Skip to content

පටුනට යන්න

බිඳිය නොහැකි වූ මගේ විශ්වාසය

බිඳිය නොහැකි වූ මගේ විශ්වාසය

බිඳිය නොහැකි වූ මගේ විශ්වාසය

පැවසුවේ හර්මින් ලිස්කා

මම ඉපදුණේ ඔස්ට්‍රියාවේ. ඒ කාලයේ අපි සතුටින් හිටියා. ඒත් 1938දී අපේ රට හිට්ලර්ගේ නාට්සි පාලනය යටතට ගැනීමත් එක්ක ඒ සතුට නැති වුණා. අපේ පාසැලේදී “හයිල් හිට්ලර්” කියලා ආචාර කරන්නත් නාට්සි ගීත කියන්නත් හිට්ලර්ගේ යොවුන් සංගමයට බැඳෙන්න කියලත් අපිට කිව්වා. ඒත් මම ඒ හැම දෙයක්ම ප්‍රතික්ෂේප කළා. ඒ ඇයි කියලා මම දැන් ඔයාලට කියන්නම්.

මගේ තාත්තගේ නම යොහැන්. අම්මා එලිසබෙත්. මට අයියලා හතරදෙනෙක් හිටියා. අපි හැදුණේ වැඩුණේ ගොවිපොළකයි. වර්ෂ 1925දී අපේ තාත්තා බයිබල් ශිෂ්‍යයෙක් වුණා. ඒ කාලයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හැඳින්නුවේ ඒ විදිහටයි. අපේ අම්මා බව්තීස්ම වුණේ 1937දීයි. අම්මයි තාත්තයි දෙවිට ළැදි අයයි. අපි නමස්කාර කරන්න ඕනේ දෙවිට මිස මිනිසුන්ට නෙවෙයි කියලා අපේ අම්මයි තාත්තයි අපිට පොඩි කාලයේ ඉඳන්ම කියලා දීලා තිබුණා. යේසුස් පවා කිව්වේ මෙහෙමයි. “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි.”—ලූක් 4:8.

අපේ අම්මයි තාත්තයි අනික් අයට සලකන්න හරි කැමතියි. ඒ නිසා අපේ ගෙදර නිතරම වගේ කට්ටිය හිටියා. හැමදාම වගේ අපි එකට එකතු වෙලා සින්දු කිව්වා. ඒ වගේම හැම ඉරිදා උදේම පවුලක් හැටියට අපි බයිබලය පාඩම් කළා. ඒ කාලය මතක් වෙනකොටත් ආසයි.

නිදහසෙන් භීතියට

ජර්මනිය විසින් ඔස්ට්‍රියාව අල්ලගන්නකොට මට අවුරුදු අටක් විතර ඇති. එදා ඉඳන් අපිට වැඩ කරන්න වුණේ නාට්සි පාලනය යටතෙයි. කවුරු හරි කෙනෙකුව මුණගැසුණාම අපිට ඉස්සෙල්ලාම කියන්න වුණේ “හයිල් හිට්ලර්” කියලයි. ජර්මානු භාෂාවෙන් ඒකේ තේරුම හිට්ලර් අපේ ගැලවුම්කරු කියන එකයි. ඒත් මම කොහොමටවත් ඒක කළේ නැහැ. මම හොඳටම දැනගෙන හිටියා අපේ ගැලවුම්කරු යේසුස් විතරයි කියලා. (ක්‍රියා 4:12) මගේ විශ්වාසයන්ට මම ඇලිලා හිටිය නිසා අපේ පාසැලේ ළමයි වගේම ගුරුවරුත් මට විහිළු කළා. මට වයස අවුරුදු 11ක් වෙනකොට අපේ විදුහල්පති මට මෙහෙම කිව්වා. “හර්මින්, මම ඔයාව ආපහු එක වසරට දානවා. ඔයා වගේ මුරණ්ඩු ළමයින්ව මේ පන්තියේ තියාගන්නේ නැහැ.”

අපේ අයියලාවත් මමවත් හිට්ලර්ව පිළිගත්තේ නැහැ. ඒ නිසා අපේ තාත්තව උසාවියට අරන් ගියා. ඊටපස්සේ ආගමික විශ්වාසයන් අත්හරිනවා කියලත් නාට්සි ප්‍රතිපත්තිවලට අනුව දරුවන්ව පුහුණු කරනවා කියලත් ලියවිල්ලකට අත්සන් කරන්න කියලා උසාවියෙන් තාත්තට නියෝග කළා. ඒත් තාත්තා එහෙම කළේ නැති නිසා අපේ භාරකාරත්වය රජය පවරාගත්තා. ඊටපස්සේ ගෙදර ඉඳන් කිලෝමීටර් 40ක් විතර දුර තියෙන පුනරුත්තාපන පාසැලකට අපිව අරන් ගියා.

එහේ ගියාට පස්සේ මට නිතර නිතර ගෙදර මතක් වෙලා ඇඬුණා. ඒ පාසැලේ හිටිය විදුහල්පතිනිය හිට්ලර්ගේ යොවුන් සංගමයට බැඳෙන්න කියලා මට බල කළත් මම ඒකට බැඳුණේ නැහැ. ඒ වගේම නාට්සි කොඩියට ආචාර කරන වෙලාවේ මගේ දකුණු අත උඩට උස්සන්න ළමයි උත්සාහ කළා. ඒත් ඒකත් හරි ගියේ නැහැ. ඒ වගේ වෙලාවලදී මට මතක් වුණේ “යෙහෝවා දෙවිව අත්හැර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීම ගැන අපිට හිතන්නවත් බැහැ” කියලා දෙවිගේ සේවකයන් පැවසුව දෙයයි.—යොෂුවා 24:16.

ඒ කාලයේදී අම්මටයි තාත්තටයි මාව බලන්න අවසර දුන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන් මම පාසැලට එන අතරතුරේදීත් පාසලේදීත් හොර රහසේ මාව මුණගැහෙනවා. යෙහෝවා දෙවිට විශ්වාසවන්ත ඉන්න කියලා ඒ දෙන්නා නිතරම මාව දිරිගැන්නුවා. එක දවසක් තාත්තා මට පොඩි බයිබලයක් ගෙනත් දුන්නා. ඒක මම ඇඳ අස්සේ හංගලා හොරෙන් කියවනවා. දවසක් තව පොඩ්ඩෙන් මම අහු වෙනවා.

කන්‍යාරාමයක සිටි කාලය

මගේ විශ්වාසයන් බිඳින්න බැරි, අම්මයි තාත්තයි මොනවා හරි ක්‍රමයකින් මට උපකාර කරන නිසා කියලා බලධාරීන් සැක කළා. ඒ නිසා 1942දී මාව ජර්මනියේ මියුනිච්වල තිබුණු කතෝලික කන්‍යාරාමයකට අරන් ගියා. ඒ යන අතරේදී කන්‍යා සොහොයුරියක් මගේ බයිබලය දැකලා ඒක ගත්තා.

කවුරු මොනවා කළත් මගේ විශ්වාසය මම නැති කරගන්නේ නැහැ කියලා මම හිතාගත්තා. ඒ නිසා මම පල්ලි යන්නත් බැහැ කිව්වා. දවසක් මම කන්‍යා සොහොයුරියකට කිව්වා ‘අපි ගෙදර ඉන්නකොට සෑම ඉරිදාකම අම්මයි තාත්තයි අපිට ඇහෙන්න බයිබලය කියවනවා’ කියලා. ඒ වෙලාවේදී එයා මට මගේ බයිබලය දීලා කිව්වා එයාටත් ඇහෙන්නම බයිබලය කියවන්න කියලා. ඒ ගැන මට පුදුම හිතුණා.

තවත් දවසක් එක ගුරුවරියක් මට මෙහෙම කිව්වා. “හර්මින්, ඔයාගේ කොණ්ඩේ තඹ පාටයි. ඇස් දෙක නිල් පාටයි. ඒ කියන්නේ ඔයා ජර්මන් ජාතිකයෙක්. යුදෙව්වෙක් නෙවෙයි. හැබැයි යෙහෝවා කියන්නේ යුදෙව්වන්ගේ දෙවියි.”

එතකොට මම කිව්වා “යෙහෝවා දෙවි තමයි මේ ඔක්කොම දේවල් නිර්මාණය කළේ. ඒ නිසා අපි හැමෝම අයිති යෙහෝවා දෙවිටයි” කියලා.

එක් අවස්ථාවකදී විදුහල්පති මට මෙහෙම කිව්වා. “හර්මින්, ඔයාගේ අයියා කෙනෙකුත් දැන් හමුදාවට බැඳිලා. බලන්න! එයා ඔයාට මොන තරම් හොඳ ආදර්ශයක්ද තියලා තියෙන්නේ කියලා.” ඒක මම දැනගෙන හිටියත් අයියා වගේ වෙන්න මට ඕනේ වුණේ නැහැ.

“මම ආදර්ශයට ගන්නේ අයියව නෙවෙයි යේසුස්වයි” කියලා මම කිව්වා. ඊටපස්සේ විදුහල්පති කිව්වා මාව මානසික රෝහලකට ගිහින් දානවා කියලා. ඒත් එහෙම කළේ නැහැ.

වර්ෂ 1943දී මියුනිච් නගරයට බෝම්බ දැම්මා. ඊටපස්සේ අපිව නගරයෙන් ගමකට අරන් ගියා. ඒ කාලයේදී අම්මා කියලා දුන්න දෙයක් මට නිතරම මතක් වුණා. “කවදා හරි දවසක ඔයයි මමයි වෙන් වුණත් යෙහෝවා දෙවි සහ යේසුස් ඔයා ළඟ ඉන්නවා කියලා මතක තියාගන්න. ඒ දෙන්නා ඔයාව කවදාවත් තනි කරන්නේ නැහැ. ඒ නිසා හැමදාම යාච්ඤා කරන්න.”

නැවත පවුලේ අය සමඟ

වර්ෂ 1944 මාර්තු මාසයේදී අපිව නැවතත් මියුනිච්වලට අරන් ආවා. ඒත් එහේ ගුවන් යානාවලින් බෝම්බ දාන නිසා අපි මුළු දවසෙම වගේ හිටියේ බංකර්වලයි. මාව ගෙදර එවන්න කියලා අපේ අම්මයි තාත්තයි නිතරම ඉල්ලා සිටියා. අන්තිමට මට අප්‍රියෙල් මාසයේදී ගෙදර යන්න පුළුවන් කියලා දැනගත්තාම මම හුඟක් සතුටු වුණා.

මම ගෙදර යනවා කියලා අපේ විදුහල්පතිට කියන්න ගිය වෙලාවේ විදුහල්පති මට මෙහෙම කිව්වා. ‘ගෙදර ගියාට කමක් නැහැ හර්මින්, අපිව අමතක කරන්න එපා. අපිට ලියුම් එවන්න. අද වගේම හැමදාමත් ඔයාගේ විශ්වාසයන්ට එකඟව වැඩ කරන්න.’ මම ගෙදර ගිය කාලයේදීම වගේ කන්‍යාරාමයේ හිටිය ගැහැනු ළමයි නවදෙනෙකුත් කන්‍යා සොහොයුරියන් තුන්දෙනෙකුත් බෝම්බයකින් මිය ගියා කියලා මට ආරංචි වුණා. ඇත්තටම යුද්ධය මොන තරම් කෲරද!

වර්ෂ 1944 මැයි මාසයේදී මම බව්තීස්ම වුණා. වර්ෂ 1945 යුද්ධය නතර වුණත් එක්කම මම පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න පටන්ගත්තා. මිනිසුන්ට සාමය හා සමාදානය ලැබෙන්නේ දෙවිගේ පාලනයෙන් පමණයි කියන ශුභාරංචිය හැමෝටම කියන්න මම ආසාවෙන් හිටියා.—මතෙව් 6:9, 10.

වර්ෂ 1950දී එරික් ලිස්කා කියන පූර්ණකාලීනව දෙවිට සේවය කරන සහෝදරයාව මට මුණගැහුණා. එයා හිටියේ ඔස්ට්‍රියාවේ වියානාවලයි. අපි 1952දී විවාහ වුණා. එරික්ගේ පැවරුම වුණේ සාක්ෂිකරුවන්ගේ සභාවලට ගිහින් සහෝදර සහෝදරියන්ව දිරිගැන්වීමයි. විවාහයෙන් පස්සේ මමත් එයත් එක්ක ගියා.

වර්ෂ 1953දී අපිට දුවෙක් ලැබුණා. ඊටපස්සේ අපිට තවත් දරුවෝ දෙන්නෙක් ලැබුණා. පවුලේ වගකීම් වැඩි වුණ නිසා පූර්ණකාලීනව කළ සේවය අපිට නතර කරන්න සිදු වුණා. අපි දෙවිට විශ්වාසවන්තව ඉන්නවා නම් දෙවි කවදාවත් අපිව අත්හරින්නේ නැහැ කියලා මම අද්දැක්කා. හැමදාම මට ශක්තිය ලැබුණේ යෙහෝවා දෙවිගෙන්. විශේෂයෙන්ම 2002දී මගේ ස්වාමිපුරුෂයා නැති වුණාම යෙහෝවා දෙවිගේ කරුණාව සහ ඔහු දෙන ශක්තිය මම වැඩියෙන් අද්දැක්කා.

අතීතය ගැන හිතලා බලනකොට මම මගේ දෙමාපියන්ට හද පත්ළෙන්ම ස්තුති කරනවා. එදා මගේ පුංචි සිතේ යෙහෝවා දෙවි වෙනුවෙන් ආදරයක් සහ බයිබලය කියවන්න ආසාවක් ඇති කළේ ඒ දෙන්නයි. (2 තිමෝති 3:16, 17) ඒ වගේම පීඩා ජය ගන්න මට ශක්තිය දෙන මගේ යෙහෝවා දෙවිට ඊටත් වඩා මම ස්තුති කරනවා.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මම ආදර්ශයට ගන්නේ අයියව නෙවෙයි යේසුස්වයි”

[19වන පිටුවේ පින්තූරය]

අපේ පවුල

[19වන පිටුවේ පින්තූර]

මගේ දෙමාපියන්

[හිමිකම් විස්තර]

Both photos: Foto Hammerschlag

[20වන පිටුවේ පින්තූරය]

එරික් සහ මම