Skip to content

පටුනට යන්න

උගුලට අසු නොවීමට යෞවනයන්ට උපකාර

උගුලට අසු නොවීමට යෞවනයන්ට උපකාර

උගුලට අසු නොවීමට යෞවනයන්ට උපකාර

ලෝකයත්, ජනයාත්, ජනප්‍රිය වී ඇති දේත් දිනෙන් දින වෙනස් වෙයි. ඊට ප්‍රධාන හේතුව නවීන තාක්ෂණික දියුණුවයි. එදා පිළිගැනුණ දේ අද නොපිළිගනියි. අද නවීන මෝස්තරය හෙට යල් පිනූ මෝස්තරයක් වෙයි. මෙලෙස ලොව වේගවත් ගමනක යෙදෙද්දී ලොව යන අතට යෑමට යොවුන් පරපුරත් උත්සාහ කරයි.

සමාජ පෙරළියක්

මෑත කාලයේ තාක්ෂණික දියුණුව වැඩියෙන්ම බලපා තිබෙන්නේ යෞවනයන්ටයි. ජංගම දුරකථන හා පරිගණක අද බොහෝ යෞවනයන්ගේ ජීවිතවල කොටසක් වෙලා. ඒවා නැත්නම් ඔවුන්ට දැනෙන්නේ ජීවිතයකුත් නැතුවා වගෙයි. බොහෝවිට ඔවුන් අන් අයව මුණගැසෙන්නේ අන්තර්ජාලය හරහායි. “සාමාන්‍යයෙන්ම මිතුරන් ඇසුරු නොකරන කෙනෙකුට හිටිහැටියේ අන්තර්ජාලයෙන් මිතුරන් සිය ගණන් ඉන්නවා” කියා ඕස්ට්‍රේලියාවේ 19-හැවිරිදි දැරියක් පැවසුවා.

ඇත්තෙන්ම ජංගම දුරකථනයෙන් හා අන්තර්ජාලයෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. කොහොමවුණත් හුඟදෙනෙක් මේවාට ඇබ්බැහි වීම ප්‍රශ්නයක්. විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු වූ ඩොනල්ඩ් රොබට්ස් පවසන්නේ මෙලෙසයි. සමහර ශිෂ්‍යයන්ට “දහයට පටන්ගත් පන්තිය අවසන් වී 11ට පන්තිය පටන්ගන්න අතරවාරයේදී තිබෙන ටික වෙලාවේදීවත් තමන්ගේ දුරකථනයෙන් කතා නොකර ඉන්න බැහැ. හදිසියේවත් කතා කරන්න බැරි වුණොත් ඔවුන් නොසන්සුන් වෙනවා විතරක් නෙවෙයි ඒ ගැන ලත වෙවී ඉන්නවා.”

සමහර යෞවනයන් පිළිගන්නවා ඔවුන් මේ දේවලට ඇබ්බැහි වෙලා කියලා. දාසය හැවිරිදි යෞවනියක් වන ස්ටෙෆනි පැවසුවේ මෙයයි. “මගේ යාළුවන්ට මම නිතරම SMS කරනවා. මොකද ඒගොල්ලන් එක්ක යාළු වෙලා ඉන්න තියෙන එකම ක්‍රමය ඒකයි. ගෙදර ගිය ගමන්ම මම යන්නේ කොම්පියුටර් එක ළඟටයි. සමහරවිට පාන්දර තුන වෙනකන්ම එතන.” හැම මාසෙකම ස්ටෙෆනිට ඩොලර් 100ත් 500ත් (රු. 10,000-50,000) අතර ගාණක දුරකථන බිලක් ගෙවන්න සිදු වෙනවා. ඇය පවසන්නේ “මේ වෙද්දී මාසික ගාස්තුව ඇරෙන්න ඩොලර් 2,000කටත් (රු. 2,00,000) වැඩිය එකතු වෙලා තියෙන අමතර ගාස්තුවට මම අම්මලාට ණයයි. කොච්චර ඇබ්බැහි වෙලාද කියනවා නම් දැන් මට ඒක නැතුව ජීවත් වෙන්නත් බැහැ” කියලයි.

නමුත් ඇති වෙන්නේ මුදල් ප්‍රශ්නේ විතරක් නෙවෙයි. මානව විද්‍යාඥවරියක් වන එලීනර් ඕක්ස් පවුල් ජීවිතය පිළිබඳ සිදු කළ අධ්‍යයනයෙන් එය පැහැදිලි වෙනවා. ඇය පවසන්නේ පියා රැකියාව අවසන් කර නිවසට පැමිණෙද්දී භාර්යාව හා දරුවන් බොහෝවිට අන්තර්ජාලයට නැත්නම් ජංගම දුරකථනයට මොන තරම් යොමු වෙලා හිටියද කියනවා නම් ඔහුගෙන් කොහොමද කියලා අහන්නවත් ඔවුන්ට වුවමනාවක් තිබුණේ නැති බවයි. “අපි මේ දේ දැක්කා. මේ වගේ දරුවන් ඔවුන්ගේම ලෝකයක් තුළ හිර වෙලා ඉන්න නිසා ඔවුන් සමඟ කතා බහ කිරීම දෙමාපියන්ට අමාරු දෙයක් වී තිබෙනවා” කියා ඕක්ස් පවසයි. තවත් සමහර දෙමාපියන් දරුවන්ට ඕන දෙයක් කරන්න ඉඩහැර නිකම්ම සිටිය බවත් අපි දැක්කා කියාත් ඇය පැවසුවා.

අන්තර්ජාල මිතුරන්ගෙන් හානියක් නැද්ද?

යොවුන් පරපුර අන්තර්ජාලයේ ගත කරන කාලය ගැන බොහෝ දෙමාපියන්ට හා ගුරුවරුන්ට බයක් දැනෙනවා. මොකද මේ දරුවන් එමගින් බොහෝ අලුත් මිත්‍රයන්ව සොයාගන්න නිසා. තමන්ගේම වෙබ් අඩවියක් නිර්මාණය කර එහි පින්තූර, වීඩියෝ දර්ශන සහ දිනපොත් අඩංගු කිරීමට දැන් යෞවනයන්ට හැකියාව තිබෙනවා.

හේතු දෙකක් නිසා යෞවනයන් මේ දේට හුඟක් කැමතියි. එකක් නම් එමගින් ඔවුන්ට හැකියි මිතුරු මිතුරියන් සමඟ අදහස් හුවමාරු කරගන්න. අනිත් එක නම් තමන්ගේ හැඟීම් තව කෙනෙකු හා පැවසීමට යෞවනයන් තුළ තිබෙන බලවත් ආශාව මෙම ඉලෙක්ට්‍රොනික මාධ්‍යය මගින් ඉටු කරගත හැකිවීමයි. තම වෙබ් අඩවිය නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමටත් නොවළහා හැඟීම් හෙළි කිරීමටත් කදිම ක්‍රමයක්.

නමුත් තමන්ගේම වෙබ් අඩවියක් විවෘත කරන සමහරු තමන් ගැන සැබෑව හෙළි නොකිරීම ගැටලුවක්. “මගේ පන්තියේ ඉන්න එක පිරිමි ළමයෙක් එයාගේ වෙබ් අඩවියේ දාලා තියෙනවා එයාගේ වයස 21යි, ඉන්නේ ලාස් වේගාස්වල කියලා” යයි 15-හැවිරිදි පිරිමි ළමයෙක් පැවසුවා. සත්‍යය නම් මේ දෙදෙනාම ඉන්නේ ඇමරිකාවේ ලාස් වේගාස් නගරයෙන් කිලෝමීටර් 1,600ක පමණ දුරකින්.

මෙවැනි මවා පෑමක් කිරීම දැන් සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ 18-හැවිරිදි යෞවනියක් පැවසුවේ මෙයයි. “තමන්ට කැමති ඕන දෙයක් අන්තර්ජාලයෙන් කරගන්න පුළුවන්. තමන් ගැන බොරු විස්තරයක් දීලා සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක් හැටියට පෙනී ඉන්න පුළුවන්. කාටවත් සැකයක් ඇති නොවන විදිහට තමන් ගැන සිත්ගන්නා කතා මවන්නත්, සාමාන්‍යයෙන් අඳින්නැති ඇඳුම් ඇඳලා ඒ පින්තූර තමන්ගේ වෙබ් අඩවියට ඇතුල් කරගන්නත් පුළුවන්. මූණට මූණ නොකියන දේවල් භය නැතුව කියන්නත්, තමාව අහු වෙයි කියන භය නැති නිසා ඕනම දෙයක් ඒකෙන් කරන්නත් පුළුවන්.”

අදහස් හුවමාරු කිරීමේ වෙනත් ක්‍රම වගේම අන්තර්ජාලයෙන් අදහස් හුවමාරු කරගැනීම ප්‍රයෝජනවත් විය හැකි වුවත් එයින් විශාල හානියකුත් සිදු විය හැකියි. ඔබ දෙමාපියෙකු නම් ඔබේ දරුවන් ඒ හරහා කරන දේ ඔබ දන්නවාද? ඔවුන් කාලය නාස්ති නොකරන බව ඔබට ස්ථිරද? * (එෆීස 5:15, 16) පරෙස්සම් නූණොත් දරුවන්ට අන්තර්ජාලය නිසා දරුණු අනතුරු සිදු වෙයි. මේවා කීපයක් ගැන අපි දැන් බලමු.

අන්තර්ජාලයෙන් සිදු වන හානි

තම අනන්‍යතාව සැඟවිය හැකි නිසා කාමාතුරයන් අහිංසක දරුවන්ව ගොදුරු කරගැනීමට අන්තර්ජාලය දඩබිමක් කරගෙන. දරුවන් ඒ හරහා තම පෞද්ගලික තොරතුරු දුන් පසුව හෝ අදහස් හුවමාරු කරගැනීමෙන් පසුව, ඉන් කෙනෙකුව මුණගැසීමට සැලසුම් කරනවා නම් නොදැනීම ඔවුන් අමාරුවේ වැටෙනවා. නමුත් දෙමාපියත්වය සම්බන්ධයෙන් ලියැවුණු පොතක සඳහන් වන ආකාරයට “දරුවන් නිවසේදී හෝ පිට්ටනියකදී වුණත් ඊට වඩා දරුණු ප්‍රචණ්ඩ දේවලට ගොදුරු වෙන්න පුළුවන්” කියා සමහරු පැවසිය හැකියි. “ඒත් අන්තර්ජාලය ගැන දෙමාපියන් ඊටත් වඩා භය වන්නේ ඒ හරහා තමන්ගේම නිවසට ඇවිත් තම දරුවන්ට හානි පමුණුවන්න කාමාතුරයන්ට හැකි බව ඔවුන් දන්නා නිසයි.”—එම පොත Parenting 911.

අන්තර්ජාලය වෙනත් වැරදි දේවලටත් යොදාගෙන තිබෙනවා. සමහර යෞවනයන් “අන්තර්ජාල චණ්ඩීන්” බවට පත් වී සිටින්නේ අනුන්ට සරදම් කිරීමෙන්, හිරිහැර කිරීමෙන් හෝ තර්ජනය කිරීමෙන් නැත්නම් අන්‍යයන්ව ප්‍රතික්ෂේප කිරීමෙනුයි. සමහර වෙබ් අඩවි පිහිටුවා තිබෙන්නේ යම් පුද්ගලයෙකුට ගැරහීමට මෙන්ම ඊ-මේල් හෝ සංවාද කුටි වැනි විද්‍යුත් මාධ්‍යයන් මගින් එය අන් අයටත් පතුරුවාහැරීමේ අරමුණින්මයි. අන්තර්ජාලයෙන් ආරක්ෂා වීමට උපකාර කරන කණ්ඩායමක අධ්‍යක්ෂකවරිය පවසන්නේ වයස අවුරුදු 10ත් 14ත් අතර දරුදැරියන්ගෙන් සියයට 80ක්ම යම් ආකාරයකින් එම අන්තර්ජාල චණ්ඩීන්ට හසු වී තිබෙන බවයි.

චණ්ඩිකම් පෑම අලුත් දෙයක් නොවුවත් අන්තර්ජාලය නිසා එය දරුණු අතට හැරී තිබෙනවා. ඕපාදූප හා බොරු ආරංචි පැතිරවීම මෙන්ම චරිත ඝාතනය වේගවත් වී තිබෙන්නේ එමනිසයි. සමහරුන් කැමරා සහිත ජංගම දුරකථන යොදාගෙන පාසැලේ ක්‍රීඩාගාරයේ ඇඳුම් මාරු කරන කාමරයේ ඇඳුම් මාරු කරද්දී හෝ නාන කාමරයේදී නාද්දී හොර රහසේ පින්තූර ගන්නවා. මෙසේ ගන්නා අශ්ලීල පින්තූර සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලගත කරන්නේ ඒවා දැකීමට ආශාවෙන් සිටින ඕනෑම කෙනෙකුට දැක බලාගැනීමටයි.

සැලකිල්ලට යොමු වූ ගැටලුවක්

මේ කාරණා සැලකිල්ලට ගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි නීතිය හා මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව සියලුම දෙමාපියන්ට හා භාරකරුවන්ට මෙවැනි ලිපියක් යැව්වා. “බාලයන් පාසැලේදීත්, නිවසේදීත් අන්තර්ජාලය නුසුදුසු අන්දමින් භාවිත කරනවාද කියලා අපි සැලකිල්ලෙන් සිටින නිසා ඔබේ සහයෝගයත් අපිට අවශ්‍යයි.” ප්‍රධාන කාරණයක් ලෙස ලිපියේ දක්වා තිබුණේ පෞද්ගලික තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලගත කිරීම ගැනයි. ඇඹලයෝ සීනිවලට ඇදෙනවා වගෙයි නොහොබිනා යෞවනයන් හා කාමාතුරයන් මෙවැනි තොරතුරුවලට ඇදෙන්නේ. “දෙමාපියෙනි, ඔබේ පැත්තෙනුත් විශාල කාර්යයක් කළ හැකියි. ඔබේ දරුවන්ව එයින් රැකගැනීමට නම් ඔබ මේ දේවල් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි” කියා තවදුරටත් ලිපියේ සඳහන් වී තිබුණා.

ඒත් තම දරුවන් අන්තර්ජාලය හරහා කරන්නේ කුමක්දැයි සමහර දෙමාපියන් නොදැන සිටීම කනගාටුවට කරුණක්. එය භාවිත කරන තම 16-හැවිරිදි දියණිය ගැන සෝදිසියෙන් සිටි එක් මවක් මෙසේ පවසනවා. “තම දරුවන් අන්තර්ජාලයට ඇතුළත් කරන හා ඉන් ලබාගන්නා දේවල් දැනගත්තොත් දෙමාපින් ඇත්තෙන්ම පුදුම වෙයි විතරක් නෙවෙයි ලජ්ජාවටත් පත් වෙයි.” අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ ප්‍රවීණ තැනැත්තියක් පවසන්නේ සමහර යෞවන යෞවනියන් ඒ හරහා යවන පින්තූර බලන අයගේ කාමුක හැඟීම් ඇවිස්සිය හැකි බවයි.

හානිදායක ප්‍රතිඵල

නමුත් මෙසේ සිතීම හුඹස් බියක්ද? නැත්නම් සමහර වැඩිහිටියන්ට තම නහඹර විය අමතක වූ නිසා අනවශ්‍ය ලෙස කලබල වීමක්ද? එසේ නොවන බවයි සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ. සමහර ප්‍රදේශවල 15ත් 17ත් අතර වයසේ පසුවෙන පිරිමි ළමුන් හා ගැහැනු ළමුන් සියලුදෙනාගෙන් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් ලිංගික සම්බන්ධකම් පවත්වා තිබෙනවා. වයස අවුරුදු 13 හා 19 අතර නහඹරයන්ගෙන් අඩකටත් වඩා පවසන්නේ ඔවුන් මුඛ සංවාසයේ යෙදී ඇති බවයි.

ජංගම දුරකථන හා අන්තර්ජාලයත් ඊට වගකිව යුතුද? ඇත්තෙන්ම ඔව්! “ගැහැනු ළමුන් හා පිරිමි ළමුන් හොර රහසේ අදහස් හුවමාරු කරගන්නේ ජංගම දුරකථනය හා අන්තර්ජාලය හරහායි. ඉන්පසු කතා කරගත් පරිදි ඔවුන් මුණගැසෙන්නේ එකිනෙකාගේ ලිංගික ආශාවන් පිනවාගැනීමේ අරමුණින් පමණයි” කියා පළ වුණේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේයි. ඔවුන් මෙතරම් දුරදිග යන්නේ පරිගණකයේ යතුරු කීපයක් එබීමෙනුයි. එක් සමීක්ෂණයකට අනුව ගැහැනු ළමුන් පස්දෙනෙකුගෙන් හතරදෙනෙක්ම නැත්නම් පස්දෙනාම පිළිගත්තේ අන්තර්ජාලයෙන් ඔවුන් එතරම් පරෙස්සම් නොවූ බවයි.

මෙවැනි හමුවීම් සඳහා අන්තර්ජාලය යොදාගන්නා අය නවතින්නේ කාමාතුරයන්ගේ ගොදුරු බවට පත් වෙලා. ‘ලිංගික දූෂණයන්ට ගොදුරු වන සංඛ්‍යාව වැඩි වී තිබෙනවා’ කියා කැලිෆෝර්නියාවේ නොවාටෝ පොලිස් දෙපාර්තමේන්තුවේ ජෙනිෆර් වෙල්ෂ් අදහසක් දැක්වුවා. ගොදුරු වන්නන්ගෙන් හුඟදෙනෙකුට අනිත් කෙනාව හමු වන්නේ අන්තර්ජාලයෙන් වන අතර පසුව ඔවුන් මුණගැසීමට තැනැක් නියම කරගන්නවා කියාත් ඇය පැවසුවා.

“ලෝකයේ ප්‍රඥාවෙන්” පරෙස්සම් වන්න

නහඹරයන්ට උපදෙස් දෙන පුවත්පත් හා සඟරා බොහොමයක් තිබෙනවා. ඒ හැම එකකින්ම පවිත්‍රත්වය ගැන යම් ඉඟියක් නහඹරයන්ට දුන්නත් ලිංගික සම්බන්ධකම් පවත්වන්න එපා කියා කෙළින්ම නොකියා දිරිගන්වන්නේ “ආරක්ෂිත පියවර” ගැනීමටයි. ඒ ගැන බොහෝදෙනාගේ අදහස මෙයයි. ‘යෞවනයන්ව ඒකෙන් නවත්වන්න අපිට බැරි නිසා අඩුම තරමින් ආරක්ෂා වන ක්‍රම හරි පෙන්වා දීමයි අපේ වගකීම.’

නහඹරයන්ට සුදුසුයි කියා පිළිගත් වෙබ් අඩවියක ලිංගික සම්බන්ධකම් පැවැත්විය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් ලිහිල් මතයක් ඉදිරිපත් කළේ මේ කාරණා තුන ගැන සැලකිලිමත් වුණොත් ඇති යන අදහස දක්වමිනුයි. ඒවා නම්: (1) ගර්භිණී වීමේ අවදානම. (2) ලිංගිකව බෝවෙන රෝග වැලඳීමේ අවදානම. (3) මේ අද්දැකීම ලැබීමට දෙදෙනාම මානසික වශයෙන් සූදානම්ද යන්න තීරණය කිරීමේ වැදගත්කම යන කාරණායි. “කොහොමවුණත් අවසාන තීරණය ඔබේ අතෙයි” කියා එහි තවදුරටත් සඳහන් වෙනවා. කාරණය දෙමාපියෙකු සමඟ පැවසීමේ අවශ්‍යතාව ගැන පවසා තිබුණේ යාන්තමින්. එය හරිද වැරදිද කියා එහි සඳහනක්වත් කර තිබුණේ නැහැ.

ඔබ දෙමාපියෙකු නම් විශ්වාස කළ නොහැකි අනුවණ “ලෝකයේ ප්‍රඥාවෙන්” දරුවන්ට මඟ පෙන්වනවාට වඩා වැඩි යමක් ඔබ කරන බව නිසැකයි. (1 කොරින්ති 1:20) මේ ලිපියේ සාකච්ඡා කළ අනතුරුවලින් වැළකී යොවුන් දිවිය නිම කිරීමට ඔවුන්ට කුමන උපකාරයක් දීමට ඔබට හැකිද? හොඳම පිළිතුර පරිගණකය විසන්ධි කිරීම හෝ දුරකථනය නොදීම නොවෙයි. එහෙම කිරීමෙන් ඔවුන්ගේ හිතට කතා කරන්න ඔබට නොහැකියි. (හිතෝපදේශ 4:23) සමහරවිට දරුවන් ජංගම දුරකථනය හා අන්තර්ජාලය හරහා ලබාගැනීමට උත්සාහ කරන්නේ හොඳ දේවල් විය හැකියි. නමුත් ඒවා වඩාත් පලදායී ලෙස ලබා දීමට දෙමාපියෙකු වන ඔබට හැකියි. ඔවුන්ගේ විශේෂ අවශ්‍යතාවන් මොනවාද?

[පාදසටහන]

^ 13 ඡේ. අන්තර්ජාලය කොහොමටවත් හොඳ දෙයක් නොවෙයි කියා නොපවසා තම දරුවන් පිවිසෙන්නේ කුමන වෙබ් අඩවිවලටද කියා සොයා බලන්න. එවිට “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා වටහාගැනීමේ හැකියාව ඇති” කරගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න ඔබට හැකි වෙයි. (හෙබ්‍රෙව් 5:14) දෙමාපියන් දෙන මෙවන් උපකාර වැඩිහිටි වියට පා තබන දරුවාට අත් වැලක් වේවි.

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ගෙදර ගිය ගමන්ම මම යන්නේ කොම්පියුටර් එක ළඟටයි. සමහරවිට පාන්දර තුන වෙනකන්ම එතන”

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“තමන්ට කැමති ඕන දෙයක් අන්තර්-ජාලයෙන් කරගන්න පුළුවන්. තමන් ගැන බොරු විස්තරයක් දීලා සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක් හැටියට පෙනී ඉන්න පුළුවන්”

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“තම දරුවන් අන්තර්ජාලයට ඇතුළත් කරන හා ඉන් ලබාගන්නා දේවල් දැනගත්තොත් දෙමාපියන් ඇත්තෙන්ම පුදුම වෙයි විතරක් නෙවෙයි ලජ්ජාවටත් පත් වෙයි”

[6වන පිටුවේ කොටුව/පින්තූරය]

එක් යෞවනියකගේ අද්දැකීමක්

අපේ පාසැලට වෙන් කරලා තියෙන වෙබ් අඩවියෙන් මට ශිෂ්‍යයන් සහ ගුරුවරුන් එක්ක අදහස් හුවමාරු කරගන්න පුළුවන් වුණා. මුලින් මම ඒක කළේ සතියකට පැයක් විතරයි. දන්නෙම නැතුව හැමදාම එහෙම කරන්න පටන්ගත්තා. මම කොච්චර ඒකට ඇබ්බැහි වුණාද කියනවා නම් වෙන වෙලාවලදීත් ඒ ගැනමයි හිත හිතා හිටියේ. ඒක මගේ පාසැල් වැඩටත් බාධාවක් වුණා. සභාවේ රැස්වීම්වලට ගියත් මගේ හිත තිබුණේ එතනයි. අන්තිමේදී කලින් හිටිය මිතුරන්වත් මම ගණන්ගත්තේ නැහැ. භාග්‍යයකට මගේ දෙමාපියන් මගේ තත්වය තේරුම්ගත්තා. ඔවුන් වහාම ක්‍රියාත්මක වෙලා මගේ අන්තර්ජාල භාවිතය සීමා කළා. මුලින්ම ඒක මට අමාරු වුණා. හුඟක් කේන්තිත් ගියා. ඒත් දැන් මමත් අනතුර තේරුම් අරගෙනයි ඉන්නේ. මං ඒ ගැන සතුටු වෙනවා. මම බේරුණේ අනූණවයෙන්!—බියංකා.