Skip to content

පටුනට යන්න

මෙක්සිකෝවේ ආදිවාසීන්ට ශුභාරංචිය ලැබෙයි

මෙක්සිකෝවේ ආදිවාසීන්ට ශුභාරංචිය ලැබෙයි

මෙක්සිකෝවේ ආදිවාසීන්ට ශුභාරංචිය ලැබෙයි

වර්ෂ 2002 නොවැම්බර් මස 10වන දා, මීකි යනුවෙන් හඳුන්වනු ලබන මෙක්සිකෝවේ ආදිවාසීන් කණ්ඩායමක් කෙට්සාල්ටපෙක්හි සාන් මිගෙල් නගරයේ එක් රැස් වුණා. මෙම නගරය තිබෙන්නේ මෙක්සිකෝවේ දකුණේ පිහිටි චමත්කාරජනක වහාකා ප්‍රාන්තයේ. ඒ අය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවකට පැමිණ සිටියා. එදින උදෑසන වැඩසටහනේ විශේෂාංගය වුණේ බයිබල් නාට්‍යයක්.

එම බයිබල් නාට්‍යයේ ආරම්භක වදන් ශබ්දවාහිනිය ඔස්සේ විකාශනය වූ විට පැමිණ සිටි අය විස්මයට පත් වුණා. ඔවුන් අත්පුඩි ගසා ක්ෂණිකව ප්‍රතිචාරය දැක්වුවා. සමහරුන්ගේ දෙනෙත් කඳුළින් පිරුණා. නාට්‍යය ඉදිරිපත් වුණේ මීකි භාෂාවෙන්! එය අවසන් වූ විට බොහෝදෙනෙක් මෙම අනපේක්ෂිත ආශීර්වාදය සඳහා ඔවුන්ගේ ගැඹුරු අගය ප්‍රකාශ කළා. “මට අදයි මුල් වතාවට නාට්‍ය තේරුම්ගන්න හැකි වුණේ. ඒක මගේ සිතට ගොඩාක් බලපෑවා” කියා එක් කෙනෙක් පැවසුවා. තව කෙනෙක් මෙහෙම කිව්වා. “මගේම භාෂාවෙන් හැදූ නාට්‍යයට සවන් දීමේ වරප්‍රසාදය යෙහෝවා මට ලබා දුන්න නිසා දැන් මම මැරුණත් කමක් නැහැ.”

එදා උදෑසන සිදු වූ දෙය, මෙක්සිකෝවේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් රාජ්‍ය ශුභාරංචිය සමඟින් ආදිවාසීන් කරා ළඟාවීම සඳහා මෑතකදී දැරූ දැඩි වෙහෙසක ප්‍රතිඵලයක් වෙයි.—මතෙව් 24:14; 28:19, 20.

යෙහෝවා යාච්ඤාවලට සවන් දුන්නා

මෙක්සිකෝවේ ආදිවාසීන් 60,00,000කට අධික පිරිසක් සිටිනවා. ඔවුන් භාෂා 62ක් කතා කරන විවිධ සංස්කෘතීන්ගෙන් සෑදී තිබෙන අතර, ඒ මුළු පිරිස එකට ගත් කල ඔවුන් එක රටක් නියෝජනය කරන විශාල සෙනඟක් හා සමානයි. එහි එක භාෂාවක් 1,00,000කට අධික පිරිසක් කතා කරන භාෂා 15ක් තිබෙනවා. ආදිවාසීන්ගෙන් 10,00,000කට වැඩි පිරිසකට මෙක්සිකෝවේ නිල භාෂාව වන ස්පාඤ්ඤ භාෂාව කතා කරන්න දන්නේ නැහැ. එමෙන්ම ස්පාඤ්ඤ භාෂාව කතා කිරීමට යම් හැකියාවක් ඇති අයට පවා බයිබල් සත්‍යතා ඔවුන්ගේ මව්බසින් ඉගෙනගැනීම වඩාත් පහසු දෙයක්. (ක්‍රියා 2:6; 22:2) සමහරු බයිබලය අධ්‍යයනය කිරීමෙන් පසුව නොකඩවා වසර ගණනාවක් පුරා ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණ තිබුණත්, ඔවුන් ඉගෙනගත් දේ පිළිබඳව ඔවුන්ට තිබුණේ සීමිත අවබෝධයක්. එම නිසා තම මව්බසින් සත්‍යයේ පණිවිඩය දැනගැනීමට සලස්වන්න කියා ඔවුන් කාලාන්තරයක් පුරා දෙවිට යාච්ඤා කර තිබෙනවා.

එම අභියෝගයට මුහුණ දීමේ අරමුණින් මෙක්සිකෝවේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය ආදිවාසීන්ගේ භාෂාවලින් රැස්වීම් පැවැත්වීමට 1999දී පටන්ගත්තා. පරිවර්තන කණ්ඩායම් සකස් කරනු ලැබුවා. දෙදාහ වසර වන විට දිස්ත්‍රික් සමුළුවේ නාට්‍යය මායා බසින්ද, පසුව වෙනත් භාෂා කිහිපයකින්ද ඉදිරිපත් කිරීමට හැකි වුණා.

ඊළඟ පියවර වුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බයිබල් පාඩම් ආධාරක පොත් පත් පරිවර්තනය කිරීමේ අභියෝගය භාරගැනීමයි. පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න! නමැති විවරණිකාව වාවේ, මායා, මාසාටෙකෝ, ටොටොනාක්, ට්සෙල්ටාල් සහ ට්සෝට්සීල් යන භාෂාවලට මුලින්ම පරිවර්තනය කරනු ලැබුවා. ඒ භාෂාවලින් තවත් ප්‍රකාශන මුදාහරිනු ලැබූ අතර මායා බසින් අපගේ රාජ්‍යය සේවාව දිගටම පළ වුණා. සමහර ප්‍රකාශනවල ශ්‍රව්‍ය පටිගත කිරීම්ද කර තිබෙනවා. ආදිවාසීන්ට ඔවුන්ගේම භාෂාවෙන් කියවීමට හා ලිවීමට පුරුදු කිරීම සඳහා කියවීමට හා ලිවීමට පුරුදු වෙන්න යන නමින් විවරණිකාවක් දැන් ඔවුන්ගේ භාෂාවලට සකස් කරනු ලබනවා. දැනට ආදිවාසීන්ගේ භාෂා 15කින් බයිබල් පොත් පත් මුද්‍රණය කරනවා. ඉදිරියේදී තවත් ප්‍රකාශන මුදාහැරීමට නියමිතයි.

‘හැකි සෑම ප්‍රයත්නයක්ම දැරීම’

පරිවර්තනය කිරීමේ වැඩය පහසු එකක් වුණේ නැහැ. ඊට එක් හේතුවක් තමා මෙක්සිකෝවේ ආදිවාසීන්ගේ භාෂාවලින් පොත් පත් ඉතා සීමිත ප්‍රමාණයක් තිබීම. බොහෝ අවස්ථාවලදී ශබ්දකෝෂ සොයාගැනීම පවා ඉතාම අසීරු කාර්යයක් වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, සමහර භාෂා කතා කරන විදිහ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. උදාහරණයක් කියනවා නම්, සැපොටෙක් භාෂාව කතා කරන විදි අඩුම තරමින් පහක්වත් තියෙනවා. මෙම උපභාෂා එකිනෙකට කොතරම් වෙනස්ද කිවහොත් විවිධ ප්‍රදේශවල වෙසෙන සැපොටෙක්වරුන්ට එකිනෙකාගේ භාෂාව තේරෙන්නේ නැහැ.

තවදුරටත් යම් භාෂාවකට ස්ථිර ප්‍රමිති නැති අවස්ථාවලදී පරිවර්තකයන්ටම යම් ප්‍රමිති සකස් කරගන්නට සිදු වී තිබෙනවා. මේ සඳහා බොහෝ තොරතුරු සොයා බැලීමටත් කරුණු විමසා බැලීමටත් අවශ්‍ය වෙනවා. වාවේ පරිවර්තන කණ්ඩායමට අයත් එලිඩාට හැඟුණු ලෙසම ඔවුන්ගෙන් බොහෝදෙනෙකුටම හැඟීම පුදුමයක් නෙවෙයි! ඇය මෙහෙම පවසනවා. “පරිවර්තන වැඩවල සහභාගි වීම සඳහා මෙක්සිකෝවේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට මාව ආරාධනා කළාම මට සන්තෝෂයක් දැනුණා. ඒ වගේම මට භයකුත් දැනුණා.”

පරිවර්තකයන්ට පරිගණක භාවිත කිරීමටත්, කාලසටහනකට අනුව වැඩ කිරීමටත්, නියමාකාරයෙන් පරිවර්තනය කිරීමට උපකාරවත් වන ක්‍රම පුහුණු වීමටත් සිදු වෙනවා. ඇත්තෙන්ම මේ වැඩ කොටස ඔවුන්ට සෑහෙන්න අභියෝගයක් වී තිබෙනවා. ඒ ගැන ඔවුන්ට හැඟෙන්නේ කොහොමද? මායා පරිවර්තන කණ්ඩායමේ සාමාජිකාවක් වන ග්ලෝරියාගේ අදහසයි මේ. “අපේ මව්භාෂාවට, ඒ කියන්නේ මායා භාෂාවට බයිබල් ප්‍රකාශන පරිවර්තනය කිරීමේ හවුල් වීමෙන් අපට දැනෙන ප්‍රීතිය වචනවලින් විස්තර කරන්න බැහැ.” පරිවර්තන අංශයේ වැඩකටයුතු අධීක්ෂණය කරන සහෝදරයෙක් පරිවර්තකයන් ගැන කිව්වේ මෙයයි. “ඔවුන්ගේ මව්භාෂාවලින් බයිබල් පොත් පත් ලබාගැනීමට තිබෙන ආශාව කොතරම් බලවත් එකක්ද කිව්වොත්, ඒ අභියෝගයට මුහුණ දීම සඳහා ඔවුන් හැකි සෑම ප්‍රයත්නයක්ම දරනවා.” ඒ උත්සාහය මල්පල ගැන්වී තිබෙනවාද?

“යෙහෝවා, ඔබට ස්තුතියි!”

ආදිවාසී සමූහයන් වෙනුවෙන් කර තිබෙන වැඩයට යෙහෝවාගේ ආශීර්වාදය තිබෙන බව පැහැදිලියි. ක්‍රිස්තියානි රැස්වීම්වලටත් සමුළුවලටත් පැමිණෙන සංඛ්‍යාව දෙගුණ තෙගුණ වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් 2001දී මීකි භාෂාව කතා කරන සාක්ෂිකරුවන් 223දෙනා ක්‍රිස්තුස්ගේ මරණය සිහි කළා. ඊට පැමිණි මුළු සංඛ්‍යාව 1,674ක් වුණා. ඒ කියන්නේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව මෙන් හත් ගුණයකට වඩා වැඩි පිරිසක්!

දැන් සත්‍යය ඉගෙනගනිමින් සිටින අයට මුල ඉඳන්ම එය හරියාකාරව වටහාගැනීමට පුළුවන්. මායා බසින් රැස්වීම් පැවැත්වීම පටන්ගන්න පෙර මර්නාට මෙයයි සිදු වුණේ. “බයිබලය පාඩම් කරන්න පටන්ගෙන මාස තුනකින් මම බව්තීස්ම වුණා. මම බව්තීස්ම විය යුතු බව මම දැනගෙන හිටියා. හැබැයි බයිබල් සත්‍යයන් මට හරියටම තේරුණේ නැති බව මම පිළිගන්න ඕනේ. මම හිතනවා ඒකට හේතුව මට ස්පාඤ්ඤ භාෂාව හරියට තේරුම්ගන්න බැරිවීමයි. මොකද මායා භාෂාව තමයි මගේ මව්බස. සත්‍යයේ නියම අර්ථය වටහාගැනීමට මට ටික කාලයක් ගත වුණා.” අද, ඇයයි ඇගේ ස්වාමිපුරුෂයායි මායා පරිවර්තන කණ්ඩායමේ සේවය කිරීමට ලැබීම ගැන සන්තෝෂ වෙනවා.

සභාවල සිටින අය තමන්ගේම භාෂාවලින් ප්‍රකාශන ලබාගැනීමට හැකිවීම ගැන ඉමහත් සේ සතුටු වෙනවා. පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න! යන විවරණිකාව ට්සෝට්සීල් භාෂාවට පරිවර්තනය කිරීමෙන් පසුව මුල් වතාවට මුදාහැරිය විට, ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙමින් සිටි එක්තරා කාන්තාවක් එය දෑතින් තුරුල් කරගෙන “යෙහෝවා, ඔබට ස්තුතියි!” කියලා කිව්වා. බොහෝ බයිබල් ශිෂ්‍යයන් වැඩි වේගයකින් බව්තීස්මය දක්වා දියුණු වී තිබෙන බවත්, අක්‍රියාශීලී ප්‍රචාරකයන් නැවත ක්‍රියාශීලී වෙමින් සිටින බවත්, සභාව තුළ වගකීම් භාරගැනීමට සුදුසු තත්වයක තමන් සිටින බව දැන් බොහෝ ක්‍රිස්තියානි සහෝදරයන්ට දැනෙන බවත් වාර්තා පෙන්වනවා. බයිබල් පොත් පත් තම මව් භාෂාවෙන් තිබෙන නිසා සමහර ගෙවැසියන් ඒවා ලබාගෙන අධ්‍යයනය කිරීමට දැන් කැමැත්තක් දක්වනවා.

එක්තරා සාක්ෂිකාරියක් බයිබල් පාඩමක් පවත්වන්න නිවසකට ගියා. නමුත් ශිෂ්‍යයාව ගෙදර හිටියේ නැහැ. ඇගේ ස්වාමිපුරුෂයා දොර ගාවට ආවාම, විවරණිකාවකින් යමක් ඔහුට කියවන්න සාක්ෂිකාරිය ඉදිරිපත් වුණා. “මට අහන්න ඕනේ නැහැ” කියා ඔහු කිව්වා. එවිට ඒ සහෝදරී, ටොටොනාක් භාෂාවෙන් කතා කරලා විවරණිකාව ඔවුන්ගේම භාෂාවෙන් තියෙනවා කියා ඔහුට කිව්වා. එය ඇසූ විට ඒ මිනිසා බංකුවක් ඇදලා වාඩි වුණා. ඇය කියවන ගමන් ඔහු “ඒක ඇත්තයි. ඔව්, ඒක නම් ඇත්තම තමයි” කියා කිව්වා. ඔහු දැන් ක්‍රිස්තියානි රැස්වීම්වලට එනවා.

යූක්ටාන් ප්‍රාන්තයේ වෙසෙන සාක්ෂිකාරියකගේ ස්වාමිපුරුෂයා සත්‍යයට විරුද්ධ වූ අතර සමහර අවස්ථාවලදී ඇය රැස්වීම් ගිහින් ගෙදර ආවාම ඔහු ඇයට ගැහැව්වා. මායා භාෂාවෙන් රැස්වීම් පවත්වන්න පටන්ගත් විට ඔහුව ආරාධනා කිරීමට ඇය තීරණය කළා. ඔහු පැමිණ, ලොකු සතුටකුත් ලැබුවා. දැන් ඔහු නිතිපතා රැස්වීම්වලට යනවා. ඒ විතරක් නෙවෙයි, දැන් බයිබලය පාඩම් කරමින් සිටින නිසා ඔහු භාර්යාවට ගහන්නෙත් නැහැ.

ටොටොනාක් භාෂාව කතා කරන මිනිසෙක් තමා කවදාවත් යාච්ඤා නොකරන බව සාක්ෂිකරුවන් දෙදෙනෙකුට පැවසුවා. දෙවි ඇහුම්කන් දෙන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් කරන යාච්ඤාවලට විතරක් බව කතෝලික පූජකයා ඔහුට කියා තිබුණා. ඇත්තෙන්ම කියනවා නම්, ටොටොනාක්වරුන් වෙනුවෙන් යාච්ඤා කිරීම සඳහා පූජකයාට ගෙවන්න ඔහුට සිදු වෙලා තිබුණා. දෙවි සියලුම භාෂාවලින් කරන යාච්ඤාවලට සවන් දෙන බව සාක්ෂිකරුවන් ඔහුට පැවසුවා. ඔවුන් ටොටොනාක් බසින් විවරණිකාවක් ඔහුට ඉදිරිපත් කළ අතර, ඔහු එය ඉතා සන්තෝෂයෙන් පිළිගත්තා.—2 ලේකම් 6:32, 33; ගීතාවලිය 65:2.

“කූආල්ට්සීන් ටාක්ටෝඌවා”

මෙම සිදුවීම් දැකීමෙන් ප්‍රීතියෙන් ඉපිල ගොස් සිටින රාජ්‍ය ප්‍රචාරකයන්ගෙන් බොහෝදෙනෙක් ආදිවාසීන්ගේ භාෂාවක් ඉගෙනගැනීමට මහන්සියක් දරනවා. එහෙමත් නැත්නම් එම භාෂාවලින් එකක් ගැන තමන්ට තිබෙන දැනුම වැඩි කරගැනීමට උත්සාහ කරනවා. උතුරු ප්විබ්ලා ප්‍රාන්තයේ නහුවාට්ල් භාෂාව කතා කරන සභා පහක සේවය කරන චාරිකා අවේක්ෂකයෙක් කරන්නේ එයයි. ඔහු මෙසේ පවසනවා. “සාමාන්‍යයෙන් රැස්වීමේදී නිදි කිරා වැටෙන ළමයි මම නහුවාට්ල් භාෂාවෙන් කතා කරන විට හොඳට සවන් දෙනවා. එක්තරා රැස්වීමක අවසානයේදී, අවුරුදු හතරක් වයසැති පිරිමි ළමයෙක් මා ළඟට ඇවිත් ‘කූආල්ට්සීන් ටාක්ටෝඌවා’ (ඔයා ලස්සනට කතා කරනවා) කියලා කිව්වා. මගේ මහන්සිය වතුරේ ගියේ නැහැ කියලා මට හැඟුණා.”

ඇත්තෙන්ම ආදිවාසීන් ඉන්න ක්ෂේත්‍රය ‘අස්වැන්න නෙළීම සඳහා හොඳින් පැසී තිබෙනවා.’ එම නෙළීමේ වැඩෙහි සහභාගි වන සියල්ලන්ටම ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. (යොහන් 4:35) පරිවර්තන කණ්ඩායම් සංවිධානය කිරීමට වැඩ කළ රොබර්ටෝ කෙටියෙන් කියන්නේ මෙයයි. “අපගේ සහෝදර සහෝදරියන් තමන්ගේ මව්බසින් සත්‍යයට සවන් දී එහි අර්ථය වටහාගනිද්දී ඔවුන්ගේ ඇස්වලින් ගලන සතුටු කඳුළු අමතක කළ නොහැකි දර්ශනයක්. ඒ ගැන සිතද්දී පවා මට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ.” ඒ වගේම මෙම අවංක අයට රාජ්‍යය සම්බන්ධයෙන් ස්ථාවරයක් ගැනීමට උපකාර කිරීම යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කරන දෙයක් වන බවට කිසිම සැකයක් නැහැ.—හිතෝපදේශ 27:11.

[10, 11වන පිටුවේ කොටුව]

පරිවර්තකයන් කීපදෙනෙකුව හමු වෙමු

● “මට මතක ඇති කාලයේ ඉඳන් මගේ දෙමව්පියන් මට සත්‍යය ඉගැන්නුවා. මට අවුරුදු 11ක් වෙද්දී මගේ තාත්තා ක්‍රිස්තියානි සභාවෙන් ඉවත් වීම ඇත්තටම කනගාටුදායකයි. අවුරුදු දෙකකට පසුව අම්මා අපිව අත්හැරලා ගියා. තවමත් පාසැල් යමින් සිටියත්, දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වන මට අම්මාගේ වගකීම් භාරගන්න සිදු වුණා.

“අපගේ ආත්මික සහෝදර සහෝදරියන්ගේ ප්‍රේමණීය උපකාරය අපි ලැබුවා. නමුත් අපේ ජීවිතය පහසු එකක් වුණේ නැහැ. මම මෙහෙම කල්පනා කළ අවස්ථා තිබුණා. ‘මෙච්චර පොඩි කාලේදීම ඇයි මට මේ වගේ දේවල් වෙන්නේ?’ මට ඒ තත්වයට මුහුණ දෙන්න පුළුවන් වුණේ යෙහෝවාගේ උපකාරය නිසයි. උසස් පෙළ සමත් වීමෙන් පසුව මම පූර්ණ කාලීන දේවසේවය කරන්න පටන්ගත්තා. ඒක මට ලොකු පිටුවහලක් වුණා. නාහුවාට්ල් පරිවර්තන කණ්ඩායම සකස් කළ කාලයේදී එහි සාමාජිකාවක් වීමට මට ආරාධනයක් ලැබුණා.

“දැන් මගේ තාත්තා නැවතත් සභාව සමඟ ආශ්‍රය කරනවා. මගේ නංගිලා මල්ලිලාත් යෙහෝවාට සේවය කරනවා. යෙහෝවාට විශ්වාසවන්තව සිටීම සඳහා මම දැරූ වෑයමට ලැබූ ප්‍රතිඵල මට ගොඩාක් වටිනවා. යෙහෝවා මගේ පවුලට බොහෝ සෙයින් ආශීර්වාද කර තිබෙනවා.”—ඇලිස්යා.

● “මගේ පන්තියේ සාක්ෂිකාර මිතුරියක් ජීවයේ මූලාරම්භය ගැන කතාවක් ඉදිරිපත් කළා. මට එදා ඒ පන්තියට යන්න බැරි වුණා. විභාගෙට ඒ ගැන ප්‍රශ්න ආවොත් මට පිළිතුරු ලියන්න බැරි වෙයි කියා සිතූ නිසා ඒ විස්තර මට කියා දෙන්න කියලා මම ඇයට කිව්වා. මිනිස්සු මිය යන්නේ ඇයි කියන එක මගේ හිතට නිතර වද දුන්න ප්‍රශ්නයක්. ඇය මට මැවීම පොත * දීලා මා සමඟ බයිබල් පාඩමක් කිරීමට ඉදිරිපත් වූ විට මම ඒකට කැමති වුණා. මැවුම්කරුගේ අරමුණ හා ප්‍රේමය මගේ සිතට ලොකු බලපෑමක් ඇති කළා.

“මගේ පාසැල් ජීවිතය අවසන් වුණාම මට අවස්ථාවක් ලැබුණා ස්පාඤ්ඤ හා ට්සෝට්සීල් භාෂා උගන්වන ගුරුවරයෙක් වීමට. නමුත් ඒක භාරගත්තා නම් ඈත ප්‍රදේශයක පදිංචියට යෑමටත්, සති අන්තවලදී අමතර පන්තිවලට යෑමටත් සිදු වන නිසා ක්‍රිස්තියානි රැස්වීම් අතපසු කිරීමට මට සිදු වෙනවා. ඉතින් ඒ නිසා මම ඒ වෙනුවට මේසන් වැඩ කළා. මගේ තාත්තා සාක්ෂිකාරයෙක් නෙවෙයි. ඔහු මගේ තීරණයට කොහෙත්ම කැමති වුණේ නැහැ. පසු කලක මම පුරෝගාමි දේවසේවකයෙකු ලෙස සේවය කරමින් සිටි කාලයේදී, ට්සෝට්සීල් භාෂාවට බයිබල් පොත් පත් පරිවර්තනය කිරීම සඳහා කණ්ඩායමක් සංවිධානය කරනු ලැබුවා. ඒ වැඩයෙහි හවුල් වීමට මා තුළ ලොකු ආශාවක් ඇති වුණා.

“අපගේ සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ මව් භාෂාවෙන් ප්‍රකාශන ලැබෙද්දී ඔවුන්ව වටිනා අය හැටියට සලකනවා යන හැඟීම ඔවුන්ට ඇති වෙන බව දැන් මට තේරෙනවා. ඒකෙන් මම ගොඩාක් සෑහීමට පත් වෙනවා. මගේ පැවරුම මට ලැබී තිබෙන උතුම් ගෞරවයක් හැටියට මම සලකනවා.”—ඌම්බර්ටෝ.

● “මට වයස අවුරුදු හයේදී මගේ අම්මා අපිව දාලා ගියා. මගේ තරුණ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක තාත්තා පාඩමක් පටන්ගත්තා. එක දවසක් මා සමඟ බයිබල් පාඩමක් කිරීමට එක්තරා සහෝදරියක් ඉදිරිපත් වුණා. ඒ පාඩම කරද්දී තරුණ අයට ප්‍රයෝජනවත් වන උපදෙස් අපි සාකච්ඡා කළා. මවක් නොමැතිව තරුණ වියට මුහුණ දෙමින් සිටි මට මේක අත්‍යවශ්‍ය දෙයක් කියලා මට හිතුණා. වයස අවුරුදු 15දී මම බව්තීස්ම වුණා.

“මගේ තාත්තාගේ ඉඩම අයිති කරගන්න උත්සාහ කළ නපුරු මිනිස්සු වගයක් 1999දී තාත්තාව මරලා දැම්මා. මගේ මුළු ලෝකයම කඩා වැටුණා. මම මානසිකව කොතරම් වැටුණාද කිව්වොත් තවදුරටත් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා මට හිතුණා. ඒත් මම ශක්තිය ඉල්ලමින් නොකඩවා යෙහෝවාට යාච්ඤා කළා. සංචාරක අවේක්ෂක හා ඔහුගේ බිරිඳ මාව හුඟාක් දිරිගැන්නුවා. ටික කලකින් මම ස්ථාවර පුරෝගාමියෙක් වුණා.

“එක දවසක් මම දැක්කා, තමන්ට තේරෙන්නේ නැති ස්පාඤ්ඤ භාෂාවෙන් පැවැත්වෙන රැස්වීමකදී ටොටොනාක් භාෂාවෙන් ඉදිරිපත් කරන විනාඩි 20ක කතාවකට සවන් දීම සඳහා පැය හයක් පයින් ගමන් කළ එක්තරා පිරිසක්ව. ඉතින් ටොටොනාක් භාෂාවට බයිබල් ප්‍රකාශන පරිවර්තනය කිරීමේ සහය වීමට මට ආරාධනා කළ විට මට දැනුණු ප්‍රීතිය කියා නිම කරන්න බැහැ.

“කවදාහරි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කිරීම මගේ සිහිනයක් වූ බව මම මගේ තාත්තාට කියලා තිබුණා. මං වගේ අවිවාහක තරුණියකට ඒක පහසු දෙයක් නොවන බව ඔහු මට කීවා. අපේ භාෂාවට බයිබල් පොත් පත් පරිවර්තනය කිරීමේ හවුල් වීම නිසා මට ඒක කරන්න පුළුවන් වුණා කියල නැවත නැඟිටින විට තාත්තා දැනගත්තාම ඔහු මොන තරම් ප්‍රීති වෙයිද!”—එඩිට්.

[පාදසටහන]

^ 28 ඡේ. “ජීවය—මෙහාට පැමිණියේ කෙසේද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? වර්ෂ 1985දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් නිකුත් කළ ප්‍රකාශනයක්.—සිංහලෙන් නැත.

[9වන පිටුවේ පින්තූරය]

පරිවර්තනය කිරීමට අමාරු වචනයක් ගැන සාකච්ඡා කරමින් සිටින ට්සොට්සිල් පරිවර්තන කණ්ඩායමේ සාමාජිකයෝ