Skip to content

පටුනට යන්න

ජීවිතයට කොහෙත්ම වටිනාකමක් නැද්ද?

ජීවිතයට කොහෙත්ම වටිනාකමක් නැද්ද?

ජීවිතයට කොහෙත්ම වටිනාකමක් නැද්ද?

“මිනිසාව සාදා තිබෙන්නේ දෙවියන්ගේ රූපයෙනි. මේ අනුව මිනිස් ජීවිතයක් නැති කිරීම මෙලොවේ තිබෙන වටිනාම ශුද්ධ වූ දෙයක් විනාශ කිරීම හා සමානයි.”—විලියම් බාක්ලේ, The Plain Man’s Guide to Ethics. 

ජීවිතය ‘මෙලොවේ තිබෙන වටිනාම’ දෙය කියා ඔබ සිතනවාද? මිනිසුන් හැසිරෙන ආකාරයෙන් නම් පෙනෙන්නේ ඔවුන් ඉහත සඳහන් ලේඛකයාගේ අදහස ප්‍රතික්ෂේප කරන බවයි. ප්‍රචණ්ඩකාරී මිනිසුන් අතින් කොපමණ මිනිස් ජීවිත ගණනක් නැති වෙනවාද! මිලියන ගණනකගේ ජීවිත මෙලෙසින් බිලි වන්නේ ඇතැම් උදවිය ආත්මාර්ථකාමී ලෙස තම අභිමතාර්ථ ඉටු කරගැනීමට වෙහෙසෙන නිසයි.—දේශනාකාරයා 8:9.

පාවිච්චි කර අහක දමන භාණ්ඩයක් හා සමානද?

පළමුවන ලෝක මහ යුද්ධය මීට හොඳ උදාහරණයක්. ඉතිහාසඥ ඒ. ජේ. පී. ටේලර් පවසන්නේ ඒ කුරිරු යුද්ධයේදී නිතරම පාහේ “මිනිසුන්ව කිසිම හේතුවක් නැතුව ඝාතනය කළ” බවයි. ජයග්‍රහණයට කෑදර වූ හමුදාපතීන් ඒ කාලයේදී යුධ භටයින්ව සැලකුවේ පාවිච්චි කර අහක දමන භාණ්ඩ හා සමානවයි. භටයින් කොපමණ සංඛ්‍යාවක් මිය ගියත් ඔවුන් ගැන කිසි තැකිමක් කළේ නැහැ. නිදසුනකට ප්‍රංශයේ වර්ඩන් අවට ප්‍රදේශයේ කරන ලද සටනේදී පන්ලක්ෂයකට ආසන්න පිරිසක් මිය ගියා. ටේලර් තවදුරටත් කියන්නේ “එපමණ මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලි වුණත් අවසානයේදී කාටවත් ජය අත් වුණේ නැහැ” කියායි. “කාටවත් කිසිම විශේෂ වාසියක් අත් වුණේවත් නැහැ. ඔවුන් නිෂ්ඵල ලෙස යුද්ධ කළේ පරාජය භාරගැනීමට අකමැති වූ නිසයි.”—The First World War.

අද දිනත් මිනිස් ජීවිත තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. දැන් “ජනගහනය අධික ලෙස වර්ධනය වී තිබෙන නිසා ශ්‍රම හමුදාවට නැති බැරි අසරණ මිනිසුන් මිලියන ගණනක් එකතු වී සිටින” බව කෙවින් බේල්ස් නමැති විද්වතා පවසනවා. ජීවිත කාලය පුරාම ඔවුන්ට තම ජීවිතය ගැටගසාගැනීමට දැඩි සටනක් කිරීමට සිදු වෙනවා. ඔවුන්ගේ “ජීවිතවලට කිසිම වටිනාකමක් නැති තරම්.” බේල්ස් පවසන්නේ ඔවුන්ගේ ශ්‍රමය සූරාකන අය ඔවුන්ව සලකන්නේ වහලුන් ලෙසට බවයි. එනම් “මුදල් උපයාගැනීමට පාවිච්චි කර ඉවත දමන භාණ්ඩ හා සමානවයි.”—Disposable People.

‘සුළං රොදක් ඇල්ලීම හා සමානයි’

තමන් කොහෙත්ම වටින්නේ නැති අය බවත්, තමන් ජීවත් වුණත් මැරුණත් එය කවුරුත් ගණන් ගන්නේ නැති බවත් මිනිසුන් මිලියන ගණනක් හිතන්නේ ඉහත සඳහන් හේතු නිසාම නොවෙයි. අද දින මිනිසුන් යුද්ධය හා අයුක්තිය නිසා දුක් විඳිනවාට අමතරව නියඟ, සාගත, ලෙඩ රෝග, වියෝ දුක සහ වෙනත් නොයෙකුත් විපත්තිවලට මුහුණ දෙනවා. මේ නිසා ඔවුන්ට ජීවිතය තිත්ත වී තිබෙනවා.—දේශනාකාරයා 1:8, 14.

කොහොමවුණත් සෑම කෙනෙක්ම මෙවැනි කටුක ජීවිතයකට මුහුණ දෙන්නේ නැහැ. නමුත් යම් සැපපහසු ජීවිතයක් ගත කරන අය වුණත් පුරාණ ඊශ්‍රායෙල් රාජ්‍යය පාලනය කළ සලමොන් රජ ඇසූ ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයක් නිතරම පාහේ අසනවා. ඔහුගේ ප්‍රශ්නය වූයේ මෙයයි. “මනුෂ්‍යයා මුළු මහත් පොළොවෙහි වෙහෙස දරා කරන කටයුතුවලින් හා මානසික ශ්‍රමයෙන් ඔහුට කුමන වැඩක් වේද?” අවසානයේදී ඔවුන්ට තේරුම් යන්නේ ඔවුන් දැරූ සෑම උත්සාහයක්ම ‘සුළං රොදක් ඇල්ලීමට කළ වෑයමක්’ හා සමාන බවයි.—ධර්මදේශකයා [දේශනාකාරයා] 2:22, 26, නව අනුවාදය.

ඇත්තෙන්ම බොහෝදෙනෙක් කල්පනා කරන්නේ තමන්ගේ ජීවිතයේ ආයු කාලයෙන් පස්සේ ඉන් එහාට මොකුත් නැද්ද කියයි. පුරාණයේ විසූ ආබ්‍රහම් මිය යද්දී බයිබල් වාර්තාව කියන්නේ “ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේදී අවසන් හුස්ම” හෙළූ බවයි. (උත්පත්ති 25:8, න.අ.) ඉන් අදහස් කරන්නේ ඔහු තම ජීවිතයේ අවසානයට ළඟා වෙද්දී තෘප්තියෙන් සිටි බවයි. නමුත් අද තම ජීවිතයේ අවසානයට පැමිණෙද්දී කීයෙන් කීදෙනාටද එහෙම හැඟෙන්නේ? බොහෝදෙනෙකුට ලොකු හිස්බවක් දැනෙනවා. නමුත් දෙවි සෑම ජීවිතයක්ම අගනා දෙයක් හැටියට සලකනවා. අපි සියලුදෙනාම සතුටින් පිරි තෘප්තිමත් ජීවිතයක් ගත කරනවාට ඔහු කැමතියි. එනිසා අපි සියලු බලාපොරොත්තු අත්හරින්න අවශ්‍ය නැහැ. මේ ගැන ඊළඟ ලිපියෙන් අපි තොරතුරු සලකා බලමු.