Skip to content

පටුනට යන්න

විශ්වය ගැන හිතන්න

විශ්වය ගැන හිතන්න

විශ්වය ගැන හිතද්දී තාරකා විද්‍යාඥයන් පුදුම වෙනවා. විශ්වය ගවේෂණය කරන්න එයාලා අලුත් අලුත් උපකරණ හදනවා. එයාලා හොයාගෙන තියෙන්නේ මොනවාද?

විශ්වය හරිම පිළිවෙළයි. එක සඟරාවක මෙහෙම කියනවා. “මන්දාකිණි තැනින් තැන ඔහේ විසිරිලා නැහැ. ඒවා පිහිටලා තියෙන්නේ හරිම පිළිවෙළකට. හරියට මකුළු දැලක් වගේ.” (Astronomy) කොහොමද එහෙම වෙන්නේ? විද්‍යාඥයන් හිතනවා ඇහැට පේන්නේ නැති අඳුරු පදාර්ථ කියලා දෙයක් ඒකට බලපානවා කියලා. මන්දාකිණි, මන්දාකිණි පොකුරු, සුපිරි මන්දාකිණි පොකුරු රැඳිලා තියෙන්නේ මේ අඳුරු පදාර්ථ මතයි කියලා එයාලා හිතනවා.

විශ්වය මේ තරම් පිළිවෙළට තියෙන්නේ කොහොමද? ඒ වගේ පිළිවෙළක් ඇති වෙලා තියෙන්නේ ඉබේටමද? ඒ ගැන ඇලන් සන්ඩේජ් කියපු දේ බලන්න. එයා 20වෙනි ශතවර්ෂයේ හිටපු දක්ෂතම සහ ශ්‍රේෂ්ඨතම තාරකා විද්‍යාඥයෙක්. ඒ වගේම එයා දෙවියන් ගැනත් විශ්වාස කළා.

එයා මෙහෙම කියනවා. “මෙච්චර පිළිවෙළක් කොහොමටවත් ඉබේ ඇති වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මොකක් හරි දෙයක් තියෙන්නම ඕනේ.”

විශ්වය ජීවයේ පැවැත්මට කියාපු තැනක්. දුර්වල න්‍යෂ්ටික බලය විදිහට විද්‍යාඥයන් හඳුන්වන දේ ගැන බලන්න. ඒ බලය නිසා තමයි සූර්යයා නිපදවන තාපය එකම මට්ටමක තියෙන්නේ. ඒ බලය අඩු වුණා නම් කවදාවත් සූර්යයා කියන තාරකාව බිහි වෙන්නේ නැහැ. අනිත් අතට ඒ බලය වැඩි වුණා නම් සූර්යයා මීට හුඟ කාලෙකට කලින් පිච්චිලා විනාශ වෙලා ගිහින්.

දුර්වල න්‍යෂ්ටික බලය කියන්නේ ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍යම දේවල්වලින් එකක්. ඒ වගේ බලයන් සහ භෞතික නීති තව හුඟක් තියෙනවා. “ඒ දේවල්වලින් එකක් හරි එහෙ මෙහෙ වුණා නම් තරු, ග්‍රහලෝක, මන්දාකිණි කවදාවත් බිහි වෙන්නේ නෑ, ජීවයක් ඇති වෙයි කියලා කොහොමටවත් හිතන්න බෑ” කියලා විද්‍යා ලේඛකයෙක් වන අනිල් ආනන්දස්වාමි කියනවා.

මිනිසුන්ට ජීවත් වෙන්න ගැළපෙනම නිවහනක් විශ්වයේ තියෙනවා. ගැළපෙනම වායුගෝලයක් සහ අවශ්‍ය ප්‍රමාණයට වතුර පෘථිවියේ තියෙනවා. ඒ වගේම පෘථිවියට හරි තැන පිහිටලා ඉන්න උදව් වෙන නියමිත ප්‍රමාණයේ චන්ද්‍රයෙක් ඉන්නවා. “ජීවීන්, පොළොව සහ පරිසරය එකිනෙකට බැඳිලා තියෙන විදිහ බලද්දී මිනිසුන්ට ජීවත් වෙන්න පෘථිවිය තරම් ගැළපෙන තැනක් නෑ” කියලා එක සඟරාවක කියනවා.—National Geographic. *

එක ලේඛකයෙක් කියන විදිහට “අපේ සෞරග්‍රහ මණ්ඩලය තියෙන්නේ ක්ෂීරපථ මන්දාකිණියේ හුදෙකලා තැනක. ඒ නිසා තමයි පෘථිවිය ජීවීන්ට ඉන්න සුදුසු තැනක් වෙලා තියෙන්නේ.” අපේ සෞරග්‍රහ මණ්ඩලය අනිත් තාරකාවලට කිට්ටුවෙන් ඒ කියන්නේ ක්ෂීරපථ මන්දාකිණියේ මැදට වෙන්න නැත්නම් කෙළවරට වෙන්න තිබුණා නම් ඒ තාරකාවලින් පිට වෙන විකිරණ නිසා අපේ ජීවිතවලට ලොකු හානියක් වෙන්න ඉඩ තිබුණා. හැබැයි අපේ පෘථිවිය පිහිටලා තියෙන තැන ගැන විද්‍යාඥයන් කියන්නේ “ඒක පිහිටලා තියෙන්නේ ජීවීන්ගේ වාසයට ගැළපෙනම තැන” කියලා.

භෞතික විද්‍යාඥයෙක් වන පෝල් ඩේවීස් මෙහෙම කියනවා. ‘මේ විශ්වය දිහා බලද්දී පේනවා ඒක ඉබේ ඇති වුණ දෙයක් නෙවෙයි, ඒකට හොඳ සැලැස්මක් තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම අපේ ජීවිතවලට අරමුණක් තියෙන්න ඕනේ.’ ඩේවීස් කියන්නේ නැහැ දෙවියන් මේ විශ්වයත් මිනිසුන්වත් නිර්මාණය කළා කියලා. හැබැයි ඔයාට මොකද හිතෙන්නේ? මේ විශ්වය, පෘථිවිය හැදිලා තියෙන්නේ ජීවීන්ගේ පැවැත්මට ගැළපෙනම විදිහට. ඒක එහෙම වෙලා තියෙන්නේ කවුරු හරි කෙනෙක් අරමුණක් ඇතුව මේ හැම දෙයක්ම හදපු නිසා වෙන්න ඕනෙ නේද?

^ 8 ඡේ. දෙවි කෙනෙක් පෘථිවිය සහ මිනිසුන්ව හැදුවා කියලා ඒ සඟරාවේ කියන්නේ නැහැ. ඒ වෙනුවට ඒකේ කියන්නේ පෘථිවිය මිනිසුන්ට ජීවත් වෙන්න කොයි තරම් සුදුසු තැනක්ද කියලා විතරයි.