Skip to content

පටුනට යන්න

ඔවුන් දෙවිගේ වචනයට ඇලුම් කළා

ඔවුන් දෙවිගේ වචනයට ඇලුම් කළා

ඔවුන් දෙවිගේ වචනයට ඇලුම් කළා

වැඩිම පිරිසකට තේරුම්ගැනීම සඳහා වැදගත් තොරතුරු විවිධ භාෂාවන්ට පරිවර්තනය කරනවා. ඒ අතර ශුද්ධ බයිබලය ප්‍රධාන තැනක් ගන්නවා. දෙවිගේ වචනය වන එහි ඉතා වැදගත් පණිවිඩයක් අඩංගුයි. එය බොහෝ කලකට පෙර ලියා තිබුණත් එහි අඩංගු තොරතුරු “අපේ ඉගෙනීම සඳහා ලියා” ඇති අතර ඒ තුළින් අපට සැනසීම හා අනාගතය සඳහා හොඳ බලාපොරොත්තුවක්ද ලබා දෙනවා.—රෝම 15:4.

මිනිස් ඉතිහාසයේ වැදගත්ම පණිවිඩය වාර්තා වී තිබෙන්නේ ශුද්ධ බයිබලයෙයි. ඒ නිසා එය විවිධ භාෂාවලට පරිවර්තනය කළ යුතු වුණා. නමුත් එය පරිවර්තනය කළ බොහෝදෙනාට බරපතළ අසනීප, ආණ්ඩු විසින් පනවන ලද තහංචි හා මරණ තර්ජනවලට මුහුණ දෙන්න සිදු වුණා. ඔවුන් මෙතරම් දුෂ්කර තත්වයන්ට මුහුණ දෙමින් එම කාර්යය ඉටු කළේ ඇයි? ඊට හේතුව නම් එහි තිබූ තොරතුරුවල වටිනාකම ඔවුන් දැන සිටීමයි. අපි දැන් සලකා බලන්නේ ඔවුන් මුහුණ දුන් කටුක අද්දැකීම්වලින් කිහිපයක් පමණයි.

ඔවුන්ගේම භාෂාවෙන් බයිබලයක්

කතෝලික පූජකයෙක් වූ ජෝන් වයික්ලිෆ් බයිබලය පරිවර්තනය කළ පුද්ගලයෙක්. ඔහු ඉපදුණේ ක්‍රිස්තු වර්ෂ 1330දී පමණය. ඒ වන විට එංගලන්තයේ පල්ලිවල දේවමෙහෙයන් සිදු කළේ ලතින් භාෂාවෙන් පමණයි. නමුත් බොහෝදෙනා භාවිත කළේ ඉංග්‍රීසි භාෂාවයි. ඔවුන් යාච්ඤා කළේද ඒ භාෂාවෙනුයි.

වයික්ලිෆ්ට ලතින් භාෂාව ගැන හසළ දැනුමක් තිබුණා. නමුත් ඒ භාෂාව දැන සිටියේ උගත් සුළු පිරිසක් පමණක් නිසා බයිබලය ගැන ඉගැන්වීමට ලතින් භාෂාව භාවිත කිරීම වැරදි බව ඔහු තේරුම්ගත්තා. ඔහු ඒ ගැන මෙසේ සඳහන් කළා. ‘අපි උගන්වන්නේ දෙවිගේ වචනයයි. ඒ නිසා හැමෝටම තේරුම්ගන්න පුළුවන් භාෂාවකින් ඒක උගන්වන්න ඕනේ.’ මේ නිසා වයික්ලිෆ් හා තවත් කිහිපදෙනෙක් එකතු වී බයිබලය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම ආරම්භ කළා. ඒ සඳහා වසර 20ක පමණ කාලයක් ගත වුණා.

නමුත් කතෝලික පල්ලිය ඒ ගැන තම අකමැත්ත පළ කළා. ඊට හේතුව එක් පොතක සඳහන් කර තිබුණේ මෙසේයි. ‘තමන් පල්ලියෙන් ඉගෙනගත් දේවල්, යේසුස්ගේ ඉගැන්වීම්වලට එකඟද කියා සොයා බලන්න සාමාන්‍ය ජනයාට ඒ පරිවර්තන මගින් හැකියාව ලැබුණා. ඒ අනුව ඔවුන් තේරුම්ගත්තේ පල්ලියේ ඉගැන්වීම් බොහෝ සේ වෙනස් බවයි.’—එම පොත The Mysteries of the Vatican.

වයික්ලිෆ්ව විවේචනය කරමින් එකොළොස් වන ග්‍රෙගරි පාප්වරයා විසින් නියෝග පහක් නිකුත් කළා. නමුත් ඔහු තම කාර්යය නතර කළේ නැහැ. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “මෝසෙස්ට දෙවිගේ නීති ලැබුණේ මෝසෙස්ගේම භාෂාවෙනුයි. යේසුස්ගේ අනුගාමිකයන් ඉගෙනගත්තේද ඔවුන්ගේම භාෂාවෙන්. ඉතින් එංගලන්තයේ ඉන්න අයත් කැමති ඉංග්‍රීසි භාෂාවෙන්ම යේසුස් ගැන ඉගෙනගන්නයි.” වයික්ලිෆ් මිය යන්න ටික කාලයකට පෙර, එනම් 1382දී ඔහුගේ කණ්ඩායම විසින් මුළු බයිබලයම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර බෙදාහැරියා. ඊට වසර දහයකට පසුව ඔහුගේ කණ්ඩායමේ අනික් අය විසින් එම බයිබලය සංශෝධනය කළා. ඒ නිසා එය පහසුවෙන් කියවා තේරුම්ගන්න ජනයාට හැකි වුණා.

මේ කාලය වන විට මුද්‍රණ යන්ත්‍ර සොයාගෙන නොතිබූ නිසා ඒවා පිටපත් කිරීමට සිදු වුණේ අතින්. එය ඉතා පරිස්සමින් කළ යුතු කාර්යයක්. එක් පිටපතක් නිම කිරීම සඳහා සමහරවිට මාස දහයක් පමණ ගත වුණා. කෙසේනමුත් මේ ආකාරයෙන් බයිබලය සෑම කෙනෙකුගේම අතට පත් වීම ගැන පූජකයන් කෝප වුණා. ඒ නිසා මේ පරිවර්තනය කියවන අයව පල්ලියේ සාමාජිකත්වයෙන් ඉවත් කරන බව අගරදගුරු පැවසුවා. ඔවුන්ගේ කෝපය මොන තරම්ද කියනවා නම් ඔවුන් වයික්ලිෆ්ගේ මරණයෙන් වසර 40කට පසු ඔහුගේ ඇටකටු ගොඩගෙන ඒවා පිලිස්සුවා. පසුව එහි අළු ස්විෆ්ට් ගඟට විසි කළා. නමුත් බයිබලය ගැන ඉගෙනගන්න කැමති අය වයික්ලිෆ් පරිවර්තනය කරන ලද බයිබලය දිගටම කියෙව්වා. පසුව සිදු වූ දේ ගැන මහාචාර්යය විලියම් එම්. බ්ලැක්බර්න් මෙසේ පවසනවා. “ඔහුගේ පරිවර්තනයේ පිටපත් බොහොමයක් සාදා බොහෝදෙනා අතර බෙදාහැරියා. ඒ වගේම ඒවා ඉදිරි පරම්පරාවටද ආරක්ෂා කර තැබුවා.”

හැමෝටම කියවා තේරුම්ගත හැකි බයිබලයක්

වයික්ලිෆ්ගේ පරිවර්තනය සඳහා යොදාගත් ඉංග්‍රීසි භාෂාව වසර 200කට පමණ පසු භාවිතයෙන් තොර වුණා. ඒ නිසා බොහෝදෙනාට එම බයිබලය තේරුම්ගැනීම අපහසු වුණා. මෙයට විසඳුමක් ලෙස එංගලන්තයේ ජීවත් වූ විලියම් ටින්ඩේල් නමැත්තාඑදා භාවිත කළ ඉංග්‍රීසි භාෂාවට අනුව බයිබලය පරිවර්තනය කිරීමට සිතුවා. එක් අවස්ථාවකදී උගත් පුද්ගලයෙක් මෙසේ කියනවා ඔහුට ඇසුණා. ‘දෙවිගේ වචනය තේරුම්ගන්න බැරි වුණාට කමක් නැහැ. අපිට පාප්තුමාගේ වචනය තියෙනවානේ.’ ඉන්පසු ටින්ඩේල් පැවසුවේ ‘දෙවි මට උපකාර කරනවා නම් නගුල අරගෙන යන කොලුගැටයෙකුට වුණත් තේරුම්ගන්න පුළුවන් විදිහට බයිබලය පරිවර්තනය කරන්න’ තමා පියවර ගන්න බවයි.

වර්ෂ 1524දී විලියම් ටින්ඩේල් ජර්මනියේ පදිංචියට ගියා. එහිදී ඔහු බයිබලය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේ එහි මුල් හෙබ්‍රෙව් හා ග්‍රීක පිටපත් යොදාගෙනයි. පසුව ඔහු ඒවා මුද්‍රණය කළා. එය ආරංචි වුණ ඔහුගේ විරුද්ධවාදීන් මේ පරිවර්තනයේ පිටපත් තහනම් කරන්න කියා සෙනෙට් සභාවට බල කළා.

මේ නිසා ටින්ඩේල් ජර්මනියේම වෙනත් ප්‍රදේශයකට පලා ගොස් එහි ඔහුගේ වැඩකටයුතු දිගටම කරගෙන ගියා. ඉන් ටික කලකට පසු ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ අලුත් ගිවිසුමේ පිටපත් ඔහු රහසිගතව එංගලන්තයට යැව්වා. මාස හයක් ඇතුළත ඉන් පිටපත් බොහෝ ප්‍රමාණයක් අළෙවි වුණා. ඒ නිසා එහි බිෂොප්වරයා හදිසි රැස්වීමක් කැඳවා, මුද්‍රණය කර තිබූ බයිබල් සියල්ලම ගිනි තබා විනාශ කරන්න කියා අණ කළා.

ජනයා මෙම බයිබලය කියවීම නතර කිරීමට හා ටින්ඩේල් මිථ්‍යාදෘෂ්ටිකයෙක් බව ඒත්තුගැන්වීමට ලන්ඩන් නුවර බිෂොප්වරයා, ශ්‍රීමත් තෝමස් මෝර් නමැත්තාව යොදාගත්තා. ටින්ඩේල් තම පරිවර්තනයේ යොදාගත් සමහර වචන ගැන තෝමස් තම අප්‍රසාදය පළ කළා. ඒවා නම් “පල්ලිය” වෙනුවට “සභාව,” “පූජකයා” වෙනුවට “වැඩිමහල්ලා” යන වචනයි. එමගින් පාප්වරයාට තිබූ බලතල අභියෝගයට ලක් කළා. එමෙන්ම පූජකයන් හා බැතිමතුන් අතර වෙනසක් තිබිය යුතුද යන්න ගැනත් ප්‍රශ්න මතු වුණා. බැතිමතුන් ස්වර්ගයට යන්නේ ඔවුන් ලබා දෙන පඬුරුවල ප්‍රමාණය අනුව කියා පල්ලිය ඉගැන්නුවා. නමුත් ටින්ඩේල් “පඬුරු” යන වචනය වෙනුවට “ප්‍රේමය” යොදා තිබූ නිසා පල්ලියට ලැබෙමින් තිබූ මහා ධනස්කන්දය අඩු වෙයි කියා ඔවුන් බිය වුණා.

තෝමස් මෝර්ගේ අදහස වූයේ පල්ලියට විරුද්ධ වන සියලුදෙනාවම පුලුස්සා මරා දැමිය යුතු බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස 1536 ඔක්තෝබර් මාසයේදී ටින්ඩේල්ව කණුවක එල්ලා පුලුස්සා මරා දැමුවා. පසුව තෝමස් මෝර්වද එංගලන්තයේ රජුගේ අප්‍රසාදයට ලක් වීම නිසා ඔහුගේද හිස ගසා දැම්මා. කෙසේනමුත් ඔහුව 1935දී රෝමානු කතෝලික පල්ලිය විසින් ශුද්ධවන්තයෙක් ලෙස නම් කළා. ඉන්පසුව වර්ෂ 2000දී දෙවන ජුවාම් පාවුලු පාප්වරයා විසින් ඔහුව දේශපාලනඥයන්ගේ සාන්තුවරයා ලෙස නම් කළා.

නමුත් ටින්ඩේල්ට එවැනි පිළිගැනීමක් ලැබුණේ නැහැ. කෙසේවෙතත් ඔහුගේ මිතුරෙක් වන මයිල්ස් කවඩේල් විසින් ටින්ඩේල්කළ පරිවර්තන කොටස් කිහිපයක් එක් කොට සම්පූර්ණ බයිබලය එළිදැක්වූවා. හෙබ්‍රෙව් හා ග්‍රීක යන ශුද්ධ ලියවිල්ලේ මුල් පිටපත් යොදාගෙන කෙළින්ම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ පළමු බයිබලය වූයේ එයයි! එය නගුල රැගෙන යන කොලුගැටයෙකුට පවා කියවා තේරුම්ගත හැකි වුණා. අනිකුත් භාෂාවන්ට පරිවර්තනය කළ බයිබල් ගැන කුමක් කිව හැකිද?

‘කළ නොහැකි දෙයක් කිරීම’

බ්‍රිතාන්‍ය ජාතික රොබට් මොරිසන් නමැත්තා තවත් බයිබල් පරිවර්තකයෙක්. ඔහු තම පවුලේ හා මිතුරන්ගේ අකමැත්ත මැද 1807දී චීනය බලා පිටත් වුණේ චීන භාෂාවට බයිබලය පරිවර්තනය කිරීමේ දැඩි අධිෂ්ඨානය ඇතුවයි. ඔහු උත්සාහ කරන්නේ ‘කළ නොහැකි දෙයක් කිරීමටයි’ කියා වරක් එක් පුද්ගලයෙක් පැවසුවා.

චීන භාෂාව විදේශිකයෙකුට ඉගැන්වීම මරණ දණ්ඩනය ලැබිය හැකි වරදක් බව මොරිසන් දැනගත්තා. කෙසේනමුත් එම භාෂාව ඉගෙනගැනීමේදී තමාගේත් තමාට උගන්වන අයගේත් ආරක්ෂාව සඳහා යම් කලකට නිවසටම වී සිටින්න මොරිසන්ට සිදු වුණා. ඉන් “අවුරුදු දෙකකට පසුව ඔහු චීන භාෂාව ගැන පුළුල් අවබෝධයක් ලැබූ අතර එය ලිවීමට සහ කියවීමටද ඔහුට හැකි වූ” බව එක් වාර්තාවක සඳහන් වුණා. මේ අතර චීනය තුළ ක්‍රිස්තියානි පොත් පත් නිපදවීම මරණ දණ්ඩනයට සුදුසු වරදක් බව අධිරාජ්‍යයා ප්‍රකාශ කළා. එවන් තර්ජන හමුවේ පවා මොරිසන් 1819 නොවැම්බර් 25වන දින සම්පූර්ණ බයිබලයම චීන භාෂාවට පරිවර්තනය කිරීම අවසන් කළා.

මෙසේ 1836වන විට චීන භාෂාවෙන් සම්පූර්ණ බයිබලයේ පිටපත් 2,000ක් පමණ මුද්‍රණය කර තිබුණා. එමෙන්ම අලුත් ගිවිසුමේ පිටපත් 10,000ක් පමණ හා ශුද්ධ බයිබලයට අයත් විවිධ කොටස් 31,000ක් පමණ චීන භාෂාවෙන් මුද්‍රණය කර තිබුණා. ඉන් තහවුරු වන්නේ ‘කළ නොහැකියි කියා සිතූ දෙයක්’ පවා කිරීමට හැකි වුණේ දෙවිගේ වචනය කෙරෙහි මිනිසුන්ට තිබූ ප්‍රේමය නිසා බවයි.

කොට්ටය තුළ සඟවාගෙන ආ බයිබලය

බුරුමයේ * වෙසෙන ජනයාගේ භාෂාවට බයිබලය පරිවර්තනය කිරීමෙහි මූලිකත්වය ගෙන කටයුතු කළේ ඇඩනයිරම් ජඩ්සන් හා ඈන් යන ඇමරිකානු ජාතික යුවළයි. ඔවුන් බුරුමය බලා පිටත් වුණේ 1812 පෙබරවාරි මාසයේදීයි. ඒ ඔවුන්ගේ විවාහයෙන් සති දෙකකට පසුවයි. ඔවුන් බුරුමයට පැමිණියේ 1813දීයි. ඉන්පසු එහි ජනයා භාවිත කළ භාෂාව ඉගෙනගන්න පටන්ගත්තා. එය ලෝකයේ තිබෙන ඉගෙනගැනීමට දුෂ්කරම භාෂාවලින් එකක්. කෙසේනමුත් වසර කිහිපයකට පසු ජඩ්සන් ඒ ගැන මෙසේ ලිව්වා. “අපිට ඉගෙනගන්න සිදු වුණේ අපි කතා කරන භාෂාවට වඩා හාත්පසින්ම වෙනස් භාෂාවක්. ඒ රටේ අය හිතන විදිහත් අපිට වඩා ගොඩක් වෙනස්. ඒ භාෂාව ඉගෙනගන්න ශබ්ද කෝෂයක් තිබුණෙවත් පරිවර්තකයෙක් සිටියේවත් නැහැ.”

බයිබලය පරිවර්තනය කිරීමට ජඩ්සන් එය බාධාවක් කරගත්තේ නැහැ. මෙසේ ඔහු 1823 ජූනි මාසයේදී බුරුම ජනයාගේ භාෂාවෙන් අලුත් ගිවිසුම පරිවර්තනය කර අවසන් කළා. පසුව බුරුමයේ යුද්ධය ආරම්භ වූ අතර ජඩ්සන්ව ඔත්තුකරුවෙකු කියා සැක කර අත්අඩංගුවට ගත්තා. ඉන්පසු ඔහුට සෙලවෙන්නවත් බැරි ලෙස අත් පා දම්වැල්වලින් බැඳ සිරගත කළා. “එහිදී ජඩ්සන්ට තම බිරිඳ සමඟ කතා කරන්න ලැබුණු පළමු අවස්ථාවේදී ඔහු මුලින්ම විමසුවේ අලුත් ගිවිසුමේ ඔහු පරිවර්තනය කළ පිටපත ගැනයි.” එසේ පැවසුවේ 1853දී ජඩ්සන්ගේ ජීවිත කතාව ලියූ ෆ්‍රැන්සිස් වේලන්ඩ් නමැති තැනැත්තායි. තම නිවසේ වළලා තිබූ පරිවර්තනය කළ ශුද්ධ ලියවිලි පිටපත තෙතමනය හා පුස් බැඳීම නිසා විනාශ වේය යන බිය ඔහුට තිබුණා. ඒ නිසා ඔහුගේ බිරිඳ ඒවා කොට්ටයක් තුළට දමා මසා සිරගතව සිටි ජඩ්සන්ට ගෙනැවිත් දුන්නා. එයාකාරයෙන් මේ පිටපත ආරක්ෂා වුණා.

ඉන් මාස කිහිපයකට පසු නිදහස ලැබූ ජඩ්සන්ට තවත් දුක්බර දෙයකට මුහුණ දෙන්න සිදු වුණා. ඊට හේතුව එම වසරේදීම ඔහුගේ බිරිඳ දරුණු උණ රෝගයක් වැලඳීමෙන් මිය යෑමයි. ඊට මාස හයකට පසු අවුරුදු දෙකක් වයසැති ඔහුගේ දුව සුව කළ නොහැකි රෝගයකට ගොදුරු වුණා. එවන් වේදනාකාරී අද්දැකීම්වලට ඔහු මුහුණ දුන්නත් 1835 වන විට බයිබලය සම්පූර්ණයෙන්ම පරිවර්තනය කර අවසන් කිරීමට ඔහුට හැකි වුණා.

ඔබත් දෙවිගේ වචනයට ඇලුම් කරනවාද?

දෙවිගේ වචනය වන බයිබලය ගැන එය පරිවර්තනය කළ අය තුළ තිබූ ඇල්ම කොතරම්ද කියා ඉහත සිද්ධීන්වලින් මනාව පැහැදිලියි. නමුත් එවන් ඇල්මක් මිනිසුන් තුළ ඇති වී තිබෙන්නේ අද ඊයේ නොවෙයි. අතීතයේ ඊශ්‍රායෙලයේ විසූ ගීත රචකයෙක් ලියූ වචනවලින් ඒ බව දැකගත හැකියි. “ඔබේ නීතියට මම බොහෝ සෙයින් ඇලුම් කරමි. දවස මුළුල්ලේ ඒ ගැන මම කල්පනා කරමි.” (ගීතාවලිය 119:97, නව ලොව පරිවර්තනය, NW) බයිබලය නිකම්ම පොතක් පමණක් නොවෙයි. එහි ඉතා වැදගත් පණිවිඩයක් අඩංගු වෙනවා. බයිබලය දිනපතා කියවීමෙන් ඊට ඇලුම් කරන බව ඔබත් පෙන්වන්න. ඔබ එය කියවා ඉගෙනගන්නා දේ අදාළ කරගන්නා විට ඉන් ‘මහත් සන්තෝෂයක් අද්දකින’ බව නොඅනුමානයි.—යාකොබ් 1:25.

[පාදසටහන]

^ 22 ඡේ. බුරුමය දැන් හඳුන්වන්නේ මියන්මාරය ලෙසයි. එහි භාෂාව මියන්මා.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘එංගලන්තයේ ඉන්න අය කැමති ඉංග්‍රීසි භාෂාවෙන්ම යේසුස් ගැන ඉගෙනගන්නයි.’—ජෝන් වයික්ලිෆ්

[9වන පිටුවේ පින්තූර]

විලියම් ටින්ඩේල් හා ඔහුගේ පරිවර්තනයෙන් පිටුවක්

[හිමිකම් විස්තර]

Tyndale: From the book The Evolution of the English Bible

[10වන පිටුවේ පින්තූර]

රොබට් මොරිසන් සහ ඔහු චීන භාෂාවෙන් පරිවර්තනය කළ බයිබලය

[හිමිකම් විස්තර]

In the custody of the Asian Division of the Library of Congress

Robert Morrison, engraved by W. Holl, from The National Portrait Gallery Volume IV, published c.1820 (litho), Chinnery, George (1774-1852) (after)/Private Collection/Ken Welsh/The Bridgeman Art Library International

[11වන පිටුවේ පින්තූර]

ඇඩනයිරම් ජඩ්සන් සහ ඔහුගේ බයිබල් පරිවර්තනය

[හිමිකම් විස්තර]

Judson: Engraving by John C. Buttre/Dictionary of American Portraits/Dover

[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Wycliffe: From the book The History of Protestantism (Vol. I); Bible: Courtesy of the American Bible Society Library, New York