Skip to content

පටුනට යන්න

බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු පොතක්ද?

බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු පොතක්ද?

“මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්‍රයෝජනවත්ය. එමගින් දෙවිට විශ්වාසවන්තව සිටින මිනිසා සියලු දේ කිරීමට සමත් කෙනෙක් එනම්, සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින කෙනෙක් වනු ඇත.”—2 තිමෝති 3:16, 17.

බයිබල් ලේඛකයෙකු වූ පාවුල් ඉහත සඳහන් දෙයින් පෙන්නුම් කරන්නේ බයිබලයේ ඇති උපදෙස් මොන තරම් වටිනවාද කියායි. ඔහු මුළු ශුද්ධ ලියවිල්ලම කියා යොමු දැක්වූයේ එවකට භාවිත වූ පැරණි ගිවිසුමටයි. නමුත් ඔහු පැවසූ වදන් බයිබලයේ අඩංගු පොත් 66ටම එක සේ අදාළ වෙනවා.

පාවුල් මෙන් ඔබත් බයිබලය ඉතා වටිනා පොතක් ලෙස සලකනවාද? එමෙන්ම එය ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් කියා ඔබ විශ්වාස කරනවාද? අතීතයේ සිටි ක්‍රිස්තියානීන් මෙන්ම අද සිටින සැබෑ ක්‍රිස්තියානීන්ද එය විශ්වාස කරනවා. දාහතරවන සියවසේ සිටි පූජකයෙක් වූ ජෝන් වයික්ලිෆ් බයිබලය සැලකුවේ “සත්‍යය තොරතුරු ඇතුළත් පොතක්” ලෙසයි. එමෙන්ම පාවුල් පැවසූ ඉහත සඳහන් වදන් ගැන එක් ශබ්දකෝෂයක මෙසේ සඳහන් වුණා. “බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවී තිබෙන පොතක් නිසා එහි සත්‍යතාව ගැන සැක කරන්න කිසිම හේතුවක් නැහැ.”—The New Bible Dictionary.

බයිබලය ගැන ඇති විවිධ අදහස්

මිනිසුන් බයිබලයට ගරු කළත් එය ලියැවී තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් කියා බොහෝ අය විශ්වාස කරන්නේ නැහැ. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වුණා. “අපට අවශ්‍ය මඟ පෙන්වීම් සහ අපේ ආගමික විශ්වාසයන්ට පදනම සපයන්නේ බයිබලය කියා බොහෝ අය විශ්වාස කරනවා.” නමුත් ඔවුන් බයිබලයේ තිබෙන උපදෙස් ජීවිතයට අදාළ කරගන්නේ නැහැ. තවත් බොහෝ අය බයිබලය දකින්නේ මිනිස් අදහස් ඇතුළත් පොතක් ලෙසයි. බයිබල් ලේඛකයන්ට දෙවි කෙරෙහි විශ්වාසයක් තිබුණා කියා එවැනි අය පිළිගන්නවා. නමුත් ඒ ලේඛකයන්ට අද කාලයේ අයට මෙන් දැනුමක් නොතිබුණ නිසා ඔවුන්ට ගැඹුරු කාරණා නිසි ලෙස පහදා දීමට හැකියාවක් තිබුණේ නැහැ කියා සමහර අය පවසනවා.—එම පොත The World’s Religions.

බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. නමුත් බොහෝ අය බයිබලය සලකන්නේ යල් පැන ගිය උපදෙස් අඩංගු පොතක් ලෙසයි. ඒ නිසා බයිබලයේ සඳහන් උපදෙස් තමන්ගේ සිතුවිලිවලට එකඟ නැතිනම් ඔවුන් ඒවා නොසලකාහරිනවා. උදාහරණයකට ලිංගික දුරාචාරය, වංක ලෙස කටයුතු කිරීම සහ බේබදුකම බයිබලයේ හෙළාදැක තිබුණත් ඔවුන් ඒ දේවල නියැලෙනවා.—1 කොරින්ති 6:9, 10.

එයට හේතුව කුමක්ද? ඒ ගැන 20වන සියවසේ මුල් කාලයේ සිටි පුරාවිද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් චාල්ස් මාස්ටන් ඔහු රචනා කළ පොතක මෙසේ සඳහන් කළා. සාමාන්‍යයෙන් ලේඛකයන් “බයිබලයේ විශ්වාසවන්තභාවය පිළිබඳව සැක මතු කළාම මිනිසුන් හොයන්නේ බලන්නේ නැතුව ඒවා විශ්වාස කරනවා.” ඇත්තටම උගත්යැයි සැලකෙන එවැනි අය බයිබලය ගැන සැක මතු කරන විට ඔබ ඒවා සැලකිය යුත්තේ කෙසේද? ඒ සම්බන්ධයෙන් ඊළඟ ලිපියේ සඳහන් දේ අපි සලකා බලමු.—එම පොත The Bible Is True.