Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කුරුසය භාවිත නොකරන්නේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කුරුසය භාවිත නොකරන්නේ ඇයි?

පාඨකයන් අසයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කුරුසය භාවිත නොකරන්නේ ඇයි?

යේසුස්ව විශ්වාස කරන අයට සදාකාල ජීවනය ලැබෙන්නේ ඔහුගේ ජීවිත පූජාව නිසා බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. (මතෙව් 20:28; යොහන් 3:16) නමුත් පැරණි චිත්‍රවල පෙන්වන ආකාරයට යේසුස් කුරුසයක් මත මිය ගිය බව ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් විශ්වාස කරන්නේ හරහට කණුවක් සවි නොකළ කෙළින් සිටුවන ලද කණුවක ඔහු මිය ගිය බවයි.

යේසුස් ඉපදීමට වසර 2,000කට කලින් මෙසපොතේමියාවේ කුරුසය භාවිත කර තිබෙනවා. එමෙන්ම ඔහු ඉපදීමට සියවස් කීපයකට පෙර පැවති ලෝකඩ යුගයට අයත් ස්කැන්ඩිනේවියානු ගල් කැටයම්වලත් කුරුස ලකුණ තිබුණා. ක්‍රිස්තියානි නොවන අය “ආරක්ෂාව හා වාසනාව ගෙනෙන භූතවාදයට සම්බන්ධ දෙයක් හැටියට කැරුසය භාවිත කළ බව” සංකේත පිළිබඳ ප්‍රවීණයෙක් මෙන්ම ඉතිහාසඥයෙක් වන ඕලන්ද ජාතික ස්වෙන් ටිටෝ ආකන් ඔහුගේ පොතේ සඳහන් කළා. (Symbols Around Us) ඒ නිසා කතෝලික විශ්වකෝෂයක මෙසේ සඳහන් වීම පුදුමයක් නෙවෙයි. “ක්‍රිස්තියානි යුගයට පෙර සිටි අය සහ ක්‍රිස්තියානීන් නොවූ අය කුරුසය භාවිත කර තිබෙනවා. ඔවුන් වැඩිපුරම එය භාවිත කළේ ආකාශ වස්තූන් සංකේතවත් කිරීමටයි.” (New Catholic Encyclopedia) එසේනම් බොහෝ ක්‍රිස්තියානි ආගම් කුරුසය පරිශුද්ධ සංකේතයක් ලෙස තෝරාගෙන තිබෙන්නේ ඇයි?

ගෞරවයට පාත්‍ර වූ බ්‍රිතාන්‍ය ජාතික විශාරද ඩබ්. ඊ. වයින් මෙවැනි අදහසක් පළ කළා. “ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ මැදභාගයේදී ක්‍රිස්තියානි නොවූ අයටත් පල්ලිවලට පැමිණීමට අවසර ලැබුණා. එමෙන්ම ඔවුන්ගේ මිථ්‍යා දෘෂ්ටික සලකුණු හා සංකේත දිගටම භාවිත කිරීමටත් ඉඩහැරියා. ඒ මිථ්‍යා දෘෂ්ටිකයන්ට Tau (ටෝ) යන ග්‍රීක අකුර නොහොත් T අකුර ඉතා වැදගත් වුණා. මෙලෙස පල්ලිවලත් T අකුරේ හරහට ඇති ඉර පහත් කර එය වැදගත් සංකේතයක් ලෙස යොදාගැනීම ඇරඹුණා.”—Vine’s Expository Dictionary of Old and New Testament Words.

සාමාන්‍යයෙන් ග්‍රීක භාෂාවෙන් කුරුසය හඳුන්වන්නේ ස්ටව්රොස් කියායි. ලීයක් මත තවත් ලීයක් ඕනෑම අතකට තිබීම ස්ටව්රොස් යන ග්‍රීක වචනයෙන් කොහෙත්ම අදහස් වෙන්නේ නැහැ. ඊට සමාන අදහසක් එක් බයිබල් උපග්‍රන්ථයක මෙසේ සඳහන් වුණා. “තිබෙන සාක්ෂිවලට අනුව යේසුස්ව ඇණ ගැසුවේ කෙළින් සිටුවන ලද කණුවකයි. ඒ කණුවේ කිසිම අතකට සවි කරන ලද තවත් ලීයක් තිබුණේ නැහැ.” (Companion Bible) මින් පෙනී යන්නේ පල්ලි මගින් වෙනත් ආගමකට අයත් දෙයක් තම ආගමට ඈඳාගෙන ඇති බවයි. එය බයිබලයට පටහැනි දෙයක්.

ඉතිහාසඥ ආකන් තවදුරටත් මෙසේ පැවසුවා. “යේසුස් මිය ගොස් අවුරුදු දෙසීයක් ගත වෙන කල් ක්‍රිස්තියානීන් කුරුස ලකුණ පරිශුද්ධ දෙයක් ලෙස සැලකූ බවක් පෙනෙන්න නැහැ. කුරුස ලකුණෙන් ඔවුන්ට සිහිගැන්වුණේ මරණය සහ කෲරත්වය විය හැකියි.”

යේසුස්ව කුමක් මත ඇණ ගැසුවත් සැබෑ ක්‍රිස්තියානීන් එය භක්තියෙන් සැලකීම හා ඊට නමස්කාර කිරීම සුදුසු නැහැ. එයට හේතුව “රූප වන්දනාවෙන් පලා දුවන්න” කියා බයිබලයේ ආඥා කර තිබීමයි. (1 කොරින්ති 10:14) සිය අනුගාමිකයන්ව හඳුනාගැනීමේ ලකුණ ගැන යේසුස් මෙසේ පැවසුවා. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.”—යොහන් 13:35.

පුරාණයේ සිටි ක්‍රිස්තියානීන් මෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් මිනිස් සම්ප්‍රදායන් අනුගමනය කරනවා වෙනුවට බයිබල් ප්‍රමිතිවලට එකඟවයි නමස්කාරයේ යෙදෙන්නේ. (රෝම 3:4; කොලොස්සි 2:8) ඒ නිසයි ඔවුන් කුරුසය භාවිත නොකරන්නේ.

[22වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තු පූර්ව 800ට අයත් කැටයමක ඇසරියානු රජෙක් කුරුසයක් පැළඳගෙන සිටින ආකාරය

[හිමිකම් විස්තර]

Photograph taken by courtesy of the British Museum