Skip to content

පටුනට යන්න

යුසීබියස් “සභා ඉතිහාසයේ පුරෝගාමියෙක්ද?”

යුසීබියස් “සභා ඉතිහාසයේ පුරෝගාමියෙක්ද?”

යුසීබියස් “සභා ඉතිහාසයේ පුරෝගාමියෙක්ද?”

පොදු යුගයේ 325වන වසරේ රෝම අධිරාජ්‍යයා වන කොන්ස්ටන්ටයින් විසින් සියලුම බිෂොප්වරුන්ව නයිසියාවට කැඳවන ලදි. එවන් රැස්වීමක් කැඳවීමේ ඔහුගේ අභිප්‍රාය වූයේ දැඩි විවාදයකට ලක්ව තිබූ දෙවි හා ඔහුගේ පුත්‍රයා අතර ඇති සබඳතාව පිළිබඳ ගැටලුව නිරාකරණය කරගැනීමය. එයට සහභාගි වූවන් අතර එම යුගයේ නැණ නුවණ ඇත්තෙකු සේ ප්‍රකටව සිටි සිසේරියාවේ යුසීබියස්ද විය. ඔහු ඇප කැප වී ශුද්ධ ලියවිලි අධ්‍යයනය කළ අයෙකු වූ අතර ඒකදේවවාදය හෙවත් සිටින්නේ එක දෙවි කෙනෙකු පමණය යන විශ්වාසය රැකගැනීම සඳහා ක්‍රියා කළ අයෙකි.

නයිසියාවේ පැවැත්වූ සම්මන්ත්‍රණයේදී “මූලිකත්වය ගනු ලැබුවේ කොන්ස්ටන්ටයින් විසින්මය” කියා දි එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකාහි සඳහන් වේ. ඔහු “එම සාකච්ඡාවන් තමන්ට රිසි පරිදි මෙහෙයවූ අතර . . . ක්‍රිස්තුස් හා දෙවි අතර ඇති සබඳතාව පිළිබඳ වැදගත් මූලධර්මයක් ඔහු විසින්ම එම සම්මන්ත්‍රණයේදී යෝජනා කරන ලදි. එම මූලධර්මය වූයේ ‘ක්‍රිස්තුස් සහ පියා එක පුද්ගලයෙක්’ බවයි. . . . අධිරාජ්‍යයාට තිබූ ගරුබිය නිසා බිෂොප්වරුන් දෙදෙනෙකු හැර බොහෝදෙනෙකු එම මූලධර්මයට පක්ෂව අත්සන් තැබුවේ තම විශ්වාසයන්ද නොතකමින්” කියා තවදුරටත් එම මූලාශ්‍රයේ සඳහන් වේ. යුසීබියස් අත්සන් නොතැබූ දෙදෙනාගෙන් කෙනෙකු වීද? ඔහු ගත් පියවරෙන් අපට කුමක් උගත හැකිද? අපි ප්‍රථමයෙන් යුසීබියස්ගේ පවුල් පසුබිම කෙරෙහිත් ඔහුගේ සුදුසුකම් හා ඔහු අතපෙවූ කාර්යභාරයන් කෙරෙහිත් අවධානය දෙමු.

සැලකිල්ලට භාජන කළ යුතු ඔහුගේ පොත් පත්

තිබෙන සාක්ෂි අනුව යුසීබියස් උපත ලබා ඇත්තේ පොදු යුගයේ 260දී පලස්තීනයේදීය. ඔහු තම ජීවිතයේ මුල්භාගයේදී සිසේරියා සභාවේ අවේක්ෂකයෙකු වූ පැම්ෆිලස්ව ආශ්‍රය කළේය. පැම්ෆිලස්ගේ දේවධර්ම පාසැලට ඇතුල් වූ හෙතෙම එහි උනන්දුමත් ශිෂ්‍යයෙකු විය. ඔහු පැම්ෆිලස්ගේ සුවිසල් පොත් මැදුර භාවිත කරන්නට කිසිසේත් අලස වූයේ නැතැයි පැවසුවොත් නිවැරදියි. යුසීබියස් තම අධ්‍යාපන කටයුතු උදෙසා විශේෂයෙන්ම බයිබලය අධ්‍යයනය කිරීම සඳහා ඇප කැප විය. එමෙන්ම ඔහු පැම්ෆිලස්ගේ හිතෛෂී මිත්‍රයෙකුද විය. පසු කාලයේදී ඔහු තමාව හඳුන්වා දුන්නේ “පැම්ෆිලස්ගේ යුසීබියස්” ලෙසය.

යුසීබියස් තම අභිප්‍රායන් ගැන සඳහන් කළේ මෙවැන්නකි. “මගේ අරමුණ වන්නේ ශුද්ධ ප්‍රේරිතයන් අනුක්‍රමිකව පත් වූ ආකාරය හා අපගේ ගැලවුම්කරුගේ දවස් පටන් අපේ කාලය දක්වා සිදු වූ දේ වාර්තා කිරීමත්, සභා ඉතිහාසයේ සිදු වූ වැදගත් සිදුවීම් ගැන සඳහන් කිරීමත්, සුප්‍රසිද්ධ දේවස්ථානවලට අයත් සභා පාලනය කළ සහ ඒවායේ පෙරමුණ ගත් අයවලුන් ගැන සඳහන් කිරීමත් එක් එක් පරම්පරාවන්හිදී දේවවචනය වාචිකව හා ලිඛිතව ප්‍රකාශ කළ අයවලුන් ගැන සඳහන් කිරීමත්ය.”

යුසීබියස්ගේ ක්‍රිස්තියානි සභාවේ ඉතිහාසය (සිංහලෙන් නොමැත) යන මැයෙන් යුත් අග්‍රගණයේ කෘතිය නිසා ඔහුව මතකයෙන් ඈත් නොවෙයි. පොදු යුගයේ 324දී පමණ ප්‍රකාශයට පත් කළ වෙළුම් දසයකින් යුත් මෙම කෘතියෙහි පුරාතනයේ පටන් තිබූ සභාවන්වල ඉතිහාසය පිළිබඳව ඇති වැදගත්ම තොරතුරු ඇතුළත් වන බව සැලකේ. යුසීබියස් අතින් සිදු වූ මෙම අගනා මෙහෙය නිසා සභා ඉතිහාසයේ පුරෝගාමියා ලෙස ඔහු සුප්‍රසිද්ධ විය.

සභා ඉතිහාසයට අමතරව වෙළුම් දෙකකින් යුත් වංශාවලියද (සිංහලෙන් නොමැත) ඔහු අතින් ලියැවුණි. පළවෙනි වෙළුම විශ්වයේ ඉතිහාසය පිළිබඳව ලියවුණු සංක්ෂිප්ත සටහනකි. සතරවන සියවසේදී එය ලෝකයේ කාල නිර්ණය සඳහා සම්මත පර්යේෂණාත්මක ග්‍රන්ථයක් ලෙස පිළිගැනුණි. දෙවන වෙළුමේ ඓතිහාසික සිදුවීම්වල දින වාර්තා කර ඇත. එක් එක් රටවල රාජකීය තන්ත්‍රයට පත් වූවන්ගේ නම් ලැයිස්තුවක් යුසීබියස් තම ග්‍රන්ථය තුළ සමාන්තර තීරුවලට බෙදා පෙන්වා තිබේ.

පලස්තීනයේ දිවි පිදුවෝ (සිංහලෙන් නොමැත) සහ කොන්ස්ටන්ටයින්ගේ ජීවිතය (සිංහලෙන් නොමැත) යන මැයෙන් තවත් ඓතිහාසික ප්‍රකාශන දෙකක් යුසීබියස් රචනා කළේය. ප්‍රථමයෙන් සඳහන් කළ ග්‍රන්ථයෙන් පො.යු. 303-310 දක්වා කාල වකවානුව ආවරණය කෙරෙන අතර එම කාල සීමාවේ දිවි පිදුවන් ගැන එහි සඳහන් කර ඇත. යුසීබියස් මෙම සිද්ධීන් ඇසින් දුටු සාක්ෂිකරුවෙකුද විය. දෙවනුවට සඳහන් කළ ග්‍රන්ථය පො.යු. 337දී කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ අභාවයෙන් පසු කාණ්ඩ හතරකින් ප්‍රකාශයට පත් කළේය. එහි ඉතා වටිනා ඓතිහාසික තොරතුරු රැසක් අන්තර්ගත විය. නිකම්ම ඉතිහාසය ගැන යමක් පවසනවා වෙනුවට එය බොහෝදුරට ප්‍රශස්ති කෘතියක් ලෙස ඉදිරිපත් කර ඇත.

යුසීබියස් තම විශ්වාසයන් රැකගැනීමේ අරමුණින් කළ කර්ත්‍යවයන් අතරට එම කාලයේ රෝමයේ ආණ්ඩුකාරයා වූ හයරොක්ලීස්ට ලියනු ලැබූ පිළිතුරු ලිපියද ඇතුළත් වෙයි. හයරොක්ලීස් ක්‍රිස්තියානීන්ට විරුද්ධව ලියූ විට යුසීබියස් තම ආගමික භක්තියට පක්ෂව කරුණු ඉදිරිපත් කරමින් පෙරළා ලිපියක් ලිවීය. මීට වඩා වැඩි මෙහෙවරක් ඔහු අතින් සිදු විය. එනම් ශුද්ධ ලියවිල්ලේ කර්තෘ දෙවි බව සනාථ කිරීමට ඔහු ග්‍රන්ථ 35ක් රචනා කළේය. මෙම විෂය සම්බන්ධයෙන් කරන ලද ඉතා වැදගත් සහ අග්‍රගණයේ වෑයමක් ලෙසට මෙම ග්‍රන්ථ සැලකේ. මෙහි පළමු ග්‍රන්ථ 15හි ක්‍රිස්තියානීන් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පිළිගැනීමට හේතු තර්කානුකූලව පහදා දීමට උත්සාහ දරයි. අනෙක් ග්‍රන්ථ 20හි ක්‍රිස්තියානීන් විසින් යුදෙව් නීති අත්හැර නව ප්‍රතිපත්ති සහ ක්‍රියාපිළිවෙත් පිළිගනු ලැබීම නිවැරදිබව ඔප්පු කර තිබේ. යුසීබියස් අවබෝධ කරගෙන තිබූ දැනුමට අනුව ලේඛනගත වූ මෙම ග්‍රන්ථ තුළින් ක්‍රිස්තු ධර්මය රැකගැනීමට විශාල මෙහෙයක් ඉටු විය.

වසර 80ක් ආයු වැළඳූ (පො.යු. 260-340 පමණ) යුසීබියස් පුරාතනයේ සිටි වැඩදායක ලේඛකයන් අතුරින් කෙනෙකු බවට පත් විය. ඔහුගේ ලේඛනයන් තුළ පළමු ශතවර්ෂ තුනේ සිට කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ කාලය දක්වා වූ සිද්ධීන් අන්තර්ගතයි. ඔහු පසු කාලයේදී ලේඛකයෙකු වශයෙනුත් සිසේරියාවේ බිෂොප්වරයා වශයෙනුත් සේවය කළේය. යුසීබියස් ඉතිහාසඥයෙකු ලෙස ප්‍රසිද්ධ වුවත් ධර්මය වෙනුවෙන් සටන් කළ අයෙකු, සිතියම්කරුවෙකු, දේශකයෙකු, විවේචකයෙකු සහ විවරණාත්මක ලේඛකයෙකු ලෙසත් ඔහුව පිළිගැනිණි.

ඔහුගේ ද්වි අරමුණු

කිසිවෙකු පෙර අත නොගැසූ එතරම් භාරදූර කර්තව්‍යයකට යුසීබියස් අතපෙව්වේ මන්ද? එයට පිළිතුරු රැඳී තිබෙන්නේ ඔහු සිතූ දෙයෙහිය. ඔහු සිතුවේ ඔහු ජීවත් වන්නේ නව යුගයට පා ඔසවමින් සිටින කාලයක කියාය. එබැවින් පසුගිය පරම්පරාවන්හි නොයෙකුත් වැදගත් සිද්ධීන් සිදු වී තිබෙන බවත් ඒ පිළිබඳ ලිඛිත වාර්තාවක් නව පරම්පරාවට අවශ්‍ය බවත් ඔහුට හැඟී ගියේය.

යුසීබියස්ට තවත් අමතර අරමුණක් තිබුණි. ඒ ඔහු ඇදහූ ධර්මයට ඇප කැප වූවෙකු මෙන්ම ඒ වෙනුවෙන් සටන් කළ අයෙකු වීමයි. ක්‍රිස්තියානි ධර්මයට දිව්‍ය ආරම්භයක් තිබෙන බව ඔහු විශ්වාස කළේය. නමුත් සමහරෙකු එම අදහසට විරුද්ධත්වය ප්‍රකාශ කළේය. යුසීබියස් මෙසේ ලිවීය. “අලුත් මතිමතාන්තරවලට ලැදිවීම නිසාවෙන් බරපතළ වැරදිවලට හසු වී තමන්ට දැනුම තිබෙනවා කියා බොරුවට මවා පාමින් වෘකයන් මෙන් ක්‍රිස්තුස්ගේ රැළ විනාශ කළ අයගේ නම් ගම්, සංඛ්‍යාව සහ එම සිද්ධීන් සිදු වූ කාල වකවානුවන් ගැන ප්‍රකාශ කිරීමත් මගේ අරමුණට සම්බන්ධයි.”

යුසීබියස් තමන්ව ක්‍රිස්තියානියෙකු ලෙස හැඳින්වූවාද? ඔහු තමාව එලෙස හැඳින්වූ බව පෙනෙන්න තිබේ. මන්ද ඔහු ක්‍රිස්තුස්ව “අපගේ ගැලවුම්කරු” කියා හැඳින්වීය. ඔහු පැවසුවේ “මගේ අභිප්‍රාය නම් . . . යුදෙව් ජාතිය අපගේ ගැලවුම්කරුට විරුද්ධව කළ කුමන්ත්‍රණ නිසා ඔවුන්ට විඳින්න සිදු වුණාවූ විපාක පිළිබඳව පෙන්වා දීමත්, දෙවිගේ වචනයට අන්‍යජාතීන් පහර දුන් ආකාර සහ ඒවා සිදු වූ කාල වකවානු පිළිබඳව වාර්තා කිරීමත්, විවිධ කාල වකවානුවල මරණ තර්ජන හා වද වේදනා හමුවේ දෙවිගේ වචනය වෙනුවෙන් සටන් වැදි අයවලුන්ව පෙන්වා දීමත්, අපගේ කාලයේ ඒ හා සමාන අද්දැකීම් සහ ඒ සඳහා අපගේ ගැලවුම්කරු දුන් කාරුණික උපකාරය පෙන්වා දීමත්ය” යනුවෙනි.

ඔහු කළ පුළුල් පර්යේෂණ

යුසීබියස් පෞද්ගලිකවම කියවූ සහ පර්යේෂණය කළ පොත් පත් සංඛ්‍යාව අතිවිශාලයි. පොදු යුගයේ පළමු ශතවර්ෂ තුනේ සිටියාවූ විශිෂ්ට පුද්ගලයන් පිළිබඳව සඳහන් වන්නේ යුසීබියස්ගේ ලේඛනවල පමණයි. අතීතයේ සිදු වූ වැදගත් සිදුවීම් පිළිබඳව දැනුම ලබාගත හැක්කේ ඔහුගේ ලේඛන ගවේෂණය කිරීමෙනි. එම තොරතුරු ලබාගෙන තිබෙන මූලාශ්‍ර වර්තමානයේ තවදුරටත් සොයාගත නොහැකියි.

යුසීබියස් තොරතුරු රැස් කළේ ඉතා උද්‍යෝගිමත් හා ඉතා පුළුල් ආකාරයකිනි. සත්‍යය සහ අසත්‍යය වාර්තා ප්‍රවේශමෙන් විමසා බැලීමට ප්‍රබල උත්සාහයක් ගෙන තිබෙන ආකාරයක් පෙනෙන්නට තිබේ. නමුත් ඔහුගේ වැඩ කටයුතුවල අඩු පාඩු නැතුවා නොවෙයි. සමහර අවස්ථාවල ඔහු යම් පුද්ගලයන් පිළිබඳව සහ ඔවුන්ගේ ක්‍රියා පිළිබඳව අවබෝධ කරගත්තේ වැරදි ආකාරයටය. ඔහුගේ කාල නිර්ණයන්වලද දෝෂ තිබේ. නිර්මාණශීලීත්වය මුසු කරමින් යම් දේවල් ඉදිරිපත් කිරීමේ හැකියාව ඔහුට තිබුණේ නැත. යම් අඩු පාඩු දෝෂ තිබුණද ඔහු ඉටු කළාවූ බොහෝ මෙහෙයන් අමිල නිධානයක් සේ සලකනු ලැබේ.

සත්‍යයට ප්‍රේම කළ අයෙක්ද?

විවාදයකට ලක්ව තිබූ පියා සහ පුත්‍රයා අතර ඇති සම්බන්ධය පිළිබඳ විෂය ගැන යුසීබියස් සැලකිලිමත් විය. යුසීබියස් විශ්වාස කළාක් මෙන් පියා පුත්‍රයාට පෙර පැවතියාද? නැතහොත් දෙදෙනාගේ පැවැත්ම එක විටම ඇරඹුණිද? “ඔවුන්ගේ පැවැත්ම එක විට ඇරඹුණා නම් පියා පියෙක් වන්නෙත් පුත්‍රයා පුත්‍රයෙක් වන්නෙත් කෙසේද?” කියා ඔහු ඇසීය. ඔහු තමන් විශ්වාස කළ දේ ශුද්ධ ලියවිලි පද මගින්ද සනාථ කළේය. ඒ සඳහා ‘පියාණන් යේසුස්ට වඩා උතුම්ය.’ යනුවෙන් සඳහන් යොහන් 14:28ත්, යේසුස්ව එකම සැබෑ දෙවි “එවූ තැනැත්තා” වශයෙන් හඳුන්වා ඇති යොහන් 17:3ත් ඔහු යොදාගත්තේය. කොලොස්සි 1:15 සහ යොහන් 1:1 සඳහන් කරමින් වාක්‍ය යනු “අදෘශමාන දෙවිගේ ස්වරූපය” හෙවත් දෙවිගේ පුත්‍රයා කියා යුසීබියස් වාද කළේය.

එනමුත් මවිතයට කාරණයක් වන්නේ නයිසියාවේ පැවැත්වූ සම්මන්ත්‍රණය අවසානයේදී යුසීබියස් ඊට විරුද්ධ අදහසට තම සහාය ලබා දීමයි. දෙවි සහ යේසුස්ගේ පැවැත්ම එක විටම ඇති වුණේ නැහැයි කියා ශුද්ධ ලියවිලි දැනුමට අනුව අවබෝධ කරගෙන සිටියත් අධිරාජ්‍යයාට ඔහු තම අනුමැතිය දුන්නේය.

ඉගෙනීමට පාඩමක්

යුසීබියස් බියෙන් යටපත් වී නයිසියාවේ පැවැත්වූ සම්මන්ත්‍රණයේදී ශුද්ධ ලියවිල්ලට පටහැනි මූලධර්මයකට සහය දුන්නේ මන්ද? දේශපාලන වාසි ලැබීමේ අරමුණින් එසේ කළාද? ඔහු එම සම්මන්ත්‍රණයට සහභාගි වූයේ මන්ද? සියලුම බිෂොප්වරුන්ට ආරාධනා කළත් ඊට සහභාගි වූයේ 300දෙනෙකු පමණයි. යම් විටක යුසීබියස් තම සමාජීය තත්වය පිළිබඳව සැලකිලිමත් වූවා විය හැකිද? කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා ඔහුව ගෞරවයෙන් සැලකුවේ මන්ද? එම සම්මන්ත්‍රණයේදී යුසීබියස් අසුන්ගත්තේ අධිරාජ්‍යයාගේ දකුණුපසිනි.

යේසුස්ගේ අනුගාමිකයන් “ලෝකයේ කොටසක් නොවෙති” යන උපදේශය පෙනෙනාකාරයට යුසීබියස් නොසලකාහැර තිබිණ. (යොහන් 17:16; 18:36, NW) “පරදාර සේවනයේ යෙදෙන්නෙනි, ලෝකය සමඟ මිතුරුකම දෙවි සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද්ද?” කියා ශ්‍රාවක යාකොබ් ඇසීය. (යාකොබ් 4:4, NW) එලෙසම “නොඇදහිලිකරුවන් සමඟ අසම ලෙස එක් නොවන්න” කියා පාවුල් කියූ උපදෙසත් මොනතරම් සත්‍යයක්ද! (2 කොරින්ති 6:14, NW) එසේනම් අපි ‘පියාණන්ට ආත්මයෙන් සහ සත්‍යතාවෙන් නමස්කාර’ කරමින් ලෝකයෙන් වෙන්ව සිටිමු.—යොහන් 4:24, NW.

[31වන පිටුවේ පින්තූරය]

නයිසියාවේ පැවති සම්මන්ත්‍රණය බිතුසිතුවමකින්

[හිමිකම් විස්තර]

Scala/Art Resource, NY

[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Courtesy of Special Collections Library, University of Michigan