවැනි අමුද්‍රව්‍ය සඳහා ප්‍රසිද්ධත්වයක් ඉසිලුවේ ඩෙන්මාර්කය සහ බොල්ටික් මුහුදේ දකුණු වෙරළාසන්න ප්‍රදේශයි. නමුත් පිතීයස් එම ස්ථානවලට ගිය බවක් සඳහන් වෙන්නේ නැහැ. සමහරවිට නැඟෙනහිර බ්‍රිතාන්‍යයේ පිහිටි වරායන්වලට ගිය විට ඔහුට එම ප්‍රදේශ ගැන අන් අයගෙන් දැනගන්න ලැබෙන්න ඇති.

මධ්‍යධරණී මුහුද අවට ප්‍රදේශයකින් බ්‍රිතාන්‍ය බලා ගොස් ඒ සම්බන්ධයෙන් වාර්තා කළ අනික් ප්‍රසිද්ධ පුද්ගලයා ලෙස සැලකෙන්නේ ජූලියස් සීසර්වයි. ඔහු ක්‍රිස්තු පූර්ව 55දී බ්‍රිතාන්‍යයේ දකුණු ප්‍රදේශයට ගොස් තිබෙනවා. එමෙන්ම ක්‍රිස්තු වර්ෂ හයේදී රෝමවරුන් ඩෙන්මාර්කයේ ජට්ලන්තය තරම් ඈතට ගොස් තිබෙනවා.

අවබෝධය පුළුල් වෙයි

ෆිනීෂියානුවන් සහ ග්‍රීකයන්ගේ මුහුදු ගමන් නිසා අප්‍රිකාවේ දකුණු ප්‍රදේශ ගැනත් උත්තර ධෘවය අවට ප්‍රදේශ ගැනත් ඒවායේ පිහිටීම ගැනත් තිබූ අවබෝධය තවත් පුළුල් වුණා. මිනිසුන් දේශ ගවේෂණ කටයුතුවල සහ වෙළෙඳ කටයුතුවල නිරත වූ නිසා ඔවුන් දැනුමෙන්ද නිපුණ වුණා.

දක්ෂ නාවිකයන් සාර්ථකව නිම කළ මුහුදු ගමන් පිළිබඳ අතීත සටහන් ඉතිරි වී තිබෙන්නේ සුළු ප්‍රමාණයක් පමණයි. සමහර අය සාර්ථක ලෙස නැව් ගමන් නිම කර තිබුණද ඒ පිළිබඳ වාර්තා පිළියෙල කර නැහැ. එමෙන්ම දුර ඈත මුහුදු ගමන්වල යෙදුණත් නැවත තම ගම රට බලා නොපැමිණි අයද සිටියා. කෙසේවෙතත් අතීතයේදී මුහුදු ගමන් ඔස්සේ විවිධ රටවලට යෑමට හැකියාව තිබූ නිසා ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තියට එය විශාල වශයෙන් දායක වුණා කියා සිතිය හැකියි.— ඉහළ ඇති කොටුව බලන්න.

[පාදසටහන්වල]

^ 3 ඡේ. තර්ෂිෂ් කියා හඳුන්වන්නේ අතීතයේ සිටි ග්‍රීක සහ රෝම ලේඛකයන් ටර්ටෙටස් කියා හැඳින්වූ ස්පාඤ්ඤයේ දකුණු ප්‍රදේශයේ ස්ථානයක් විය හැකියි.

^ 4 ඡේ. නැඟෙනහිර දෙසට කළ නැව් ගමන් පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා 2009 ජනවාරි 1 මුරටැඹ කලාපයේ පළ වූ “අතීතයේදී ශුභාරංචිය ව්‍යාප්ත වන්න ඇත්තේ කෙසේද?” යන ලිපිය බලන්න.

^ 13 ඡේ. සිරස්ව සිට වූ දණ්ඩකට හිරු එළිය වැටීම නිසා සෑදෙන සෙවනැල්ල මැනීමෙන් වේලාව හා අක්ෂාංශ මැනීමේ පැරණි උපකරණයක්.

[29වන පිටුවේ කොටුව]

 මුළු මිනිස් වර්ගයාටම ශුභාරංචිය

ක්‍රිස්තු වර්ෂ 60ත් 61ත් අතර කාලයේදී බයිබල් ලේඛක පාවුල් පැවසුවේ ශුභාරංචිය “අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයා අතර දේශනා කරනු ලැබූ” බවයි. (කොලොස්සි 1:23) ඉන් අදහස් වෙන්නේ ඉන්දියාව, බටහිර ප්‍රදේශ, අප්‍රිකාව, ස්පාඤ්ඤය, ගෝල්, බ්‍රිතාන්‍යය, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව ඇතුළු තූල් ලෙස පිතීයස් හැඳින්වූ ප්‍රදේශයට ශුභාරංචිය ව්‍යාප්ත වී තිබුණු බවද? ඒ පිළිබඳව නිශ්චිතවම යමක් පවසන්න බැහැ.

කොහොමවුණත් ශුභාරංචිය දස දෙසටම ව්‍යාප්ත වූ බවට නම් සැකයක් නැහැ. ක්‍රිස්තු වර්ෂ 33දී ක්‍රිස්තියානි ආගමට පැමිණි යුදෙව්වන් සහ යුදෙව් නොවන ජාතීන් අඩුම තරමින් පාර්තියාව, ඒලාම්, මේදියාව, මෙසපොතේමියාව, අරාබිය, ආසියා ප්‍රදේශය, ලිබියාව සහ රෝමයට ශුභාරංචිය ගෙන ගිය බව බයිබලයේ සඳහන් වෙනවා.—ක්‍රියා 2:5-11.

[26, 27වන පිටුවල රූප සටහන⁄සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

අප්‍රිකානු මහද්වීපයේ දකුණු ප්‍රදේශය හරහා යාත්‍රා කරන විට නැවියන් සූර්යයාව දකුණු දෙසින් දුටුවා කියා හෙරඩෝටස් වාර්තා කරනවා

[සිතියම]

අප්‍රිකාව

ත්ලාන්තික් සාගරය

න්දියානු සාගරය

මධ්‍යධරණී මුහුද

[28, 29වන පිටුවල රූප සටහන⁄සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

පිතීයස්ගේ දැවැන්ත මුහුදු සංචාරය

[සිතියම]

අයර්ලන්තය

අයිස්ලන්තය

නෝර්වේ

තුරු මුහුද

බ්‍රිතාන්‍යය

බ්‍රිටැනි

යිබීරියානු අර්ධද්වීපය

තුරු අප්‍රිකාණු වෙරළ තීරය

මධ්‍යධරණී මුහුද

මාර්සේල්ස්