Skip to content

පටුනට යන්න

පෙර සහ පසු බයිබල් ප්‍රතිපත්ති සැබෑ වෙනසක් ඇති කළා

පෙර සහ පසු බයිබල් ප්‍රතිපත්ති සැබෑ වෙනසක් ඇති කළා

“දෙවිට ළං වෙන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය”

පෙර සහ පසු බයිබල් ප්‍රතිපත්ති සැබෑ වෙනසක් ඇති කළා

තරුණ කාලයේදී, ඒඩ්‍රියන් හැම දෙයක්ම නුරුස්සන නිතරම දරුණු කෝපයකින් කටයුතු කරන කෙනෙක්ව සිටියා. ඔහුට වහා කිපෙනසුලු ස්වභාවයක් තිබුණා. බීමත්කමටත් දුම්පානයටත් යොමු වී සිටි ඔහු දුරාචාරමය ජීවිතයක් පවා ගත කළා. පංක් රොක් සංගීතකාරයෙක් හැටියටයි ඔහු ප්‍රසිද්ධ වී සිටියේ. තමා කිසිම ආණ්ඩුවකට යටත් නොවන බව පෙන්නුම් කරන පච්චයක් ඔහු අතේ කොටා තිබුණා. ඒ කාලය ගැන ඔහු මෙසේ පවසනවා. “මම නියම පංක් විදිහට මගේ කොණ්ඩෙ කපලා, ඒක කූරු කූරු වගේ උඩට හිටින්න මැලියමක් යොදලා සකස් කරගත්තා. සමහරවිට මම රතු හෝ වෙනත් පාටක සායමකින් එය වර්ණවත් කළා.” ඒ විතරක් නෙවෙයි, ඒඩ්‍රියන් තම නාසයත් විදගත්තා.

ඒඩ්‍රියන් තවත් කැරලිකාර යෞවනයන් කිහිපදෙනෙකු සමඟ ගරාවැටුණු නිවසක පදිංචියට ගියා. එහිදී ඔවුන් මත්පැන් හා මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. ඒඩ්‍රියන් මෙසේ සිහි කරයි. “මම ස්පීඩ් සහ වැලියම් නමැති මත්ද්‍රව්‍ය කළවමේ පාවිච්චි කළා. ඇත්තෙන්ම මගේ අතට අහු වෙච්ච ඕනෑම මත්ද්‍රව්‍යයක් මම පාවිච්චි කළා. මත්ද්‍රව්‍ය හෝ ආඝ්‍රාණය කළ හැකි සැර මැලියම් හෝ නැති විටෙක මම මිනිසුන්ගේ කාර්වලින් ඉන්ධන ඉවතට ගෙන එය ආඝ්‍රාණය කිරීමෙන් මත් වුණා.” වීදි අපරාධකරුවෙකු ලෙස ජීවත් වූ ඒඩ්‍රියන්, මිනිසුන්ට තර්ජන එල්ල කරන බොහොම දරුණු කෙනෙක් බවට පත් වුණා. ඔහු සමඟ කිසිම සම්බන්ධයක් ඇති කරගැනීමට මිනිස්සු කැමති වුණේ නැහැ. හැබැයි ඔහු හදාගෙන තිබුණු නරක නාමය නිසා නරක ආශ්‍රිතයන් ඔහු වටා රොක් වෙන්න පටන්ගත්තා.

ඔහුගේ “මිත්‍රයන්” ඔහු සමඟ ආශ්‍රය කළේ ආත්මාර්ථකාමී හේතූන් නිසා බව ක්‍රමක්‍රමයෙන් ඒඩ්‍රියන්ට වැටහුණා. “මා තුළ තිබූ කෝපය හා සැහැසියාව නිසා මට ලැබුණු දෙයක් නැහැ.” අවසානයේදී ඔහු එළඹුණු නිගමනය වූයේ එයයි. හිස්බවක් හා කලකිරුණු ස්වභාවයක් අද්දැක්ක නිසා ඔහු තම ආශ්‍රිතයන්ව අත්හැරියා. ඔහුට ගොඩනැඟිලි ඉදි කිරීමේ සංකීර්ණයක තිබී මුරටැඹ සඟරාවක පිටපතක් ලැබුණා. එහි තිබුණු තොරතුරුවලට ඔහුගේ සිත ඇදී ගියා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට මෙය ඔහුට මඟ පෑදුවා. “දෙවිට ළං වෙන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය” යන ආරාධනය ඒඩ්‍රියන් ඉතා කැමැත්තෙන්ම පිළිගත්තා. (යාකොබ් 4:8, NW) එහි ප්‍රතිඵලයක් වශයෙන් ශුද්ධ ලියවිලිවල තිබෙන ප්‍රතිපත්ති අදාළ කරගැනීම සඳහා තිබෙන අවශ්‍යතාව ඒඩ්‍රියන්ට ඉක්මනින් පැහැදිලි වුණා.

බයිබලය ගැන ඒඩ්‍රියන්ට තිබුණ දැනුම වැඩි වෙන්න පටන්ගත්තා. එමගින් ඔහුගේ හෘදය සාක්ෂියට හොඳ බලපෑමක් ඇති වූ අතර ඔහුට අලුත් මඟ පෙන්වීමක්ද ලැබුණා. වහා කිපෙනසුලු ස්වභාවය පාලනය කරගෙන ආත්ම දමනය ඇතුව කටයුතු කිරීමට ඔහුට උපකාරය ලැබුණා. දෙවිගේ වචනය සතු බලය නිසා ඒඩ්‍රියන්ගේ පෞද්ගලිකත්වයේ ලොකු වෙනසක් ඇති වුණා.—හෙබ්‍රෙව් 4:12.

කෙසේවෙතත් එවන් ප්‍රබල බලපෑමක් ඇති කිරීමට බයිබලයට හැක්කේ කෙසේද? ‘අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීමට’ ශුද්ධ ලියවිලි පිළිබඳ දැනුම අපට උපකාරවත් වෙයි. (එෆීස 4:24, NW) බයිබලයෙන් ලැබෙන නිවැරදි දැනුම අදාළ කරගැනීම තුළින් අපගේ පෞද්ගලිකත්වයේ වෙනසක් ඇති වන බව ස්ථිරයි. එහෙත් පුද්ගලයන් තුළ වෙනසක් ඇති කිරීමට එවන් දැනුමකට හැක්කේ කෙසේද?

ප්‍රථමයෙන්, අප ඉවත දැමිය යුතු ගතිලක්ෂණ බයිබලයේ අපට හඳුන්වා දෙනවා. (හිතෝපදේශ 6:16-19) ඊළඟට, දෙවිගේ ශුද්ධාත්මයේ උපකාරයෙන් වර්ධනය කරගත හැකි යහපත් ගුණාංග විදහා පෙන්වීමටද ශුද්ධ ලියවිල්ලෙහි අපට උනන්දු කරයි. “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම දමනය” මේවාට ඇතුළත් වෙයි.—ගලාති 5:22, 23, NW.

දෙවි බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ඒඩ්‍රියන්ට හොඳට වැටහුණා. මේ නිසා ඔහු තමාවම සෝදිසි කිරීමෙන් පසු වටහාගත්තා, තමා වර්ධනය කරගත යුතු ගතිලක්ෂණ සහ ඉවතලිය යුතු ගතිලක්ෂණ මොනවාද කියා. (යාකොබ් 1:22-25) නමුත් එය ආරම්භය පමණි. දැනුම ලබාගැනීමට අමතරව වෙනසක් සිදු කිරීම සඳහා ඒඩ්‍රියන් තුළ ආශාවක්ද තිබිය යුතු වුණා.

සිත්ගන්නාසුලු අලුත් පෞද්ගලිකත්වය “එය මැවූ තැනැත්තාගේ ස්වරූපයට අනුව” හැඩගැහෙන බව ඒඩ්‍රියන් ඉගෙනගත්තා. (කොලොස්සි 3:10, NW) ක්‍රිස්තියානියෙකුගේ පෞද්ගලිකත්වයෙන් දෙවිගේ පෞද්ගලිකත්වය පිළිබිඹු විය යුතු බව ඔහුට වැටහුණා. (එපීස 5:1) බයිබලය අධ්‍යයනය කිරීම තුළින්, මිනිස් වර්ගයා සමඟ දෙවි කටයුතු කර තිබෙන ආකාරය පිළිබඳව ඒඩ්‍රියන් දැනගත්තා. ප්‍රේමය, කරුණාව, යහපත්කම, දයාව සහ ධර්මිෂ්ඨකම වැනි දෙවිගේ කදිම ගුණාංග ඔහු සැලකිල්ලට ගත්තා. එවන් දැනුමක් ලැබුවායින් පසුව, යෙහෝවාට ප්‍රේම කිරීමටත්, ඔහු අනුමත කරන ආකාරයේ පුද්ගලයෙක් වීමටත් ඒඩ්‍රියන් පෙලඹුණා.—මතෙව් 22:37.

කාලයාගේ ඇවෑමෙන් හා දෙවිගේ ශුද්ධාත්ම බලයේ උපකාරයෙන් ඒඩ්‍රියන්ට ඔහුගේ දරුණු කෝපය පාලනය කරගැනීමට හැකි වුණා. ඔහු දැන් තම බිරිඳත් සමඟ එකතු වී අනුන්ට තම ජීවිත වෙනස් කරගැනීමට උපකාර කරමින් සිටියි. ඔවුන් ඒ සඳහා යොදාගන්නේ බයිබල් දැනුමයි. “මට හිටපු ගොඩාක් යාළුවෝ දැන් මිය ගිහින්. නමුත් මම ඊට හාත්පසින්ම වෙනස්ව ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳිනවා” යයි ඒඩ්‍රියන් කියයි. මිනිසුන්ව යහ මඟට හැරවිය හැකි බලයක් බයිබලයට තිබෙන බවට ජීවමාන සාක්ෂියකි ඔහු.

[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මා තුළ තිබූ කෝපය හා සැහැසියාව නිසා මට ලැබුණු දෙයක් නැහැ”

[25වන පිටුවේ කොටුව]

බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙයි

ප්‍රකෝපකාරී සැහැසික පුද්ගලයන් බොහෝදෙනෙකුට සාමකාමී පුද්ගලයන් වීමට උපකාරවත් වී තිබෙන බයිබල් ප්‍රතිපත්ති සමහරක් මතු සඳහන් වෙයි.

“සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න. ප්‍රේමණීය තැනැත්තෙනි, පළි නොගෙන දෙවිගේ උදහසට ඉඩහරින්න.” (රෝම 12:18, 19, NW) පළිගත යුත්තේ කාගෙන්ද සහ කොයි අවස්ථාවේදීද යන්න තීරණය කිරීම දෙවිට භාර දෙන්න. සාධක සියල්ල පිළිබඳව පූර්ණ දැනුමක් ඇතුව එසේ කිරීමට ඔහුට හැකියාව තිබෙන අතර, ඔහු ඊට විපාක දෙන්නේ ඔහුගේ පරිපූර්ණ යුක්තියට එකඟවයි.

“කෝප වුණත් පව් නොකරන්න. ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න. යක්ෂයාට ඉඩ නොදෙන්න.” (එෆීස 4:26, 27, NW) සමහරවිට කෙනෙකුට සාධාරණ කෝපයක් ඇති විය හැකියි. එහෙත් ඔහු දිගටම ‘කෝපයෙන්’ සිටීම සුදුසු වන්නේ නැහැ. ඒ මන්ද? එසේ සිටීමෙන් යම් නපුරක් කිරීමට ඔහුව පෙලඹෙන්න ඉඩ තිබෙන නිසයි. එමගින් ඔහු ‘යක්ෂයාට ඉඩ දී’ යෙහෝවා දෙවිගේ අනුමැතිය අහිමි කරගනියි.

“තරහෙන් වැළකී උදහස අත්හරින්න. කල නොකිරෙව, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය.” (ගීතාවලිය 37:8) හැඟීම් පාලනය කිරීමට නොහැකි වන විට අපගේ ක්‍රියාද පාලනය කිරීම අපහසු වෙයි. කෙනෙක් උදහස් වීමෙන් ඔහු හෝ ඇය සියල්ලන්වම රිදවිය හැකි දේවල් කියන්නට හෝ කරන්නට පුළුවන්.