Skip to content

පටුනට යන්න

ඇදහිල්ලේ ස්ථිරව සිටීමට වූ අපගේ සටන

ඇදහිල්ලේ ස්ථිරව සිටීමට වූ අපගේ සටන

ජීවිත කතාව

ඇදහිල්ලේ ස්ථිරව සිටීමට වූ අපගේ සටන

රෝල්ෆ් බෘගමයර්

හිරේ ඉන්න කාලෙදී මට ඉස්සෙල්ලාම ලියුම හම්බ වුණේ මගේ යාළුවෙක්ගෙන්. ඒකේ තිබුණේ මගේ අම්මාවයි මල්ලිලා තුන්දෙනා වන පීටර්, යොකෙන් සහ මාන්ෆ්‍රෙට්වත් අත් අඩංගුවට අරගෙන කියලයි. ඒ නිසා මගේ නංගිලා දෙන්නා තනි වුණා. නැඟෙනහිර ජර්මනියේ නිලධාරීන් අපේ පවුලට පීඩා කරන්න හේතුව මොකක්ද? ඇදහිල්ලේ ස්ථිරව සිටීමට අපිට උපකාරවත් වුණේ මොනවාද?

දෙවන ලෝක යුද්ධය පටන්ගත්තාම අපේ ළමා කාලය අපිට නැති වුණා. යුද්ධය කොතරම් දරුණුද කියලා අපිටම තේරුණේ එතකොටයි. අපේ තාත්තා ජර්මානු හමුදාවට බැදුණා. අන්තිමට ප්‍රාණ ඇපකරුවෙක් හැටියට මිය ගියා. ඒ නිසා මගේ අම්මාට සිදු වුණා අවුරුද්දේ ඉඳලා අවුරුදු 16 දක්වා වන දරුවන් හයදෙනෙකුගේ බර කරට ගන්න. අම්මාගේ නම බර්ටා.

අම්මා ගිය පල්ලියේ වුණ දේවල් නිසා ආගම ගැන කලකිරිලයි හිටියේ. ඒ නිසා තවදුරටත් දෙවියන් ගැන අහන්නවත් ඇය කැමති වුණේ නැහැ. එක දවසක් ඉල්සා ෆූක්ස් කියන කාන්තාව ශුභාරංචිය ගැන කතා කරන්න අපේ ගෙදරට ආවා. ඒ 1949දීයි. ඇය ඥානවන්තව අහපු ප්‍රශ්න නිසාත් කතා කරපු විදිය නිසාත් ආගම එපා වෙලා හිටපු අම්මාගේ කුතුහලය ඇවිස්සුණා. බයිබලය ගැන ඉගෙනගත්ත නිසා ඒකෙන් ඇයට බලාපොරොත්තුවක් ලැබුණා.

මායි මල්ලිලයි නම් මේ ගැන මුලින්ම ටිකක් සැක හිතුවා. නාට්සිවරු සහ පසුව කොමියුනිස්ට්වාදීන් අපිට පුදුමාකාර පොරොන්දු දුන්නත් ඒවා ඉටු වුණේ නැති නිසා අපි කලකිරුණා. ඒ නිසා කවුරු හරි අලුත් පොරොන්දුවක් ගැන කියද්දී අපි ඒ ගැනත් සැක හිතුවා. හැබැයි අපිට අවස්ථාව ලැබුණා යුද්ධයට බැඳෙන එක ප්‍රතික්ෂේප කරපු සමහර සාක්ෂිකරුවන්ව ගාල් කඳවුරුවලදී අඳුරගන්න. ඔවුන් එක්ක ආශ්‍රය කරද්දී අපිට තේරුණා මේක තමයි සත්‍යය කියලා. ඒ නිසා ඊළඟ අවුරුද්දේ අම්මයි, පීටරුයි, මායි බව්තීස්ම වුණා.

මගේ බාල මල්ලි මාන්ෆ්‍රෙටුත් බව්තීස්ම වුණා. කොමියුනිස්ට්වාදීන් 1950දී අපේ රාජ්‍ය වැඩ කටයුතු තහනම් කළාම රහස් පොලිසිය මල්ලිව අල්ලගෙන එයාව හොඳටම භය කළා. පෙනෙන විදිහට බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් එයාගෙ හිතට ගිහිල්ලා තිබුණේ නැහැ. එයා භයටම, අපි රැස්වීම් පවත්වන තැන ගැන පොලිසියට කිව්වා. අන්තිමේදී මගේ අම්මවත් මගේ අනිත් මල්ලිලාවත් අත් අඩංගුවට ගත්තේ ඒ හින්දයි.

තහනම යටතේ සේවය කිරීම

තහනම නිසා නැඟෙනහිර ජර්මනියට අපේ බයිබල් පොත් පත් අරගෙන ගියේ හොර රහසේ. හැබැයි බර්ලින් නගරයේ බටහිර ප්‍රදේශයේ අපේ පොත් පත් තහනම් කරලා තිබුණේ නැහැ. ඒ නිසා මම අපේ පොත් පත් එහෙං අරගෙන නැගෙනහිර ජර්මනියට ගියා. මම පොලිසියෙන් කිහිප සැරයක් බේරුණත් 1950 නොවැම්බර් මාසයේ මාව අත් අඩංගුවට ගත්තා.

ඊට පස්සේ රහස් පොලිසිය මාව පොළොව යට තිබිච්ච කුඩා සිර කුටියකට දැම්මා. රෑ තිස්සෙ පොලිසිය මගෙන් ප්‍රශ්න කෙරුවා විතරක් නෙවෙයි මට ගහපු වෙලාවලුත් තිබුණා. මට දවල්ටවත් ටිකක් නිදා ගන්න දුන්නේ නැහැ. එදා ඉඳන් මගේ පවුලේ කා එක්කවත් කිසිම කතා බහක් කරන්න ලැබුණේ නැහැ. ආයේ මම මගේ අම්මවයි, පීටර්වයි, යොකෙන්වයි දැක්කේ 1951 මාර්තු මාසයේ ඒගොල්ලන් මගේ නඩුවට ආපු දවසෙයි. එදා මට අවුරුදු හයක සිර දඬුවමක් නියම වුණා.

මාව විතරක් නෙවෙයි ඊට දවස් හයකට පස්සේ මගේ අම්මවයි, පීටර්වයි, යොකෙන්වයි අත් අඩංගුවට ගත්තා. ඒකෙන් මගේ නංගිලා දෙන්නා තනි වුණා. එක නංගි කෙනෙක්ගේ නම හනාලෝරා, එයාට අවුරුදු 11යි. එයාව බලාගත්තේ අපේ සභාවේ සහෝදරියක්. අනිත් එක්කෙනාගේ නම සබීනා, එයාට අවුරුදු 7යි. එයාව බලාගත්තේ අපේ මහම්මා. රහස් පොලිසියේ නිලධාරීන් මගේ අම්මාටයි, මල්ලිලා දෙන්නටයි සැලකුවේ හරියට දරුණු අපරාධකාරයන්ට සලකනවා වගෙයි. ඒ අය අපිව කොච්චර සැක කෙරුවද කියනවා නම් අපේ සපත්තුවල ලේස් පටිත් ගැලෙව්වා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගෙන් ප්‍රශ්න කරද්දී දිගටම හිටගෙන ඉන්නත් සිද්ධ වුණා. අවසානයේදී ඔවුන්ටත් අවුරුදු හයක සිර දඬුවමක් නියම කළා.

හමුදා වැඩ කටයුතු සඳහා ගුවන් තොටුපළක් ඉදි කරන්න කියලා 1953දී මටයි තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුටයි කිව්වා. හැබැයි අපි ඒක ප්‍රතික්ෂේප කළා. ඒ නිසා දඬුවමක් හැටියට අපිව දවස් 21ක් පුරා තනි කරල තිබ්බා. කිසිම වැඩක් පලක් කරන්න දුන්නෙත් නැහැ. ලියුම් ලැබුණෙත් නැහැ. යවන්නත් බැහැ. කන්න දුන්නෙත් හරිම පොඩ්ඩයි. අපේ සමහර සහෝදරියන්ටත් එච්චර කෑම ලැබුණේ නැහැ. ඒ වුණත් ඒ අය ඒකෙනුත් ටිකක් ඉතුරු කරලා අපිට හොරෙන් ගෙනත් දුන්නා. මේ අය අතර සිටි ඇනීව මං දැනහඳුනා ගත්තේ ඒ කාලයේදීයි. ඇනී නිදහස් වුණේ 1956දීයි. මම නිදහස් වුණේ 1957දීයි. පසුව මම ඇය සමඟ විවාහ වුණා. අපේ දුව රූත් ඉපදුණේ ඊට අවුරුද්දකට පස්සෙයි. මේ කාලෙම වගේ පීටරුයි, යොකෙනුයි, හනාලෝරායි විවාහ වුණා.

මාව නිදහස් කරලා අවුරුදු තුනක් යන්නත් ඉසෙල්ලා ආයෙමත් අත් අඩංගුවට ගත්තා. රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් හැදුවා මාව නම්මගෙන මගෙන් ඔත්තු අහගන්න. එයා මට මෙහෙම කිව්වා. “බෘගමයර් මහත්තයෝ ටිකක් සාධාරණව කල්පනා කරලා බලන්න. ඔයාට හොඳට තේරෙනවානේ හිරේ ගෙවන ජීවිතේ කොයි වගේද කියලා. අපි ආසත් නැහැ ඔයා අර පරණ දුකම ආයෙත් විඳිනවට. ඉස්සර වගේ ඔයාට සාක්ෂිකරුවෙක් හැටියට වැඩ කරගෙන යන්නත් බයිබලය පාඩම් කරන්නත් පුළුවන්. ඒ ගැන අනිත් අයට කියන්නත් ඔයාට පුළුවන්. අපිට ඕනෙ ඔයගොල්ලෝ මොනවාද කරන්නේ කියන එක ගැන තොරතුරු දැනගන්න විතරයි. අඩුම තරමේ ඔයාගේ බිරිඳයි දුවයි ගැනවත් ටිකක් හිතන්න.” එයා අන්තිමට කියපු ඒ වචන ටික මගේ හිතට හරියට වැදුණා. හැබැයි මං හිරේ හිටියත් යෙහෝවා දෙවි මගේ පවුලේ අයව මට වඩා හොඳට බලාගන්නවා කියලා මම දැනගෙන හිටියා. ඇත්තටම දෙවි මගේ පවුලේ අයව හොඳින් බලාගත්තා.

නිලධාරීන් ඇනීට බල කෙරුවේ සතියේ දවස්වල රූත්ව කා ළඟ හරි තියලා පූර්ණ කාලීන රැකියාවක් කරන්න කියලයි. ඇනී ඒක ප්‍රතික්ෂේප කරලා රෑ කාලයේ වැඩ කරන්න පටන්ගත්තා. ඒකෙන් දවල් කාලයේ රූත්ව බලාගන්න ඇයට පුළුවන් වුණා. ඒ කාලයේ අපේ සභාවේ අය මගේ බිරිඳවත් දරුවාවත් හොඳට බලාගත්තා. සභාවේ අය ඔවුන්ට කොච්චර දේවල් දුන්නාද කියනවා නම් ඇනී ඒවා අනිත් අය එක්කත් බෙදාගත්තා. මේ අතර මම තව අවුරුදු හයක් යකඩ කූරු ගනිමින් කාලය ගෙව්වා.

හිරේ සිටියත් ඇදහිලිවන්තව

මම හිරේට ගිය ගමන් මගේ සාක්ෂිකාර මිත්‍රයන් පුදුම උනන්දුවෙන් හිටියේ අලුතෙන්ම ආපු පොත් මොනවාද කියලා දැනගන්නයි. මම නිදහස් වෙලා හිටිය කාලේ මුරටැඹ සඟරාව හොඳින් අධ්‍යයනය කරපු එක ගැනත් දිගටම රැස්වීම්වලට ගිය එක ගැනත් මම ගොඩක් සන්තෝෂ වෙනවා. ඒකෙන් මට පුළුවන් වුණා හිරේ හිටිය මගේ සාක්ෂිකාර සහෝදරයන්ව දිරිගන්වන්න.

හිරගෙදර හිටිය ආරක්ෂක නිලධාරීන්ගෙන් අපි බයිබලයක් ඉල්ලුවාම ඒ අය කිව්වේ “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට බයිබලයක් දෙන එක හරියට හිරේ ඉන්න අපරාධකාරයෙකුට පැනල යන්න ආයුධ දෙනවා වගේ වැඩක්” කියලයි. ඒ වුණත් අපි හැම දවසකම හිරගෙදරදී බයිබල් පදයක් සාකච්ඡා කළා. මූලිකත්වය ගන්නා සහෝදරයෝ මුලින්ම සාකච්ඡා කරන්න බයිබල් පදයක් තෝරගන්නවා. හැමදාම ටිකක් එළියට ගිහිල්ල ඇවිදින්න, ව්‍යායාම් කරන්න අපිට පැය බාගයක් දුන්නා. හැබැයි අපි ඒ වෙලාව ගත්තේ දවස ඇතුළත තෝරාගන්නා බයිබල් පදය සාකච්ඡා කරන්නයි. අපිට ඉන්න වුණේ එක් එක්කෙනාට අඩි 15ක් ඈතින්. ඒ වගේම කතා කරන එකත් තහනම් කරලයි තිබුණේ. ඒ වුණාට කොහොමහරි අපි ඒ බයිබල් පදය මොකක්ද කියලා දැනගත්තා. ආයෙත් අපේ හිර මැදිරිවලට ගියාට පස්සේ, එළියෙදී අපිට ඇහිච්ච දේවල් ගැන දිනපතාම සාකච්ඡා කෙරුවා.

කොහොමවුණත් අන්තිමේදී කෙනෙක් අපි ගැන තොරතුරු හෙළි කරපු නිසා මාව තනි හිරකුටියකට දැම්මා. ඒ වුණත් මේ වෙනකොට මට බයිබල් පද සිය ගණනක් මතක තිබුණ එක ගැන මම ගොඩක් සන්තෝෂ වුණා. තනියම ගත කරපු ඒ කාලයේදී බයිබලයේ විවිධ විෂයන් ගැන මං මෙනෙහි කළා. ඊට පස්සේ මාව වෙන හිර කුටියකට මාරු කෙරුවා. ඒකෙ තව සාක්ෂිකරුවන් දෙන්නෙක් හිටියා විතරක් නෙවෙයි, අපිට බයිබලයකුත් දුන්න නිසා අපේ සන්තෝෂය ඉහ වහ ගියා. මාස හයක් තිස්සේ මම තනිවමයි හිටියේ. නමුත් නැවතත් මගේ සහෝදරයන් එක්ක බයිබලයේ විවිධ විෂයන් ගැන සාකච්ඡා කරන්න ලැබුණ එක මම කොයි තරම් අගය කරනවාද!

මගේ මල්ලි පීටර් හිර ගෙදර ඉන්න කොට එයාට විඳදරාගන්න පුළුවන් වුණේ කොහොමද කියලා මෙහෙම විස්තර කරනවා. “මම හැම තිස්සෙම කල්පනා කෙරුවේ පාරාදීස පොළොවේ ජීවිතය ගැනයි. ඒ වගේම බයිබලයේ තියෙන තොරතුරු ගැනත් මම නිතරම කල්පනා කෙරුවා. සාක්ෂිකරුවෝ වන අපි එකිනෙකාව ශක්තිමත් කරගත්තේ බයිබල් ප්‍රශ්න ඇසීමෙන් සහ ශුද්ධ ලියවිලි ගැනත් එක එක ප්‍රශ්න ඇසීමෙනුයි. හිරගෙදර ජීවිතය එතරම් ලෙහෙසි වුණේ නැහැ. වර්ග අඩි 130ක් විතර ඉඩ තියෙන කාමරයක අපි 11දෙනෙක් හිටියා. අපි කෑවේ, නිදාගත්තේ, නාගත්තේ විතරක් නෙවෙයි අපේ වැසිකිළිය තිබුණෙත් එතැනමයි. අපි තද පීඩනයකින් හිටිය නිසා අපිට කේන්ති ගිය වෙලාවලුත් තිබුණා.”

මගේ අනිත් මල්ලි යොකෙන් හිරගෙදරදී එයා ගත කරපු ජීවිතේ ගැනත් මෙහෙම කියනවා. “අපේ ගීතිකා පොතේ මට කට පාඩම් ගීතිකා මම ගායනා කළා. මම හැමදාම මගේ මතකයේ තිබුණු බයිබල් පද ගැන මෙනෙහි කළා. නිදහස් වුණාට පස්සේ මගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න පුළුවන් විදිහේ කාලසටහනකට අනුව මම වැඩ කළා. ඒ වගේම නොකඩවා මගේ පවුලේ අයත් එක්ක දිනපදය සාකච්ඡා කළා විතරක් නෙවෙයි සියලුම රැස්වීම්වලටත් සූදානම් වුණා.”

අම්මා හිරෙන් නිදහස් වුණාට පස්සේ

අම්මා අවුරුදු දෙකකට ටිකක් වැඩි කාලයක් හිරේ ගත කළාට පස්සේ නිදහස් වුණා. ඒ නිදහස පාවිච්චි කරලා මගේ නංගිලා වන හනාලෝරා සහ සබීනාට අම්මා බයිබලය ගැන ඉගැන්නුවා. ඒක ඒ දෙන්නාගේ ඇදහිල්ලට හොඳ පදනමක් දැම්මා. දෙවි කෙරෙහි ඇදහිල්ල තබපු නිසා ඉස්කොලෙදී ආපු ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය ගැනත් අම්මා ඉගැන්නුවා. හනාලෝරා මෙහෙම කියනවා. “ගෙදරදී අපිට එකිනෙකාගෙන් දිරිගැන්වීමක් ලැබුණ නිසා අපිට මුහුණ දෙන්න තිබුණ දේවල් අපි එච්චර ගණන් ගත්තේ නැහැ. අපේ පවුලේ අය අතර තිබුණ බැඳීම නිසා ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න අපිට පුළුවන් වුණා.”

හනාලෝරා තවදුරටත් මෙහෙමත් කියනවා. “හිරේ හිටපු අපේ සහෝදරයන්ට අපි අපගේ ප්‍රකාශනත් යැව්වා. තෙල් කඩදාසිවල අපි පොඩි අත් අකුරෙන් සම්පූර්ණ මුරටැඹ සඟරාවම පිටපත් කළා. ඊට පස්සේ වතුරට පෙඟෙන්නේ නැති කඩදාසියක ඒක ඔතලා මාස්පතා ඒගොල්ලන්ට යවපු වියළි මිදි පාර්සලයේ ඒක හැංගුවා. ‘එවපු මිදි ටික හරි රසයි’ කියලා අපිට අහන්න ලැබෙන කොට අපිට ඇති වුණේ පුදුම සන්තෝෂයක්! අපි ඒ වැඩේ කළේ හුඟක් ආශාවෙන්. ඒ කාලේ නම් අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ.”

තහනම යටතේ

දශක ගණනාවක් තිස්සේ නැඟෙනහිර ජර්මනියේ තහනම යටතේ කටයුතු කිරීම කොයි වගේ අද්දැකීමක් වුණාද කියලා පීටර් විස්තර කරන්නේ මෙහෙමයි. “අපි රැස්වීම් පැවැත්තුවේ කුඩා කණ්ඩායම් හැටියට සහෝදරයන්ගේ ගෙවල්වලයි. අපි ආව ගිය වෙලාවල් හැමතිස්සෙම වෙනස් කෙරුවා. හැම රැස්වීමකටම පස්සේ ඊළඟ රැස්වීම තියන්නේ කොහෙද කියල තීරණය කෙරුවා. හැබැයි අපි මෙහෙම කෙරුවේ පොඩි තුන්ඩු කෑලිවලින් සහ අපිටම කියලා හදාගත්තු සංඥාවලිනුයි. හේතුව රහස් පොලිසියේ ඔත්තු බලන අය හැමතැනම හිටපු නිසයි.”

හනාලෝරා මෙහෙම කියනවා. “සමහර වෙලාවට අපිට එක්රැස්වීම්වල පටිගත කරපු කතා ලැබුණා. අපි කණ්ඩායමක් හැටියට එකතු වෙලා පැය කීපයක් ඒවාවලට ඇහුම්කන් දුන්නා. අපිට කථිකයන්ව පෙනුණේ නැති වුණත් ඊට හොඳින් ඇහුම්කන් දීලා සටහන් ගත්තා. ඇත්තටම ඒ වගේ අවස්ථාවන් අපි හැමෝටම ලොකු ප්‍රීතියක් ගෙන දුන්නා.”

පීටර් මෙහෙම කියනවා. “වෙනත් රටවල ඉන්න අපේ ක්‍රිස්තියානි සහෝදරයන් අපිට අපේ ප්‍රකාශන ලබා දීමට අමතර වෑයමක් ගත්තා. බර්ලින් තාප්පය 1989දී කඩා දැමීමට ඉස්සෙල්ලා තිබුණු අවුරුදු දහය ඇතුළත අපි සඳහාම ඔවුන් අපේ ප්‍රකාශන කුඩාවට මුද්‍රණය කළා. නැඟෙනහිර ජර්මනියට අපේ පොත් ප්‍රවාහණය කිරීමට සමහරු තමන්ගේ වාහන, මුදල් වගේම තමන්ගේ නිදහස පවා අනතුරේ හෙළුවා. එක දවසක රාත්‍රියේදී අපි යුවළක් එනකං බලාගෙන හිටියා. හැබැයි ඒගොල්ලෝ ආවේ නැහැ. ඒ අයව පොලිසියෙන් අල්ලගත්තා. එයාලගේ වාහනයත් ඔවුන්ට අහිමි වුණා. එච්චර දරුණු පීඩා තිබුණත් අපි කවදාවත් හිතුවේ නැහැ අපේ වැඩ නවත්වලා නිදහස් ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා.”

කලින්, ඒ කියන්නේ 1950දී අපිව පාවලා දුන්න මගේ බාල මල්ලී මාන්ෆ්‍රෙට්ට නැවත සත්‍යය මාර්ගයට එන්න පුළුවන් වුණේ කොහොමද කියන එක ගැන එයා විස්තර කරනවා. එයා මෙහෙම කියනවා. “මාස කිහිපයකට මාව හිරේ දැම්මාට පස්සේ මම බටහිර ජර්මනියට ගියා. සත්‍යයත් අතහැරියා. මම නැවත නැඟෙනහිර ජර්මනියට ආවේ 1954දීයි. පස්සේ 1955දී මම විවාහ වුණා. මගේ බිරිඳ සත්‍යය ඉගෙනගන්න පටන්ගත්තා. ඇය 1957දී බව්තීස්ම වුණා. ඔහොම යද්දී මගේ හිත මට වද දෙන්න පටන්ගත්තා. මගේ බිරිඳගේ උපකාරයත් ඇතිව මම නැවත ක්‍රිස්තියානි සභාව එක්ක ආශ්‍රය කරන්න පටන්ගත්තා.

“මාව කලින් ඉඳලා දැනගෙන හිටිය සහෝදරයෝ මම නැවත හැරිලා ආවාම මාව පිළිගත්තේ හරියට මගේ අතින් මුකුත්ම වෙලා නැති ගානටයි. මට සිනහාවක් පාලා මාව බදාගත්තාම මට දැනුණේ පුදුම සතුටක්. යෙහෝවා දෙවි එක්කත් මගේ සහෝදරයන් එක්කත් නැවත සමගි වෙන්න ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.”

ඇදහිල්ලේ සටන දිගටම

ඇදහිල්ල වෙනුවෙන් අපේ පවුලේ හැමෝටම ලොකු සටනක් කරන්න වෙලා තියෙනවා. අපි අද ජීවත් වන මේ කාලේ ගැන මගේ මල්ලී පීටර් මෙහෙම කියනවා. “වෙන කවදාටත් වඩා අපිව නොමඟ යවන්න පුළුවන් හුඟක් දේවල් අද තියෙනවා. තහනම යටතේ ඉන්නකොට අපිට තිබුණ දේවල් වලින් අපි සතුටු වුණා. අපේ රැස්වීම් ඉවර වුණේ ගොඩක් රෑ වෙලා කියලාවත්, අපි රැස්වීම් සඳහා හමු වූ තැන් හරිම දුරයි කියලාවත් කවුරුත් කෙඳිරිගෑවේ නැහැ. පෞද්ගලික හේතු නිසා අපේ කණ්ඩායමේ ඉන්නේ නැතිව වෙන කණ්ඩායමකට ගියෙත් නැහැ. සමහර දවස්වලට රැස්වීමෙන් පස්සේ ගෙදර යන්න අපේ වාරේ එනකොට රෑ 11:00 විතර වෙනවා. ඒ වුණත් අපිට එකට රැස්වෙන්න ඒකෙන් අවස්ථාව ලැබුණ නිසා අපි සතුටු වුණා.”

මේ අතර අම්මා 1959දී නංගිත් එක්ක බටහිර ජර්මනියට ගියා. මගේ අම්මාට ඕන වුණා අවශ්‍යතාව වැඩියෙන් තිබුණු ප්‍රදේශයක සේවය කරන්න. මේ නිසා ශාඛා කාර්යාලයේ මඟ පෙන්වීම ඇතිව බාඩ්න් වුට්ටම්බර්ග් නම් ප්‍රදේශයේ එල්වැන්ගන් නම් නගරයට ඔවුන් ගියා. එතකොට මගේ නංගි සබීනාට වයස අවුරුදු 16යි. මගේ අම්මා අසනීපයෙන් හිටියත් ඇයට තිබූ උද්‍යෝගය නිසා සබීනාත් අවුරුදු 18දී පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. සබීනා විවාහ වුණාට පස්සේ, අවුරුදු 58දී මගේ අම්මාට ඕන වුණා කාර් එකක් එළවන්න පුරුදු වෙන්න. එතකොට ඇයට පුළුවන් ඇගේ සේවය තවත් හොඳින් කරන්න. අම්මා 1974 මියයන තුරුම මේ සේවයේ විශ්වාසවන්තව යෙදෙමින් සිටියා.

දෙවෙනි වරට සිරගත කළාම අවුරුදු හයක් මට එහෙ ගත කරන්න සිදු වුණා. ඊට පස්සේ 1965 මාව බටහිර ජර්මනියට පිටුවහල් කළා. ඒ ගැන මගේ පවුලේ කිසිමකෙනෙක් දැනගෙන හිටියේ නැහැ. කාලයක් ගියාට පස්සේ මගේ භාර්යාවත් දුවත් බටහිර ජර්මනියට ආපු නිසා අපිට ආපහු එකට ඉන්න අවස්ථාව උදා වුණා. අපි තීරණය කළා අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගිහිල්ලා සේවය කරන්න. ශාඛා කාර්යාලයෙන් ගිහිල්ලා ඒ ගැන මම ඇහුවම ඔවුන් මට මඟ පෙන්නුවේ බවේරියා ප්‍රදේශයේ පිහිටි නෝට්ලිඟන්වලට යන්න කියලයි. එහෙ තමයි අපේ දුව රූත් සහ පුතා යෝහානස් හැදුණේ වැඩුණේ. මේ අතර මගේ භාර්යාව ඇනී තීරණය කළා පුරෝගාමී සේවය පටන්ගන්න. ඇය තැබූ කදිම ආදර්ශය නිසා දුවත් ඉස්කෝලෙ ගිහිල්ලා ඉවර වෙච්ච ගමන් පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා. මගේ දුවයි පුතයි දෙන්නම විවාහ වුණේ පුරෝගාමීන් එක්කයි. දැන් ඔවුන්ටත් දරුවෝ ඉන්නවා. අපිට අපේ මුණුපුරු මිණිපිරියන් හයදෙනාව දකින්න ලැබීම මොන තරම් ආශීර්වාදයක්ද!

මට අවස්ථාව ලැබුණා 1987දී මම කරපු රස්සාවෙන් කලින්ම විශ්‍රාම යන්න. ඒකෙන් මට පුළුවන් වුණා ඇනී එක්ක එකතු වෙලා පුරෝගාමී සේවය කරන්න. ඊට අවුරුදු තුනකට පස්සේ සෙල්ටස්වල තිබුණු ශාඛා කාර්යාලයේ ඉදිකිරීම් කටයුතුවල හවුල්වෙන්න කියලා මට ආරාධනයක් ලැබුණා. පසුව අපි බටහිර ජර්මනියේ ග්ලව්චව්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් ශාලාව ඉදි කළා. පසුව ඒක බලාගැනීමේ පැවරුම ලැබුණෙත් අපිටමයි. හැබැයි සෞඛ්‍ය තත්වයන් නිසා අපේ දුව ඉන්න නෝට්ලිඟන් සභාවට ගිහිල්ලා පුරෝගාමීන් හැටියට සේවය කරන්න අපි තීරණය කළා.

මගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සියලුදෙනාත්, මගේම පවුලේ අයගෙන් වැඩිදෙනෙකුත් දිගටම යෙහෝවා දෙවිට සේවය කරනවා දකින්න ලැබීම ගැන මට දැනෙන සන්තෝෂය ගැන කියන්න වචන නැහැ. අපි යෙහෝවා දෙවිට ළංවෙලා ඉන්න තාක්කල් ගීතාවලිය 126:3හි ඇති වචන කොයි තරම් ඇත්තද කියල පහුගිය අවුරුදුගාන පුරාම අපි හොඳට අද්දැක්කා. ඒ පදයේ මෙහෙම කියනවා. “යෙහෝවා අපට මහත් ක්‍රියා කළේය. එබැවින් අපි සන්තෝෂ වෙමු.”

[13වන පිටුවේ පින්තූරය]

අපි විවාහ වුණ දවස, 1957දී

[13වන පිටුවේ පින්තූරය]

මගේ පවුලේ අයත් සමඟ 1948දී: (ඉදිරි පෙළ, වමේ සිට දකුණට) මාන්ෆ්‍රෙට්, බර්ටා, සබීනා, හනාලෝරා, පීටර්; (පිටුපස පෙළ, වමේ සිට දකුණට) මමයි යොකෙන්

[15වන පිටුවේ පින්තූර]

තහනම කාලයේදී කුඩාවට මුද්‍රණය කළ පොතක්, රහස් පොලිසිය අපගේ සංවාදවලට රහසින් ඇහුම්කන්දීමට යොදාගත් උපකරණය

[හිමිකම් විස්තර]

Forschungs- und Gedenkstätte NORMANNENSTRASSE

[16වන පිටුවේ පින්තූර]

මගේ පවුලේ සහෝදර සහෝදරියන් සමඟ: (ඉදිරි පෙළ, වමේ සිට දකුණට) හනාලෝරා, සබීනා; (පිටුපස පෙළ, වමේ සිට දකුණට) මම, යොකෙන්, පීටර් සහ මාන්ෆ්‍රෙට්