Skip to content

පටුනට යන්න

මිනිසුන්ට කොපමණ කල් ජීවත් විය හැකිද?

මිනිසුන්ට කොපමණ කල් ජීවත් විය හැකිද?

මිනිසුන්ට කොපමණ කල් ජීවත් විය හැකිද?

හ්වාන් පොන්සෙ දෙ ලෙඕන් නම් ස්පාඤ්ඤ ගවේෂකයෙක් 1513 මාර්තු 3වෙනි දා විශේෂ ගමනක් ආරම්භ කළා. ඔහු පුවටෝ රිකෝවලින් පිටත් වුණේ බිමිනි දූපතට සේන්දු වීමේ බලාපොරොත්තුවෙන්. ජනප්‍රවාදයේ කියැවෙන්නේ ඔහු තරුණකම රැක දෙන්න බලයක් ඇති දියඇල්ලක් සොයා ගිය බවයි. නමුත් ඔහුගේ ගමන අවසන් වූයේ අමෙරිකා එක්සත් ජනපදයේ දැන් ෆ්ලොරිඩා කියා හඳුන්වන ප්‍රාන්තයේයි. ඔහුට කවදාවත් එම මනඃකල්පිත දියඇල්ල සම්බ වුණේ නැහැ.

සාමාන්‍යයෙන් මිනිස්සු අවුරුදු 70කට හෝ 80කට වඩා වැඩි කාලයක් අද ජීවත් වන්නේ නැහැ. බොහෝ ආයුෂ කාලයක් භුක්ති වින්ද මිනිසුන් ගැන බයිබලයේ වාර්තා වුවද, වර්ෂ 2002 ලෝක ගිනස් වාර්තා පොතෙහි සඳහන් පරිදි මෙතෙක් ජීවත් වී ඇති වයස්ගතම පුද්ගලයා ලෙසට වාර්තා වන කාන්තාව අවුරුදු 122ක් හා දවස් 164ක් ජීවත් වී තිබෙනවා. (උත්පත්ති 5:3-32) කෙසේවෙතත් ජීව විද්‍යාඥයෙක් වන ජෝන් හැරිස් මෙසේ පවසනවා. “මහලු වීම හා මරණය පවා නොමැති ලොවක් ඇති විය හැකි බවට අලුත් පර්යේෂණවලින් යම් ඉඟියක් කර තිබෙනවා.” මිනිසා “අමරණීයත්වයට පත්වීමට තිබෙන ඉඩ කඩ” ගැනත් “2099 වන විට මනුෂ්‍යයන්ගේ ආයු කාලයට සීමාවක් නැතිවීම” ගැනත් “නොමැරෙන සෛල නිපදවීමේ හැකියාව” ගැනත් සහ තවත් එවැනි දේවල් ගැනත් විසිඑක්වන ශතවර්ෂයේ සමහර පර්යේෂකයන් අදහස් පළ කර තිබෙනවා.

මාර්ක් බෙනෙකේ විසින් ලියන ලද අනන්ත ජීවිතය පිළිබඳ සිහිනය (සිංහලෙන් නොමැත) නම් පොතේ මෙසේ සඳහන් වෙයි. “කෙනෙකුගේ ජීවිත කාලය තුළදී කිහිප වතාවක්ම ශරීරයේ බොහෝමයක් සෛල අලුත් වීමක් හෝ ප්‍රකෘති වීමක් සිදු වේ. . . . අවුරුදු හතක් පමණ ගත වූ පසු ඇත්තටම අපිට අලුත් ශරීරයක් ලැබුණා හා සමානයි.” නමුත් සෛල අලුත් වැඩියා වීම සදාකාලයටම සිදු වන්නේ නැහැ. ඒකට හේතුව යම් නිශ්චිත වාර ගණනක් සෛල විභේදනය වූ පසු තවදුරටත් එසේ නොවීමයි. විභේදනය දිගටම සිදු වුණා නම් බෙනෙකේ පවසන පරිදි “මිනිස් ශරීරයට දිගු කාලයක් පුරා ප්‍රකෘතිමත් වෙමින් පැවතිය හැකියි. සමහරවිට එය සදාකාලයටම වුවත් සිදු විය හැකියි.”

තොරතුරු රඳවාගැනීමට මිනිස් මොළය සතු පුදුමාකාර හැකියාව ගැන මඳකට කල්පනා කර බලන්න. අපේ මේ කෙටි ජීවිත කාලය තුළදී අප එම හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්නේ ඉතා අල්ප වශයෙන්. එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකාවේ පවසන පරිදි මිනිස් මොළයෙන් “සම්පූර්ණ ප්‍රයෝජන ගැනීමට කෙනෙකුගේ ජීවිත කාලය මදි.” (වර්ෂ 1976 සංස්කරණයේ 12වන වෙළුමේ 998වනි පිටුව) ඩේවිඩ් ඒ. සූසා විසින් ලියන ලද මොළයේ ධාරණ ශක්තිය (සිංහලෙන් නොමැත) නමැති පොතේ මෙසේ සඳහන් වෙයි. “මොළයට තොරතුරු රැස් කිරීමට සෑහෙන හැකියාවක් තිබේ.”—වර්ෂ 2001 දෙවෙනි සංස්කරණයේ 78වෙනි පිටුව. සියලුම හිමිකම් ඇවිරිණි.

අප මහලු වී මිය යන්නේ ඇයි කියා පර්යේෂකයන්ට සොයාගත නොහැක්කේ ඇයි? මිනිස් මොළයට එතරම් පුදුමාකාර ධාරණ හැකියාවක් තිබෙන්නේ ඇයි? අපව නිර්මාණය කර තිබෙන්නේ සදාකාලයටම දැනුම ලබාගැනීමේ හැකියාව ඇතුව විය හැකිද? අප තුළ සදාකාලයට ජීවත් වීමේ සිතුවිල්ල පහළ වන්නේ ඇයි?

බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “දෙවි පටන්ගැන්මේ සිට කෙළවර දක්වාම කළ වැඩ මනුෂ්‍යයාට දැනගන්ට බැරි නමුත් ඔහු සදාකාලය ඔවුන්ගේ සිත්වල පිහිටෙව්වේය.” (දේශනාකාරයා 3:11) මෙම බයිබල් පදයෙන් කියා පාන්නේ සදාකාලයට ජීවත් වීමේ ආශාව අපේ සිත් තුළ දෙවි පැලපදියම් කර තිබෙන බවයි. ඉන් අදහස් කරන්නේ අපට හැමදාම දෙවි ගැන හා ඔහුගේ පුදුමාකාර කර්මාන්ත ගැන යම් දෙයක් ඉගෙනගැනීමට හැකි බවයි. ගණන් කළ නොහැකි අවුරුදු බිලියන ගණනක්, එනම් සදාකාලයක් අප ජීවත් වුවහොත් දෙවිගේ පුදුමාකාර නිර්මාණ ගැන තව තවත් ඉගෙනගැනීමට අපට ප්‍රස්තාව උදා වෙයි.

මිනිසුන්ට සදාකාලයට ජීවත් විය හැකි බව යේසුස්ගේ වදන්වලින්ද සනාථ වෙයි. ඔහු මෙසේ පැවසුවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) ඔබ ගැන කුමක් කිව හැකිද? ඔබට සදාකාලයට ජීවත් වෙන්න ඕනේද?

[3වන පිටුවේ පින්තූර]

හ්වාන් පොන්සෙ දෙ ලෙඕන් තරුණකම රැක දෙන්න බලයක් ඇති දියඇල්ලක් සොයා ගියා

[හිමිකම් විස්තර]

පොන්සෙ දෙ ලෙඕන්: Harper’s Encyclopædia of United States History