Skip to content

පටුනට යන්න

යේසුස්ගේ උපත පිළිබඳ වාර්තාවෙන් උගත හැකි පාඩම්

යේසුස්ගේ උපත පිළිබඳ වාර්තාවෙන් උගත හැකි පාඩම්

යේසුස්ගේ උපත පිළිබඳ වාර්තාවෙන් උගත හැකි පාඩම්

යේසුස්ගේ උපත සම්බන්ධ සිදුවීම්වලට මිලියන සංඛ්‍යාතයකගේ සිත් ඇදී ගොස් තිබේ. නත්තල් සමයේදී ලොව වටා දක්නට ලැබෙන යේසුස්ගේ උපත හා බැඳි දර්ශන හා නාට්‍ය ගණනාව මගින් එය සනාථ වේ. සිත්ගන්නාසුලු වුවත්, යේසුස්ගේ උපත පිළිබඳ සිද්ධීන් බයිබලයේ වාර්තා වී තිබෙන්නේ මිනිසාට විනෝද වීමට නොවේ. ඒ වෙනුවට ඒවා ඉගැන්වීම හා කාරණා හරිගැස්වීම සඳහා දේවානුභාවයෙන් දී තිබෙන මුළු ලියවිල්ලේ වාර්තාවන් අතර අඩංගු වී ඇත.—2 තිමෝති 3:16.

ක්‍රිස්තියානීන් යේසුස්ගේ උපත සමරනවා දකින්න දෙවිට වුවමනා වී තිබුණා නම් බයිබලයෙහි ඊට නියමිත දිනය සපයා දී තිබිය යුතුයි. එසේ දී තිබේද? එඬේරුන් රාත්‍රි කාලයේදී තම රැළ බලාගනිමින් එළිමහනේ සිටියදී යේසුස් උපන් බව සඳහන් කළ පසු, 19වන සියවසේ විසූ බයිබල් විශාරද ඇල්බට් බාන්ස් ඒ ගැන මෙසේ නිගමනය කළේය. “අපේ ගැලවුම්කාරයා ඉපදුණේ දෙසැම්බර් 25වනදාට කලින් බව මින් පැහැදිලියි. . . . මොකද විශේෂයෙන්ම බෙත්ලෙහෙම අසල උස් කඳුකර ප්‍රදේශවල දෙසැම්බර්වලදී ශීත කාලගුණයක් තිබෙන නිසායි. [යේසුස්ගේ] උපත සිදු වූ කාලය දෙවි හෙළි කර නැත. . . . කාලය දැනගැනීමද එතරම් වැදගත් වූයේ නැත. එය වැදගත් වූවා නම් දෙවි ඒ පිළිබඳ වාර්තාව ආරක්ෂා කර තිබෙනු ඇත.”

ඊට වෙනස්ව, ශුභාරංචි ලේඛකයෝ හතරදෙනා යේසුස් මියගිය දවස පිළිබඳව නම් අපට පැහැදිලිවම දැනුම් දෙති. එය සිදු වූයේ පාස්කු දිනයේදීය. එය පැවැත්වූයේ වසන්ත සමය එළඹෙන යුදෙව් මාසය වන නීසාන් මස 14වනදාය. එපමණක් නොව, යේසුස් තමාව සිහි කරන පිණිස එම දිනය සමරන්න කියා ඔහුගේ අනුගාමිකයන්ට විශේෂයෙන්ම අණ කර තිබිණ. (ලූක් 22:19) යේසුස්ගේ හෝ ඇත්තෙන්ම වෙන කිසිම කෙනෙකුගේ හෝ උපන් දිනය පැවැත්වීමට බයිබලයේ අණක් දී නැත. කනගාටුවට කරුණක් නම්, යේසුස්ගේ උපන් දිනය සම්බන්ධයෙන් පවතින මතභේදයන් හේතුවෙන් ඒ කාලයේදී පමණ සිදු වූ වඩාත් වැදගත් සිද්ධීන් යටපත් වී යෑමයි.

දෙවි විසින් තෝරාගනු ලැබූ දෙමාපියෝ

ඊශ්‍රායෙල්හි සිටි දහස් සංඛ්‍යාත පවුල්වලින් තම පුත්‍රයාව ඇති දැඩි කිරීම සඳහා දෙවි තෝරාගත්තේ කුමනාකාරයේ දෙමාපියන්ද? කීර්තිය හා ධනය වැනි දේ වැදගත් සාධකයන් ලෙස ඔහු සැලකුවෙහිද? නැත, යෙහෝවා සැලකිලිමත් වූයේ දෙමාපියන්ගේ ආත්මික ගුණාංග පිළිබඳවය. ලූක් 1:46-55 දක්වා වාර්තා වී තිබෙන ආකාරයට, මෙසියස්ගේ මව වීමේ වරප්‍රසාදය ලැබෙන බව ඇසූ පසු මරියා ගැයූ ප්‍රශංසා ගීය පරීක්ෂා කර බලන්න. ඇය පැවසූ වෙනත් දේවලට අමතරව ඈ මෙසේද පැවසුවාය. “මාගේ සිත යෙහෝවාව වර්ණනා කරයි, . . . මක්නිසාද ඔහු ස්වකීය දාසියගේ පහත්කම බැලුවේය.” ඈ යටහත් පහත් ලෙස තමාව සැලකුවේ යෙහෝවාගේ දාසියක, එනම් ‘පහත් තත්වයක’ සිටින තැනැත්තියක වශයෙනි. ඊටත් වඩා වැදගත් ලෙස, මරියාගේ ගීයේ අඩංගු වූ හද බැඳි අදහස්වලින් හෙළි වන්නේ ඇය ශුද්ධ ලියවිලි පිළිබඳ මනා දැනුමක් තිබූ ආත්මික තැනැත්තියක බවය. ආදම්ගෙන් පැවතෙන පාපය උරුම වූ තැනැත්තියක වුවත් දෙවිගේ පුත්‍රයාගේ භූමික මව වීමට ඇය කදිම තැනැත්තිය වූවාය.

යේසුස්ගේ සුරැකි පියා බවට පත් වූ මරියාගේ ස්වාමිපුරුෂයා ගැන කුමක් කිව හැකිද? යෝසෙප් වඩු වැඩෙහි දක්ෂයෙකු විය. දෑතේ සවියෙන් වැඩ කිරීමට කැමැත්තක් දැක්වූ නිසා, පවුලේ සාමාජිකයන් ක්‍රම ක්‍රමයෙන් වැඩි වී අවසානයේදී පුතුන් පස්දෙනෙකු හා අඩුම තරමින් දියණියන් දෙදෙනෙකුගෙන් සමන්විත වූ පවුලක් නඩත්තු කිරීමට ඔහුට හැකි විණ. (මතෙව් 13:55, 56) යෝසෙප් ධනවතෙකු නොවීය. දේවමාළිගාවේදී තම කුලුඳුල් පුතුව ඔප්පු කළ යුතු වේලාව පැමිණි විට, බැටළුවෙකු පූජා කිරීමට නොහැකි වීම හේතුවෙන් යෝසෙප් අධෛර්යයට පත් වන්න ඇති. කෙසේවුවද, දුප්පතුන් සඳහා පිහිටුවා තිබූ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට සිදු විය. අලුත උපන් පුතුගේ මව පිළිබඳව දෙවිගේ නීතියෙහි මෙසේ පැවසීය. “බැටළුපැටවෙකු ගෙනෙන්ට ඈට වත්කම නැත්නම් ඈ කොබෙයියන් දෙදෙනෙක් හෝ පරෙවි පැටවුන් දෙදෙනෙක් හෝ ගෙනේවා. එයින් එකෙක් දවන පූජාවටය, අනිකා පාප පූජාවටය. පූජකයාද ඈ උදෙසා සමගිකමක් කරන්නේය. ඈ පවිත්‍ර වන්නීයයි කීවේය.”—ලෙවී කථාව 12:8; ලූක් 2:22-24.

යෝසෙප් “ධර්මිෂ්ඨයෙක්ව සිටි” බව බයිබලයේ පවසයි. (මතෙව් 1:19) උදාහරණයක් බලනවා නම්, ඔහු යේසුස් ඉපදෙන තුරු කන්‍යාවියකව සිටි තම භාර්යාව සමඟ ලිංගික ඇසුරක් පැවැත්වූයේ නැත. මෙමගින් යේසුස්ගේ සැබෑ පියා පිළිබඳ වැරදි වැටහීමක් ඇති වීම වළකාලනු ලැබීය. එකම වහලක් යට වෙසෙන නව විවාහක යුවළකට සමීප ඇසුරකින් වැළකී සිටීම පහසු කාර්යයක් නොවුවත්, ඔවුන් දෙදෙනාම දේවපුත්‍රයාව ඇති දැඩි කිරීමට තෝරාගනු ලැබීමේ වරප්‍රසාදය අගය කළ බව එමගින් පෙන්වනු ලැබීය.—මතෙව් 1:24, 25.

මරියා මෙන් යෝසෙප්ද ආත්මික පුද්ගලයෙකු විය. ඔහු සෑම වසරකම තම වැඩ නවතා පවුලේ අය සමඟ වාර්ෂික පාස්කු උත්සවයට සහභාගි වීම සඳහා නාසරෙත්හි සිට යෙරුසලම දක්වා දින තුනක ගමනක යෙදිණ. (ලූක් 2:41) දෙවිගේ වචනය කියවා, පැහැදිලි කර දුන් ගමේ සිනගෝගයේ නමස්කාරයට සතිපතා සහභාගි වීමට යෝසෙප් යේසුස්ව බාල කාලයේදීම පුහුණු කළා විය යුතුය. (ලූක් 2:51; 4:16.) මෙබැවින්, දෙවි තම පුතා වෙනුවෙන් සුදුසුම භූමික මව හා සුරැකි පියා තෝරාගත් බවට කිසි සැකයක් නැත.

දිලිඳු එඬේරුන්ට මහඟු ආශීර්වාදයක්

ගැබට මාස නවයක් වූ තම භාර්යාවගේ දුෂ්කරතා මැද පවා කායිසර්ගේ නියෝගයට අනුව ලියාපදිංචි වීම සඳහා යෝසෙප් තම මුතුන්මිත්තන්ගේ නගරයට ගියේය. ඔවුන් දෙදෙනා බෙත්ලෙහෙමට පැමිණි විට එම ජනාකීර්ණ නගරයේ නවාතැනක් සොයාගැනීමට ඔවුන්ට නොහැකි විය. මේ තත්වය උඩ ඔවුන්ට ගවලෙනක නැවතීමට සිදු විය. එහිදී යේසුස් උපන් අතර ගවයන්ට ආහාර දෙන ඔරුවක ඔහුව තබනු ලැබීය. මෙම උපත ඇත්තෙන්ම සිදු වූයේ දෙවිගේ කැමැත්ත අනුව බව පෙන්වමින් එම දිලිඳු දෙමාපියන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා යෙහෝවා ඔවුන්ට සහතිකයක් දුන්නේය. ඔවුන්ගේ බිය සැක දුරු කිරීම සඳහා ඔහු විසින් බෙත්ලෙහෙමේ සිටි ප්‍රමුඛ පෙළේ වැඩිමහල්ලන් පිරිසක් යවනු ලැබුවෙහිද? නැත. ඒ වෙනුවට යෙහෝවා දෙවි එම කාරණය හෙළි කළේ රාත්‍රි කාලයේදී තම රැළ බලාගනිමින් වෙහෙසී වැඩ කළ එඬේරුන්ටය.

දෙවිගේ දේවදූතයෝ ඔවුන්ට පෙනී, බෙත්ලෙහෙමට ගොස් “ගවයන් කන ඔරුවක බාවා ඉන්න” අලුත උපන් මෙසියස් වෙත යන්නයයි ඔවුන්ට පැවසුවෝය. අලුත උපන් මෙසියස් ගවලෙනක ඉන්න බව ඇසීමෙන් මෙම දිලිඳු මනුෂ්‍යයෝ පුදුමයට හෝ ව්‍යාකූලත්වයට පත් වූවහුද? ඇත්තෙන්ම නැහැ! බිඳකුදු ප්‍රමාද නොවී ඔවුහු තම රැළද දමා බෙත්ලෙහෙමට යන්න පිටත් වූහ. ඔවුන්ට යේසුස්ව සම්බ වූ විට දෙවිගේ දූතයා පැවසූ දේ යෝසෙප්ට හා මරියාට ඔවුහු විස්තර කළෝය. මෙමගින්, සියල්ල සිදුව ඇත්තේ දෙවිගේ අරමුණට එකඟවය යන ඔවුන්ගේ විශ්වාසය තවත් ශක්තිමත් වූ බව නිසැකය. “එඬේරු වනාහි තමුන්ට කී ලෙසම ඇසූ දුටු සියල්ල ගැන දෙවිට ගෞරව කරමින්ද ප්‍රශංසා කරමින්ද හැරී ගියෝය.” (ලූක් 2:8-20) ඔව්, දේවබියැති එඬේරුන්ට කාරණා හෙළි කිරීමෙන් යෙහෝවා නිවැරදි තේරීමක් කර තිබිණ.

යෙහෝවාගේ අනුමැතිය ලබාගැනීමට අප කුමනාකාරයේ පුද්ගලයන් විය යුතුදැයි ඉහත සඳහන් දෙයින් අපි දැනගන්නෙමු. කීර්තිය හෝ ධනය සෙවීමට අපට අවශ්‍ය නැත. ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ යෝසෙප්, මරියා හා එඬේරුන් මෙන් දෙවිට කීකරු වෙමින් ද්‍රව්‍යමය දේවලට ඉදිරියෙන් ආත්මික දේවල් තබමින් අප ඔහුට ප්‍රේම කරන බව ඔප්පු කිරීමය. සැබවින්ම, යේසුස් උපන් අවදියේ පමණ සිදු වූ දේ පිළිබඳ වාර්තාව මෙනෙහි කිරීමෙන් කදිම පාඩම් රැසක් උගත හැක.

[7වන පිටුවේ පින්තූරය]

මරියා පරෙවි පැටවුන් දෙදෙනෙකු ඔප්පු කිරීමෙන් අඟවන්නේ කුමක්ද?

[7වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ උපත හෙළි කිරීමට දෙවි දිලිඳු එඬේරුන් කීපදෙනෙක් තෝරාගත්තේය