Skip to content

පටුනට යන්න

බයිබලයේ වාර්තා නිවැරදි බවට තවත් සාක්ෂියක්

බයිබලයේ වාර්තා නිවැරදි බවට තවත් සාක්ෂියක්

බයිබලයේ වාර්තා නිවැරදි බවට තවත් සාක්ෂියක්

▪ වර්ෂ 1870දී ඉරාකයේ බැග්ඩැඩ් නුවර අසල කළ කැණීම්වලදී අඟල් දෙකක ප්‍රමාණයෙන් යුත් මැටි පුවරුවක් සොයාගනු ලැබුවා. වර්ෂ 2007 ඕස්ට්‍රියාවේ වියානා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන මයිකල් ජසා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ සමීක්ෂණයක් කිරීමේදී මෙම මැටි පුවරුව ඔහුගේ අවධානයට ලක් වුණා. බයිබලයේ යෙරෙමියා 39:3හි * සඳහන් බැබිලෝනිය ජාතික නිලධාරියෙකු වන නෙබෝ සර්සෙකිම් යන නම එහි සඳහන් වී තිබෙනවා ඔහු දුටුවා.

ක්‍රිස්තු පූර්ව 607 යෙරුසලම විනාශයේදී නෙබෝ සර්සෙකිම් නෙබුකද්නෙෂර් රජුගේ අණ දෙන නිලධාරියෙක් ලෙස සේවය කළා. මැටි පුවරුවේ ඔහුව හඳුන්වා තිබෙන්නේ “ප්‍රධාන නිලධාරියෙක්” ලෙසයි. සාමාන්‍යයෙන් එක් කාල වකවානුවකදී එවැනි පදවි නාමයක් දෙනු ලැබුවේ එක් පුද්ගලයෙකුට පමණයි. මෙයින් පැහැදිලි වන්නේ බයිබලයේ සඳහන් මෙම පුද්ගලයා සැබවින්ම සිටි බවයි.

නෙබෝ සර්සෙකිම් බැබිලෝනියේ ප්‍රධාන දෙවියෙක් වු මාඩුක් හෙවත් මෙරොදක්ගේ දේවාලයට රත්තරන් සපයන්නෙක් ලෙස සේවය කළ බවත් එම පුවරුවේ සඳහන් වෙනවා. (යෙරෙමියා 50:2) එම පුවරුවේ දිනය සටහන් වන්නේ නෙබුකද්නෙෂර් රජගේ පාලන සමයේ දහවන වසරේ එකළොස්වන මාසයේ දහඅටවන දිනය ලෙසයි. ඔහු දේවාලයට ගෙන ආ රත්තරන් යෙරුසලමෙන් කොල්ල කා ගත් ඒවා නොවෙයි. මන්ද යෙරුසලම විනාශ වූයේ ඊට වසර ගණනාවකට පසුවයි. (2 රාජාවලිය 25:8-10, 13-15) එම මහාචාර්යවරයා පවසන්නේ එම මැටි පුවරුවේ “බයිබලයේ සඳහන් ආකාරයට නිතිපතා බැබිලෝනිය දේවාලයට පඬුරු ගෙන ආ පුද්ගලයාගේ නමත් එම දිනයත් නිශ්චිතව සඳහන් කර තිබීම අසාමාන්‍ය දෙයක්” බවයි. මෙම මැටි පුවරුව “බයිබලයේ පුරාණ ගිවිසුමේ තිබෙන පොත්වල සත්‍යතාව තහවුරු කරනවා” කියා බ්‍රිතාන්‍යයේ පුවත්පතක සඳහන් වෙනවා.—Telegraph.

නමුත් බයිබලයේ නිරවද්‍යතාව රඳා පවතින්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂි මත නොවෙයි. බයිබලයේ නිරවද්‍යතාව එහි සඳහන් අනාවැකිවලින්ම තහවුරු වෙනවා. (2 පේතෘස් 1:21) යෙරුසලමේ “සියල්ලත් බැබිලෝනියට ගෙන යන දවස් පැමිණෙන්නේය” කියා එය සිදු වීමට අවුරුදු 100කට පෙර අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් යෙහෝවා දෙවි පවසා තිබුණා. (යෙසායා 39:6, 7, නව ලොව පරිවර්තනය, NW) එමෙන්ම අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන්ද යෙහෝවා දෙවි මෙවැනි දෙයක් පුරෝකථනය කර තිබුණා. ‘මේ නගරයේ [යෙරුසලමේ] සම්පත් සියල්ල මම ඔවුන්ගේ සතුරන්ට කොල්ල කෑමට ඉඩහරින්නෙමි. ඔවුහු ඒවා සියල්ල බැබිලෝනියට රැගෙන යනු ඇත.’—යෙරෙමියා 20:4, 5NW.

යෙරුසලම වටලන්න පැමිණි සතුරු හමුදා නිලධාරින් අතර නෙබෝ සර්සෙකිම්ද සිටියා. ඔහු බයිබලයේ සඳහන් එම අනාවැකි ඉටු වූ ආකාරය ඇසින් දුටු සාක්ෂිකරුවෙක්. ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව එම අනාවැකියේ ඉටු වීමට හවුල් වී තිබෙනවා.

[පාදසටහන]

^ 2 ඡේ. නව ලොව පරිවර්තනයෙහි යෙරෙමියා 39:3 සම්ගර්-නෙබෝ, සර්සෙකිම්, රබ්සාරිස් ලෙස දක්වා තිබෙනවා. මෙහි අනුගමනය කර තිබෙන්නේ හෙබ්‍රෙව් මැසරෙටික් ලියවිලිවල විරාම ලක්ෂණ යොදා ඇති ආකාරයටයි. නමුත් හෙබ්‍රෙව් ව්‍යාංජනාක්ෂරවලට අනුව එය “සම්ගර්, නෙබෝ සර්සෙකිම් රබ්සාරිස් [හෙවත් රජ මාලිගාවේ ප්‍රධාන නිලධාරියා] කියා යොමු දැක්විය හැකියි.” මෙය මැටි පුවරුවේ තිබෙන නමට සමානයි.

[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Copyright The Trustees of the British Museum