Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

උත්පත්ති 1:1 - “පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක”

උත්පත්ති 1:1 - “පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක”

 “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.”—උත්පත්ති 1:1, ‘නව ලොව පරිවර්තනය.’

 “පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.”—උත්පත්ති 1:1, ‘පැරණි අනුවාදය.’

උත්පත්ති 1:1 අදහස

 බයිබලයේ පළවෙනි පදයේ වැදගත් සත්‍යයන් දෙකක් සඳහන් වෙනවා. පළවෙනි සත්‍යය වෙන්නේ ‘අහසට සහ පොළොවට’ ඒ කියන්නේ මුළු විශ්වයටම ආරම්භයක් තිබුණා කියන එකයි. දෙවෙනි සත්‍යය වෙන්නේ ඒ හැම දෙයක්ම දෙවියන් විසින් නිර්මාණය කළා කියන එකයි.—එළිදරව් 4:11.

 දෙවියන් මුළු විශ්වයම නිර්මාණය කළේ කොච්චර කාලයකට කලින්ද කියලත් ඔහු ඒක නිර්මාණය කළේ කොහොමද කියලත් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒත් දෙවියන් විශ්වය නිර්මාණය කළේ “ඔහු සතු අතිමහත් බලය හා ශක්තිය” යොදාගෙනයි කියලා බයිබලයේ සඳහන් වෙනවා.—යෙසායා 40:26.

 “නිර්මාණය කළේය” විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ “බාරා” කියන හෙබ්‍රෙව් ක්‍රියා පදයයි. ඒ ක්‍රියා පදය බයිබලයේ යොදාගෙන තියෙන්නේ දෙවියන් නිර්මාණය කරපු අවස්ථා ගැන කියද්දී විතරයි. a බයිබලයේ යෙහෝවා b දෙවියන්ව හැර වෙන කිසිම කෙනෙක්ව හැම දෙයක්ම නිර්මාණය කළ තැනැත්තා විදිහට හඳුන්වලා නැහැ.—යෙසායා 42:5; 45:18.

උත්පත්ති 1:1 අවට පද

 උත්පත්ති 1වෙනි සහ 2වෙනි පරිච්ඡේදවල දෙවියන් නිර්මාණය කරපු දේවල් ගැන වාර්තාවක් සඳහන් වෙනවා. උත්පත්ති 1:1 සිට 2:4 දක්වා පොළොවත් පොළොවේ ඇති හැම දේමත් මුල් මිනිස් යුවළ ඇතුළු අනිත් ජීවීන්වත් දෙවියන් නිර්මාණය කරපු අනුපිළිවෙළ ගැන කෙටියෙන් සඳහන් වෙනවා. ඊටපස්සේ දෙවියන් මුල් පුරුෂයාව සහ ස්ත්‍රියව නිර්මාණය කරපු විදිහ ගැන තවත් විස්තරාත්මකව සඳහන් කරලා තියෙනවා.—උත්පත්ති 2:7-25.

 දෙවියන් “දවස්” හයක් පුරා ක්‍රමානුකූලව දේවල් නිර්මාණය කළා කියලා උත්පත්ති වාර්තාවේ සඳහන් වෙනවා. ඒ දවස් පැය 24 දවස් හයක් නෙවෙයි. ඒ වෙනුවට ඒ දවස් හයෙන් අදහස් කරන්නේ දීර්ඝ කාල පරිච්ඡේදයන් හයකුයි. හැබැයි ඒ එක් එක් කාල පරිච්ඡේද කොයි තරම් දිගද කියලා හරියටම කියන්න බැහැ. බයිබලයේ “දවස” කියන වචනය යොදාගද්දී ඒකෙන් හැම තිස්සේම පැය 24 දවසක් අදහස් කරන්නේ නැහැ. උදාහරණෙකට දෙවියන් නිර්මාණය කළ මුල් දවස් හයට ඇතුළත් මුළු කාල පරිච්ඡේදයම උත්පත්ති 2:4 එක “දවසක්” හැටියට සඳහන් වෙලා තියෙනවා.

උත්පත්ති 1:1 ගැන තියෙන වැරදි අදහස්

 වැරදි අදහස: දෙවියන් මුළු විශ්වයම නිර්මාණය කළේ අවුරුදු දහස් ගණනකට කලිනුයි.

 නිවැරදි අදහස: විශ්වය නිර්මාණය කළේ කොයි කාලයේද කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා උත්පත්ති 1:1 කියන අදහස විශ්වය අවුරුදු බිලියන ගාණක් පැරණියි කියලා විද්‍යාඥයන් කියන අදහසට විරුද්ධ නැහැ. c

 වැරදි අදහස: උත්පත්ති 1:1 “දෙවියන්” විදිහට පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනය බහු වචන ස්වරූපයෙන් තියෙන නිසා ඒකෙන් ඇඟවෙනවා දෙවියන් ත්‍රිත්වයක් කියලා.

 නිවැරදි අදහස: “දෙවියන්” කියන අර්ථය ඇති “එලොහිම්” කියන හෙබ්‍රෙව් වචනය ගෞරවාර්ථ බහු වචනයක්. ඒක යොදාගෙන තියෙන්නේ පුද්ගලයන් කීපදෙනෙක් ගැන සඳහන් කරන්න නෙවෙයි. ඒ වෙනුවට ඒක යොදාගෙන තියෙන්නේ දෙවියන් මොන තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියන එක අඟවන්නයි. එක විශ්වකෝෂයක ඒ වචනය ගැන මෙහෙම සඳහන් වෙනවා. “බයිබලයේ උත්පත්ති 1:1 ඇතුළු ‘එලොහිම්’ කියන බහු වචනය යොදාගෙන තියෙන තැන්වල ඒ වාක්‍යයේ ක්‍රියා පදය කොයි වෙලෙත් සඳහන් කරලා තියෙන්නේ ඒක වචනයක ස්වරූපයෙන්.” (New Catholic Encyclopedia. Second Edition, Volume 6, page 272) එම වචනය බහු වචනයෙන් යොදාගෙන තියෙන්නේ ගෞරවාර්ථයෙන් මිසක් පුද්ගලයන් ගැන සඳහන් කරන්න නෙවෙයි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.

උත්පත්ති 1වෙනි පර්ච්ඡේදය කියවද්දී ඒකට අදාළ විස්තරාත්මක පාදසටහන් සහ යොමු දැක්වීම් බලන්න.

a අධ්‍යයනය සඳහා තියෙන බයිබලයක ඒ ක්‍රියා පදය ගැන මෙහෙම සඳහන් වෙනවා. “‘බාරා’ කියන හෙබ්‍රෙව් ක්‍රියා පදය කර්තෘකාරක වාක්‍යයක යොදාගනිද්දී කොයිම අවස්ථාවකදීවත් ඒකේ උක්තය හැටියට මිනිසෙක්ව යොමු දක්වන්නේ නැහැ. ඒකෙන් පැහැදිලි වෙනවා ‘බාරා’ කියන ක්‍රියා පදය යොදාගන්නේ දෙවියන් විසින් කරන නිර්මාණයන් ගැන කියද්දී විතරයි කියලා.”—HCSB Study Bible, Page 7.

b යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.

c බයිබලයේ සඳහන් වචන සහ යෙදුම් ගැන අදහස් දක්වන පොතක “පටන්ගැන්මේදී” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් යෙදුමෙන් යොමු දැක්වෙන කාල පරිච්ඡේදය සම්බන්ධයෙන් මෙහෙම සඳහන් වෙනවා. “ඒ කාල පරිච්ඡේදය කොයි තරම් දිගද කියලා ඒ යෙදුමෙන් හෙළි වෙන්නේ නැහැ.”—The Expositor’s Bible Commentary, Revised Edition, Volume I, page 51.