Skip to content

පටුනට යන්න

බයිසැන්තියානු පල්ලිය හා අධිරාජ්‍යය

බයිසැන්තියානු පල්ලිය හා අධිරාජ්‍යය

බයිසැන්තියානු පල්ලිය හා අධිරාජ්‍යය

ක්‍රිස්තියානි ධර්මය ස්ථාපිත කළ තැනැත්තා, දෙවිගෙන් විදේශී වූ මනුෂ්‍යයන්ගෙන් සමන්විත ලෝකය හා ඔහුගේ අනුගාමිකයන් අතර තිබිය යුතු කැපීපෙනෙන වෙනස පැහැදිලි කළේ කිසිම අනුමානයකින් තොරවයි. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ, “ඔබ ලෝකයේ කොටසක්ව සිටියා නම්, ලෝකයා තමන් සතු දෙයට ඇලුම් කරනවා ඇත. නමුත් ඔබ ලෝකයේ කොටසක් නොවන නිසාත්, මා ඔබව ලෝකයෙන් වෙන් කොට තෝරාගෙන තිබෙන නිසාත් ලෝකය ඔබට වෛර කරන්නේය” කියායි. (යොහන් 15:19, NW) “මාගේ රාජ්‍යය මෙලොවින් නොවේය” කියා යේසුස් ඒ වන විට බලයේ සිටි දේශපාලනික ක්‍රමය නියෝජනය කළ පිලාත්ට පැවසුවා.—යොහන් 18:36.

“පොළොවේ සීමාව දක්වා” දේශනා කිරීමට තමන්ට තිබූ වගකීම ඉටු කිරීම සඳහා ලෞකික කාරණාවලින් තමන්ගේ අවධානය වෙනතකට යොමු නොවීමට ක්‍රිස්තියානීන් වගබලා ගත යුතු වුණා. (ක්‍රියා 1:8) යේසුස් හා සමානව මුල් ක්‍රිස්තියානීනුත් දේශපාලනයට කොහෙත්ම සම්බන්ධ වුණේ නැහැ. (යොහන් 6:15) ක්‍රිස්තියානීන් රජයේ නිලතල හෝ පරිපාලනය හා සම්බන්ධ තනතුරු හෙබවීමෙන් වැළකී සිටි බව පැහැදිලිව පෙනෙන්ට තිබුණා. කනගාටුදායක ලෙස, කාලයාගේ ඇවෑමෙන් මෙම තත්වය වෙනස් වුණා.

“ලෝකයේ කොටසක්”

ප්‍රේරිතයන් සියලුදෙනාගේම මරණින් ටික කලක් ගත වූ පසු ආගමික නායකයන් ලෝකය සමඟ සම්බන්ධකම් පැවැත්වීම පිළිබඳ තමන්ගේ දෘෂ්ටිය කැමැත්තෙන්ම වෙනස් කරගැනීමට පටන්ගත්තා. ඔවුන් සිහින මවන්න පටන්ගත්තේ ලෝකය තුළ පවතින ‘රාජ්‍යයක්’ ගැන මෙන්ම ලෝකයේ කොටසක්ව තිබූ රාජ්‍යයක් ගැනයි. මෙහිදී රෝම අධිරාජ්‍යයේ පෙරදිග කොටස වූ බයිසැන්තියානු අධිරාජ්‍යය තුළ ආගම දේශපාලනය සමඟ අත් වැල් බැඳගත් ආකාරය සලකා බැලීම යෝග්‍යයි. මෙම අධිරාජ්‍යයේ අගනුවර වූයේ (අදදින ඉස්තාන්බුල් වශයෙන් හඳුන්වන) බයිසැන්තියම නම් නගරයයි.

බයිසැන්තියානු පල්ලිය බයිසැන්තියම එහි කේන්ද්‍රස්ථානය කරගෙන තිබුණා. සම්ප්‍රදායානුකූලව බයිසැන්තියානු සමාජය ආගමට විශේෂ ලැදියාවක් දැක්වූ නිසා පල්ලිය ඒ මත විශාල බලපෑමක් ඇති කළා. ක්‍රිස්තියානි සභාව පිළිබඳ ඉතිහාසඥයෙක් වන පැනැයෝටීස් ක්‍රිස්ටූ වරක් මෙසේ පැවසුවා. “බයිසැන්තියානු ජාතිකයන් තම භූමික අධිරාජ්‍යය සැලකුවේ දේවරාජ්‍යයේ ප්‍රතිමූර්තියක් ලෙසයි.” කොහොම වුණත්, අධිරාජ්‍යයා නම් සැමවිටම එම අදහසට එකඟ වූයේ නැහැ. එමනිසා ඇතැම් අවස්ථාවලදී පල්ලිය හා අධිරාජ්‍යය අතර විශාල ඝට්ටන ඇති වුණා. බයිසැන්තියම පිළිබඳ ඔක්ස්ෆඩ් ශබ්දකෝෂයට (සිංහලෙන් නොමැත) අනුව, “කොන්ස්තන්තිනෝපලයේ [බයිසැන්තියමේ] රදගුරුවරුන්ගේ හැසිරීම විවිධාකාර විය. ඔවුන් අතර බලවත් පාලකයන්ට නිවට ලෙස යටත් වූ, . . . අධිරාජ්‍යයා සමඟ සාර්ථක ලෙස අත් වැල් බැඳගත් අය මෙන්ම, . . . නිර්භයව අධිරාජ්‍යයාගේ අභිප්‍රායට විරුද්ධ වූ අයද සිටියහ.”

පෙරදිග [ඕතඩොක්ස්] පල්ලිවල ප්‍රධානියා බවට පත් වූ කොන්ස්තන්තිනෝපලයේ අගරදගුරු ඉතා බලවත් කෙනෙක් වුණා. අගරදගුරු විසින් අධිරාජ්‍යයාට ඔටුනු පැළඳුවේ අධිරාජ්‍යයා ඕතඩොක්ස් පල්ලියේ ප්‍රබල ආරක්ෂකයෙකු වේවිය යන බලාපොරොත්තුව ඇතුවයි. පල්ලියේ දේපළ සම්භාරයක් අගරදගුරුගේ අණසක යටතේ තිබූ නිසා ඔහු ඉතා ධනවත් පුද්ගලයෙක්ද වුණා. ඔහු මෙතරම් බලවත් වීමට එක් හේතුවක් වූයේ අසංඛ්‍යාත ගණන් පැවිද්දන් කෙරෙහි තිබූ අධිකාරිය හා ගිහියන් කෙරෙහි බලපෑම් කිරීමට ඔහු සතුව තිබූ හැකියාවයි.

බොහෝවිට අගරදගුරුට බලය තිබුණා අධිරාජ්‍යයාගේ අදහස්වලට විරුද්ධ වීමට. පල්ලියෙන් නෙරපන බවට තර්ජනය කරමින් හෝ වෙනයම් ක්‍රමයකින් අධිරාජ්‍යයාව සිහසුනෙන් ඉවත් කිරීමට අගරදගුරුට බලය තිබුණු අතර ඔහු බොහෝවිට තම අභිප්‍රාය ඉටු කරගත්තේ දෙවිගේ නාමයෙන් තමන් කටයුතු කරනවා යන්න අතකොළුවක් කරගනිමිනුයි.

අගනුවරෙන් පිට පළාත්වල සිවිල් පරිපාලනය ක්‍රමක්‍රමයෙන් නැති වී යනවාත් සමඟම රදගුරුවරුන් තමන්ගේ නගරවල බලවත්ම පුද්ගලයන් බවට පත් වුණා. ඇත්තෙන්ම තමන් තෝරා පත් කිරීමට උපකාර කළ පළාත් ආණ්ඩුකාරයන් තරම්ම ඔවුන් බලවත් වුණා කියා පැවසිය හැකියි. පල්ලිය හා සම්බන්ධ වූ නඩු විභාගවලට හා ව්‍යාපාර කටයුතුවලට රදගුරුවරුන් මැදිහත් වුණා. ඇතැම්විට පල්ලියට සම්බන්ධ නැති අවස්ථාවලදී පවා ඔවුන් එම කාරණාවලට ඇඟිලි ගැසුවා. මෙයට එක් හේතුවක් වූයේ ප්‍රාදේශීය රදගුරුවරුන්ට යටත් වූ පූජකයන් හා පැවිද්දන් දසදහස් ගණනක් සිටීමයි.

දේශපාලනය හා සිමෝනියාව

ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වන්නේ පූජක පදවිය හා දේශපාලනය අතර බිඳිය නොහැකි සම්බන්ධයක් තිබූ බවයි. ඒ වගේම පූජකයන් විශාල සංඛ්‍යාවක් නඩත්තු කිරීම සඳහාත් ඔවුන්ගේ ආගමික ක්‍රියාකාරකම් සඳහාත් විශාල මුදලක් වැය වුණා. ඉහළ පෙළේ පූජකයන් ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කළා. පල්ලියේ බලය හා ධනය වැඩි වෙත්ම අපෝස්තලික ජීවිතයට ආවේණික වූ දිළිඳුකම විතරක් නෙවෙයි ශ්‍රද්ධාවත්බවත් අතුරුදහන් වී ගියා. ඇතැම් පූජකවරුන් හා රදගුරුවරුන් තම පදවි ලබාගත්තේ මුදලටයි. සිමෝනියාව වශයෙන් හඳුන්වන මෙම පුරුද්ද සුලභ දෙයක් බවට පත් වූ අතර පල්ලියේ ඉහළතම පදවි ලබාගත් අය අතරත් එය දක්නට ලැබුණා. මහජනයාව හා උසස් නිලධාරීන්ව තමන්ගේ ඉත්තන් කරගැනීමට උත්සාහ කළ ධනවතුන්ගේ අනුබලය දිනාගෙන සිටි පූජකයන් පදවි ලබාගැනීම සඳහා අධිරාජ්‍යයා ඉදිරියේ එකිනෙකා සමඟ තරඟ වැදුණා.

ජ්‍යේෂ්ඨ ආගමික නායකයන්ට බලපෑම් කළ හැකි තවත් ක්‍රමයක් වූයේ අල්ලසක් දීමයි. සොඊ අධිරාජිනිය (පො. යු. 978-1050 පමණ) ඇගේ ස්වාමිපුරුෂයා වූ IIIවන රොමානස්ව මරණයට පත් කළා. ඇගේ අදහස වූයේ තම පෙම්වතා වන IVවන මයිකල්ව විවාහ කරගෙන ඔහුව අධිරාජ්‍යයා බවට පත් කිරීමයි. එම අභිප්‍රාය ඉටු කරගැනීමට ඇය විගස අගරදගුරු ඇලෙක්සියස්ව රජ මාළිගාවට කැඳෙව්වා. එහිදී රොමානස්ගේ මරණය ගැන සඳහන් කිරීමෙන් පසු පෙම්වතුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය පවත්වන මෙන් අගරදගුරුගෙන් ඉල්ලා සිටිනු ලැබුවා. එදින සවස පල්ලියේ මහ සිකුරාදා සිහි කිරීමට තිබූ බැවින් ඇලෙක්සියස්ට මෙය ඉටු කිරීම පහසු දෙයක් නොවුණත්, අධිරාජිනියගෙන් ලැබූ තෑගි බෝග කන්දරාව පිළිගනිමින් ඔහු ඇගේ කැමැත්ත ඉටු කළා.

අධිරාජ්‍යයාට ගැතිකම් පෑම

බයිසැන්තියානු අධිරාජ්‍ය සමයේ ඇතැම් වකවානුවලදී, කොන්ස්තන්තිනෝපලයේ අගරදගුරුව පත් කිරීම සඳහා අධිරාජ්‍යයා තමා සතු පූර්ණ බලතල යොදාගත්තා. ඒ කාලයේදී කිසිවෙකුට අධිරාජ්‍යයාගේ අනුමැතිය නොමැතිව අගරදගුරු පදවිය ලබාගැනීමට නොහැකි වූ අතර කලාතුරකින් එවැන්නක් සිදු වූවා නම් අගරදගුරුට තම පදවිය දැරීමට හැකි වූයේ සුළු කාලයක් පමණයි.

දෙවන ඇන්ඩ්‍රොනිකස් (1260-1332) අධිරාජ්‍යයා නව වතාවක්ම අගරදගුරුව වෙනස් කළා. එවන් අවස්ථා බොහොමයකදී අධිරාජ්‍යයාගේ අරමුණ වූයේ තමාට පහසුවෙන්ම නම්මවාගත හැකි පුද්ගලයාව අගරදගුරු ලෙස සිහසුනට පත් කිරීමයි. බයිසැන්තියානුවන් (සිංහලෙන් නොමැත) යන කෘතියට අනුව “ඔහුගේ සෑම ඉල්ලීමක්ම ඉටු කරන බවටත්, ඒවා කොතරම් නීති විරෝධී වුවත් එසේ කරන බවටත්, ඔහුව අසතුටට පත් කරන කිසිවක් නොකරන බවටත්” එක් අගරදගුරු කෙනෙක් අධිරාජ්‍යයාට ලිපියක් මාර්ගයෙන් පොරොන්දු වුණා. අවස්ථා දෙකකදී අධිරාජ්‍යයන් රජ පවුලේ කෙනෙකුව අගරදගුරු බවට පත් කර, පල්ලිය කෙරෙහි බලය පවත්වමින් තමන්ගේ අභිප්‍රායන් ඉටු කරගැනීමට වෑයම් කළා. පළමුවන රොමානස් තම දහසය හැවිරිදි පුත් තියොෆිලක්ට්ව පවා අගරදගුරු බවට පත් කළා.

රජුගේ අභිප්‍රායන් ඉටු කරන්න අගරදගුරු අසමත් වූවා නම් තම පදවියෙන් ඉල්ලා අස් වෙන්න කියා බලපෑම් කිරීමට හෝ ඔහුව ඉවත් කරන්න කියා මන්ත්‍රණ සභාවකට උපදෙස් දීමට රජු පෙලඹුණා. බයිසැන්තියම නම් කෘතියෙහි මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ මෙලෙසයි. “රදගුරුවරුන් පත් කිරීමේදී ඉහළ පෙළේ බලධාරීන් හා ඍජු ලෙස බලපෑම් කළ අධිරාජ්‍යයා පවා අතිවැදගත් කාර්යයක් ඉටු කිරීමට පටන්ගත් බවත් ඔවුන්ගේ බලපෑම ක්‍රමක්‍රමයෙන් වැඩි වූ බවත් බයිසැන්තියානු ඉතිහාසය කියාපායි.”

අගරදගුරු තමා අසල සිටියදී අධිරාජ්‍යයා පල්ලියේ මහා මන්ත්‍රණ සභාවලදී මූලිකත්වය දැරුවා. වාද විවාද මෙහෙයවීම, විශ්වාසයන් ඇතුළත් ලියවිලි සකස් කිරීම, රදගුරුවරුන් මෙන්ම පල්ලියේ ඉගැන්වීම්වලට විරෝධය පෑ අය සමඟ වාද කිරීම වැනි දේවලුත් ඔහු විසින් කරනු ලැබුවා. මෙසේ, පල්ලියේ ඉගැන්වීම්වලට විරෝධය පෑ අය සමඟ වාද කිරීමේ අවසන් පියවර වූයේ ඔවුන්ව වද කණුවේ එල්ලා මැරීමයි. මහා මන්ත්‍රණ සභාවලදී තෝරාගත් නීති පද්ධතීන් ස්ථිර කළේත් ක්‍රියාත්මක කළේත් අධිරාජ්‍යයායි. තමාට විරුද්ධ වූ සෑම කෙනෙකුම රාජ්‍ය ද්‍රෝහියෙකු බවටත් පල්ලියේ හා දෙවිගේ සතුරෙකු බවටත් ඔහු චෝදනා කළා. හයවන සියවසේ විසූ එක් අගරදගුරු කෙනෙක් පැවසුවේ “අධිරාජ්‍යයාගේ අභිප්‍රායට හා අණ පනත්වලට එරෙහිව යන කිසිවක් පල්ලිය විසින් නොකළ යුතු” බවයි. සාමාන්‍යයෙන් රජ මැදුරේ නිතර ගැවසුණු රදගුරුවරුනුත් තම ප්‍රධානියා හා සමානව කිසිවිටෙක අධිරාජ්‍යයාට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඔවුන් බොහෝවිට සටකපට හා පහසුවෙන්ම නම්මවාගත හැකි ‘එහෙයියන්’ වූ අතර යමෙකු යටි කූට්ටු ලෙස තම වාසිය තකා ඔවුන්ට කළ උදව් උපකාර හා ගනු දෙනුවල බලපෑමට පහසුවෙන්ම හසු වූ අය වුණා.

නිදසුනකට, අගරදගුරු ඉග්නේෂස් (පො.යු. 799-878 පමණ) ප්‍රධාන ඇමති වූ බර්ඩාස්ට දිව්‍ය සත්ප්‍රසාද දීම ප්‍රතික්ෂේප කළ විට ඇමති විසින් ඔහුට විරුද්ධව පියවර ගත්තා. ඉග්නේෂස් රාජ්‍ය ද්‍රෝහියෙකු බවත් ඔහු විසින් කුමන්ත්‍රණයක් දියත් කර තිබූ බවත් බර්ඩාස් චෝදනා කළා. අත්අඩංගුවට ගනු ලැබූ අගරදගුරුව පිටුවහල් කරනු ලැබුවා. ඔහුගේ තැන ගැනීම සඳහා ෆෝෂියස් නම් ගිහියෙක්ව පත් කිරීමට ඇමති පියවර ගත්තා. ෆෝෂියස් දවස් හයකින් පල්ලියේ ලබාගත හැකි සෑම පදවියක්ම ලබාගෙන අවසානයේදී එහි හිණිපෙත්තටම නඟිමින් අගරදගුරු බවට පත් වුණා. මෙම ආගමික නිලය දැරීම සඳහා ෆෝෂියස්ට අවශ්‍ය සුදුසුකම් තිබුණාද? ඔහුව විස්තර කර ඇත්තේ “අයථා ක්‍රමවලින් ඉහළම නිලතල ලබාගැනීමට දැඩි ගිජුකමක් දැක්වූ, අසාමාන්‍ය ලෙස අහංකාර වූ, දේශපාලනය අතින් අතිදක්ෂ” කෙනෙකු වශයෙන්.

දේශපාලනයට කත් ඇද්ද මූලධර්ම

ඕතඩොක්ස් ඉගැන්වීම් හා පල්ලියේ ඉගැන්වීම්වලට විරෝධි වූවන්ගේ අදහස් පිළිබඳව ඇති වූ වාද විවාදවල පිටුපස තිබුණේ දේශපාලනික ගැටුම්. ඒ වගේම බොහෝ අධිරාජ්‍යයන්ට වුවමනා වුණේ අලුත් මූලධර්ම හඳුන්වා දීමට වඩා දේශපාලනික කාරණා එළි දැක්වීමටයි. පොදුවේ ගත් කල, පල්ලියේ මූලධර්ම ස්ථාපිත කිරීමට හා පල්ලිය තම අණසක යටතේ තබාගනිමින් එහි පූර්ණ කීකරුකම බලෙන් ලබාගැනීමට තමන් සතු අයිතිය අධිරාජ්‍යයා රැකගත්තා.

නිදසුනකට, යේසුස්ගේ ස්වභාවය පිළිබඳව හටගෙන තිබූ මතභේදයක් විසඳීමට හෙරැක්ලියස් (පො.යු. 575-641) දැඩි වෑයමක් දැරුවේ, ඒ වන විටත් පීඩිතව තිබූ ඔහුගේ දුර්වල අධිරාජ්‍යය භේද භින්න කරලීමට එම මතභේදය ඉවහල් වීමට ඉඩ තිබූ නිසයි. ප්‍රශ්නය සමථයකට පත් කිරීමේ අදහසින් ඔහු ඒකක්‍රතූවාදය (Monothelitism) a වශයෙන් හඳුන්වන අලුත් මූලධර්මයක් ඉදිරිපත් කළා. ඉන්පසු තම අධිරාජ්‍යයේ දකුණු පළාත්වල පක්ෂපාතිත්වය ස්ථිර කරගැනීම සඳහා මෙම අලුත් මූලධර්මයට අනුමැතිය දුන් ෆසීස්හි සයිරස්ව ඇලෙක්සැන්ඩ්‍රියාවේ අලුත් අගරදගුරු වශයෙන් පත් කරනු ලැබුවා. සයිරස්ට අගරදගුරු පදවිය පිරිනැමුවා විතරක් නෙවෙයි, ඔහුව ඊජිප්තුවේ ප්‍රාදේශීය පාලකයන්ගේ පළාත් ප්‍රධානියා බවටත් පත් කළා. සුළු වශයෙන් හිංසා කරමින් පීඩනයක් එල්ල කළ සයිරස් ඊජිප්තු පල්ලියේ වැඩි කොටසකගේ අනුමැතිය දිනාගැනීමට සමත් වුණා.

තික්ත ඵලදාවක්

මෙම සිද්ධීන් හා ඒවා විකාශනය වූ ආකාරය, තම අනුගාමිකයන් ‘ලෝකයේ කොටසක් නොවේ’ යනුවෙන් යේසුස් පැවසූ යාච්ඤාවේ වචනවලට හා එහි පණිවිඩයට එකඟ වූවා කියා පවසන්නේ කොහොමද?—යොහන් 17:14-16, NW.

මේ ලෝකයේ දේශපාලනික හා හමුදාමය කටයුතුවලට ඇඟිලි ගැසීම හේතුවෙන් බයිසැන්තියානු වකවානුවේදී හා ඉන්පසු කාලවලදී සිටි නාමික ක්‍රිස්තියානි නායකයන් වන්දි ගෙව්වේ තික්ත ඵලදාවක් නෙළාගනිමිනුයි. ඉතිහාසය පිළිබඳ වූ මෙම කෙටි සමාලෝචනයෙන් ඔබට උගත හැකි පාඩම කුමක්ද? බයිසැන්තියානු පල්ලි නායකයන් දෙවිගේ හා යේසුස් ක්‍රිස්තුස්ගේ අනුමැතිය දිනාගත්තාද?—යාකොබ් 4:4.

ගිජු අභිලාෂයෙන් පෙලඹුණු එවන් ආගමික නායකයන්ගෙන් මෙන්ම ඔවුන්ගේ දේශපාලනික සගයන්ගෙන් සැබෑ ක්‍රිස්තියානි ධර්මයට කොයිම ආකාරයකින්වත් යහපතක් වී නැහැ. ආගම හා දේශපාලනය අතර ඇති කරගත් මෙම අශුද්ධ වූ සම්බන්ධකම් යේසුස් ඉගැන්වූ නිර්මල ආගම පිළිබඳව විකෘති වූ පින්තූරයක් දී තිබෙනවා. ඉතිහාසයෙන් පාඩමක් ඉගෙනගෙන අපි ‘මේ ලෝකයේ කොටසක් නොවී’ සිටීමට වගබලා ගනිමු.

[පාදසටහන්වල]

a ඒකක්‍රතූවාදයේ උගන්වන්නේ දෙවි වශයෙන් හා මනුෂ්‍යයෙකු වශයෙන් ක්‍රිස්තුස්ට ස්වභාවයන් දෙකක් තිබුණත් ඔහුට ඇත්තේ එක අභිප්‍රායක් බවයි.

[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“ඔහු හැසිරුණේ සියල්ලන්ට වඩා උසස්, ඉහළ අහසේ සිටින දෙවිකෙනෙකු හා සමානවයි”

රජයේ කාරණාවලදී පල්ලි නායකයන්ගේ කාර්යභාරය මෙන්ම ඔවුන්ගේ අභිලාෂකාමිත්වය සම්බන්ධයෙන් හොඳ නිදසුනක් වන්නේ අගරදගුරු මයිකල් සෙර්යුලේරියස් (1000-1059 පමණ) හා බැඳි සිද්ධීන්. අගරදගුරු පදවිය අත් කරගත් පසු සෙර්යුලේරියස් ගිජු ලෙස තවත් පදවි අත් කරගැනීමට වෑයම් කළා. ඔහුව විස්තර කර තිබෙන්නේ අහංකාර, උද්ධච්ච හා කොයිම ආකාරයකින්වත් බුරුලක් නොදුන් පුද්ගලයෙක් වශයෙන්. ඔහුගේ උඩඟුකම කොයිතරම්ද කිව්වොත් “ඔහු හැසිරුණේ සියල්ලන්ට වඩා උසස්, ඉහළ අහසේ සිටින දෙවිකෙනෙකු හා සමානවයි.”

උසස් වීමක් ලබාගැනීමේ අදහසින් 1054දී රෝමයේ පාප් සමඟ මතභේදයක් ඇති කරගත් සෙර්යුලේරියස් බටහිර හා පෙරදිග පල්ලි දෙකේ වෙන්වීම පිළිගැනීමට අධිරාජ්‍යයාට බල කළා. තම ජයග්‍රහණය පිළිබඳව උද්දාමයට පත් වූ සෙර්යුලේරියස් VIවන මයිකල්ට සිහසුන ලබා දීමට කටයුතු කළ අතර ඔහුගේ බලය තහවුරු කිරීමටද උදව් කළා. අවුරුද්දක් ගත වූ පසු අධිරාජ්‍යයාට තම පදවියෙන් ඉවත් වීමට සෙර්යුලේරියස් බල කළ අතර ඔහු වෙනුවට අයිසැක් කොම්නෙනස්ට (1005-1061 පමණ) රජකම භාර දුන්නා.

අගරදගුරු හා අධිරාජ්‍යයා අතර ඇති වූ ගැටුම උත්සන්න වුණා. මහජනයාගේ අනුමැතිය තමාට තිබූ බවට සහතික කරගෙන සිටි සෙර්යුලේරියස් එය අතකොළුවක් කරගනිමින් තර්ජන ගර්ජන හා දැඩි ඉල්ලීම් කිරීමටත් ප්‍රචණ්ඩත්වයටත් පෙලඹුණා. එම වකවානුවේ විසූ ඉතිහාසඥයෙක් පැවසුවේ, “‘මෝඩයෝ! උඹව උසස් කළෙත් මම, උඹව නැත්තටම නැති කරන්නෙත් මම’ යයි කියමින් ඔහු ඉතා පහත් හා අසභ්‍ය බසින් අධිරාජ්‍යයාගේ වැටීම පුරෝකථනය කළේය” කියායි. කොහොම වුණත්, අයිසැක් කොම්නෙනස් ඔහුව අත්අඩංගුවට ගෙන, සිර අඩස්සියේ තැබීමෙන් පසුව ඉම්බ්‍රොස් නම් ප්‍රදේශයට පිටුවහල් කළා.

කොන්ස්තන්තිනෝපලයේ අගරදගුරුවරුන් කොයිතරම් ගැටලුවලට මුල් වුණාද කියාත් කිසිම ලැජ්ජාවක් බයක් නොමැතිව අධිරාජ්‍යයාට විරුද්ධ වුණේ කොහොමද කියාත් මෙවන් නිදසුන්වලින් පැහැදිලි වෙනවා. බොහෝවිට, අධිරාජ්‍යයාටත් හමුදාවටත් ඍජුවම විරුද්ධ වූ දක්ෂ දේශපාලනඥයන් වූ මෙවන් මනුෂ්‍යයන් සමඟ කටයුතු කිරීමට අධිරාජ්‍යයාට සිදු වුණා.

[9වන පිටුවේ සිතියම⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

බයිසැන්තියානු අධිරාජ්‍යයේ මුළු විකාශනය

රැවෙන්නා

රෝමය

මකිදෝනිය

කොන්ස්තන්තිනෝපලය

කළු මුහුද

නිසෙයා

එපීසය

අන්තියෝකිය

යෙරුසලම

ඇලෙක්සැන්ඩ්‍රියාව

මධ්‍යධරණී මුහුද

[හිමිකම් විස්තර]

සිතියම: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.

[10, 11වන පිටුවේ පින්තූර]

කොම්නෙනස්

IIIවන රොමානස් (වම් පැත්තේ)

IVවන මයිකල්

සොඊ අධිරාජිනිය

Iවන රොමානස් (වම් පැත්තේ)

[හිමිකම් විස්තර]

කොම්නෙනස්, IIIවන රොමානස් සහ IVවන මයිකල්: Classical Numismatic Group, Inc. අනුග්‍රහයෙනි; සොඊ අධිරාජිනිය: Hagia Sophia; Iවන රොමානස්: ඡායාරූපය Harlan J. Berk, Ltd. අනුග්‍රහයෙනි.

[12වන පිටුවේ පින්තූරය]

ෆෝෂියස්

[12වන පිටුවේ පින්තූරය]

හෙරැක්ලියස් තම පුත් සමඟ

[හිමිකම් විස්තර]

හෙරැක්ලියස් තම පුත් සමඟ: ඡායාරූපය Harlan J. Berk, Ltd. අනුග්‍රහයෙනි; 8-12 පිටුවල මෝස්තර සියල්ල: L’Art Byzantin III Ravenne Et Pompose නමැති පොත ආශ්‍රිතයෙනි.