Skip to content

පටුනට යන්න

ඇන්ගෝලාවේ දරුණු පරීක්ෂණ තිබූ කාලයක්

ඇන්ගෝලාවේ දරුණු පරීක්ෂණ තිබූ කාලයක්

ඇන්ගෝලාවේ දරුණු පරීක්ෂණ තිබූ කාලයක්

ඒ කාලයේදී නවක බයිබල් ශිෂ්‍යයන්ට විඳින්ට වූ ගැහැට සිල්වෙස්ට්‍ර සිමාඕගේ අද්දැකීමෙන් කියැවෙනවා. වර්ෂ 1959දී, පාසැල් ශිෂ්‍යයෙකුව සිටි ඔහුට පංතියේ ළමයෙකුගෙන් “නිරාගින්න—බයිබල් සත්‍යයක්ද? නැතහොත් මිථ්‍යා බියක්ද?” නමැති පත්‍රිකාව ලැබුණා. ඔහු පසුව මෙහෙම පැවසුවා. “මේ පත්‍රිකාව කියවීම තීරණයක් ගැනීමට මාව පෙලඹුවා. භය විය යුතු තැනක් හැටියට උගන්වා තිබුණු නිරය ගැන ඇත්ත නැත්ත ඉගෙනගත්තාම මම පල්ලි යෑම නවත්තලා දැම්මා. ඊට පස්සේ සමිතියේ පොත් පත් කියවන්න මම පටන්ගත්තා.”

එම කලබලකාරි කාලවලදී, උනන්දුවක් දක්වන බව කියා සිටි හැමෝටම රැස්වීම්වලට පැමිණීමට ආරාධනා කළේ නැහැ. කොහොම වුණත්, අවුරුදු දෙකකට පසුව සිල්වෙස්ට්‍රට රැස්වීම්වලට ආරාධනා කරන එකේ හානියක් නැති බව සහෝදරයන්ට වැටහුණා. ඔහු සහභාගි වූ මුල්ම රැස්වීමෙන් පසු, සබත ගැන ඔහුට තිබූ ප්‍රශ්න ඔවුන්ගෙන් විමසුවා. ඔහුට සත්‍යය ලැබුණු බව ලැබුණු උත්තරවලින්ම ඔහුට ඒත්තු ගියා. ඔහු එම සත්‍යය කොතරම් අනර්ඝ දෙයක් ලෙසද සැලකුවේ? ඊළඟ සතියේදී, ඒ කියන්නේ 1961 ජූනි 25වනදා, තම දෙවැනි රැස්වීමට සහභාගි වූ ඔහුට තමන් ඉගෙනගත් දේවල් අගය කළ බව ඔප්පු කරන්න අවස්ථාව උදා වුණා. ඒ, හමුදා කණ්ඩායමක් ඔවුන්ගේ රැස්වීම අතරමඟ නැවැත්වීමත් සමඟයි. හැමෝවම එළියට යවා යකඩ පයිප්පවලින් තළනු ලැබුවා. එක් සහෝදරයෙක් සිදු වූ දේ මෙහෙම මතකයට නඟනවා. “අපිට ගැහුවේ සත්තුන්ට මැරෙන්න ගහනවා වගේ. හරියට, ඌරෙක්ව මස් කඩේට යවන්න ඉස්සෙල්ලා පොල්ලෙන් ගහලා මරනවා වගෙයි.” සිල්වෙස්ට්‍ර සිමාඕ සමඟ එදා පහර කෑ අයගේ සිරුරුවල තවමත් එම කැළැල් දක්නට තිබෙනවා. ඉන්පසුව, ඔවුන්ව පාපන්දු ක්‍රීඩාංගණයකට දක්කාගෙන ගියා. එවකට උතුරු ඇන්ගෝලාවේ පැවති යුද්ධයෙන් තම පවුල් අහිමි වී සිටි කෝපාවිෂ්ට වූ යුරෝපීය ජාතිකයන් බොහෝදෙනෙකු එහි රැස්ව සිටියා. ඔවුන්ගෙන් සමහරෙකු, රැස්ව සිටි අනිකුත් සෙනඟ සහ හමුදා භටයින්ද සමඟ එකතු වී බිහිසුණු ආකාරයෙන් අපේ සහෝදරයන්ට පහර දෙන්ට පටන්ගත්තා.

ඉන්පසු සිල්වෙස්ට්‍ර ඇතුළු අනිකුත් සහෝදරයන්ව ට්‍රක් රථයකට පටවාගෙන සාඕ පාවුලෝ බන්ධනාගාරයට ගෙනයනු ලැබුවා. එය භාරව සිටියේ කාගේත් අප්‍රසාදයට ලක්ව තිබූ රහස් පොලිසියයි. එහිදී නැවතත් සහෝදරයන්ට පහර දී එක්කෙනා පිට එක්කෙනා වැටෙන සේ සිර කූඩුවට දමනු ලැබුවා. හොඳටම තුවාල වී ලේ ගලමින් සිටි ඔවුන්ව මැරෙන්ට ඉඩහැර තිබුණා.

ජොආඕ මන්කෝකා, සභාවේ මුරටැඹ පාඩම මෙහෙයවන්නාව සිටි නිසා කණ්ඩායමේ නායකයා ඔහුයැයි අධිකාරීන් සිතුවා. එම දරුණු පහර දීමෙන් පසු, ඔහුව මරන්ට ගෙන ගියා. චෝදනාව? සුදු ජාතිකයන්ට පහර දීමට කුමන්ත්‍රණය කිරීමයි. අධිකාරීන් එම චෝදනාව කර තිබුණේ මුරටැඹ සඟරාවේ එක් ඡේදයක් වරදවා වටහාගෙනයි. එම සඟරාවම යුරෝපීයයෙකුගේ අතේ හෝ බ්‍රසීලයේ නැතහොත් පෘතුගාලයේ පවුලක් අත තිබුණොත් කරන්නේ කුමක්දැයි සහෝදර මන්කෝකා ඔවුන්ගෙන් ඇසුවා. මෙය ජාත්‍යන්තර සඟරාවක් බවත්, සියලුම ජාතීන්ට අයත් මිනිසුන් මේ සඟරාව අධ්‍යයනය කරන බවත් ඔහු පෙන්වා දුන්නා. එය තහවුරු කරගැනීමට අධිකාරීන් ඔහුව යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන පෘතුගීසි ජාතික පවුලක් වෙත ගෙන ගියා. එම සඟරාවම එහි තිබූ අතර, එම ලිපියම සාකච්ඡා කර ඇති බවත් ඔවුන් දුටු විට, මරා දැමීමට වූ තීරණය වෙනස් කරගත්තා. සහෝදර මන්කෝකා, සාඕ පාවුලෝ බන්ධනාගාරයේ සිටි අනිත් සහෝදරයන් ගොඩට නැවතත් එක් වුණා.

හැමෝම එම තීරණය ගැන සෑහීමට පත් වුණේ නැහැ. ඔවුන් සාඕ පාවුලෝ බන්ධනාගාරයට නැවත පැමිණි විට, එහි භාරකරුවා වූ හීන්දෑරි පෘතුගීසි ජාතිකයා සහෝදර මන්කෝකාව “ඔහුගේ භාරයට” ගත්තා. මුළු දවසම තද අව්වේ බඩගින්නේ සිටීමට හැරීම මේ ‘භාරගැනීමට’ අයත් වුණා. සවස පහට පමණ භාරකරුවා කසයක් ගෙන සහෝදර මන්කෝකාට තළන්ට පටන්ගත්තා. ඔහු එම සිද්ධිය මෙහෙම මතක් කළා. “කසය ඔය තරම් දරුණු විදිහට පාවිච්චි කරන කෙනෙකුව මම මීට කලින් කවදාවත් දැකල නැහැ. මම මැරිලා වැටෙනකන් ගැහිල්ල නතර කරන්නේ නැහැ කියලා ඔහු කිව්වා.” මේ දයා විරහිත තැළීම පැයක් තිස්සේ සිදු වුණා. අන්තිමේදී සහෝදර මන්කෝකාට වේදනාව දැනීම නතර වුණා. කස පහර කන අතරතුර හදිසියේම දැඩි නිදිමත ගතියක් ඔහුට දැනුණා. ඔහු මරණාසන්නව සිටින බව වෙහෙසට පත් භාරකරු තේරුම්ගත්තා. සොල්දාදුවෙකු පැමිණ ඔහුගේ සිරුර ඇදගෙන ගොස් පෙට්ටියකින් වසා දැමුවා. ඔහු ඇත්තටම මැරී ඇති බව තහවුරු කරගැනීමට හමුදා භට කණ්ඩායමක් පැමිණි විට, මන්කෝකාව වසා දමා තිබූ පෙට්ටිය පෙන්වූ සොල්දාදුවා ඔහු මැරුණු බව පැවසුවා. එහෙත්, පුදුම විදිහට ඔහු යථා තත්වයට පත් වුණා. මාස තුනකට පසු කෑම කන කාමරයේදී ඔහුව දුටු එම සොල්දාදුවා පුදුමයෙන් පුදුමයට පත් වුණා. පසුව ඔහු සහෝදර මන්කෝකාට එදා රාත්‍රියේදී සිදු වූ සියල්ල විස්තර කළා. නිසැක මරණයකින් එම සහෝදරයාව බේරාගත්තේ, හදිසියේ ඇති වූ දැඩි නිදිමතයි.

අනිත් සහෝදරයන් හා එක්වීමට සහෝදර මන්කෝකාට අවස්ථාව උදා වූ අතර, ඔවුන් බන්ධනාගාරයේදීම රැස්වීම් පැවැත්තුවා. ඔවුන් සාඕ පාවුලෝ බන්ධනාගාරයේ සිටි මාස පහ ඇතුළත 300දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව ප්‍රසිද්ධ කථා ඉදිරිපත් කිරීමට තුන් වතාවකදී ප්‍රස්තාව ලැබුණා. බන්ධනාගාරයේදී කළ සාක්ෂි දැරීම් අවට තිබූ සභාවන් ශක්තිමත් කිරීමට ඉවහල් වුණා. මන්ද උනන්දුව දැක්වූ සිරකරුවන් බොහෝදෙනෙකු ඉන් නිදහස් වී ගිය පසු බව්තීස්මය දක්වා වර්ධනය වූ නිසායි.

බන්ධනාගාරයේ ගත කළ කාලය තුළදී කණ්ඩායමක් ලෙස ක්‍රමානුකූලව පැවැත්වූ බයිබල් පාඩම්වලට සහභාගි වීමෙන් සිල්වෙස්ට්‍ර සිමාඕට අවශ්‍ය ආත්මික දිරිය ලැබුණා. එතැන් සිට මේ කණ්ඩායමේ සාමාජිකයන්ව වෙනත් බන්ධනාගාර සහ වැඩ කඳවුරුවලට මාරු කරනු ලැබූ අතර, ඒවායේදී ඔවුන්ට තවත් දරුණු ආකාරයෙන් පහර දෙමින් තදබල ලෙස වැඩ ගත්තා. අවුරුදු හතරක් පුරා විවිධ ස්ථානවල සිරගතව සිටි සිල්වෙස්ට්‍රව 1965 නොවැම්බර් මාසයේදී නිදහස් කෙරුණා. ඔහු ලුවන්ඩා වෙත පැමිණ, රැන්ගල් ප්‍රදේශයේ රැස්වෙන සාක්ෂිකාර කණ්ඩායමක් සමඟ හවුල් වුණා. ඒ වන විටත් ඔහුගේ ඇදහිල්ල සෝදිසියට ලක් වී තිබූ නිසා, 1967දී ඔහු බව්තීස්ම වුණා. බන්ධනාගාරයේ සිටි සහෝදර මන්කෝකා ඇතුළු අනිත් අයව විවිධ සිරකඳවුරුවලට මාරු කෙරුණු අතර 1970 වන තුරුම නිදහස් කෙරුණේ නැහැ. එසේ කළත්, වැඩි කල් නොගොස් නැවතත් ඔවුන්ව සිරභාරයට ගත්තා.

‘ඔවුන් තවත් යුද්ධ ඉගෙනගන්නේ නැත’

රට යුද්ධයෙන් වැසී තිබුණා. එහෙත්, මිනිසුන් යෙහෝවාගේ මාර්ග ඉගෙනගත් විට, ඔවුන් ‘කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නා’ බවත් ‘තවත් යුද්ධ ඉගෙනගන්නේ නැති’ බවත් බයිබලය කියනවා. (යෙසා. 2:3, 4) ඇන්ගෝලාවේ සිටි තරුණ පුරුෂයන් මොකද කළේ?

වර්ෂ 1969 මාර්තු මාසයේදී, තම ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය පාවා දීම ප්‍රතික්ෂේප කරන හැමෝටම එරෙහිව බිහිසුණු ව්‍යාපාරයක් ආණ්ඩුව දියත් කළා. මුලින්ම අත්අඩංගුවට ගත්තේ ලුවන්ඩාහි අන්තෝනියෝ ගොවෙයියා සහ ජොආඕ පෙරෙයිරා යන සහෝදරයන්වයි. සහෝදර ගොවෙයියාව ඔහු රැකියාව කරන ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ජරාජීර්ණ වූ හිරකුටියකට දැමුවා. ඔහුගේ අම්මාට වුණත් බලන්ට අවසර දුන්නේ ඔහුව සිරගත කර දවස් 45කට පසුවයි.

හුවම්බෝ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් අය අතර, ෆෙර්නැන්ඩෝ ගොවෙයියා, අන්තෝනියෝ අල්බෙර්තෝ සහ අන්තෝනියෝ මතියෙස් සිටියා. ඔවුන්ට දවසට තුන් වතාවක් කුරිරු අන්දමින් පහර දෙනු ලැබුවා. මේ පහර දීම කොතරම් දරුණු වූවාද කිව්වොත්, ෆෙර්නැන්ඩෝගේ අම්මාටවත් තම පුතාව හඳුනාගන්ට බැරි වුණා. අන්තිමේදී, මෙම කෲරත්වය නැවතුණේ සේනාංක භාර අණ දෙන නිලධාරියාට ලිපියකින් මේ කුරිරු සැලකිලි ගැන දැන්වූ පසුවයි.

විඳදරාගැනීමට ඔවුන්ට උදව් වූ දේවල් සමහරක් ගැන අන්තෝනියෝ ගොවෙයියා මෙහෙම මතක් කරනවා. විටින් විට, ඔහුගේ මව ඔහුට ගෙනෙන කෑම පාර්සලයේ මුරටැඹ සඟරාවේ පිටුවක් සඟවාගෙන ආවා. “අපේ මනස් අවදියෙන් තැබීමට ඒක උදව් වුණා. අපේ ආත්මිකත්වය පවත්වාගන්ටත් එමගින් පුළුවන් වුණා.” ඔහු තවදුරටත් මෙහෙම පවසනවා. “අපේ මනසට ආවේ මොන බයිබල් විෂයද ඒක අපි බිත්තියට දේශනා කළා.” තවත් අවස්ථාවලදී, ඉතාම වැදගත් දෙයක් කියන්ට යනවා වගේ කෙනෙක් සිරකුටියේදී තමන් මැරූ මැස්සන් ගණන මහත් හඬින් හැමෝටම දැන්නුවා. සමහර සහෝදරයන් කළ මෙවන් විහිළු තහළුද ඔවුන්ට ප්‍රාණවත්ව සිටීමට උදව්වක් වුණා.

ඇන්ගෝලාවේ සිරභාරයේ සිටි අය අතර හෘදය සාක්ෂියට එකඟව යුධ සේවයට බැඳීම ප්‍රතික්ෂේප කළ නිසා පෘතුගාලයෙන් ගෙනත් දමා තිබූ තරුණ පුරුෂයන් හයදෙනෙක්ද සිටියා. ඔවුන්ගෙන් කෙනෙකු වූ ඩේවිඩ් මෝටා මෙහෙම මතක් කරනවා. “යෙහෝවාගේ ආරක්ෂාව බොහෝ අවස්ථාවලදී අපට දැනුණා. යෙහෝවා කෙරෙහි තියෙන අපේ අඛණ්ඩතාවය කඩා දාන්න නිලධාරීන් විවිධ ක්‍රම යොදාගත්තා. ඒ ක්‍රම විශේෂයෙන්ම අපි අතර හිටි බව්තීස්ම නොලත් අය සඳහාද යොදාගත්තා. ඒගොල්ලන් නැවත නැවතත් භාවිතා කළ උපක්‍රමයක් තමයි, මහ රෑ දෙගොඩහරියේ අපිව කූද්දලා අපෙන් පස්දෙනෙකුව තෝරගෙන ඉන් එක්කෙනෙකුගේ ඔළුවට උණ්ඩ පුරවා ඇති බව කියන පිස්තෝලයක් තබා කොකා ගැස්සීම. පැය භාගයකට පමණ පසුව අපිට නැවතත් අපේ තට්ටු ඇඳවල්වලට යන්ට අණ ලැබෙනවා. අද අපි ජීවතුන් අතර ඉන්න එක ගැන අපි යෙහෝවාට කොච්චර ණයගැති වෙනවාද! අන්තීමේදී අපි අධිකාරීන්ගේ ගෞරවය දිනාගත්තා. බන්ධනාගාරයේදී රැස්වීම් පැවැත්වීමටත් අපිට අවසර ලැබුණා. අපි එක්ක හිටපු හිරකරුවන් හයදෙනෙක් බන්ධනාගාරය තුළදීම බව්තීස්ම වෙනවා දකින්න ලැබීම අපිට ලොකු සතුටක් වුණා.”

අපේ සහෝදරයන්ට වයස අවුරුදු 45ක් වන තුරු බන්ධනාගාරයෙන් පිටවීමට නොහැකි වන බව නිලධාරීන් කියා සිටියත්, එතරම් කල් ඔවුන්ට එහි සිටීමට සිදු වූයේ නැහැ. එනමුත්, ඒ සිටි කාලය ඉතාම දුෂ්කර කාලයක් වුණා. ඔවුන් ලැබූ අද්දැකීම ඔවුන්ගේ ඇදහිල්ල තව තවත් ඔපවත් කළා. අද මොවුන්ගෙන් වැඩිදෙනෙකු සභාවන්වල වැඩිමහල්ලන් ලෙස සේවය කරනවා.

වර්ෂ 2001 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතෙන් (ඉංග්‍රීසියෙන්) උපුටාගන්නා ලදි.

yb01-E p. 80-6 ANGOLA