Skip to content

පටුනට යන්න

යෙස්‍රෙයෙල්හි ඔවුන්ට සම්බ වී තිබෙන්නේ මොනවාද?

යෙස්‍රෙයෙල්හි ඔවුන්ට සම්බ වී තිබෙන්නේ මොනවාද?

යෙස්‍රෙයෙල්හි ඔවුන්ට සම්බ වී තිබෙන්නේ මොනවාද?

සියවස් ගණනාවකට පුරාණ යෙස්‍රෙයෙල් නගරය පාළුව තිබිණ. එක් වකවානුවකදී එය බයිබල් ඉතිහාසයේ කැපීපෙනුණ නගරයක් විය. දැන්, මුලින් තිබූ තේජශ්‍රීය පහව ගොස්, පස් තට්ටුවලට යට වී තිබෙන එය පස් ගොඩක් නැත්නම් පස් කන්දක් බවට පත් වී ඇත. මෑතක සිට පුරාවිද්‍යාඥයන් යෙස්‍රෙයෙල්හි නෂ්ටාවශේෂ පරීක්ෂා කර බැලීමට පටන්ගෙන තිබේ. මෙවැනි නටබුන් බයිබල් වාර්තා පිළිබඳව හෙළි කරන්නේ මොනවාද?

බයිබලයේ යෙස්‍රෙයෙල්

යෙස්‍රෙයෙල් මිටියාවතේ නැඟෙනහිර කොටසෙහි පිහිටි යෙස්‍රෙයෙල් පුරාණ ඉශ්‍රායෙල් දේශයේ වැඩි සශ්‍රීකත්වයක් තිබූ නගරයක් විය. මිටියාවතේ අනික් පැත්තේ කෙළින්ම පිහිටා තිබෙන්නේ, විනිශ්චයකාර ගිඩියොන්ට හා ඔහුගේ මුළු සෙනඟට පහර දීමට සූදානමින් මිදියන්වරුන් කඳවුරු බැඳගත් මෝරේ කන්දය. නැඟෙනහිරට වෙන්න ගිල්බෝවා කන්ද පාමුල හාරොද්හි ළිඳ පිහිටා තිබිණ. යෙහෝවා, බලවත් හමුදා බලෑණියක් යොදා නොගෙන තම ජනයාව මුදවාගැනීමට තමාට හැකියාව තිබෙන බව පෙන්වීම සඳහා, දහස් ගණනින් යුත් ගිඩියොන්ගේ හමුදාව මිනිසුන් 300දෙනෙකු දක්වා අඩු කළේ මෙහිදීය. (විනිශ්චයකාරයන් 7:1-25; සෙකරියා 4:6) ගිල්බෝවා කන්ද අසලදී ඉශ්‍රායෙලයේ මුල් රජ වූ සාවුල් පිලිස්තිවරුන් සමඟ සිදු කළ බිහිසුණු සටනකින් පරාජය විය. එම සටනේදී යොනාතාන් මෙන්ම සාවුල්ගේ පුත්‍රයන් දෙදෙනෙකුද මියගිය අතර සාවුල් සියදිවි නසාගත්තේය.—1 සාමුවෙල් 31:1-5.

පුරාණ යෙස්‍රෙයෙල් නගරය සම්බන්ධයෙන් බයිබලය සුවිශේෂී තොරතුරු සපයයි. එක් පැත්තකින්, බලය අනිසි ලෙස යොදාගැනීම හා ඉශ්‍රායෙල් පාලකයන් ඇදහිල්ල අත්හළ අන්දම ගැනද, අනික් පැත්තෙන්, යෙහෝවාගේ සේවකයන්ගේ විශ්වාසවන්තභාවය හා ජ්වලිතය ගැනද තොරතුරු ඇත. පොදු යුගයට පෙර දහවන සියවසේ අගභාගයේදී ඉශ්‍රායෙල්හි උතුරු ගෝත්‍ර-දසයේ රාජ්‍ය පාලකයා වූ ආහබ් රජ සමාරිය තම නිල අගනුවර කරගත්තද, තම රාජ මන්දිරය පිහිටුවාගත්තේ යෙස්‍රෙයෙල්හීය. (1 රාජාවලිය 21:1) ආහබ්ගේ විදේශීය භාර්යාව වූ යෙසෙබෙල් යෙහෝවාගේ ප්‍රොපේත එලියාට මරණීය තර්ජන එල්ල කළේ යෙස්‍රෙයෙල්හි සිටය. එලියා කර්මෙල් කන්දේදී සැබෑ දේවත්වය පිළිබඳව පැවැත්වූ පරීක්ෂණයෙන් පසු ඔහු බාල් ප්‍රොපේතවරුන්ව අභීත ලෙස මරා දැමූ බැවින් ඇය සිටියේ කෝපයෙනි.—1 රාජාවලිය 18:36–19:2.

ඉන්පසු යෙස්‍රෙයෙල්හි අපරාධයක් සිදු කෙරිණ. යෙස්‍රෙයෙලීය නාබොත්ව මරා දමන ලදි. ආහබ් රජ නාබොත්ගේ මිදිවත්තට කෑදර විය. රජු එකහෙළාම එම භූමි භාගය ඉල්ලා සිටි විට නාබොත් පක්ෂපාතව මෙසේ පිළිතුරු දුන්නේය: ‘මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් යෙහෝවා මා වළක්වන්නේය.’ මෙම ප්‍රතිපත්තිමය පිළිතුර ආහබ්ගේ ඉමහත් අප්‍රසාදයට හේතු විය. රජුගේ දුක්මුසු ස්වභාවය දුටු යෙසෙබෙල් රැජින නාබොත් අපහාසයක් කළ බවට බොරු චෝදනාවක් කරමින් යුක්තිය පෙරළූ විනිශ්චයක් දියත් කළාය. නිර්දෝෂී නාබොත් වරදකරු බවට පත් වූ අතර, ඔහුට ගල් ගසා මරා දමා, ඔහුගේ මිදිවත්ත රාජසන්තක කරගන්නා ලදි.—1 රාජාවලිය 21:1-16.

මෙම දුෂ්ට ක්‍රියාව නිසා එලියා මෙසේ පුරෝකථනය කළේය. “බල්ලෝ යෙසෙබෙල් යෙස්‍රෙයෙල්හි පවුර ළඟදී කන්නෝය.” ප්‍රොපේතවරයා තවදුරටත් මෙසේද පැවසීය. “ආහබ්ගේ වංශයෙන් නුවරදී මැරෙන අය බල්ලෝ කන්නෝය; . . . තමාගේ භාර්යාවවූ යෙසෙබෙල් විසින් පොළඹවනු ලැබ [යෙහෝවාගේ] ඇස් හමුයෙහි නපුරුව තිබුණුදේ කරන්ට තමාම භාරවුණාවූ ආහබ්ට සමාන කිසිවෙක් නොසිටියේය.” කෙසේවුවත්, එලියා යෙහෝවාගේ විනිශ්චය ප්‍රකාශ කළ අවස්ථාවේදී ආහබ් යටත් වූ බැවින්, මෙම දඬුවම ආහබ්ගේ ජීවිත කාලයේදී නොඑන බව යෙහෝවා ප්‍රකාශ කළේය. (1 රාජාවලිය 21:23-29) එලියාගේ අනුප්‍රාප්තික වූ එලිෂාගේ දවස්වලදී ඉශ්‍රායෙලයේ රජු හැටියට යේහුව ආලේප කළ බවත් බයිබලයේ තවදුරටත් පවසයි. යේහු රථයක නැඟී යෙස්‍රෙයෙල් වෙත ගිය විට, යෙසෙබෙල්ව මාළිගාවේ කවුළුවෙන් පහළට හෙළීමට අණ කළ අතර අශ්වයෝ ඇයව පාගා මරා දැමූහ. බල්ලන් ඉතිරි කළේ ඇගේ ඉස්කබල, පාද සහ දෙඅල්ල පමණක් බව පසුව දැනගන්ට ලැබිණ. (2 රාජාවලිය 9:30-37) කෙළින්ම යෙස්‍රෙයෙල්ට සම්බන්ධ වූ අවසාන බයිබල් සිද්ධිය ආහබ්ගේ පුත්‍රයන් 70දෙනා ඝාතනය කිරීම හා සම්බන්ධය. යේහු යෙස්‍රෙයෙල් නගරයේ දොරටුව අසල ඔවුන්ගේ හිස් විශාල ගොඩවල් දෙකකට වෙන් කොට ගොඩගසා, ආහබ්ගේ ඇදහිල්ලෙන් ඉවත් වූ පාලනයට හවුල්ව සිටි වෙනත් නායකයන් හා පූජකයන්වද ඉන්පසු මරණයට පත් කළේය.—2 රාජාවලිය 10:6-11.

පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙන්නේ මොනවාද?

වර්ෂ 1990දී යෙස්‍රෙයෙල් භූමිය කැණීමේ හවුල් ව්‍යාපෘතියක් ඇරඹිණ. ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ආයතනය (නියෝජනය කළ ඩේවිඩ් උස්සිෂ්කින්) සහ යෙරුසලමෙහි පිහිටි බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා ශාස්ත්‍රාලය (නියෝජනය කළ ජෝන් වුඩ්හෙඩ්) ඊට සහභාගි විය. වර්ෂ 1990-96 අතරතුර කාලපරිච්ඡේද හතක් පුරා (මේ සෑම කාලපරිච්ඡේදයක්ම සති හයක් පැවතිණ) ස්වේච්ඡා සේවකයෝ 80ත් 100ත් අතර සංඛ්‍යාවක් එම භූමියේ වැඩ කළහ.

කලින් අවබෝධ කරගත් අදහස් හා මතයන්ට ගැති වන්නේ නැතුව එම භූමියටම ආවේණික වූ සාක්ෂි සෝදිසි කර බැලීමයි නවීන දින පුරාවිද්‍යාවේ අරමුණ වන්නේ. එබැවින්, බයිබල් දේශ හදාරන පුරාවිද්‍යාඥයා, ශුද්ධ ලියවිලිමය වාර්තාව තම ප්‍රධාන අත්පොත හැටියට සලකන්නේ නැත. එමනිසා වෙනත් සියලු මූලාශ්‍රයන් හා භෞතික සාක්ෂි පරෙස්සමින් සලකා බැලිය යුතුයි. කෙසේවුවද, ජෝන් වුඩ්හෙඩ් පවසන පරිදි, බයිබලයේ ඇතුළත් පරිච්ඡේද කිහිපයේ හැරෙන්න වෙන කොතැනකවත් යෙස්‍රෙයෙල් සම්බන්ධයෙන් ලියැවුණු ඉපැරණි සාක්ෂි නොමැත. එබැවින් කිසියම් පරීක්ෂණයක් කරනවා නම් ඒ සඳහා බයිබල් වාර්තා හා පුරාවිද්‍යාව යන දෙකම යොදාගත යුතුය. පුරාවිද්‍යාඥයන්ගේ ප්‍රයත්නයන්ගෙන් හෙළි වී තිබෙන්නේ මොනවාද?

බලකොටු හා මැටි භාණ්ඩ පොළොවෙන් හාරාගත් විට, ඒවා තිබී ඇත්තේ යකඩ යුගය ලෙස හැඳින්වූ කාලයේදී, එනම් බයිබලයේ සඳහන් යෙස්‍රෙයෙල් පැවති කාලපරිච්ඡේදය තුළදී බව මුල සිටම පැහැදිලි විය. නමුත් මෙසේ කැණීම් කරගෙන යද්දී, පුදුමසහගත දේවල් ගණනාවක් දක්නට ලැබිණ. මුලින්ම භූමියේ ප්‍රමාණයත් එහි ඉදි කළ විශාල බලකොටුත් දක්නට ලැබිණ. ඉශ්‍රායෙල් රාජ්‍යයේ ප්‍රධාන නගරය වූ පුරාණ සමාරියේ තිබූ බලකොටුවලට සමාන ඒවා ඇති භූමි ප්‍රමාණයක් තිබිය යුතුයයි පුරාවිද්‍යාඥයෝ බලාපොරොත්තු වූහ. කෙසේවුවද, නොනවත්වා කැණීම් කරගෙන යද්දී යෙස්‍රෙයෙල් ඊටත් වඩා විශාල බව පැහැදිලි විය. මීටර් 300ක් පමණ දිග හා 150ක් පමණ පළල තාප්පවලින් යුත් බලකොටුවේ වර්ගඵලය ඉශ්‍රායෙල්හි එම වකවානුවේදී සොයාගන්නා ලද වෙනත් සෑම නගරයකටම වඩා තුන් ගුණයකින් විශාල වූ බව පැහැදිලි විය. බලකොටු වටා මීටර් 11ක් ගැඹුරු දිය හිඳුණු අගලක් තිබිණ. මහාචාර්ය උස්සිෂ්කින් පවසන පරිදි, මෙම අගල බයිබල් කාලවලට ආවේණික වූ විශේෂ අංග ලක්ෂණයකි. “කුරුස යුද්ධ සමයේදී හැරෙන්න මෙවැනි යමක් ඉශ්‍රායෙල්හි අපට සම්බ වන්නේ නැහැ” කියා ඔහු පැවසීය.

තවත් සිතාගත නොහැකි අංග ලක්ෂණයක් වූයේ නගර මධ්‍යයෙහි විශාල ගොඩනැඟිලි නොතිබීමයි. නගරය ඉදි කෙරුණ සමයේදී විශාල ප්‍රමාණවලින් ගෙනා රතු පස්වලින් නගර මධ්‍යයෙහි පොළෝ මට්ටම උස්සා තිබිණ. එය උසට තැනූ වේදිකාවක් වැනි යමකි. මෙම කැපීපෙනෙන වේදිකාවෙන් යෙස්‍රෙයෙල්හි රජුගේ වාසභවන පමණක් නොව තවත් යමක් තිබූ බවට සාක්ෂි හෙළි විය හැකියයි ටෙල් ජෙස්‍රීල්හි කැණීම් සම්බන්ධයෙන් දෙවන ප්‍රාථමික වාර්තාව නම් සඟරාවේ (ඉංග්‍රීසියෙන්) අදහසක් දැක්වේ. “ඔම්රීය පෙළපතේ [ඔම්රී හා ඔහුගෙන් පැවත එන] රජවරුන්ගේ කාලයේදී රාජකීය ඉශ්‍රායෙල් හමුදාවේ ප්‍රධාන හමුදා කඳවුර පිහිටා තිබෙන්න ඇත්තේ යෙස්‍රෙයෙල්හි බව පවසන්න අප කැමතිය. එහි මංගල රථය හා අශ්වාරෝහක හමුදාව පිහිටුවා තිබෙන්න ඇති අතර, පුහුණු කිරීම් සිදු කෙරෙන්නත් ඇති” යයි සඟරාවේ පැවසීය. මෙම උස් වූ කුඩා වේදිකාවේ මෙන්ම එහි තිබූ කොටුවේ ප්‍රමාණය බලන කල, එය ඒ කාලයේ මැද පෙරදිග තිබූ විශාලතම යුධ රථවලින් සමන්විත හමුදා බලය ප්‍රදර්ශනය කිරීම සඳහා තිබූ පෙරෙට්ටු බිමක් විය හැකියි කියා වුඩ්හෙඩ් උපකල්පනය කරයි.

පුරාවිද්‍යාඥයන්ගේ උනන්දුව ඇවිස්සූ විශේෂ ලක්ෂණයක් වූයේ පොළොවෙන් හාරාගන්නා ලද නගර දොරටුවේ නෂ්ටාවශේෂයි. අඩුම තරමින් මුරගෙවල් හතරකින්වත් සමන්විත වූ දොරටුවක් තිබූ බව ඒවායින් පෙනී යයි. කෙසේවුවත්, ගෙවී ගිය සියවස් ගණනාව තුළදී මෙම භූමියේ ගල් බොහෝමයක් කොල්ල කා තිබූ බැවින් සොයාගැනීම්වලින් එළඹිය හැකි නිගමන අවිනිශ්චිතය. මෙගිද්දෝ, හාශොර් හා ගෙසෙර්හි සොයාගත හැකි වූ දොරටුවලට සමාන මුරගෙවල් හයකින් යුත් දොරටුවක් එම නෂ්ටාවශේෂවලින් දැක්වෙන බවයි වුඩ්හෙඩ්ගේ අදහස. a

පුරාවස්තුවලින් පෙන්වන්නේ යුද්ධ කිරීමට කදිම තැනක් වූ නගරයක් පුදුමෙකට මෙන් කෙටි කාලෙකට පමණක් පැවති බවයි. බලකොටු බැඳි විශාල නගරයක් වූ යෙස්‍රෙයෙල් ටික කලකට එනම් දශක කීපයකට පමණක් පැවති නගරයක් බව වුඩ්හෙඩ් අවධාරණය කරයි. බයිබලයේ සඳහන් ඉශ්‍රායෙලයේ පැවති වෙනත් වැදගත් භූමි ගැන සලකා බලද්දී මෙහි සෑහෙන වෙනසක් තිබේ. උදාහරණයක් හැටියට මෙගිද්දෝ, හාශොර් හා ප්‍රධාන නගරය වූ සමාරිය විවිධ යුගයන්වලදී විටින් විට ගොඩනඟා තිබූ බවටත්, පුළුල් කර තිබූ බවටත්, පදිංචිය සඳහා නැවත නැවත යොදාගත් බවටත් සාක්ෂි ඇත. නමුත් යෙස්‍රෙයෙල් එසේ යළි ගොඩනැඟුවේ නැත. මෙම කදිම ස්ථානය එතරම් විගස අත්හැරියේ මන්ද? ආහබ් හා ඔහුගේ රජ පෙළපත තම ධනසම්භාරය නාස්ති කර දැමූ නිසා ඔවුන් ආර්ථික බිඳවැටීමකට පාත්‍ර වෙන්න ඇති කියා වුඩ්හෙඩ් අනුමාන කරයි. යෙස්‍රෙයෙල්හි සුවිශාලත්වය හා ශක්තිය ඒ බවට සාක්ෂියකි. සමහරවිට ආහබ් හා සම්බන්ධ සියල්ලේ මතකයෙන් ඈත්වීමට යේහු යටතේ තිබූ නව රාජ්‍ය පාලනයට වුවමනා වූවා විය හැකියි. ඒ නිසා නගරය අත්හැර දැමුවා විය හැකියි.

මෙතෙක් දුරට පොළොවෙන් සොයාගෙන තිබෙන සාක්ෂි සියල්ල, යකඩ යුගය පැවති කාලපරිච්ඡේදයේදී යෙස්‍රෙයෙල් භූමිය විශාල ඉශ්‍රායෙල් මධ්‍යස්ථානයක්ව තිබුණ බව සහතික කරයි. එහි ප්‍රමාණය සහ බලකොටු ගත් කල, එය, ආහබ් හා යෙසෙබෙල් සඳහා කැපීපෙනුණ රාජකීය නිවාසයක් වශයෙන් බයිබලයෙහි සඳහන් විස්තරයට එකඟයි. එය සීමිත කාලයකට වාසය සඳහා යොදාගත් බවට තිබෙන ලකුණු, නගරය පිළිබඳ බයිබල් වාර්තාවලට එකඟ වේ. ආහබ්ගේ පාලන සමයේදී එය විගස කැපීපෙනෙන නගරයක් බවට පත් වූ නමුත්, පසුව යෙහෝවාගේ අණ පරිදි යේහු “යෙස්‍රෙයෙල්හි ආහබ්ගේ වංශයෙන් ඉතුරුව සිටි සියල්ලන්ද ඔහුගේ සියලු ප්‍රධාන තැනැත්තන්ද ඔහුගේ කිට්ටු හිතවතුන්ද ඔහුගේ පූජකයන්ද ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොකර [මැරූ]” විට එම නගරය නින්දාසහගතව බිඳ වැටී ගිය බවක් පෙනෙන්න තිබේ.—2 රාජාවලිය 10:11.

යෙස්‍රෙයෙල් අයත් වන්නේ කුමන කාලයකටද?

“නියමිත කාලයක් තීරණය කිරීම සඳහා හරි පදනමක් සොයාගැනීමට පුරාවිද්‍යාවට නොහැකියි” කියා ජෝන් වුඩ්හෙඩ් පවසයි. එබැවින් වසර හතක කැණීම්වල ප්‍රතිඵල සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයන් සමීක්ෂණ පවත්වන විට, ඔවුහු මේවා වෙනත් පුරාවිද්‍යාත්මක භූමිවලින් සොයාගන්නාවූ දේවල් සමඟ සසඳා බලති. මෙමගින් යළි සලකා බැලීමට හා මතභේදවලට මඟ පෑදී ඇත. මන්ද? ඉශ්‍රායෙල් ජාතික යිගාඑල් යාඩින් 1960 ගණන්වල හා 1970 ගණන්වල මුල්භාගයේදී මෙගිද්දෝහි කැණීම් කළේය. පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයේ බොහෝදෙනෙකු ඒ පිළිබඳව සොයා බලා ස්ථිර කරනු ලැබුවේ ඔහු සාලමොන් රජුගේ දවස්වල තිබූ බලකොටු හා නගර දොරටු සොයාගත් බවය. යෙස්‍රෙයෙල්හි සොයාගත් බලකොටු, මැටි බඳුන් හා දොරටු, කලින් එළඹුණු නිගමනයන් පිළිබඳව දැන් යම් සැකයක් මතු කිරීමට හේතුවක් වී තිබේ.

උදාහරණයක් වශයෙන්, මෙගිද්දෝහි සොයාගත් පස් තට්ටුව සාලමොන්ගේ පාලන සමය දක්වා දිවයන්නක් බව යාඩින් පැවසීය. එනමුත් යෙස්‍රෙයෙල්හි සොයාගත් මැටි බඳුන්ද ඒ පස් තට්ටුව තරම් පැරණි බව කියවේ. භුමි දෙකෙහිම ඉදි කර තිබූ දොරටුවල දිග පළල ප්‍රමාණයේ බොහෝදුරට සමානකමක් දක්නට තිබේ. “සියලුම සාක්ෂි එක්කො යෙස්‍රෙයෙල් භූමිය සාලමොන්ගේ කාලය වෙත ගෙන යනවා එහෙමත් නැත්නම්, [මෙගිද්දෝ හා හාශොර්] යන වෙනත් භූමිවල ලක්ෂණ ආහබ්ගේ කාලපරිච්ඡේදයට ගෙන යනවා” කියා වුඩ්හෙඩ් පවසයි. බයිබලයේ පැහැදිලිවම යෙස්‍රෙයෙල් භූමිය ආහබ්ගේ කාලපරිච්ඡේදයට සම්බන්ධ කරන නිසා, ඔහු සිතන්නේ මෙම භූමි තට්ටුවලින් ආහබ්ගේ පාලන සමය පිළිබිඹු කරන බව පිළිගැනීම වඩාත් සාධාරණයි කියාය. ඩේවිඩ් උස්සිෂ්කින් ඊට එකඟ වෙමින් “බයිබලයේ පවසන්නේ සාලමොන්, මෙගිද්දෝ ගොඩනැඟූ බව මිසක් එම දොරටු ගොඩනැඟුව බවක් නොවෙයි” කියා පවසයි.

යෙස්‍රෙයෙල්හි ඉතිහාසය දැනගත හැකිද?

මෙම පුරාවිද්‍යාත්මක සොයාගැනීම් හා ඉන්පසු පැවත ඇති මතභේදය යෙස්‍රෙයෙල් හෝ සාලමොන් පිළිබඳ බයිබල් වාර්තාව සම්බන්ධයෙන් සැක පහළ කරයිද? ඇත්තෙන්ම, පුරාවිද්‍යාත්මක මතභේදය බයිබල් වාර්තාවට බලපාන්නේ නැති තරම්ය. පුරාවිද්‍යාව ඉතිහාසය පරීක්ෂා කරන්නේ බයිබලයේ කතන්දරයට වඩා වෙනස් පදනමක් මතයි. එතුළින් නැඟෙන ප්‍රශ්න වෙනස්ය. අවධාරණය කරන්නෙත් වෙනස් දෙයකි. බයිබල් ශිෂ්‍යයෙක් හා පුරාවිද්‍යාඥයෙක් තරමක් සමාන්තර මාර්ග දෙකක ගමන් ගන්නා මඟීන් දෙදෙනෙකුට සම කළ හැකියි. එක් මඟියෙක් පාරේ රිය පදවමින් යන අතර අනික් මඟියා පදික වේදිකාවේ පියමං කරමින් සිටියි. ඔවුන්ගේ කල්පනාවන් හා අවධානයට ලක් වන දේවල් එකිනෙකට වෙනස්. එහෙත්, ඔවුන් දකින දර්ශනයන් එකිනෙකට පටහැනි වෙනවා වෙනුවට බොහෝවිට එකිනෙකාගේ අඩුව පිරවීමට දායක වේ. මඟීන් දෙදෙනාගේ දෘෂ්ටීන් සසඳා බැලීමෙන් කදිම අවබෝධයක් ලබාගත හැකියි.

පුරාණ සිද්ධීන් හා ජනයා පිළිබඳ ලිඛිත වාර්තාවක් බයිබලයේ අඩංගුය. මෙම සිද්ධීන් හා ජනයා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට පුරාවිද්‍යාව ප්‍රයත්නයක් දරයි. එසේ කරන්නේ තවමත් පස් යට සැඟවී ඇති දේවල් පරීක්ෂා කිරීමෙනි. කෙසේවුවත්, මේ දේවල් සාමාන්‍යයෙන් වෙනස්කම්වලට ලක් වී ඇති බැවින්, මේවා සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කෙරේ. මේ පිළිබඳව අමිහයි මසාර් විසින් රචිත, පො.යු.පෙ. 10,000-586—බයිබල් දේශය පිළිබඳ පුරාවිද්‍යාව (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ මෙවැනි අදහසක් පළ කරයි: “පුරාවිද්‍යාවෙන් සිදු කෙරෙන කැණීම් . . . බොහෝදුරට කලාවකි. එමෙන්ම ඊට පුහුණුව හා වෘත්තිමය දක්ෂතාව අවශ්‍යයි. දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් සාර්ථකත්වයක් ලබාගත නොහැකියි. එම ක්ෂේත්‍රයේ වැඩ කරන නිලධාරීන් නම්‍යසුලු මෙන්ම විවෘත මනසකින් කාරණා දෙස බැලීම අවශ්‍යය. පුරාවිද්‍යාඥයෙකුගේ චරිතය, කුසලතා හා සාමාන්‍ය දැනුම, ඔහුගේ පුහුණුව හා ඔහු සතුව ඇති මෙවලම් මෙන්ම වැදගත් වේ.”

යෙස්‍රෙයෙල්හි විශාල රාජකීය හා යුධ මධ්‍යස්ථානයක් පැවති බව පුරාවිද්‍යාව සහතික කර තිබේ. පුදුමය නම්, එය පැවත ඇත්තේ බයිබලයේ විස්තර කරන පරිදි ආහබ්ගේ පාලන සමයේදී කෙටි කාලයකටයි. පුරාවිද්‍යාඥයන් ඉදිරි කාලයේදී අධ්‍යයනය කිරීමට ඉඩ ඇති කුතුහලය දනවන වෙනත් ප්‍රශ්න රාශියක් ඉස්මතු කොට ඇත. එහෙත්, දේවවචනය වන බයිබලය, පුරාවිද්‍යාඥයන්ට කිසිදා කළ නොහැකි දෙයක් වන මුළු කතන්දරයම සපයමින් පැහැදිලිව දිගටම කතා කරමින් සිටී.

[පාදසටහන]

a 1988 අගෝස්තු 15 මුරටැඹ, “දොරටු හා බැඳි අභිරහස” (ඉංග්‍රීසියෙන්) යන ලිපිය බලන්න.

[26වන පිටුවේ පින්තූර]

 යස්‍රෙයෙල්හි පුරාවිද්‍යාත්මක කැණීම්

[28වන පිටුවේ පින්තූරය]

යෙස්‍රෙයෙල්හි සොයාගනු ලැබූ කානානීය රූපය