Skip to content

පටුනට යන්න

නෙදර්ලන්තයේ සියලු ආකාර ජනයාට උපකාර

නෙදර්ලන්තයේ සියලු ආකාර ජනයාට උපකාර

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

නෙදර්ලන්තයේ සියලු ආකාර ජනයාට උපකාර

ආබ්‍රහම්ට තිබුණේ අද්විතීය ඇදහිල්ලකි. ඔහුව “කැඳවනු ලැබූ කල . . . තමා කොතැනට යනවාදැයි නොදැන පිටත්ව ගියේය” යයි ප්‍රේරිත පාවුල් පවසයි. සිය පවුලේ සාමාජිකයන් හා නෑහිතමිතුරන් සියලුදෙනා හා එක්ව ‘පොරොන්දු දේශයේ පරදේශිකයෙකු මෙන්’ තම ජීවිතයේ ඉතිරි වසර සියය ඔහු එහි ගත කළේය.—හෙබ්‍රෙව් 11:8, 9.

අදදිනත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් බොහෝදෙනෙක් තමන්ගේ සැප පහසුව නොතකා වැඩි අවශ්‍යතාවක් ඇති රටකට යෑමට එවැනිම ගමනක නිරත වෙත්. ඇතමෙක්, තමන්ගේම මව් බිමෙහි වාසය කිරීමට පැමිණෙන්නාවූ විදේශිකයන්ට සාක්ෂිදැරීමේ අරමුණෙන් වෙනත් භාෂාවන් ඉගෙනගනියි. මේ කදිම ස්ප්‍රීතුව සම්බන්ධව කදිම නිදසුනකි නෙදර්ලන්තය. දසලක්ෂ 15ක පමණ ජනගහනයකින් සමන්විත මේ රටේ දසලක්ෂයක්ම විදේශිකයන්ය. මින් අපූරු ප්‍රස්තාවක් උදා කරමින් “මහත්වූ බලවත්වූ දොරක්” විවෘත වී ඇති බව මතු අද්දැකීම්වලින් අපට පැහැදිලි වේ.—1 කොරින්ති 16:9.

◻ කුං ෆූ සටන් කලාව පිළිබඳ උපදේශකයෙකු වූ බාරාම් පැමිණියේ මැද පෙරදිග රටකින්. ඔහු බයිබලයක්ද වොච් ටවර් සමිතියේ ප්‍රකාශන කිහිපයක්ද ලබාගත්තේය. මාසයක් වැනි කෙටි කාලයකින්, තමාට සත්‍යය ලැබී ඇති වග ඔහුට වැටහුණේය. ඔහුද ඔහුගේ භාර්යාවද බයිබල් පාඩමක් ආරම්භ කළ නමුත් එය පැවැත්වීම හා බැඳුණු විශේෂ ගැටලුවක්ද ඉස්මතු විය. එනම් බයිබල් පාඩම මෙහෙයවූ තැනැත්තා ඔවුන්ගේ බස නොදැන සිටීමයි. “අතුයි කකුලුයි පාවිච්චි කරලා” අංග චලනය උපයෝගි කරගනිමින් පාඩම පැවැත්වූ අන්දම ඔවුන්ට තවමත් මතකයි. කාලයාගේ ඇවෑමෙන් බාරාම්ට හා ඔහුගේ බිරිඳට සිය මව් බසින් රැස්වීම් පවත්වන රාජ්‍ය ශාලාවක් සොයාගැනීමට හැකි විය. ඉන් අනතුරුව ඔවුන් වේගවත් ආත්මික දියුණුවක් ලැබූ අතර බාරාම් අදදින බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙකි.

◻ ඕලන්ද ජාතික යුවළක් සුපිරි වෙළඳ සැලක් අසල සිටගෙන සිටි කෙනෙකු සමඟ කතා බහේ යෙදිණ. තම මව් බසින් යුවළ තමාව ඇමතීම ගැන ඔහු මහත් සේ සතුටට පත් විය. පසුව ඔහුගේ නිවසේදීම හමුවීමට සැලසුම් යෙදීය. මොහු රුසියාවේ වසර 20කට වැඩි කාලයක් ගත කර තිබුණ බව ඔවුන්ට දැනගන්ට ලැබිණ. ඒ කාලයේදී ඔහු ස්ත්‍රී රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු වීමට සුදුසුකම් ලැබීය. එක් අතකින් තමා අදේවවාදියෙකුයයි කියා සිටි මුත් දරුවෙකුගේ උපත අද්දුටු සෑම අවස්ථාවකදීම ඔහුගේ මනසේ ඊට හාත්පසින්ම වෙනස් හැඟීම් පහළ විය. “මනුෂ්‍ය ශරීරය මොනතරම් පුදුමාකාර දෙයක්ද! අදහාගන්නත් බැරි තරම් ආශ්චර්යයක්!” ඔහුගේ මනසේ දිවගිය මේ සිතුවිලි නිසා ඔහු බයිබල් පාඩමක් කිරීමට එකඟ විය. නොබෝ කලකින් මිනිසාගේ ශුභසාධනය ගැන සැලකිලිමත් වන මැවුම්කාරයෙක් සිටින බව ඔහුට තහවුරු විය. (1 පේතෘස් 5:6, 7) අද ඔහු බව්තීස්ම ලත් සහෝදරයෙක් වන අතර ඇම්ස්ටඩෑම් නගරයේ ඉන්දුනීසියානු භාෂාව කතා කරන අය සහභාගි වන සභාවේ සේවය කරයි.

◻ ලෝකයේ විශාලතම වරායන් අතරින් එකකි රොටර්ඩෑම්හි පිහිටි වරාය. එහිදී දිනපතාම නැව්වලින් ගොඩබසින විවිධ භාෂා කතා කරන මිනිසුන්ට සත්‍යය කියා දීමට පුරෝගාමී කණ්ඩායමක් තම හැකියාවන් දියුණු කරගෙන ඇත. මෙම දේශනාකරන්නන්ගේ දැඩි උත්සාහය හේතුවෙන් කපිතාන්වරයෙකු හා නාවික නිලධාරියෙකු ඇතුළු නාවිකයන් කිහිපදෙනෙක් සත්‍යය පිළිගත්හ. දැන් ඔවුනුත් ලොව වටා අස්සක් මුල්ලක් නෑර ශුභාරංචිය ව්‍යාප්ත කිරීමේ වෑයමට හවුල් වී ඇත.—මතෙව් 24:14.

සදාකල් පවතින මෙම ශුභාරංචිය සෑම ජාතියකටම, ගෝත්‍රයකටම, භාෂාවකටම හා සෙනඟකටම ප්‍රචලිත කිරීමේ අධිෂ්ඨානය අන් රටවල මෙන්ම නෙදර්ලන්තයේ වෙසෙන සාක්ෂිකරුවන් අතරද පැහැදිලිව දැකගත හැක.—එළිදරව් 14:6.