Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පළමුවෙනි සාමුවෙල් 19:12, 13 අනුව යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයෙකු වූ දාවිත් තමාගේ භාර්යාව වූ මීඛල්ට තෙරෆීම් පිළිමයක් හෝ රූපයක් ළඟ තබාගැනීමට ඉඩහැරියේ මන්ද?

අපි මුලින්ම එහි පසුබිම ටිකක් සෝදිසි කර බලමු. සාවුල් රජ දාවිත්ව මැරීමට සැලසුම් යොදන බවට වූ ආරංචිය දාවිත්ගේ භාර්යාවගේ කන වැකුණු විගස ඇය ක්‍රියාත්මක වූවාය. බයිබලයේ පවසන්නේ “මීඛල්ද කවුළුවෙන් දාවිත් බැස්සෙවුවාය. ඔහු පලා ගොස් ගැලවුණේය. මීඛල් තෙරෆිම් රූපය රැගෙන [පෙනෙන විදිහට මෙම රූපයට මිනිසෙකුගේ උස මහත හා හැඩය තිබුණි] ඇඳේ තබා ඒකේ හිස යට එළු ලොම් කොට්ටයක් තබා ඒක රෙදිවලින් වැසුවාය.” සාවුල්ගේ පණිවිඩකාරයන් දාවිත් අල්ලාගෙන යෑමට පැමිණි විට මීඛල් “ඔහු ලෙඩින්යයි” පැවසුවාය. මීඛල්ගේ මෙම කූට උපාය දාවිත්ට පලා යෑම සඳහා අවශ්‍ය තරම් කාලය ලබා දුන්නේය.—1 සාමුවෙල් 19:11-16.

පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සොයාගත් තොරතුරුවලට අනුව පෙනී යන්නේ ඉපැරණි කාලයේ තෙරෆිම් රූප තබාගනු ලැබුවේ ආගමික කටයුතු සඳහාම පමණක් නොව නීතිමය අවශ්‍යතා සඳහා බවත්ය. අද පාරම්පරික උරුමය තහවුරු කරගැනීම සඳහා හිමිකම් ඔප්පු සහ අන්තිම කැමති පත්‍රය ළඟ තබාගන්නවා හා සමානව ඒ කාලයේදී තෙරෆිම් රූප තබාගන්නා ලදි. පෙනෙන විදිහට සමහර තත්වයන් යටතේදී තෙරෆිම් රූපය සතු බෑනාට මාමණ්ඩිගේ මරණයෙන් පසු ඔහුගේ දේපොළ ආදිය හිමි කරගැනීමේ අයිතිය ලැබුණි. මීට කලින්, එනම් රාඛෙල් ඇගේ පියාගේ තෙරෆිම් රූප සොරාගැනීමටත් ඒවා නැවත ලබාගැනීමට ඇගේ පියා දැරූ දැඩි ප්‍රයත්නයටත් හේතුව සමහරවිට මෙය වන්නට පුළුවන. ඒ අවස්ථාවේදී රාඛෙල්ගේ ස්වාමිපුරුෂයා වන යාකොබ් තමාගේ බිරිඳ එවැනි දෙයක් කළ බව දැනගෙන සිටියේ නැත.—උත්පත්ති 31:14-34.

ඊශ්‍රායෙල් සෙනඟ ජාතියක් බවට පත් වූ පසු ඔවුන්ට දසපනත ලැබුණු අතර මෙහි දෙවෙනි පනතේ රූප සෑදීම තහනම් බව නිශ්චිතවම පවසා තිබුණි. (නික්මයාම 20:4, 5) පසු කලකදී අනාගතවක්තෘ සාමුවෙල්, සාවුල් රජට කතා කරන විට මෙම නීතිය ව්‍යංගයෙන් සඳහන් කළේය. ඔහු පැවසුවේ “කැරලිකාරකම පේන කීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා (තෙරෆිම් NW) රූප ඇදහීමටත් සමානය” යනුවෙනි. (1 සාමුවෙල් 15:23) මේ හේතුව නිසා ඊශ්‍රායෙලිතයන් අතර තෙරෆිම් රූපය පාරම්පරික උරුමය ලබාගැනීම සඳහා යොදාගත් යමක් නොවන්නට ඇත. ඒ කෙසේවෙතත්, මෙම ඉපැරණි යුදෙව් ආගමික මිථ්‍යා අදහස සමහර ඊශ්‍රායෙල් පවුල්වල දිගටම පැවති බව පෙනෙන්නට තිබේ. (විනිශ්චයකාරයන් 17:5, 6; 2 රාජාවලිය 23:24) මීඛල් ඇගේ වෙනත් බඩු බාහිරාදිය සමඟ තෙරෆිම් රූපයක් තබාගැනීමෙන් පෙනෙන්නේ ඇය යෙහෝවාට පූර්ණ හෘදයකින් සේවය නොකළ බවයි. දාවිත් තම භාර්යාව ළඟ තිබුණු තෙරෆිම් රූපය පිළිබඳව නොදැන සිටියා හෝ එසේත් නැත්නම් ඇය සාවුල් රජගේ දියණිය නිසා එයට ඉඩහැරියා විය හැකියි.

නමුත් දාවිත් යෙහෝවා කෙරෙහි දැක්වූ තනි භක්තිය; ඔහු ප්‍රකාශ කර ඇති මෙම වදන්වලින් පැහැදිලි වේ. “යෙහෝවා උතුම්ව බොහෝ සෙයින් ප්‍රශංසා කටයුතුව සිටින්නේය. සියලු දෙවිවරුන්ට වඩා ඔහුට භය විය යුතුයි. මක්නිසාද ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නමුත් යෙහෝවා ආකාශ මණ්ඩලය සෑදුවේය.”—1 ලේකම් 16:25, 26.

[29වන පිටුවේ පින්තූරය]

දසපනතේ දෙවෙනි පනතෙන් මෙහි පෙන්වා තිබෙන තෙරෆිම් වැනි රූප සෑදීම තහනම් කර තිබුණි

[හිමිකම් විස්තර]

ද හෝලි ලෑන්ඩ් නමැති පොතේ IIවන වෙළුමේ 1859වෙනි පිටුවෙනි