Skip to content

පටුනට යන්න

කිලුටු ඇඳුමෙන් සැඟවුණ ලස්සන හදවත් ඔයා දකිනවද?

කිලුටු ඇඳුමෙන් සැඟවුණ ලස්සන හදවත් ඔයා දකිනවද?

වීථිවල ජීවත් වෙන අයට ශුභාරංචිය කියන්න කැනඩාවේ ඉන්න ඩොන් ලොකු වෑයමක් දරනවා. එයාට හම්බ වුණ ඒ වගේ කෙනෙක් ගැන එයා කිව්වේ මෙහෙමයි. “මට පීටර් කියලා කෙනෙක්ව හම්බ වුණා. එයා හරිම අපිරිසිදුයි. එයා කා එක්කවත් කතාවට ගියේ නෑ. අනිත් අය එයාට හොඳක් කරන්න ගියත් එයා ඒවා ගාණකටවත් ගත්තේ නෑ.” ඒත් ඩොන් අවුරුදු 14කට වැඩි කාලයක් තිස්සේ හුඟක් ඉවසීමෙන් එයාට උදව් කරන්න උත්සාහ කළා.

පීටර් දවසක් ඩොන්ගෙන් මෙහෙම ඇහුවා. “ඇයි ඔයා මං ගැන මෙච්චර වද වෙන්නේ? කවුරුත් එහෙම කරන්නේ නෑනේ!” ඒ වෙලාවේ ඩොන් බයිබල් පද 3ක් පාවිච්චි කරලා පීටර්ගේ හදවතට කතා කළා. ‘දෙවිට නමක් තියෙනවා කියලා ඔයා දන්නවද’ කියලා එයා මුලින්ම පීටර්ගෙන් ඇහුවා. පස්සේ ගීතාවලිය 83:18 එයාට කියවන්න දුන්නා. ඊටපස්සේ තමන් පීටර් ගැන සැලකිලිමත් වෙන්නේ ඇයි කියලා පෙන්නන්න රෝම 10:13, 14 කියෙව්වා. එතන කියන්නේ “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන්නේය” කියලයි. අන්තිමට මතෙව් 9:36 කියවලා ඒ පදය එයා පීටර්ටත් කියවන්න දුන්නා. ඒකේ කියන්නේ “ඔහු සමූහයන් දුටු විට ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටින අය බව තේරුම්ගත්තේය. ඒ නිසා ඔහුට ඔවුන් කෙරෙහි අනුකම්පාවක් ඇති වුණා” කියලයි. ඒ වෙලාවේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන පීටර් මෙහෙම ඇහුවා. “මාත් ඒ වගේ බැටළුවෙක්ද?”

පීටර් ටිකෙන් ටික ජීවිතේ වෙනස් කරගත්තා. එයා නාලා, රැවුල කපලා ඩොන් දුන්න ඇඳුම් ඇඳගත්තා. එයා දිගටම පිරිසිදුව, පිළිවෙළකට ජීවත් වුණා.

එදිනෙදා වෙන දේවල් පොතක ලියන්න පීටර් පුරුදු වෙලා හිටියා. මුලින් එයා ඒකේ ලියලා තිබුණේ හරිම දුක්බර දේවල් වුණත් මෑතක ඉඳන් එයා ලියලා තිබුණ දේවල වෙනසක් තිබුණා. එක තැනක පීටර් මෙහෙම ලියලා තිබුණා. “අද මම දෙවියන්ගේ නම මුල්ම වතාවට දැනගත්තා. දැන් මට පුළුවන් යෙහෝවා කියන නම කියලම යාච්ඤා කරන්න. ඒ නම දැනගන්න ලැබුණ එක කොච්චර දෙයක්ද! ඩොන් මට කිව්වා දෙවිව මගේ හොඳම යාළුවා කරගන්න පුළුවන් කියලා. ඕන වෙලාවක, ඕනම දෙයක් ඔහුත් එක්ක කතා කරන්න පුළුවන්, ඔහු මට ඇහුම්කන් දෙනවා කියලා.”

පීටර් එයාගේ අන්තිම වචන ටික ලිව්වේ එයාගේ අක්කාටයි, මල්ලිටයි.

“අද මගේ ඇඟට එච්චර හරි නෑ. ඔහොම තමයි වයසට යද්දී. අද මගේ අන්තිම දවස වෙන්නත් පුළුවන්. ඔයාලා මේක කියවනවා කියන්නේ මං ජීවතුන් අතරේ නෑ. මගේ මරණෙට අපිට වඩා වෙනස් කෙනෙක් එයි. එයා මගේ යාළුවා. එයා එක්ක කතා කරන්න. මේ පුංචි නිල් පාට පොත කොහොම හරි කියවන්න [කාලෙකට කලින් එයාට හම්බ වුණ ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය’ කියන පොත]. * ඒ පොතේ කියනවා මට මගේ යාළුවාව පාරාදීසයේදී ආයෙත් හම්බ වෙනවා කියලා. ඒ ගැන මට කිසිම සැකයක් නෑ. මේ ඔයාලගේ ආදරණීය පීටර්.”

පීටර්ගේ අක්කා ඌමි මෙහෙම කිව්වා. “අවුරුදු 2කට කලින් මට පීටර්ව හම්බ වුණා. සෑහෙන කාලෙකට පස්සෙයි එයා සතුටින් ඉන්නවා දැක්කේ.” ඌමි ඩොන්ට මෙහෙමත් කිව්වා. “මල්ලි දුන්න පොත මං කියවනවා. එයාව වෙනස් කරන්න ඒ පොතට පුළුවන් වුණා කියන්නේ ඒ පොතේ මොකක් හරි විශේෂ දෙයක් තියෙන්න ඕනේ.” ඌමි ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ පොතෙන් පාඩමක් කරන්නත් කැමති වුණා.

පිටත පෙනුම බලන්නේ නැතුව හැම තරාතිරමකම අයට ආදරෙන්, ඉවසීමෙන් සලකන්න අපිටත් පුළුවන්. (1 තිමෝ. 2:3, 4) කිලුටු ඇඳුමෙන් සැඟවුණ ලස්සන හදවත් තියෙන පීටර් වගේ අයට දෙවිට ළං වෙන්න උදව් කරන්න එතකොට අපිට පුළුවන් වෙයි. ‘හිතේ තියෙන දේ දකින’ දෙවි ඒ වගේ අයගේ හිත්වලත් සත්‍ය බීජය පැළ වෙන්න ඉඩහරිනවා කියලා අපිට නිසැකයි.—1 සාමු. 16:7; යොහ. 6:44.

^ 7 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් මුද්‍රණය කරන්නේ නැහැ.