ප්‍රේමණීය කරුණාව කොපමණ වැදගත්ද?

ප්‍රේමණීය කරුණාව කොපමණ වැදගත්ද?

ප්‍රේමණීය කරුණාව කොපමණ වැදගත්ද?

“මනුෂ්‍යයෙකුගේ ප්‍රිය ගතිය ඔහුගේ කරුණාවන්තකමය [ප්‍රේමණීය කරුණාවය, NW]” කියා බයිබලයේ සඳහන් වේ. (හිතෝපදේශ 19:22) ඇත්ත වශයෙන්ම, ප්‍රේමයෙන් පෙලඹී සිදු කරන කරුණාවන්ත ක්‍රියා සැබවින්ම ප්‍රියජනකයි. කෙසේවුවද, බයිබලයේ සඳහන් “ප්‍රේමණීය කරුණාව” යන යෙදුම කලක සිට පැවතෙන සබඳතාවක් තුළ විදහා පෙන්විය හැකි කරුණාවකට යොමු දැක්වේ. ඉන් අදහස් වන්නේ එම සබඳතාව ඇති වී තිබෙන්නේ කලින් කෙනෙකු කළ කරුණාවන්ත ක්‍රියාවකින් බවයි. මෙබැවින්, එහි පක්ෂපාතිත්වය යන අදහස ගැබ්ව පවතී.

යූදාහි යෝවාෂ් රජ මෙම ප්‍රියජනක ගුණාංගය වර්ධනය කරගැනීමට අසමත් විය. ඔහුගේ නැන්දාට සහ ඔහුගේ මාමා වූ යෙහෝයාදාට ඔහු බෙහෙවින් ණයගැති විය. යෝවාෂ්ට වයස අවුරුද්දක් වීමට පෙර ඔහුගේ දුෂ්ට ආච්චි බලෙන්ම රැජිණ වී රජකමට හිමිකම් කියූ යෝවාෂ්ගේ සියලු සහෝදරයන් මරා දැමුවාය. එහෙත්, යෝවාෂ්ගේ නැන්දා සහ මාමා ඉතා පරෙස්සමින් යෝවාෂ්ව සඟවා තැබූ බැවින් පුංචි ඔහුව මරා දැමීමට ඇයට නොහැකි විය. ඔවුහු ඔහුට දෙවිගේ නීතිද ඉගැන්වූහ. යෝවාෂ්ට වයස අවුරුදු හතක් වූ විට ඔහුගේ මාමා උත්තම පූජකයෙකු වශයෙන් තිබූ සිය බලතල යොදාගනිමින් දුෂ්ට රැජිණව මරා යෝවාෂ්ව රජකමට පත් කළේය.—2 ලේකම් 22:10–23:15.

යෞවන යෝවාෂ් සිය මාමා මිය යන තුරු කදිම පාලනයක් ගෙන ගිය නමුත් පසුව ඔහු රූප නමස්කාරයේ නියැලීමට පටන්ගත්තේය. ඇදහිල්ලට විරුද්ධව කැරලිගසමින් යෝවාෂ් ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම සඳහා යෙහෝයාදාගේ පුත්‍රයා වූ ශෙකරියාව දෙවි ඔහු වෙත එව්වේය. යෝවාෂ් ශෙකරියාට ගල් ගැස්සවීමට සැලැස්සුවේය. ඔහු බෙහෙවින් ණයගැතිව සිටි පවුලකට සිදු කළ අපක්ෂපාත ක්‍රියාව මොන තරම් හද කම්පා කරවන්නක්ද!—2 ලේකම් 24:17-21.

බයිබලයේ මෙසේ සඳහන් වෙයි. “යෝවාෂ් රජ [ශෙකරියාගේ] පිය වූ යෙහෝයාදා තමාට කළ කරුණාව [ප්‍රේමණීය කරුණාව, NW] සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරීය.” මිය යන අවස්ථාවේදී ශෙකරියා මෙසේ පැවසුවේය. “යෙහෝවා මේක බලා ප්‍රතිඵල දෙත්වා.” ශෙකරියාගේ වදන් සැබෑ කරවමින් යෝවාෂ් දරුණු ලෙස අසනීප වූ අතර අවසානයේදී ඔහුගේම සේවකයන් අතින් මැරුම් කෑවේය.—2 ලේකම් 24:17-25.

යෝවාෂ් රජ මෙන් විනාශ වී යනවා වෙනුවට මෙම අවවාදය අනුගමනය කරන සියල්ලන්ට චමත්කාරජනක අනාගතයක් තිබෙනු ඇත. “ප්‍රේමණීය කරුණාව සහ සත්‍යවාදිකම ඔබෙන් පහ නොවේවා. . . . දෙවිගේද මනුෂ්‍යයන්ගේද ඇස් හමුවෙහි . . . අනුග්‍රහය ලැබේවා!”—හිතෝපදේශ 3:3, 4, NW.