Skip to content

පටුනට යන්න

දෙමාපියන්, දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතුද?

දෙමාපියන්, දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතුද?

පාඨකයන් අසයි

දෙමාපියන්, දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතුද?

▪ විවිධ රෝග බෝ කරන විෂබීජවලින් තම දරුවන්ව ආරක්ෂා කරන්න දෙමාපියන් ගොඩක් මහන්සි වෙනවා. දරුවන්ගේ මනස් දූෂණය විය හැකි දේවලින් ඔවුන්ව ආරක්ෂා කිරීමටද දෙමාපියන් ඒ හා සමාන මහන්සියක් ගත යුතුයි. එය කළ හැකි එක් ආකාරයක් වන්නේ දරුවන්ගේ වයසට ගැළපෙන ආකාරයට ලිංගික අධ්‍යාපනයක් ලබා දීමයි. (හිතෝපදේශ 5:3-23) රූපවාහිනිය, අන්තර්ජාලය මෙන්ම පොත් පත් හා සමහර විහිළු මගින් ලිංගික කාරණා ගැන වැරදි අදහස් ඉදිරිපත් කරන නිසා දරුවන්ට ඒ ගැන නිවැරදි අවබෝධයක් ලබා දීම ඉතා වැදගත්.

අධ්‍යාපනය පිළිබඳව මහාචාර්යවරියක් සහ කර්තෘවරියක් වන ඩිඈන් ලෙවින් මෙසේ පවසනවා. ‘ළමයින් ලිංගික කාරණා ගැන ඉගෙනගන්න එකේ වරදක් නැහැ. හැබැයි දරුවන් ඒ ගැන දන්නේ මොනවාද, ඒ අයගේ වයසට ඒ දේවල් ගැළපෙනවාද සහ ඒවා ඉගැන්විය යුත්තේ කවුද යන කාරණාවලට දෙමාපියන් අවධානය දිය යුතුයි. ඊට හේතුව ලිංගික කාරණා ගැන දරුවන් වෙනත් අයගෙන් වැරදි තොරතුරු ඉගෙනගත්තොත් එය ඔවුන්ගේ මනසට දැඩි බලපෑමක් ඇති කරනවා.’

කිසිම සදාචාර ප්‍රතිපත්තියක් නැති මිනිසුන් කරන පහත් ක්‍රියාවලින් හා ඔවුන්ට තිබෙන ආකල්පවලින් තම දරුවන්ව ආරක්ෂා කිරීමේ වගකීම දෙමාපියන්ට තිබෙනවා. (හිතෝපදේශ 5:1; එෆීස 6:4) තම ශරීරයේ සිදු වන වෙනස්කම්, ශරීරය පිරිසිදුව තබාගන්නා ආකාරය හා කාම ආශාවෙන් දැවෙන මිනිසුන්ගෙන් ආරක්ෂා වන ආකාරය ගැන යෞවන දරුවන් දැන සිටිය යුතුයි. දරුවන්ගේ ශරීරය තුළ සිදු වන වෙනස්කම් ගැන ඔවුන් යොවුන් වියට පැමිණීමට පෙර ඔවුන්ව දැනුවත් කළ යුතුයි. දියණියක් වැඩි වියට පැමිණෙන විට මාසික ඔසප් වීම සිදු වන්නේ ඇයි සහ කොහොමද කියා ඇයව දැනුවත් කළ යුතුයි. එමෙන්ම මුල් වරට රාත්‍රියේදී ශුක්‍රාණු පිට වීමක් සිදු වීමට කලින් පිරිමි ළමයින්ව ඒ ගැන දැනුවත් කළ යුතුයි. ශරීරයේ විවිධ අවයවයන් හඳුන්වන නිවැරදි නම් කුඩා කාලයේදීම දරුවන්ට කියා දීම වැදගත්. ඊට අමතරව තවත් වැදගත් කාරණා තුනක් එනම්, (1) ලිංගික අවයව විශේෂ ඒවා වන බවත් (2) ඒවා වෙන අය විසින් ඇල්ලීම හෝ වෙන අයට ඒවා දකින්න සැලැස්වීම සුදුසු නැති බවත් (3) ලිංගික කාරණා ගැන නුසුදුසු කතාබහේ යෙදීම වැරදි බවත් දෙමාපියන් දරුවන්ට කියා දිය යුතුයි. දරුවා වයසින් වැඩෙත්ම ස්ත්‍රියක් ගැබ්ගන්නා ආකාරය ගැන ඔවුන්ට කියා දිය යුත්තේ කොයි අවස්ථාවේදීද කියා දෙමාපියන් තීරණය කළ යුතුයි. *

දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දීම දෙමාපියන් ආරම්භ කළ යුත්තේ කුමන කාලයේදීද? සමහර ගැහැනු දරුවන්ට අවුරුදු දහයේදී හෝ ඊට කලින් ඔසප් වීම ආරම්භ විය හැකියි. පිරිමි දරුවෙකුට අවුරුදු 11දී හෝ 12දී මුල් වරට නින්දේදී ශුක්‍රාණු පිට විය හැකියි. ඒ දේවල් සිදු වීමට කලින්ම දරුවන්ව ඒ ගැන දැනුවත් කළ යුතුයි. ඒ වගේම සදාචාරය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමේ ඇති වැදගත්කම තේරුම්ගන්නත් ඒ කාලයේදීම ඔවුන්ට උපකාර කළ යුතුයි.—හිතෝපදේශ 6:27-35.

[පාදසටහන]

^ 5 ඡේ. මෙම විෂය ගැන ප්‍රයෝජනවත් තොරතුරු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනවල පළ වී තිබෙනවා. වර්ෂ 2006 මැයි පිබිදෙව්! කලාපයේ 10-13 දක්වා පිටුවල ඇති “ඔබේ දියණියගේ මල්වර විය” නමැති ලිපියද, 2004 ජූලි පිබිදෙව්! කලාපයේ 4-7 දක්වා පිටුවල ඇති “මොනවද මට මේ වෙන්නේ” නමැති ලිපියද, 2007 ඔක්තෝබර් පිබිදෙව්! කලාපයේ 7වෙනි සහ 8වෙනි පිටුවල ඇති ලිපිද, 2010 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ 12-14 දක්වා පිටුවල ඇති “ලිංගික කාරණා ගැන දරුවන්ව දැනුවත් කළ යුත්තේ ඇයි” යන ලිපියද බලන්න.